සංකිච්ච ජාතකය

rashi
By rashi
9 Min Read

සුගත් වීරසූරිය

වස්සාන සමයෙහි අවසන් දවස් කිහිපය නික්ම යමින් පැවතිණ. පෙර දිනවල දී මෙන් නා කපන වැහි මේ දවස් කිහිපයෙහි ඇද නො හැළුණේ ය. හැම තැනක් ම වසා හෙවුණු වැහි බීරිම තවමත් එලෙසින් ම තිබුණේ ය. අරුණ උදයේ පැමිණීමත් සමගම ආ සිරි සිරිය වන් මීදුමෙන් ඈත කඳු වළලු‍ වැසී ගියේ ය. ටිකෙන් ටික දවස හුස්ම ගනිද්දී වරක් හෝ කිහිප වරක් වැටුණු ඉර එළියෙන් මිහි තලය ආලෝකවත් වී ය. ඒ එළිය ඈත ලොකු කළු ගල් කුළු තලාවන් මත පතිත වෙද්දී ඒවා මතින් ද හීන් සීරුවේ දුම් නැඟෙන්නට පටන් ගත්තේ ය. ගහ කොළ වැහි වතුර වැටී තෙත් කා හිටියේ ය.

ජීවක අඹ වනය පුරාවෙහිමත් තිබුණේ වැහි කෝඩයට හසු වූ හීන් හීතලකි. එහි පොළොව මතින් නැඟී හිටි මහ අඹ ගස් අහස සිසාරා යන්නට තරම් සුවිශාල වී. එසේ නැඟෙමින් නො සෙල්වී ලෝකයත්, අහස් ගව්වත් දෙස බලා සිටි ඒ අඹ ගස් අකම්පිත ජීව ප්‍රාකාරයක් මෙන් නිසොල්මන් ව සිටී. ජීවක අඹ වනය රාජකීය වෛද්‍යවරයා විසින් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ වෙත පූජා කරනු ලැබූවකි. මහා කාරුණික තථාගතයන් වහන්සේ ජීවක අඹ උයනෙහි වැඩ වාසය කළ හ. උන්වහන්සේ සමග විත් බවුන් වැඩූ බොහෝ භික්ෂූන් වවහන්සේලා ද තවමත් මේ අඹ වනයෙන් නික්ම ගොස් නැත. අජාසත් රජ තෙම මේ වන විට සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගොස් සිටියේ ය.

පෙර දිනක සිදු වූ සිදු වීමෙන් පුරවරයේ පමණක් නො ව ඈත ගම් නියම් ගම්වල ද විසූ කාගේත් සිත් ඉමහත් තැති ගැන්මකට ලක් වී තිබිණි. ඒ දෙව්දත් තෙරුන් වහන්සේ පොළොව පලාගෙන අපායට වැටුණු සිදුවීමයි. එම අවාසනාවන්ත සිදු වීම සිදු වූයේ සැවැත් නුවර ජේතවනාරාමය අබියස දී ය. අජාසත්ත මහ රජතුමා දේවදත්තගේ ළඟ ම මිතුරා වී සිටියේ ය. ඔහු තම දයාබර පීතෘවරයා වූ බිම්බිසාරගේ ජීවිතය නැති කළේ ද දේවදත්ත හිමියන්ගේ අවවාද අනුශාසනාවලට අනුව ය. අන්තිමේ දී දේවදත්ත හිමියන් බරපතළ ලෙස රෝගාතුර වුණේ ය. තමා බුදුන් විෂයයෙහි කළ මහා අපරාධ ඔහුට සිහි විය. “‍අනේ මම කොයි තරම් අවාසනාවන්තයෙක් ද?” ‍ඒ ගැන සිහියට නැඟෙත් නැඟෙත් ම ඔහු කඳුළු සලා ඉකිබිඳ හඬන්නට ද පටන් ගත්තේ ය. එයින් ඉක්බිති ඔහුගේ අනුගාමිකයෝ ඔහු නිදා හුන් ඇඳත් සමග ම ජේතවනාරාමයට රැගෙන ගියෝ ය. එහෙත් දේවදත්ත හිමියන්ට එසේ යෑමට හැකි වූයේ ජේතවනාරාම දොරටුව අසලට පමණි. මහ පොළොව දෙබෑ විය. එතැනින් ගිනි දැල් මතු වුණේ ය. ඒ ගිනි මතට ඇද වැටුණු ඔහුත්, ඔහුගේ ඇඳත් ගිනි දලු අතර නො පෙනී ගියේ ය. අජාසත්තට ද මේ ගැන අසන්නට ලැබුණේ ය. ඔහුට තම පියා වූ බිම්බිසාරගේ මරණය සිදු කළ හැටි මතකයට නැඟුණේ ය. තමාටත් කොයි යම් මොහොතක හෝ දේවදත්ත හිමියන්ට අත් වූ ඉරණම ම අත් විය නොහැකි ද? තමාත් කොතරම් පව්කාරයෙක් ද? අජාසත්තගේ සිත නිරන්තරයෙන් ඔහුට වේදනා දුන්නේ ය. එම දුකින් මෙන්ම බියෙන් ද ආතුර වූ අජාසත්තට එක තැනක සිටිය නොහැකි විය. එහෙයින් රාජ මාළිගයෙන් නික්මුණු ඔහු උයනට ගියේ ය. උයනෙන් නික්මුණු ඔහු කැළයට ගියේ ය. එනමුදු ඔහුට වේදනා දුන් හැම සිතිවිල්ලක් ම ඔහු අත නො හැර ඔහු පසුපසින් ම ලු‍හු බැඳ ආවේ ය. අන්තිමේ දී ඔහු බුදුන් දකින්නට ගියේ එයට කිසිවෙකු ගෙනුත් කිසිදු විසඳුමක් නො ලැබුණු තැන දී ය. එහි දී බුදු බණ ඇසූ අජාසත්තගේ හිත සැනසුණේ ය. හේ මහා හොඳ මිනිසෙකු පමණක් නො ව බුදු සසුනේ අග්‍ර දායකයෙකු වූවේ ද මෙයින් පසු ව ය.

ජීවක අඹ වනයෙහි හුන් භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ ගැන කතා බහක නිරත වී සිටිය හ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමවන තුරුත් ඔවුන්ගේ ඒ කතාව නතර වී තිබුණේ නැත. “පින්වත් මහණෙනි, මේ මේ අජාසත් රජ තෙම දැන් නො ව පෙරත් තම පියා මරා දැම්මේ ය. එදාත් ඔහු සිත ශෝකයෙන් හා බියෙන් දැවිණ. තැවිණ.” බුදු මුවින් වැගිර ගලා ගිය සදහම් අමා වැහි දිය ඔස්සේ පුහුදුන් භික්ෂූන් වහන්සේලාටත් ඒ දුරාතීතයට යා හැකි වුණේ ය.

එම අතීතය බොහෝ දුර ඈත වූවක් වී ය. බරණැස් නුවර හැම යස ඉසුරකින් ම පිරී ඉතිරී තිබුණේ ය. එහෙයින් ම බ්‍රහ්මදත්ත මහ රජතුමා ද මහත් සොම්නසින් පිරුණු ජීවිතයක් ගත කළේ ය. රටවාසීන්ගේ සතුට ඔහුගේ ද එක ම සංතුෂ්ටිය වී ය. ඒ සිත් සැනහුම තවත් දලු ලා වැඩුණේ ය. ඔහුට පුත් කුමාරයකු ලැබීම එයට හේතු වී. බ්‍රහ්මදත්තගේ පුත් කුමරා ඉපදුණු දවසේ ම ඔහුගේ පුරෝහිතට ද දැකුම්කලු පුතෙක් උපන්නේ ය. නම් තැබීමට ආවෝ ඔහුට “සංකිච්ච”‍ යැයි කී හ. බ්‍රහ්මදත්තගේ පුත් කුමාරයාත්, සංකිච්ච කුමාරයාත් එක ම තක්සලාවේ එක ම අයුරින් ඉගෙන ගත් හ. කාලයේ නදී තොමෝ හෙමි හෙමින් ගලා යද්දී ඔවුනොවුන්ගේ ඉගෙනුම් සමය ද නිමාවට පත් වී ය. බ්‍රහ්මදත්ත කුමාරයාට යුව රජ තනතුරත්, සංකිච්ච වෙත උප පුරෝහිත තනතුරත් පිරිනැමිණ. යුව රජ කුමර තෙම දිනක් පිය මහ රජ බ්‍රහ්මදත්ත ද සමග උයන් සිරි නැරඹීමට ගියේ ය. එහි දී ඔහුට පිය තෙම සතු සියලු‍ යස ඉසුරුත් සුව සලසන සම්පතුත් දැක ගන්නට ලැබුණේ ය. එය ඔහු තුළ විසල් ආශාවක් හා නිමා නො වන තෘෂ්ණා ගින්නක් ද අවුලවාලනු සමත් වී ය. “මේ හැම දෙයක් ම මට දැන් ලැබෙන්නේ නැහැ නො වේ ද? එසේ වන්නට නම් පියාණන් කෙදිනක හෝ මිය යා යුතුයි. එය සිදු වෙන්න තවත් කාලාන්තරයක් ගත වේ වි. එවිට මා මහලු‍ බවට පත් වෙනවා. එහෙයින් කෙසේ හෝ පියාණන් මරා දමා මේ හැම රාජශ්‍රීයක් ම උරුම කරගන්න ඕනෑ.”‍ බ්‍රහ්මදත්ත කුමාරයා තමාටම මුමුණා ගත්තේ ය. එතැන් පටන් හේ එහි ලා නොයෙක් සැලසුම් ද ක්‍රියාත්මක කළේ ය. මහ රජුට එය නො දැනිණ. එනමුදු සංකිච්ච එය දැන ගත්තේ ය. ඒ ගැන මහත් සේ කම්පනයට පත් සංකිච්ච බඹදත් කුමාරයාට නොයෙක් වර අවවාද කළේ ය. එයින් සිදු වන අකුසලයෙහි දුක් තැවුල් ද පහදා දුන්නේ ය. එහෙත් ඒ හැම දෙයක් ම ගලා යන ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියේ ය. එක් සඳ නැති දිනෙක බරණැස පුරාවෙහි ම වූ අඳුර කෑලි කැපිය හැකි තරම් දැඩි විය. එදින යුව රජ තෙමගේ බසින් මෙහෙයවුණු රුදුරු ඝාතකයෝ බඹදත් නිරිඳු තෙම සදා කාලයට ම නිහඬ කර දැම්මෝ ය. ඒ හැම විපතකට ම පෙර සංකිච්ච බරණැසින් නික්ම ගොස් තිබුණේ ය. හුදෙක් ම ඒ ඔහු අවවාද නො තැකූ නිසාවෙන් ය. කාලය ගලා ගියේ ය. බඹදත් කුමාරයාට සියලු‍ රාජ ශ්‍රී ලැබුණ ද පියා මැරවූ කතාව අමතක කළ හැකි නො වී ය. එය ඔහු හිත තැළුවේ ය. පෙළුවේ ය. වෙවුලු‍ම් කැව්වේ ය. එයින් මහත් තිගැස්මකට ලක් වූ ඔහු හිත තුළ සදා නො මියෙන බයක් හොල්මන් කළේ ය. “අනේ මං සංකිච්ච කී දේ එදා ඇහුවා නම් කවදාක වත් මේ තරම් බයකට දුකකට පත් වෙන් නෑ නේ ද?” නිරිඳු සිත හඬා වැටුණේ ය.‍ ‘මා දැන් ම සංකිච්ච හමු වෙන්න යන්න ඕනෑ’‍ යි සිතූ ඔහු එකෙණෙහි ම ගමනාරම්භ කළේ ය. බරණැස් නුවර පුරා හැම අහු මුල්ලක ම ඔහු තම කලණ මිතුරු සංකිච්ච සෙවුවේ ය. ඒ කිසිදු තැනෙක දී වත් ඔහුට සංකිච්ච හමු නොවිණි. තිබුණාටත් වඩා වැඩි දුකකින් ඔහු රජ මැඳුරට ආවේ ය. තවත් දවස් ගණනක් ගත වෙද්දී සංකිච්ච බරණැස් නුවරට ආවේ ය. ඒ ප්‍රිය මනාප වූ තාපසයකු ලෙසිනි. බ්‍රහ්මදත්ත රජු පා වැඳ සංකිච්ච තවුසා පිළිගත්තේ ය. සිය හිත හිර කර අවුරා තදබද කරගෙන හිටි හැම දුකක් ගැන ම තාපසයාට කීවේ ය. “මහ රජ තුමනි, මා එදා ඔබට කොතෙක් කරුණු කීවා ද? ඒත් ඔබ ඒ කිසිවක් ඇහුවේ නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.” සංකිච්ච තාපසයන් වහන්සේ බ්‍රහ්ම දත්ත මහ රජතුමාට දහම් දේශනා කළ හ. එයින් සිත සැනසුණු රජු වඩාත් දැහැමි අයෙක් බවට පත් වී ය. “‍මහණෙනි, එදාත් එසේ පීතෘ ඝාතක ආනන්තරීය පාප කර්මය සිදු කර ගත්තේ අදත් පියා මරා ලූ මේ අජාසත් රජතුමා ම ය. එදා ඔහුට අවවාද කළ සංකිච්ච තවුසා නම් දැන් බුදු බවට පත් තමන් වහන්සේ ම යැ” යි දක්වා වදාළ බුදු රජාණන් වහන්සේ මේ සංකිච්ච ජාතක දෙසුම නිමවා වදාළ සේක.

කුඩා පවක් වුව ද නො කළ යුතු ය. එසේ නො වුව හොත් ඒ පව්කම් කිරීමට වූ ඇබ්බැහිකම අප හා අපගේ ඊළඟ ඉදිරි සංසාරගත භව වෙත ද නිසැක ව ම පිවිසේ. නිවන් නො දකින පෘතග්ජනයනට එතරම් තවත් සාංසාරික දුකක් නැති තරම් ය. එයින් ඔවුනට අනන්ත වේදනා ඇති වන හෙයිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *