නිවනම අරමුණු කරමු!

cmadurawala
2 Min Read

පංච මහා ද්වීපයේ බොහෝ රටවල යුද ගිනි පැතිර පවතී. පරිසර හානි, ළැව් ගිනි, ආපදා, ඝාතන, සත්ත්ව හිංසා, අමානුෂික අපරාධකාරී හැසිරීම් ලොවෙහි සැදැහැති සිත් කලඹයි. ලෙඩ රෝගවලින්, හදිසි අනතරුවලින් ජීවිත හානි රැසක් සිදුවෙයි. කුසල් වඩනවා කියා පවින් අඳුරින් අඳුරට යන ලොවක් තුළ රාග, ද්වේෂ, මෝහයෙන් මිදී පංචනීවරණ දුරලා නිවන් මඟට පිළිපන් පින්වත්හු බුදුමඟ පිවිසී නිවන් අරමුණු කොට මැ දිවි පෙවෙත ගත කරති. මේ මොහොත කායගතා සතිය වඩමින් මානසිකව සෑම මොහොතකම අවදියෙන්, සිහියෙන් ජීවත්වන්නකු වූයේ නම් ක්‍ෂාන්තිය උදාවනු ඇත. අත්ත හිත පර හිතකාමී පුද්ගලයා හොඳ පුරවැසියෙකි. පරිසර හිතකාමී, ගෝලීය පුරවැසියෙකි. ගුණ නුවණ වඩමින් දන් පින් කරමින් අපට ද ජීවනාලෝකය සලසාගත හැකිය.

මහනෙල් සුවඳ මය
කුඩමසු පිළී ගඳ මය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය

කුඩා කල පාඩම් සිටි ඉහත දැක්වෙන කවිය අපට විශාල ආදර්ශයක් සපයයි.

නව වසරේ තුන් දොර සංවර කර ගනිමු.

අවුරුදු දෙදහස් පන්සියයක් පමණ කාලයක් මුළුල්ලේ සිංහල බෞද්ධයන්ට ආගමික කටයුතු කිරීම සඳහා සතර පොහොයන් වෙයි. පැරැණි සිංහලයන් අට පොහොයක් සිල්ගත් බව ද පැහැදිලිව ඇත. එබැවින් සිත, කය, මුඛය වරද්දා ගැනීමෙන් සිදුවන පව් අකුසල තේරුම් ගෙන ක්‍රියාකර ඇත. වචනය මෙන්ම ආහාරපාන ද මෙහිදී කට නිසා සිදු වේ. ඒ ගැන සිහි කල්පනාවෙන් අපේ මිනිසුන් ක්‍රියාකර ඇත. පොහෝ දවස ලංකාවේ බෞද්ධ ජනතාව බෞද්ධාගමානුකූලව ආමිස ප්‍රතිපත්ති පූජාවලින් තෙරුවන් පුදමින් වත්පිළිවෙත් පැවැත්වූ බව සුප්‍රකටය. අදත් ගම්බද ජනතාව පොහෝ දවසේ පලාමිටක් පවා කඩාගන්නට කැමැත්තක් නොදක්වන බවත් පලා කඩා ගැනීම් ආදිය පොහෝ දාට කලින්දා සිදුකරන බවත් රහසක් නොවෙයි. එබඳු සුළු කරුණුවලින් පවා මෙරට ජනතාව සිංහල බෞද්ධ සංස්කෘතියේ අංගෝපාංග ප්‍රදර්ශනය කරති. මෙරට වසන අනෙකුත් ආගමික ජාතික සහෝදර ජනතාව මේ ගැන වටහා ගනිති. සහජීවනය සමගිය, ශාන්තිය, පරෝපකාරය එහි වැදගත්කම අනෙක් ආගමික ග්‍රන්ථවල ද සඳහන්ය. බුදුදහමේ ආභාසය ඔවුන්ට ද ලැබී ඇත. වර්තමානයේ අප රට ද ඇතුළුව මුළු ලොවම ගමන් කරනුයේ මංමුළා වැල් පෑගුණ වුන් මෙනි. දහම් පිළිවෙතේ ගමන් කිරීමෙන් සැනසීම නිවන ළඟාකර ගත හැකිය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *