සැම දුකකට ම මුල් වන තණ්හාව නමැති කටුව

rashi
By rashi
6 Min Read

ඕනෑ ම කෙනෙකු සෑම වෙලාවක ම දෑස් අයා ගෙන බලා සිටින්නේ ආදරය කරන කෙනෙකු ගෙන් ප්‍රිය වූ වචනයක්, ප්‍රිය වූ ක්‍රියාවක් ලැබෙන තුරු ය. මේ හේතුව නිසා, එනම් ප්‍රිය වචන හා ක්‍රියා ලබාගැනීමට ඇති දැඩි ආශාව තණ්හාව නිසා තමන් ආලය කරන කෙනෙකු තමන්ට පීඩාකාරී වූ පරුෂ වචනයක් ප්‍රකාශ කළ හොත් මහත් දුකක් ඇති වේ.

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව
ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද

උඩදුම්බර කාශ්‍යප හිමි

විසින් පවත්වන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සකස් කළ ලිපි මාලාවක දෙවැනි කොටස.

එම අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප මෙතෙක් සබ්බාසව සූත්‍රය මූලික කොට සාකච්ඡා කරමින් සිටියේ ආර්ය ශ්‍රාවකයකු වීමට පුරුදු කළ යුතු මනසිකාරය පිළිබඳවයි. දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, නැති කිරීමේ මාර්ගයත් යන මෙම ආර්ය සත්‍යය අපගේ ජීවිතයේ සංසිද්ධීන් තුළින් ම අවබෝධ කරගත යුතු බව අපි දැනටමත් දනිමු. මෙම ආර්ය සත්‍ය මනසිකාරය අප සිත් තුළ ගොඩනඟාගැනීමට නම් දුක සහ තණ්හාව පිළිබඳව ඇති අන්තර් සම්බන්ධතාවය තේරුම් ගත යුතු වේ.

පින්වතුනි, මොහොතකට සිතන්න. ඉතා ම ප්‍රිය වූ ආහාරයක් අපට භුක්ති විඳින්නට ලැබුණ හොත් අපි බොහෝ සෙයින් සතුටු වන්නෙමු. එහෙත් එම ප්‍රිය වූ ආහාරය භුක්ති විඳින්නට නොලැබුණ හොත් ඒ හේතුවෙන් අපි දුකට පත් වන්නෙමු. දැන් අපි සොයා බලමු දුක සහ තනණ්හාව අතර ඇති අන්තර් සම්බන්ධතාවය.

ප්‍රිය වූ ආහාරයක් තමන්ට භුක්ති විඳින්නට නො ලැබීම නිසා මහත් දුකක් ඇති වන බව ප්‍රකාශ කළත්, එම දුකට සැබෑ ම හේතුව භුක්ති විඳින්නට නො ලැබීම ම ද යන්න සිතිය යුත්තකි. අනුභව කරන්නට නො ලැබීම නිසා දුක උපදී කියා අපට සිතුණත් සත්‍ය ම කතාව නම් එම දුක හටගන්නේ එම ආහාරය පිළිබඳව අප සිතෙහි තිබෙන ආශාව, කැමැත්ත, තණ්හාව, හේතුවෙන් බවයි. මෙම තණ්හාව යමෙකුට නැතිනම් ආහාර භුක්ති විඳින්නට ලැබුණා හෝ වේවා නො ලැබුණා හෝ වේවා කිසි විටෙකත් දුකක් නූපදී.

යම් ආහාරයක් හේතුවෙන් අපගේ දිව පිනා යයි නම් එම පිනා යෑමට බොහෝ දෙනා වහල් වෙති. ඒ හේතුවෙන් ආශ්වාදය උපදවන ආහාරයකට බැඳී යයි. එවිට නැවත නැවත එම ආහාරය භුක්ති විඳින්නට, ලබා ලබාගන්නට සිත් පහළ වේ. යම් අයුරකින් භුක්ති විඳින්නට නො ලැබුණ හොත් එයින් මහත් දුකක් පීඩාවක් උපදී.

එසේ නම් මෙම දුකට සැබෑ ම හේතුව තණ්හාව බව දැන් අපට සනාථ විය මෙලෙසින් ජීවිතයට ගංගාවක් සේ ගලා එන සියලු‍ දුක් කන්දරාවන්ට හේතුව තණ්හාවයි. එය අපි තවදුරටත් සොයා බලමු.

තමන්ට දැඩිව ආදරය කරන පුද්ගලයකු සිටී නම් එම පුද්ගලයාව නිතර දකින්නට, කතා කරන්නට, ළඟින් ඇසුරු කරන්නට අපේ සිත් ඉබේ ම පෙලඹේ. එහෙත් එම පුතු පුද්ගලයා බොහෝ දුර සිටී නම්, දකින්නට තරම් ළඟ නැති නම් තමාට දැඩි දුකක් වේදනාවක් උපදී. බැලූ බැල්මට ම තමන් දැඩි ව ආලය කරන පුද්ගලයා දකින්නට නොමැති හේතුවෙන් දුක් වේදනා උපදී කියා අපට සිතුණත් සැබැවින් ම එම දුක් වේදනාව හටගන්නේ තමන්ට එම පුද්ගලයා පිළිබඳව තිබෙන බැඳීම් හේතුවෙනි, තණ්හාව හේතුවෙනි. එම තණ්හාව නැති නම්, දකින්නට ලැබුණා හෝ වේවා නො ලැබුණා හෝ වේවා දුකක් නො උපදී. මෙම සත්‍යය අපගේ මනසට නො එන නිසා අපි තවමත් අඳුරේ අතපත ගාමින් සිටිමු.

මෙම ආර්ය සත්‍යය මනසට මනසට හැඟෙන අයුරින් අපි නිතර ම මනසිකාරය පුරුදු කළ යුතු වෙමු. අපි තවදුරටත් මේ පිළිබඳව විමසිලිමත් ව සොයා බලමු.

දැඩි ව ආදරය කරන පුද්ගලයෙකු තමන් තමන්ට පරුෂ වචනයෙන් දැඩි ව ආක්‍රෝෂ කළ හොත් නෙතග කඳුළින් පිරී යන තරමට ම, දින ගණනක් ආහාරයක් ගන්නට නොහැකි වන තරමට ම මහත් වූ දැඩි වේදනාවක් උපදියි. එහෙත් දැඩි ව ආදරය කරන පුද්ගලයා තමන්ට ප්‍රිය වචනයෙන්, සානුකම්පිත වචනයෙන් කතා කළ හොත් පුදුමාකාර ප්‍රීතියක් අපට දැනේ.

හේතුව ඕනෑ ම කෙනෙකු සෑම වෙලාවක ම දෑස් අයා ගෙන බලා සිටින්නේ ආදරය කරන කෙනෙකු ගෙන් ප්‍රිය වූ වචනයක්, ප්‍රිය වූ ක්‍රියාවක් ලැබෙන තුරු ය. මේ හේතුව නිසා, එනම් ප්‍රිය වචන හා ක්‍රියා ලබාගැනීමට ඇති දැඩි ආශාව තණ්හාව නිසා තමන් ආලය කරන කෙනෙකු තමන්ට පීඩාකාරී වූ පරුෂ වචනයක් ප්‍රකාශ කළ හොත් මහත් දුකක් ඇති වේ.

එසේ නම් මේ දුකට ප්‍රධාන ම හේතුව තමන්ට පරුෂ වචනයෙන් ආක්‍රෝශ කිරීම නො ව නම් තමන්ට අනෙක් තැනැත්තා ගෙන් ප්‍රිය වචන ලබාගැනීමට ඇති තණ්හාවයි.

මෙලෙසින් පැමිණෙන සෑම දුකකට ම හේතුව තණ්හාව කියා තමන්ට නො තේරෙයි නම් ඒ තාක් එම තණ්හාව දුරු කිරීමත් ඊට ඇති වැඩපිළිවෙළත් යන මේ කරුණු පිළිබඳව අපට සිතා ගන්නට වත් නොහැකි ය.

කටුවක් ඇනී දුක් විඳින පුද්ගලයකුට මේ වේදනාවට හේතුව කටුවක් ඇනී ඇති බව යැ යි තේරුම් නො යන්නේ නම් ඔහුට එම දුකෙන් මිදිය නොහැකි ය. මෙලෙසින් ම සෑම දුකකට ම හේතුව අප සිත්වල ඇති තණ්හාව නමැති කටුව යැ යි අප ජීවිතය තුළින් අවබෝධ කරගත යුතු ය. එවිට එම තණ්හාව නමැති කටු ගලවා ඉවත් කිරීමට අපට හැකි වේ.

දැන් අපි සැම දුකට හේතුව තණ්හාව බව වටහා ගතිමු. තණ්හාව යනු කුමක් ද, එය අප විසින් හඳුනාගත යුත්තේ කෙසේ ද යන්න ඉදිරියේ දී විමසා බලමු.

(මතු සම්බන්ධයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *