මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

rashi
By rashi
5 Min Read

දේශමාන්‍ය, සාමවිනිසුරු, මහාචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි

අතහැරීම 18

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් රචිත දිවයින ඉරිදා සංග්‍රහයේ ලිපි මාලාවක් ඇසුරින් රචනා කරන ලද “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” යන ග්‍රන්ථ මාලාවෙහි දහඅට වැනි දිගහැරුම පරිශීලනය කිරීමේ භාග්‍යය පාඨකයාට හිමි වී ඇත. දහඅට වැනි කලාපය තුළ අන්තර්ගත වී ඇත්තේ, 2021 ජූලි මස සිට 2022 අප්‍රේල් මාසය දක්වා පළ වූ ලිපි මාලාවක් ඇසුරින් සංස්කරණය කරන ලද ලිපි පෙළකි. මෙම ග්‍රන්ථය පිටු එකසිය අසූ අටකින් සමන්විත වන අතර, මාතෘකා තිහක් (30) ඔස්සේ ගැඹුරු දහම සරල බසින් විග්‍රහ කෙරේ.

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්මය කෙරෙහි ඉමහත් ගෞරවයකින් හා විශ්වාසය මත පදනම් වූ ප්‍රබෝධයකින් යුක්තව මෙම ග්‍රන්ථ මාලාවේ පළමුවැනි වෙළුමේ සිට දහඅට වැනි කෘතිය දක්වා ම සංයමයකින් යුතුව කියවන ලද පාඨකයකු ලෙස හැඟී යන කරුණක් වන්නේ, මෙතුළින් බෞද්ධ ජන සමාජය තුළ විශාල වශයෙන් සමාජ ආකල්ප වෙනස්වීමකට හා සංවර්ධනයකට මෙම පොත් පෙළ හේතුභූත වන්නට ඇති බවයි. බුදු දහමෙහි මූලධර්ම පිළිබඳ සාමාන්‍ය වශයෙන් යම් අවබෝධයක් බෞද්ධ ප්‍රජාව තුළ පැවතිය ද, එම දහම් කරුණු ස්වකීය ජීවිතයට ගළපා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධය සාපේක්‍ෂ වශයෙන් අවම මට්ටමක පවතින බව පැහැදිලි සත්‍යයකි. මෙම ග්‍රන්ථ මාලාව තුළින් මුළුමනින්ම පාහේ මඟපෙන්වනු ලබන්නේ, එකී පරමාර්ථය කරා ගමන් කළ යුතු ආකාරයයි. එය පැහැදිලිවම නිවන් මඟ හෙළි පෙහෙළි කිරීමට ගන්නා ලද උත්සාහයකි. එබැවින් එය තවදුරටත් හුදු ග්‍රන්ථයක් පමණක්ම නොවී බලවත් සමාජීය ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු වී ඇති බව පෙනේ.

මෙහිදී මුල් බුදුසමයේ අන්තර්ගත ත්‍රිපිටකාත්‍රගත, නිරවද්‍ය දහම බිඳකුදු වෙනසකට භාජනය නොකොට, ආමිසයත්, ප්‍රතිපත්තියත් ආරක්‍ෂා වන ආකාරයට වර්තමානයට උචිත පරිදි, අවස්ථානුකූලව ගළපා ඇති ආකාරය ප්‍රශංසනීය වේ. කොතෙක් අධ්‍යයනය කළත් පැහැදිලි අවබෝධයක්, මඟපෙන්වීමක් ලබාගැනීමට අපහසු ‘ගැඹුරු දහම’ ලෙස සැලකෙන, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාද ධර්මය, හේතුඵල ධර්මතාව අනුව බැඳුණු කර්මය හා පුනර්භවය, ත්‍රිලක්‍ෂණය, පංච නීවරණ ධර්ම, සතර සතිපට්ඨානය මෙන්ම මෙම ධර්මාවබෝධයන්ගේ නිසැක ප්‍රතිඵලය විය යුතු විදසුන් නුවණ, සමථ – විදර්ශනා භාවනාවන් තුළින් වඩා වර්ධනය කරගත යුතු ආකාරය ප්‍රායෝගිකවත්, ආකර්ෂණීය ලෙසත් පෙන්වා දෙනු ලැබේ.

අතහැරීම-18 වැනි කලාපයෙහි අන්තර්ගතය තවදුරටත් පිරික්සීමේ දී පෙනී යන්නේ, පරිච්ඡේද තිහක් පුරාවට නිවන් මඟ පසක් කර ගැනීමට පුද්ගල ස්වීයත්වය තුළ වීර්යය, අධිෂ්ඨානය, කැප කිරීම ශක්තිමත් කිරීම තුළින් අවබෝධයෙන් කලකිරී, ‘අතහැරීම’ සිදු කළ යුතු ආකාරයයි. පුද්ගල චිත්ත සන්තානය තුළ නිරන්තරයෙන්ම හටගන්නා රාග, ද්වේශ, මෝහ මූලික ක්‍රියාකාරකම් මගින් සංස්කාර ධර්ම ඒකරාශී කර ගන්නා අයුරුත්, එහි අනිටු විපාක වත්මන් ජීවිතයටත්, මතු භව ගමනටත් හේතු විය හැකි ආකාරය නිදසුන් සහිතව, සියුම්ව මොනවට පැහැදිලි කෙරේ. කර්මය කර්ම ඵලය, හේතුඵල ධර්මතාව පිළිබඳ විශ්වාසයක් හා අවබෝධයක් නැති පුහුදුන් පුද්ගලයා විසින් පංච නීවරණ ධර්මයන් තීව්‍ර කොට ගනිමින් අකුසලයට නැඹුරු වන ආකාරය අවස්ථා සම්බන්ධතාව තුළින් පෙන්වා දෙයි.

දුකට හේතු රාශියක් නැති බවත්, ඊට එකම හේතුව ‘තෘෂ්ණාව’ බවත් පසක් කිරීමට පට්ච්චසමුප්පාද ධර්මය උපයෝගි කොටගෙන කරනු ලබන විග්‍රහයන් බෙහෙවින්ම පුද්ගල ජීවිතයට සමීප ය. තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් දැඩි කොට අල්ලා ගැනීම සිදු වන බවත්, එය ම ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට හේතු වන බවත්, පංච උපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතු ආකාරයත් වෙසෙසින්ම මෙහි දැක්වේ.

ආර්ය ශ්‍රද්ධාව, ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය ඥාන දර්ශනයන් පිළිබඳ සහසම්බන්ධතාව පෙන්වා දෙමින් නිවන් මාර්ගය තුළ ගමන් කරන ආකාරය අවස්ථා සම්බන්ධය දක්වමින් විග්‍රහයන් රැසක් ඉදිරිපත් කරනු ලබන අතර, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මාර්ගයන් රාශියක් නොමැති බවත්, නිවන් ලැබීමේ නොවරදින ම පිළිවෙත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් ඉතා පැහැදිලිව විවිධාකාරයෙන් මතු කොට පෙන්වා දී ඇත. ග්‍රන්ථයෙහි දක්වා ඇති විවරණයන් මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයන් ජීවිතයට බද්ධ කර ගන්නා ආකාරය නිදසුන් සහිතව පෙන්වා දී තිබේ. මේ තුළින් ධර්මාවබෝධය ලැබීම කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයකුට වුව ද, අනිවාර්ය අවශ්‍යතාව පහසුවෙන් අවබෝධ කර ගත හැකි ය.

මෙම ධර්මාවබෝධය ලැබීම හා ඇවැතුම් පැවැතුම් සියල්ල හමුවේ විදසුන් නුවණ ස්වාභාවිකව ම, නිරායාසයෙන් ම ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ද (සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැති බව – මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යන අවබෝධය) මෙම ලිපි පෙළ සියුම්ව අධ්‍යයනය කිරීමේ දී මනා කොට පෙන්වා දී ඇති ආකාරය පසක් වේ.

අවස්ථා සහ සම්බන්ධතාව අනුව සතර සතිපට්ඨානය ක්‍රමානුකූල ලෙස ජීවිතය තුළින් දකින ආකාරයත්, එමගින් ‘සක්කාය දිට්ඨිය’ බැහැර වී යන ආකාරයත් සිත්ගන්නාසුලු ආකාරයෙන් පැහැදිලි ලෙස දැකිය හැකි ය. එම විග්‍රහ කිරීම සඳහා වත්මන් සමාජයෙහි දකින, ඇසෙන, දැනෙන සමාජ සිදුවීම් මෙන් ම, බෞද්ධ සාහිත්‍යයේ විද්‍යාමාන වන චරිත හා සිදුවීම් අවස්ථානුකූලව සිත්ගන්නා ආකාරයෙන් සම්බන්ධ කර ඇති ආකාරය පාඨකයා මෙම ග්‍රන්ථය කියවීම කෙරෙහි තවදුරටත් අභිප්‍රේරණය කරවනු නිසැකය. ලෝකය වෙනස් නොකොට, එය පවතින ආකාරයෙන්ම පැවතීමට ඉඩ දී, තමා ම ලෝකය ‘කමටහනක්’ බවට පත් කරගෙන ඉන් එතෙර විය යුතු යැයි සැලකෙන ධර්ම මාර්ගය මෙතුළින් මොනවට ප්‍රකට කෙරේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *