දුක ගෙන දෙන සහ නොදෙන අනිත්‍යය

cmadurawala
9 Min Read

කපිල පීරිස්

බැලූ බැල්මට “අනිත්‍යය” යන්න තරම් සරල සංකල්පයක් තවත් නොමැති තරම්ය. බැලු බැලු සැම සියල්ල වෙනස්වේ. එහෙත් ධර්මානුකූලව මදක් විමසූවිට අනිත්‍යය තරම් ගැඹුරු, දුරවබෝධ සංකල්පයක් තවත් නැති තරම්ය. මිනිසා-සත්වයා යනු පංචස්කන්ධ ක්‍රියාවලියයි.

එනම් නාම-රූප ක්‍රියාවලියයි. මෙහි නාම කොටසේ ඇති මූලික චෛතසිකයක් වන වේදනා චෛතසිකයේ ඇති වන දෝමනස්ස වේදනාවය ඇත්තට ම සියලු සත්වයා විඳින ප්‍රධානතම දුක. සියලු සත්වයා සෑම විටම උත්සාහ ගන්නේ මේ දෝමනස්සය සෝමනස්සයක් කර ගැනීමටය. සක්කාය දිට්ඨිය පෙරටු කරගත් අනේක විධ දිට්ඨි – සංකාර පෙළගැසී ඇත්තේ මේ සඳහාය. එහෙත් මේ පෙළගැස්ම කිසිසේත් සාර්ථක එකක් නොවේ. මේ ප්‍රවේශය තුළ කිසිදා දිගුකාලීනව මේ වේදනා චෛතසිකය සොම්නස් කළ නොහැකි වේ. මෙහිදී ඇති වන්නේ සොම්නස් – දොම්නස් චක්‍රයක.ි එයයි දුක. මේ දුක් චක්‍රය ඇති වන හැටි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ පරම හේතු ඵල දහම වන පටිච්ච සමුප්පාදය මගිනි. මෙමගින් සංසාරයේ හේතුඵල දහම තුළ සත්වයාගේ දිට්ඨි-සංකාර ගොඩනැඟෙන අයුරු විග්‍රහ කෙරේ. මේ හේතුඵල දහම පිළිබඳව සහ එමගින් බිහි කෙරෙන සසරේ දුඃඛිත ස්වාභාවය, ඉන් මිදීමක් ඇති බව, ඒ සඳහා පටිපදාවක් ඇති බව ආදිය නොදැනීම නිසා (අවිද්‍යාව නිසා) සත්වයා මේ වේදනා චෛතසිකය සොම්නස් කරගැනීම සඳහා නිරතුරුව අභව්‍ය උත්සාහයක යෙදේ. දිගින් දිගටම සිදුවන සංසාර ගමන මෙහි ප්‍රතිඵලයයි.

නාම ධර්මවල අන්තර්ගත වේදනා චෛතසිකයේ වේදනා හටගන්නේ බාහිර අරමුණු සහ මනසින්ම ඇතිවන මානසික අරමුණු (ධම්ම) චිත්තාභ්‍යන්තර දිට්ඨි සංකාරවල ගැටීමේදීය.

දිට්ඨි-සංකාර යනු අපේ චිත්තාභ්‍යන්තරයේ පැලපදියම් වී ඇති විවිධ අභිලාෂයන්ය. එනම් වේදනා චෛතසිකය සතුටු වීමට නන්දීය වීමට සොම්නස්වීම උදෙසා අපේ සාංසාරික පුරුදු (කර්ම) සංස්කෘතික ආභාසයන්, සමාජ නිර්ණායක, පරම්පරා නිර්ණායක ආදිය මත පදනම්ව අප තුළ ගොඩනැඟී ඇති දෑය. මේවායින් මනස තත්ත්වාරෝපිත වී ඇත (Conditioned mind). මේ තත්ත්වාරෝපිත සංකාර-දිට්ඨි ආකෘතිවලින් ගැවසී ගත් මනස (සිත) ඉතා අස්ථායීය-අස්ථාවරය. මේ මනස තත්ත්වාරෝපණය මගින් සංකීර්ණවත්ම බරවත්ම මේවාගේ අඩුලුහුඬුකම්, වෙනස් වීම් මනසින් ම දැකීමේ ප්‍රවණතාවයද වැඩිවේ. සොම්නස සඳහා යම් යම් සංකාර ආකෘති ගොඩනඟා කෙළවර කළ නොහැක. කවර ආකාරයෙන් සංකාර සොම්නස උදෙසා ගොඩනැඟුවත් ඒවා ගොඩනැඟෙත්ම ඒවායින් දොම්නස උපදින විභවයන්ද ඒ සමගම ගොඩනැඟේ. මනසට කිසිදා දිගුකාලීනව (සදාකාලිත්වය පසෙක තිබියේවා) තම සොම්නස උදෙසා මනස සකසා ගතනොහැක. එනම් ඒ සඳහා දිට්ඨි -සංඛාර ආකෘති නිමැවිය නොහැක. මනසට තම සතුට සොම්නස උදෙසා දිගුකාලීනව පවතින එනම් අවම වශයෙන් මනසින්ම එහි අඩුපාඩු (එනම් දෝමනස්සයන් ඇතිවීම) නොදකින පරිදිවත් අකෘති සංකාර නිමැවිය නොහැක. මේ අඩුලුහුඩුකම් දකිමින් ඇතිවන මානසික ධර්මතා මේ අඩුලුහුඩුකම් සහිත සංකාරවල ගැටෙමින් අපට දුක උපදවයි. මෙය සිතේ අතෘප්තිකර භාවය ලෙසද දැක්විය හැක. මීට අමතරව බාහිර සංකත ලෝකයේ සිදුවන වෙනස් කම් නිසාද අදාළ අරමුණු මානසික සංකාර අකෘති සමග ගැටීමේදී ඇති වන වේදනා පවතින බව සිහි තබාගත යුතුය. උදාහරණයක් ලෙස බාහිර යම් යම් වස්තූන් සහ තත්ත්වයන් ඇසුරුකර ගෙන අප සොම්නස නන්දිය උදෙසා යම් සංකාරයක් ගොඩනැඟූවිට එනම් අප යම් බාහිර සංකතයේ ඇති වස්තුවක් හෝ තත්ත්වයක් අපේ සොම්නස-නන්දිය වෙනුවෙන් අභිසංස්කරණය කළවිට එනම් එය මට අදාළ මගේ දෙයක්, මගේ වසඟයේ තිබිය යුතු දෙයක් බවට පත් කරගත්විටම (අදාළ බාහිර සංකතයේ ප්‍රකට වෙනස්වීමක් සිදු නොවුවත්) එමගින් සොම්නස ගෙන දීම සම්බන්ධව මනසින්ම ගැටලු පැන නැඟේ. එහි අඩු පාඩුකම් පෙනෙන්නට පටන්ගනී. කල්යත්ම ඒ සොමනස ප්‍රමාණවත් නොවේ. මේ තමයි සංකාරවල ඇති පරඬැල් ස්වාභාවය. හරයක් නොමැති බව, මේ කිසිදු සංකාරයක සොම්නස ලබාදීම පිළිබඳව නිත්‍යභාවයක් නැත. මේවායින් සොම්නස ලැබීම පිළිබඳ ගැටලු විවිධාකාරයට නොනැඟේ නිශ්චිතභාවයක් නැත. මෙයයි සංකාරවලින් දුක ඇති වීම පිළිබඳ අනිත්‍යය (යද නච්චං තං දුක්ඛං) මේ සංකාර සහිත සිතකට බාහිර ලෝකයේ ඒ සංකාරවලට අදාළ දෑ වෙනස් වනවිට ද දුක ඇති වේ. මේ අනුව චිත්තාභ්‍යන්තර සංකාර දුරු වීම තුළ ඒ සංකාරවල අනිත්‍යය නිසා හටගන්නා දුක මෙන්ම බාහිර අනිත්‍යය (විපරිණාමය) නිසා හටගන්නා දුක (මානසික) යන දෙකම දුරු වේ.

ගණිතයේ දැක්වෙන එක්තරා ප්‍රමේයකට අනුව අංක ගණිතමය ආකෘතිය තුළ මනසින් ගොඩනැඟිය හැකි ඕනෑම සත්‍ය ප්‍රකාශයක සත්‍යභාවය තීරණය කෙරුමට සාධාරණ ක්‍රමවේදයක් මනසින්ම නිමැවිය නොහැක. එනම් එවැනි කවර ක්‍රමවේදයක් මනසින් නිර්මාණය කළත් පෙරලා මනසට ඊට පිටින් යන සත්‍ය ප්‍රකාශ ගොඩනැඟිය හැක. එනම් මේ සන්දර්භය තුළ මනසට මනස සංසිඳ වියනොහැක. අංක ගණිත වැනි අතිශය සරල සන්දර්භයක් තුළත් තත්ත්වය එය නම් මනසට කිසිදා සොම්නස උදෙසා නිත්‍ය සංකාරය-ආකෘතීන් නිමැවිය හැකිද?

චිත්තාභ්‍යන්තරයේ පවතින සංකාරවල මේ සොබාවයයි. අප අපට දුක ඇති කරවන අනිත්‍යය ලෙස අවබෝධකර ගතයුත්තේ. එය හුදු වෙනස් වීමක් නොවේ. මේ වෙනස් වීම් අනිත්‍යය තුළ සොම්නස-දොම්නස චක්‍රයයි ඇති වන්නේ. එයයි දුක. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වන්නේ ‘යදනිච්චං තං දුක්ඛං’ යන්නය. එනම් යමක් අනිත්‍යය නම් එය දුක වන බවය ඉතින් මේ අනිත්‍යය නොවේ, දුක. මේ අනිත්‍යයට ලක්වූ සිතේ වේදනා චෛතසිකයයි දුක. මේ අනිත්‍යයට ලක්වූ වේදනා චෛතසිකය ඇති කරන්නේ අනිත්‍යයට ලක් වූ සංකාරයන්ය.

යම් අරමුණක් ඔස්සේ අපට දොම්නසක් ඇති වූවිට අප ඊට අදාළ සංකාරය හඳුනාගෙන එහි අනිත්‍යය පරඬැල් ස්වභාවය හඳුනාගෙන ඒ වේදනාවේ හරසුන්භාවය ප්‍රත්‍යක්ෂකරගෙන එය මඟහැරීමට උත්සාහ ගන්නවා වෙනුවට සක්කාය දිට්ඨිය (මම යන්න) උත්සාහ ගන්නේ ඒ සංකාරයම දැඩිව ගෙන ඒ ඔස්සේම සිතමින් (චේතනා) තවත් දොම්නස වැඩි කර ගැනීමටය. සොම්නසක් ලදවිට ද තත්ත්වය මෙයයි. මේ ක්‍රියාත්මක වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එනම් සංසාරගත හේතුඵල දහමයි. එහෙත් සිහිය වැඩීම තුළ යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක වේනම් මේ සංකාරවල අනිත්‍යය පරඬැල් ස්වභාවය දැනගෙන මේ පොරයෙන් මිදිය හැක. සංකාර තරම් අනිත්‍යය වූ වෙන කිසිවක් නැතත් අපේ සිත සංකාර තරම් තදින් ඩැහැ ගන්නා දෙයක්ද නැත. බාහිර සංකතයේ ද්‍රව්‍යවල (රූප) අනිත්‍ය යම් පමණකට හෝ තේරුම් ගත්තත් සැබෑ ලෙසම දුක උපදින මේ චිත්තාභ්‍යන්තර අතිශය අනිත්‍යය වූ දිට්ඨි -මතිමතාන්තරවල අනිත්‍යය ප්‍රකට කර ගැනීම ලෙහෙසි නැත. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ අප බොහෝවිට අනිත්‍යය ලෙස බාහිර වස්තුවල අනිත්‍යය බැලීමට පුරුදු වී සිටීමය.

හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බාහිර සංකතයන්හි ඇත්තටම බොහෝ කොටම ඇත්තේ විපරිණාමයයි. ඒ බාහිර රූප අපගේ සතුට සොම්නස නන්දිය වෙනුවෙන් චිත්තාභ්‍යන්තර සංකාර බවට පත්වූ විටය, ඒවා අනිත්‍ය වන්නේ. ඒ අනිත්‍යයයි දුක ඇති කරන්නේ. අප නොදන්නා කැලෑවක ඇති ගසක අනිත්‍යය (විපරිණාමය) අපට දුක් දෙන්නේ නැත. ශක්තිය විවිධ මානවලට වෙනස් වීම අපට දුක් දෙන්නේ නැත. එසේම ශක්තියේ ප්‍රමාණය වෙනස් නොවීම – ශක්ති සංස්තිතිය හෝ ස්කන්ධය වෙනස් නොවීම-ස්කන්ධ සංස්තිතිය අපට සොම්නස දෙන්නේ ද නැත. ස්කන්ධය, ශක්තිය සංස්තිතික වූ පද්ධතියක් වුව අප අපේ සොම්නස නන්දිය සතුට වෙනුවෙන් චිත්තාභ්‍යන්තරයේ සංකාර ගත කරගත හොත් එකෙනෙහිම ඒ සංකාරගත පද්ධතිය අපට ඇති කරන්නේ දුකකි. ඒ පද්ධතියේ අපට ප්‍රකට වන කිසිදු විපරිණාමයක් -දිරායෑමක් සිදු නොවුවත් අපේ සොම්නස වෙනුවෙන් සකසාගත් සංකාරය වහා වෙනස් වෙමින්-නැතිවෙමින් දොම්නස ඇති කරයි. ඒ සොම්නස නැතිවේ යැයි බිය ඇති කරවයි. කලකදී ඒ සොම්නස ප්‍රමාණවත් නොවී යයි. බාහිර සංකතයේ කිසිවක් හෝ කිසිදු තත්ත්වයක් අපට අපේ සොම්නස වෙනුවෙන් මගේ කොට මගේ වසඟයේ පවතිවායැයි තබාගත නොහැකි (අනත්තය) එලෙස යමක් සංකාර ගතකළ විගස (චිත්තාභ්‍යන්තර) එය නැති වී යයි. එයයි සංකාරවල ස්වාභාවය. මේ සංකාරවල අනිත්‍යය තමයි දුක.

අපට බාහිර සංකතයේ අනිත්‍යය විපරිණාමය වෙනස් කළ නොහැක. (රහතන් වහන්සේට ද එසේමය) එහෙත් ඒ සංකතයේ කොටසක් අපේ සොම්නස-නන්දිය වෙනුවෙන් අපේ වසඟයේ පවතින ලෙස තබාගැනීමට උත්සාහ ගැනීමෙන් එනම් ඒ සංකතය චිත්තාභ්‍යන්තර සංස්කාරගත කෙරුමෙන් (අභිසංස්කරණයෙන්) වැළකිය හැක. එවිට චිත්තාභ්‍යන්තරයේ සොම්නස් දොම්නස් ඇතිකරන සංකාර ගොඩනැඟීම් වැළකේ. මනස තත්ත්වාරෝපණයෙන් මිදේ.

බාහිර රූපවල අනිත්‍යය මෙනෙහි කරමින් ඒවා සැබෑවට නැති ලෙස ප්‍රකට කරමින් ඒවාට උපාදාන වීම වළක්වා ගැනීමට උත්සාහ ගන්නවාට වඩා ඒවා ඇසුරු කරගෙන අපේ සොම්නස වෙනුවෙන් අප සකසා ගන්නා චිත්තාභ්‍යන්තර දිට්ඨි – සංකාරවල (ඇත්තටම නාමික රූපයේ) අනිත්‍යය මෙනෙහි කිරීම වඩාත් යෝග්‍ය යැයි සිතේ. මේ මෙනෙහි කිරීම තුළ චිත්තාභ්‍යන්තර දිට්ඨි – සංකාර තුනී වනවිට සක්කාය දිට්ඨිය ද ඉබේම වියැකී යයි. එවිට තවදුරටත් බාහිර සංකතයෙන් සොම්නස් අවශ්‍ය වන්නේ නැත. එවිට වේදනා චෛතසිකය සොම්නස් – දොම්නස් දෙකින්ම මිදී යයි. එයයි නිවීම. මේ නිවීම තුළ ඉතා සහනයෙන්, සැනසීමෙන් බාහිර සංකතය තුළ අදාළ කටයුතු සියල්ල ඉතා හොඳින්, කරුණාවෙන් කළ හැක.

මේ සියල්ල කරගත හැකි වන්නේ මනසිකාරය යෝනිසෝ කර ගැනීමෙන්ය. එවිට සක්කාය දිට්ඨියේ (මගේ) හේතුඵල දහම් ක්‍රියාවලිය හීන වී යයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *