දිමුතු පුන්සර කොළඹගේ
(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)
ඉන්දීය ජනපති ආචාර්ය සර්වේපල්ලි රාධක්‍රිෂ්ණන්තුමා විදුලකරට පැමිණි විටෙක වල්පොළ රාහුල හාමුදුරුවන් විසින් එතුමන්ව යක්කඩුවේ නාහිමියන් වැඩ සිටි කුඩා කුටියට කැඳවාගෙන ගොස් උන්වහන්සේ හඳුන්වා දී, “ප්‍රසිද්ධියේ ඉදිරිපිට පෙනී නොසිටියත් මේ සියලුම කටයුතුවල මූලිකයා මුන්වහන්සේ ය” යි පැවැසීය.
“අත්තිවාරම නොපෙනෙයි” පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ල යි” කියා දාර්ශනික ලීලාවෙන් රාධක්‍රිෂ්ණන්තුමා පවසා යළිත් යක්කඩුවේ නාහිමියන්ට නමස්කාර කළේය.
විද්‍යාලංකාරයේ දියුණුවේ අත්තිවාරම යක්කඩුවේ නාහිමියන් යයි පැවසුවහොත් එය විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට පවත්වාගෙන ආ මහාතෙරවරුන්ගේ මෙහෙවර ලඝු කිරීමක් නොවනු ඇත. යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ජීවිතය සහ විද්‍යාලංකාරය දෙකක් නොව එකක් බව හැඟවෙන තරමට මහඟු මෙහෙවරක් සිදු කළහ.
විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වූ කුශාග්‍ර බුද්ධිමතුන් අතරෙහි යක්කඩුවේ නායක හාමුදුරුවෝ ඉදිරිපෙළින් ම වැඩ සිටිති. ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යයන විෂයයෙහි නිපුණත්වය, නිවහල් චින්තනය සේ ම අදීන පෞරුෂයෙන් ද යක්කඩුවේ නායක හිමියෝ අනභිභවනීය වූහ. සාර්වභෞම පණ්ඩිත, සගරමතී (සාගරය බඳු පැතිරුණු ප්‍රඥාව ඇති) වැනි සම්භාවනීය යෙදුම් තත්කාලීන උගත්හු යක්කඩුවේ නාහිමියන් හැඳින්වීමට භාවිතා කළහ.
වර්ෂ 1907 මැයි මස 07 වන දින බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අළුත්කුරු කෝරළයේ ජාඇල යක්කඩුව ග්‍රාමයේ දී වේල්ගමගේ ජුවානිස් පෙරේරා මැතිතුමාගේ සහ එම මැතිනියගේ පුත් රුවනක ලෙස වේල්ගමගේ ජෝන් පෙරේරා නමින් නාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටහ. යක්කඩුවේ නාහිමියන් පැවිදිවීම මෙන්ම විදුලකරයට යාම ද අහඹු සිදුවීම් ය.
නිවන්දම රජයේ පාසලෙන් අධ්‍යාපනය ලබන කල්හි එකොළොස් හැවිරිදි වියේ දී පමණ ගොම්මං වෙලාවේ, පියාගේ ගම වූ යක්කඩුවේ සිට මවගේ ගම වූ උග්ගල්බඩට යාමේදී මං මුලා වී අහම්බෙන් බටපොතේ ශ්‍රී ඝනානන්ද පොත්ගුල් විහාරයට ගිය කල්හි බටපොතේ සාරානන්ද ලොකු හාමුදුරුවන් පැමිණි කාරණාව විමසූ විට මහණ වීමට යැයි පැවසූයෙන් නුදුරු කාලයේ යක්කඩුවේ සරණපාල නමින් පැවිදි බිමට පත් විය. එහිදී අතිපූජ්‍ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායයත්වයෙන් වැඩ සිටි අතර පැවිද්දෙන් පසු අත්පොත් තැබුවේ ද විද්‍යාලංකාරයේ දී ය.
විද්‍යාලංකාරය සමග බටපොතේ පොත්ගුල් විහාරය සමීප සබඳතාවයක් පැවති නමුත් යම්කිසි අමනාපයක් හේතුවෙන් යක්කඩුවේ සරණපාල පොඩි හාමුදුරුවන් දොරණෑගොඩ පිරුවනින් අධ්‍යාපනය හදාළ ද එය හෙරණුවන්ගේ සිත් ගත්තේ නැත. ඉගෙනුම පිණිස නොසිඳුණු ඇල්ම ඇතිව විදුදයට යාමේ අපේක්ෂාවෙන් ගුරු හිමියන්ට ද නොදන්වා පන්සලෙන් යන අතර දුම්රියේ දී විදුලකරේ සිසු විළිඹුල පඤ්ඤානන්ද හිමියන් හමු වූයෙන් එම හිමියන් ද සමග විදුලකරයට ගියහ.
මේ වකවානුවේ විද්‍යාලංකාර පිරුවන පෙරදිග මහා තක්ෂිලාව වශයෙන් කිත් යසස් පතුරවමින් පැවති සමයයි. ලෝක ප්‍රකට පඬිවරුන් විද්‍යාලංකාරය සොයා විවිධ රටවල සිට පැමිණියේ මේ අවධියේ ය. එවක පැවැති සාර්ථක අධ්‍යාපන ක්‍රමයට අනුගතව වර්ගපටිපාටියෙන් යක්කඩුවේ සාමණේර හිමියන් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ධර්මානන්ද නාහිමියන් ඉපැරණි පුස්කොළ පොත්වල පාඨාන්තර සන්සන්දනය කරමින් සදොස් තැන් මග හරවමින් සංස්කරණ කිරීම් සඳහා යක්කඩුවේ හාමුදුරුවන් ද සම්බන්ධ වුණි. පෲෆ් බැලීම ලෙස හැඳින් වූ මෙම කටයුත්ත නිසා තමන්වහන්සේගේ ඥානය දියුණු වූ බව යක්කඩුවේ නාහිමියන් විසින් ම පවසා තිබේ.
සෑම අතින් ම දක්ෂතා දැක් වූ මෙම සාමණේර හිමියන් වහන්සේ ඉගෙනුම ලබන වකවානුවේ දී ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රඥාරාම නාමයෙන් නැවත පැවිදි කරවන ලද අතර සපිරුණු විසිවයස් ඇතිව 1928 වර්ෂයේ මහනුවර මල්වතු මහා විහාරයීය රාජාධිරාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී පහමුණේ ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී ගරුතර කාරක මහා සංඝ සභාව වෙත නිබන්ධනයක් ඉදිරිපත් කොට ප්‍රසාදයට පත්ව “ශ්‍රී” යන ගෞරව නාමය ලබමින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
සෑම වරකම පන්තියේ පළවෙනියා වූ යක්කඩුවේ හාමුදුරුවෝ 1924 වර්ෂයේ දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටියහ. එය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් පෙනී සිටි ඉහළම විභාගය යි. එම විභාගයට පෙනී සිටිද්දී ප්‍රශ්න පත්‍රවල තිබූ වැරදි ද පෙන්වා දෙමින් පිළිතුරු දෙමින් සියලු ම ත්‍යාග ලබා දිවයිනේ ම ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ. යක්කඩුවේ නාහිමියන්ගේ දැනුම හා උගත්කම විභාගයකින් හෝ උපාධියකින් මැනිය හැක්කක් නොවන බව උන්වහන්සේගේ පොත් පත් හා ලිපිලේඛනවලින් පෙනෙයි.
ප්‍රාචීන විභාග ජයෙන් පසු පිරුවනේ ආචාර්ය පදවියකට පත් කළ යක්කඩුවේ හාමුදුරුවෝ 1934 වර්ෂයේ දී පිරුවනේ කෘත්‍යාධිකාරී තනතුරට පත් කරන ලදි. අධ්‍යාපන මට්ටම හා කිත් යසසින් පිරුවන ඉදිරියට ගිය ද, ගොඩනැගිලි සහ දාන මානාදී ප්‍රත්‍ය පහසුකම්වලින් පිරුවනෙහි දියුණුව අල්ප විය. කෘත්‍යාධිකාරී පදවියට පත් වූ දා සිට යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කළේ මෙම පහසුකම් දියුණු කිරීමට ය. ඉහළ විභාග සඳහා පෙනී සිටීමට ඉඩ ඇවිරුණේ ද පිරුවනේ බර කරට ගත් නිසාවෙනි. ලක්දිව පාරිවේණික ශිෂ්‍යයන් වෙත පිරුවනින් දන් පිළිගැන්වීමේ සම්ප්‍රදායක් මේ වකවානුවේ නොපැවති අතර එය ආරම්භ වූයේ යක්කඩුවේ නාහිමියන් විසිනි.
ගුරුවරයෙකු වශයෙන් කෙතරම් පළපුරුදු තිබුණ ද, පසු දිනට නියමිත පාඩම නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව කිසි විටෙක සිසුන් වෙත නොගිය බව යක්කඩුවේ නාහිමියන් පවසා තිබේ. අටුවා, ටීකා සහිතව ත්‍රිපිටකය බොහෝ වාරයක් කියවීමෙන් ද, පාලි සංස්කෘත ග්‍රන්ථ හැදෑරීමෙන් වනපොත් කිරීමෙන් යක්කඩුවේ නාහිමියන් බොහෝ ප්‍රවීණත්වයට පත්ව, එසේම තමා දන්නා ශිල්පය මැනවින් සිසුන්ට බෙදා දීමේ හැකියාවෙන් ද පිරිපුන් අසහාය ගුරුවරයෙකු වශයෙන් සම්භාවනාවට පත් වී තිබේ. නාහිමියන්ගේ දින චර්යාව ද එවැනි ම සුවිශේෂී වූවකි. මුළු රැය පුරා නොනිදා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූහ. අළුයම සැතපී දවල් දානයට පෙර අවදි වී, දානයෙන් පසු පිරුවනේ ඉගැන්වීම් හා පරිපාලන කටයුතු සිදු කළහ. කෙස් රැවුල් බෑම සිදු කළේ බුදුන් වදාළ පරිදිමය. සකු බස ඉගැන්වීමට සමත් ගුරුවරුන්ගේ හිඟය නිසා නාහිමිපාණන් වහන්සේ සකු බස ඉගැන්වීමට ප්‍රවීණයෙක් වූහ. එසේ නමුත් නාහිමියන්ගේ සිංහල හා පාලි භාෂා ඥානය ද අද්විතීය බව සමකාලීනයන්ගේ ප්‍රකාශ සහ නාහිමියන්ගේ ග්‍රන්ථකරණයන් තුළින් පැහැදිලි වෙයි.
පිරුවනෙහි භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ දී ගුරුවරුන් වෙත ආවාස පහසුකම් සැපයීම පිණිස තාවකාලිකව කාමර හතරක ඉදි කිරීම් අරඹන ලද අතර එය නිමා වූයේ මනස්කාන්ත දෙමහල් ධර්මාරාමාශ්‍රමය වශයෙනි. පිරුවනට 75 වසරක් සපිරීමේ දී සිසු පිරිස වෙනුවෙන් කාමර 75 කින් යුතු තෙමහල් ශ්‍රී ධර්මානන්ද ශිෂ්‍ය නිවාසය ඉදි කෙරුණි. ධර්මශාලාව, දානශාලාව, ඇතුල්ගම දේවරක්ෂිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඉදි කෙරුණු වෙහෙර වහන්සේ ඇතුළු විදුලකරෙහි සෑම සුවිසල් ගොඩනැගිල්ලක් ම නිම වූයේ යක්කඩුවේ නාහිමියන්ගේ මෙහෙයවීමෙනි. ලුණුපොකුණේ නාහිමියන්ගේ සහ කිරිවත්තුඩුවේ නාහිමියන්ගේ යුගවල සිදු කෙරුණු සෑම කටයුත්තක ම පුරෝගාමී නියමුවා යක්කඩුවේ නාහිමියන් යැයි කිව හැකිය.
භික්ෂු දේශපාලන ප්‍රශ්නය ඇති වීමෙන් පසු භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය ලියා කියවන ලද්දේ යක්කඩුවේ නාහිමියන් විසිනි. මෙම සිද්ධියෙන් පසු දායක පිරිස් එතෙක් පිරුවනට ලබා දුන් ප්‍රත්‍ය පහසුකම් ලබානොදෙන විට අකම්පිතව රට පුරා සැරිසරා විදුලකරේ ආදිශිෂ්‍ය හිමිවරුන්ගේ දායකත්වයෙන් යළිත් දන් වැට සකස් කරවීමට යක්කඩුවේ හිමියන්ට හැකියාව තිබුණි. එසේම වන කතා, මජ්ඣිම නිකාය වැනි පොත් රචනා කරමින් පිරුවනට අවශ්‍ය දෛනික වියදම් සෙවීමට යක්කඩුවේ හාමුදුරුවෝ මහන්සි වී ක්‍රියා කළහ. මෙවක විද්‍යාලංකාර දායක සභාවේ සභාපති පදවිය හොබවමින් සමුපකාරී වූයේ ශ්‍රීමත් නිකලස් ආටිගල මැතිතුමා ය.
ලංකාද්වීපය පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීම පිණිස ලංකා එක්සත් භික්ෂු මණ්ඩලය පිහිටුවීමට ද යක්කඩුවේ නාහිමියන් මූලිකත්වය ගන්නා ලදී. පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් එහි සභාපති පදවිය ද යක්කඩුවේ හිමියන් එහි ලේකම් ධුරය ද හෙබවීය. නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමට මෙම සංවිධානය සුවිශාල දායකත්වයක් දැරීය. ගිහි දරුවන්ගේ අභිවෘද්ධිය පිණිස කැලණිය ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය ආරම්භ කරවූයේ ද යක්කඩුවේ නාහිමියන්ගේ පුරෝගාමීත්වයෙනි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් වැඩ සිටි යක්කඩුවේ නායක හාමුදුරුවෝ දිනපතා තෙරුවන් වන්දනාවේ සහ භාවනාවේ යෙදුණහ.
වල්පොළ රාහුල හිමියන් ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය වූ ලක්දිව බුදුසමයේ ඉතිහාසය කෘතිය ලියන කාලයේ, “හාමුදුරුවො ඔය අටුවා බලන කොට, ලංකාවේ බුද්ධාගම ගැන සමාජය ගැන, සිරිත්විරිත් උත්සව වැනි දේවල් ගැන යමක් දකින්ට ලැබුණොත් ඒවා සටහන් කරල දුන්නොත් මට බොහොම ප්‍රයෝජනයි” කියා යක්කඩුවේ නාහිමියන්ට පවසා ඇත.
සතියකට හමාරකට පසු අටුවා පොත් ගොඩක් රැගෙන ආ යක්කඩුවේ හාමුදුරුවෝ, “ඔන්න අර එදා කිව් පිළිවෙළේ දේවල් සඳහන් තැන් සේරම වගේ ඕවායේ ලකුණු කරල ඇති” කියා එවැනි තැන් කිහිපයක් පෙන්නා දුන්හ. පොත් සියල්ල ම මැනවින් කියවා අදාළ තැන් පැන්සලෙන් සලකුණු කරවා ඒ තැන් හඳුනා ගැනීමට පිටු අතරට කඩදාසි දමා රාහුල හිමියන්ට ලබා දී ඇත. එතරම් ඉක්මනින් අතිසාර්ථකව එය සිදු කිරීම මහත් දුෂ්කර කටයුත්තක් බවත්, එවැනි දේ යක්කඩුවේ හිමියන්ට ඉතා පහසු කරුණු බවත් වල්පොළ රාහුල හිමියන් සඳහන් කොට ඇත.
විද්‍යාලංකාර පිරුවනේ 75 වන සැමරුම් උළෙල සංවිධානය වූයේ ද යක්කඩුවේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි. යක්කඩුවේ හිමියන් හා වල්පොළ රාහුල හිමියන් වැසි දිනයක මෝටර් රථයේ ගමන් කරන විට පිරුවනේ 75 වන ජන්මෝත්සවය කෙලෙසක පැවැත්විය යුතු දැයි සාකච්ඡා කොට තිබේ. විද්‍යාලංකාර පිරුවන බඳු විද්‍යාස්ථානයක සංවත්සරය සාමාන්‍ය පන්සලක මෙන් නොව, පිරුවනට ඔබින අන්දමින් ත්‍රිපිටක ධර්ම සංගායනාවක් පැවැත්වීමට යෝජනා කළේ වල්පොළ රාහුල හිමියන් විසිනි. ඒ අනුව 1950 නොවැම්බර් මස පළමු වන දින ආරම්භ වී අවුරුදු 3 මාස 5 දවස් 15 පැවති විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව සංවිධානය කළේ යක්කඩුවේ නාහිමියන් විසිනි. රටේ සම්භාවනීය මහ සඟරුවන වැඩමවා ත්‍රිපිටක ධර්ම සංගීතිය පැවැත්වීමටත්, රට පුරා වැඩම කොට පුස්කොළ පොත් සෙවීමටත්, ප්‍රත්‍ය පහසුකම් සැලසීමටත් යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ පුරෝගාමී වූහ. දිනපතා සඟිබණ ධර්මදේශනා පැවැත්වුණි.
යක්කඩුවේ නාහිමියන් කිසිවිටෙක තනතුරු පසුපස හඹායාම සිදු නොකළහ.
හැඩිපන්නල ප්‍රඥාලෝක නාහිමියන් අපවත් වීමෙන් පසු 1953 දී යක්කඩුවේ නාහිමියන් වෙත උපපරිවේණාධිපති පදවිය පිරිනැමුණේ කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමියන්ගේ බලවත් ආයාසයෙනි. 1959 වසරෙහි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී පරිවේණාධිපති කිරිවත්තුඩුවේ නාහිමියන් උපකුලපති ධුරයට පත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය යක්කඩුවේ නාහිමියන් වෙත පුද දුනි.
විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය හිමි වීමේ ජ්‍යොතිෂ්‍ය සම්ප්‍රදායක් ඇතැයි කියනු ලැබේ. ජ්‍යොතිෂ්‍යයෙහි ප්‍රවීණයෙකු වූ ආදිකර්තෘ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ සිය ඇවෑමෙන් ශ්‍රී ධර්මාරාම හා ශ්‍රී ධර්මානන්ද නාහිමිවරුන් වෙත පරිවේණාධිපති පදවිය හිමිවන සේ සියුම් ගණිත ක්‍රමයකට අනුව මුල් පරිවේණාධිපති හිමියන්ගේ ලග්නයෙන් අටවැනි ලග්නය හිමි අයෙකුට පරිවේණාධිපති ක්‍රමය හිමිවන ලෙස නැකත සකසා තිබේ. මුල් පරිවේණාධිපති හිමිවරුන් සිවු නම මේ ක්‍රමයට අනුව තනතුරු හෙබවුවද යක්කඩුවේ නාහිමියන් ඊට අනුකූල නොවී පරිවේණාධිපති පදවියට පත්ව තිබේ.
විද්‍යාලංකාර පිරුවන විශ්වවිද්‍යාල තත්ත්වයට අනුකූල වන ලෙස විෂයමාලා සංශෝධනය කොට සංවිධානය වීම සිදු වූයේ 1935 වර්ෂයේ ලුණුපොකුණේ නාහිමියන්ගේ යුගයේ දී ය. එවක ද යක්කඩුවේ නාහිමියෝ කෘත්‍යාධිකාරී වූහ. පිරුවනට 1959 වර්ෂයේ විශ්වවිද්‍යාල තත්වය පිරිනමන විට අභිනව විශ්වවිද්‍යාලයේ සියලු ම කටයුතු සංවිධානය කළේ ද විශ්වවිද්‍යාලයේ සියලු උපාධි පරීක්ෂා ව්‍යවස්ථා සකසන ලද්දේ යක්කඩුවේ නාහිමියන් විසිනි. තනතුරු භාර ගැනීමට අකමැති යක්කඩුවේ හාමුදුරුවෝ අභිනව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මහාචාර්ය ධුරය පමණක් භාර ගන්නා ලදී. පෑලියගොඩ පිරුවන් බිමෙහි විශ්වවිද්‍යාලය අරඹන ලදින් ශ්‍රී ධර්මාරාම නාහිමියන් වැඩ සිටි දෙමටගොඩ ධර්මප්‍රසාදයෙහි පිරුවන පවත්වන ලදී. 1963 දී මාපිටිගම ගුණරතන හිමියන් පිදූ බිමෙහි පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරවීය. විශ්වවිද්‍යාල තත්ත්වය ලැබීමෙන් පසු ඊට ඔබින ගොඩනැගිලි සේ ම දෙමටගොඩ හා පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවන්වල ගොඩනැගිලි ඉදිකර වූයේ ද යක්කඩුවේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි. වර්ෂ 1966 දී කිරිවත්තුඩුවේ නාහිමියන් විශ්‍රාම ලැබීමෙන් පසු යක්කඩුවේ නාහිමියන් විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් සම්මානිත වූහ. යක්කඩුවේ නාහිමියන් උපකුලපති ධුරය දරද්දි පිරුවනෙහි වගකීම් උසුලන ලද්දේ මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ විසිනි.
සමන්නේසනා සහිත මජ්ඣිම නිකාය, වනකතා පොත් පෙළ, සඟිබණ, භක්ති ගීත, ගුත්තිල විචාරය, භවතරණමග හා බුද්ධචරිතය, අපේ ගමන් මග යක්කඩුවේ නාහිමියන් රචිත පොත් අතර වෙයි. ඒ හැර රටේ වියතුන් යැයි සම්මත වූවන් අතින් රචිත බුදු දහමට අපහාස වන හෝ ධර්මයෙහි අර්ථ විකෘති වන අන්දමේ ලේඛන සඳහා පිළිතුරු සැපයීමට යක්කඩුවේ නාහිමියෝ තම ලේඛන කෞෂල්‍යය හැසිරවූහ. ග්‍රන්ථකරණයේ දී ලේඛන සහ ව්‍යවහාරිත භාෂාවන්හි වෙනස අවම වන භාෂා ශෛලියකට අනුව යක්කඩුවේ නාහිමියෝ ස්වකීය පෑන හැසිර වූහ. එක් එක් පොතට ගැළපෙන අන්දමින් එකකට එකක් වෙනස් වූ සුගම බස් වහර යක්කඩුවේ නාහිමියන්ට ම අනන්‍ය වූවකි. “රාත්‍රිය මට ප්‍රියයි; රෑ කොතරම් නම් සැනසිලිදායී ද! ඇහැට අමිහිරි රුවක් නැහැ; කනට අමිහිරි හඬක් නැහැ; හිතට අමිහිරි හිතක් නැහැ; මම කැමති රෑටයි මගේ වැඩත් රෑටයි. රැය ගෙවී ගියා; එළිවිය. මගේ වැඩෙත් හමාරයි; පොත පිට විය. දැන් දවල් වැඩ කරන අයට වෙලාවයි. භක්ති ගීත කියවන්න; භක්තිය ඇතිකර ගන්න; පාලියේ ශක්තිය ලබාගන්න; රෑ හතකටම අත ලෑස්තියි. යයි භක්ති ගීත කෘතියේ පවසන යක්කඩුවේ නාහිමියෝ පාලියෙන් ගාථා ප්‍රබන්ධ කොට ඊට අරුත් සැපයෙන සිංහල තේරුම් ද කාව්‍ය ස්වරූපයෙන් රචනා කොට තිබේ.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ අනන්‍යතාවය ඉවත් කොට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කලින් කලට පත් රජයයන් ක්‍රියා කොට පිරුවන් බිම රාජසන්තක කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී අකම්පිතව 1970 බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ සහායෙන් විදුලකර බිම යළිත් සඟසතු කරවීමට හැකි වූයේ යක්කඩුවේ නාහිමියන්ගේ මෙහෙයවීම නිසා ය. පිරුවනින් සරසවියට ගෙන ගිය පුස්තකාල පොත් සහ විද්‍යාලංකාර මුද්‍රණාලය නැවත පිරුවනට ලබාගන්නා ලද්දේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේ දී ය.
වර්ෂ 1970 දී සිවුවන විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව මගින් ධර්මකීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයත්, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරව නාම සම්මුතිය සහිතව උපාධ්‍යාය පදවියත් යක්කඩුවේ නාහිමියන් වෙත පුද දෙන ලදී.
විද්‍යාලංකාර බිම යළි ලබාගැනීමෙන් පසු නැවත එහි පාරිවේණික අධ්‍යාපන කටයුතු ආරම්භ කරවන ලද්දේ 1980 වර්ෂයේ දී ය. 1982 වර්ෂයේ දී නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අවසාන වරට කුලදරුවන් පැවිදි කිරීම සහ නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවන යළි ආරම්භ කිරීම සිදු විය.
සැඳෑ සමය එළඹෙමින් රෝග පීඩාදියෙන් පෙළෙමින් සිටි යක්කඩුවේ නායක හාමුදුරුවෝ සනාතන ධර්මතාවයන් විපස්සනාව මෙනෙහි කොට වර්ෂ 1986 පෙබරවාරි මස 15 වනදා විද්‍යාලංකාර සභාව කැඳවා වැලමිටියාවේ කුසලධම්ම හිමියන් තම අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කළහ. ගිලන්ව කුටියේ වැඩ සිටි නාහිමියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පිරුවනේ සිසු හිමිවරුන් ධර්ම දේශනා සහ පිරිත් දේශනා පුහුණු වන අන්දම ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා දී තිබුණි. එය නාහිමියන් බෙහෙවින් ප්‍රියකළ දෙයක් විය.
“ජීවත්වීම පිළිබඳ මගේ ආසාවක් නැහැ. කළ යුතු සියලු දේ කළා. මගේ ජීවිතයේ කෙරෙන්ට තියෙන සියලු වැඩ අවසානයි. මම පුදුම සැනසිල්ලකින් ජීවත් වෙන්නේ. අද මගේ හුස්ම ටික ඉවත් උනත් ඒත් සැනසිල්ලක් මිස දුකක් නැහැ. මේ ලෝකය ගැන කිසිම බලාපොරොත්තුවක්, ආසාවක් මට නැහැ.” යයි වදාරා තමන්වහන්සේ අපවත් වූ පසු පෙර පරිවේණාධිපති හිමිවරුන්ගේ මෙන් මහත් උත්කර්ෂවත් අන්දමින් නිදහස් චතුරශ්‍රය වැනි ස්ථානයක නොව ඉතාම චාම් අන්දමින් අවසන් කටයුතු පිරුවන් භූමියේ දීම සිදු කරන ලෙස දන්වා සිටියහ.
“මම දන්නවා ලෙඩ වෙන බව, වයසට යන බව, මැරෙන බව, ඒක නිසා සමහරවිට මම ආහාර නොගන්න කොට, මම ආහාර ගන්නේ නැහැ කියලා බට ගහලා ආහාර දෙන්න කොහොමටවත් මහන්සි වෙන්න එපා. එහෙම කරලා දවසක් දෙකක් පැය කීපයක් ජීවිතය ර‘දවා ගන්න එකේ තේරුමක් නැහැ. කෙනෙකු මැරුණහම පෙට්ටියක් එපායැ. මේ කාලයේ හැටියට රුපියල් පන්දාහක් හයදාහක් නැතිව සාමාන්‍ය පෙට්ටියක්වත් ගන්ඩ බැහැ. ඊටත් වඩා වියදම් කළොත් ඒකත් බරපතළ අපරාධයක්. මා වෙනුවෙන් රාජ්‍ය ගෞරව පැවැත්වීමට සූදානම් වෙන්ඩ එපා, ආදාහන පෙරහැරවල් සූදානම් කරන්නත් එපා. කුසලලාට (වැලමිටියාවේ කුසලධම්ම හිමි) ඕනම නම් මෙතන සිට නුවර පාර දක්වා ගෙන ගිහින් අපේ පිරිවෙන් බිමේ නුවර පාර අයිනේ පිට්ටනියේ ආදාහන කළහම හොඳටම ඇති”
එම වර්ෂයේ මාර්තු පළමුවන සෙනසුරාදා රාත්‍රියේ සියල් සකරදම් අනියත බව සිහිපත් කරමින් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වී වදාළ සේක.
“යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ජීවිතය අදෘශ්‍ය මැයි; ගුණය අචින්ත්‍යමැයි; සේවය නොසැසඳේමැයි; තරම පමණ කළ නොහැකිමැයි; විසිවන සියවසෙහි අප ඇසු අප දුටු අප දත් කිසිදු පැවිදි ජීවිතයකින් මේ පමණ වැඩක් රටට, දැයට, භාෂා සාහිත්‍යයට සම්බුදු සසුනට නොවූවිරූමැයි; පොතපත ලියූහ. පිරිවෙන් ඇති කළහ. සංවර්ධනය කළහ. සරසවි බිහි කළහ. පෝෂණය කළහ. පාසල් ඇති කළහ. පර්යේෂණයෙන්, ගවේෂණයෙන් උගතුන්ට, වියතුන්ට ගුරු වූහ. ගෝලබාලයන් තැනූහ. මෙහෙමත් වැඩ කළ ජීවිතයක් කවදා කෙදිනක කෙසේ අපට නැවත මුණගැසේද? (විදුලකර පිරිවෙන්පති යක්කඩුවේ නාහිමි, 16,17 පිටු)

