සමාධියක් ළංවනු නැත

rashi
By rashi
3 Min Read

දෙනගම සිරිවර්ධන

සේතුච්ඡ කුමරු ප්‍රාදේශීය රජකුගේ පුතෙකි. පියාගේ මරණයෙන් පසු ඔහු රජවි ය.

විශාල භූමිභාගයක ඔහුගේ පාලන බලය පැතිර පැවතිණි. පිය රජු ගම් නියම් ගම් හි ඇවිදිමින් රාජ්‍ය භාණ්ඩාගාරය පොහොසත් කළ ද ඒ පොහොසත් බවින් දුගී, මගී යාචකාදීන්ට සද්කාර කළ ද නව කම්හල් අරඹා රැකියා සුලබ කළ ද ඒ කිසිවක් ගැන අලුත් රජු නොසිතුවේ ය.

කවුළුවෙන් යහනට හිරු රැස් වැටී පැයක් දෙකක් පසුවනතුරු ද ඔහු යහනේ වැතිර සිටියේ ය. රජ සබය රැස්වී දෙතුන් පැයකට පසු ය ඔහු එතැනට ගියේ.

“වෙලාවට වැඩ කිරීමක් සේතුච්ඡ රජුට පුරුදු නැත. දැන් ඇමැතිවරු ද ඔවුන්ට රිසි පරිදි කටයුතු කරනවා. ඔවුන් අල්ලස් ගනිමින් පිටරටින් එන නරක බඩුවලට ඉඩ ලබා දෙනවා. විනිශ්චයකාරයා ද තීන්දු දෙන්නේ මුදල් වැඩියෙන් ලබාදෙන අයගේ වාසියට.

නින්දට, ගැහැනුන්ට, සුරාවට, බැඳී ගිය මේ රජු නිසා රට වැනසෙනවා.”

වැසියෝ තැන තැන කතාබහේ යෙදුණහ. ඒ කතාබහ රටේ එකම කතාබහ බවට හැරිණි.

දිනක් ජනතාවගේ සිත් දිනූ ගුණයහපත්කම් ද උත්සාහය සහ කඩිසරකමින් ද යුතු තරුණ නායකයෙක් තවත් තරුණ පිරිසක් සමග පැමිණ රජ මැඳුරට වැදුණහ. රජු ගැන කලකිරී සිටි සෙබළු ආයුධ බිමට දමා යටත් වූහ.

සේතුච්ඡ රජු, රජ මැඳුරේ පසුපස දොරින් පලාගියේ ය. ඈත ගම්මානයකට ගිය ඔහු තමාට සිදු වූ විපත සිහිකොට හඬා වැලපුණේ ය.

මේ සියල්ලටම මුල් වූයේ මගේ දුර්වලකම්. ඔහු ඔහුටම සාපකර ගනිමින් කරත්ත පාරක් දිගේ ගමන් කළේ ය.

එක් කුඩා නුවරකදී ඔහුට පිඬුසිඟා වඩින, ඇස් සනසන, සිත් පිනවන භික්ෂුවක් පෙනිණ.

ඔහු ගමන නතර කළේ ය. ඒ භික්ෂුව අසලට ගියේ ය.

“මේ සාමාන්‍ය භික්ෂුවක් නම් නොවෙයි.” ඔහුගේ සිත සතුටින් පිරිණ.

“මේ කවුද?” ඔහු මගියකුගෙන් ඇසී ය.

“පුදුමයි ඔබ දන්නේ නැද්ද? ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ.”

මගියා සාදුකාර දෙමින් කී ය.

“මා අසා තිබෙනවා. ලෝ සතුන්ගේ දුකට පිහිටවන බුදුරජාණන් වහන්සේ ගැන මා අසා තිබෙනවා. මගේ වාසනාව සොයා මා ආවා.”

සේතුච්ඡ කී ය.

ඔහු පිඬුසිඟා වඩින බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කළේ ය. පිඬුසිඟීම අවසන් කළ බුදුරජාණන් වහන්සේ තුරුසෙවණක නතර වී, වැඩ හිඳ දන් වැළඳූහ. අනතුරුව සේතුච්ඡට දහම් දෙසූහ.

රජකම අහිමි වී දුකෙන් පෙළුණු ඔහුගේ සිතට රජ සැප ද අනිත්‍ය බව වැටහිණ. අනිත්‍ය සියලු දේ දුකයි. අනාත්මයි. මා රජෙක් ය යන මානයෙන් සිත පිරිණ. රජකම අහිමිවීම සමග මම දුකට පත්වීමි. මට දුක ලබාදුන්නේ මානයයි. ඔහු සිතුවේ ය.

දහම් දෙසුමත් සමග ඔහුගේ සිත වෙනස් විය.

සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි.

ඔහුගේ සිරුර කිලිපොළා ගියේ ය. මුළු ලෝකයම අලුතින් දකිමි. අලුත්ම දහමක් සිතේ පිරී ගියේ ය. මම ඔබවහන්සේ සමීපයේ රැඳෙමි. පැවිදි වෙමි.

සේතුච්ඡ පැවිදි විය.

පැවිදි වූ දා ම විදසුන් වඩන්නට වූ සේතුච්ඡ හිමියෝ එදා රාත්‍රියේම රහත් බවට පත් වූහ.

සේතුච්ඡ රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

අනුන් පහත් කොට සලකන
මානය දැවැටුණු සිතකට
තණ්හාවේ ඇලුම් ගැටුම්
මතු වී කෙලෙසුණු සිතකට
සමාධියක් ළං වනු නැත
නිවීමකට ඉඩකඩ නැත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *