මහාචාර්ය කපිල අභයවංස
රටක සංවර්ධනය සඳහා ආගමකින් ලැබෙන දායකත්වය පිළිබඳව පෞද්ගලිකව ඒ ඒ පුද්ගලයන් විසින් හෝ පොදුවේ දේශපාලන සංස්ථා මගින් හෝ විමසා බැලීමක් නොකෙරෙන බව පැහැදිලිව දක්නට ලැබෙන්නකි. ආගම කෙරෙහි පුද්ගලයා දක්වන ආකල්පය මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. ආගම පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා හෝ පොදුවේ සමාජ සංවර්ධනය සඳහා හෝ පවතින්නක් නොව හුදෙක් විශ්වාසය හා භක්තිය මත පදනම් වූ ආගමික පුද පූජාවලට සීමා වී පවතින්නකි යනු පුද්ගලයා ආගම කෙරෙහි දක්වන ආකල්පයයි. ආගමික ඉතිහාසය ආරම්භ වන්නේ ද ස්ව ශක්තියෙන් ඉටුකරගත නොහැකැයි සිතූ ඇතැම් අභිලාෂයන් අදෘශ්‍යමාන බලවේගයන්ගේ පිහිටෙන් ඉටුකරගත හැකිය යනුවෙන් මිනිසා තුළ වූ විශ්වාසයෙනි. එබැවින් එම අදෘශ්‍යමාන බලවේගය සන්තර්පණය කිරීමට අදාළ පුදපූජා, බලිබිලි යාගහෝම ආදී යාතු කර්මවලට ආගම සීමාවිය. ආගමික ක්‍රියාවලියේ පරමාර්ථය වූයේ දේව බලයෙන් ස්වකීය ජීවිතයේ සෞභාග්‍යය ළඟාකර ගැනීමයි. දේව කැමැත්තට අනුව ජිවත් වෙමින් මරණින් මතු ස්වර්ගයේ දී දෙවියන් හා එක්වීම ද ආගම් විකාශනයේ දී ඇති වූ තවත් අභිලාෂයකි.
ආගමික අභිලාෂය අතින් මෙන්ම ක්‍රියාවලිය අතින්ද බුදුදහම අනෙක් ආගම්වලට වඩා මුළුමනින්ම වෙනස්ව යයි. බුදුදහම සෞභාග්‍යය සඳහා අදෘශ්‍යමාන බලවේගයන් කෙරෙහි විශ්වාසය නොතබන ආගමකි. ස්වකීය ශක්තිය කෙරෙහි ද දැඩි විශ්වාසය තබා කටයුතු කිරීමට පුද්ගලයා මෙහෙයවීම බුදුදහම මගින් කෙරෙයි. අභියෝගයන් මැඬගෙන අවශ්‍ය ජයග්‍රහණයන් අත්පත් කරගැනීම සඳහා ඉවහල්වන කුසලතා පුද්ගලයා සතුවම පවත්නා බව බුදුදහම පිළිගන්නා බැවින් කුසලතා වර්ධනයෙන් පෞරුෂත්වය ඉස්මතු කරගැනීමට අදාළ ක්‍රියාමාර්ගය ද බුදුදහම මගින් හෙළිදරව් කොට තිබේ. මේ අනුව අදෘශ්‍යමාන බලවේගයන්ගේ ශක්තියෙන් නොව ආත්මශක්තියෙන්ම ස්වකීය බාහිර හා ආධ්‍යාත්මික සංවර්ධනයට මග කියාදෙන ජීවන දර්ශනයක් ලෙස බුදුදහම හඳුන්වාදීම නිවැරදිය.
බුදු දහමින් ඉදිරිපත් කෙරෙන මෙම ජීවන දර්ශනයට ලෞකික වූත් ලෝකෝත්තර වූත් අරමුණු තිබේ. ලෞකික අරමුණ වන්නේ තමන් අන් අයට කරදරයක් නොවී අන් අයගේ ජීවන පහසුවට දායක වෙමින් තමන් සුඛිත මුදිත වීමය. ලෝකෝත්තර අරමුණ වන්නේ ලෞකිකත්වයෙන් ඉක්ම ලෝකෝත්තර විමුක්තිය සාදාගැනීමය. ලෞකික අරමුණ ලෝකෝත්තර අරමුණට සාධක වන ලෙසින් ඉදිරිපත් වී තිබීම බෞද්ධ ජීවන දර්ශනයෙහි විශේෂ ලක්ෂණයයි. ලෞකික අරමුණ පස්කම් සැපතට දැඩි බැඳීමකින් තොරව සුවපත්ව විසීම ඉලක්ක කොට ඇති බැවින් එය විරාගී චරණයකින් අර්ථවත් වන ලෝකෝත්තර විමුක්තියට සාධකයක් වෙයි. එබැවින් ලෞකික අරමුණ සාධනය කර ගැනීමේදී දැඩි ආත්මාර්ථකාමිත්වය උපයෝගී කිරීම ප්‍රතික්ෂේප වෙයි.
පුද්ගලයාගේ ලෞකික සුඛිත මුදිත බව හා ලෝකෝත්තර විමුක්තිය සාදාගැනීම සංවර්ධනාත්මක ක්‍රියාවලියක් ඔස්සේ සිදුවිය යුත්තක් ලෙස බුදුදහම දකී. මෙම ක්‍රියාවලිය පුද්ගලයාගේ භෞතික හා ආධ්‍යාත්මික යන අංශ දෙකම ආවරණය කරගන්නා ලද්දකි. “සුඛිතමුදිත බව” (සුඛිතත්ත) මෙම අංග දෙකේම සංකලනයෙන් සිදුවිය යුතු ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. ආධ්‍යාත්මික සංවර්ධනයේ නිෂ්ඨාව ලෝකෝත්තර විමුක්තිය වන බැවින් භෞතික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනයට හානියක් නොව සාධකයක් ලෙස පවත්වා ගැනීම බුදුදහමින් අවධාරණය කරයි.
රටක සංවර්ධනය හෙවත් දියුණුව යනු හුදෙක් භෞතික සංවර්ධනයක් ලෙස සැලකීම බටහිර ආභාසයෙන් අපට එක් වූ යල්පැන ගිය ආකල්පයකි. පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සමග භෞතික සංවර්ධනය සමගාමී විය යුතුය යන ආකල්පය දැන් ලොවපුරා පැතිරෙමින් පවතියි. එබැවින් සංවර්ධනය යනු භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය යනුවෙන් අර්ථ නිරූපණය කිරීමට විද්වත්හු පෙළඹී සිටිති. අනෙක් අතට පුද්ගලයන් ආධ්‍යාත්මික අංශයෙන් සංවර්ධනය වන විට රටේ භෞතික සංවර්ධනය බොහෝ විට ඉබේම ක්‍රියාත්මක වන්නකි. බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වූ මේ රටේ අතීත ජනතාව රාජ්‍ය සංස්ථාව මත දැඩි යැපීමකින් තොරව රටේ භෞතික සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වූයේ ද ඔවුන් තුළ බුදුදහම සංවර්ධනය සඳහා හඳුන්වා දුන් ජීවන දර්ශනය අර්ථවත් වූ බැවිනි.
දේව වාදී ආගම්, රටක සංවර්ධනයට නොව ජනතාවගේ ආගමික විශ්වාස හා පුදපූජා විධික්‍රම සංවර්ධනය කිරීමට පෙළඹුණු බැවින් රටක සංවර්ධනය වෙනුවෙන් ආගම අමතක කොට දේශපාලන හෝ රාජ්‍ය සංස්ථාවක පිහිට පැතීමට ජනතාව පුරුදු වී සිටිති. මේ නිසාම රටේ භෞතික සංවර්ධනය රාජ්‍ය සංස්ථාව සතු ප්‍රධාන වගකීමක් බවට පත්ව ඇත. මේ තත්ත්වය යටතේ තමන්ගේ දායකත්වයකින් තොරව රටේ භෞතික සංවර්ධනය රාජ්‍යයක් මගින් සිදුවිය යුත්තකි යන ආකල්පයට ජනතාව ඇබ්බැහිවීමට ද පුරුදුව සිටිති. රටේ සංවර්ධනය රාජ්‍යයක වගකීමක් ලෙස සැලකුණු බැවින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමගින් සිදුවන සංවර්ධනය හුදු භෞතික සංවර්ධනයට පමණක් සීමා වී ඇත. පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය අමතක කොට ගොඩනැඟෙන භෞතික සංවර්ධනය හුදෙක් ජනතාව දූෂණයට පෙළඹවීමක්ම වී ඇති ආකාරය මානව සංහතියේ විනාශය උදාකරමින් මේ වන විට ලොවපුරා පැතිරී යන අති දරුණු ක්‍රියාකාරකම් මගින් ප්‍රත්‍යක්ෂ වී ඇත.
රටක භෞතික සංවර්ධනය වූ කලී රටේ රාජ්‍ය තන්ත්‍රය හා මුළුමහත් ජනතාවගේ සාමුහික ක්‍රියාකාරීත්වයෙන් උදාකරගත යුත්තකි යන අදහස දීඝනිකාය කූටදන්ත සූත්‍රය අනාවරණය කරයි. රටේ පරිහානිය වැළැක්වීම සඳහා ජනතාව හා රජය අතර සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව එම සූත්‍රයෙන් යෝජනා කොට තිබේ. මෙහි එන විශේෂත්වය වන්නේ රටේ ආගමික අංශය ද අමතක නොකිරීමයි. සංවිධානාත්මක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අනුශාසන රජු විසින් ලබාගත යුතු බව දක්වා තිබීමෙන් හෙළිවන්නේ සංවර්ධනය, ආගමික හා ආධ්‍යාත්මික මෙහෙයවීමක් මත සිදුවිය යුතු ධාර්මික ක්‍රියාවලියක් විය යුතු බවයි. එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික ක්‍රියාකාරිත්වය මෙන්ම පොදුවේ සාමූහික ක්‍රියාකාරීත්වය ද යථෝක්ත සංවර්ධනය සඳහා උපස්ථම්භක වන ආකාරය වෙනත් සූත්‍ර ධර්මවලින් ද අවධාරණය වී තිබේ. පෞද්ගලික හා ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පෝෂණය වූ පුද්ගල ක්‍රියාකාරීත්වයත් එබඳු වූ සමූහයක පොදු ක්‍රියාකාරීත්වයක් එක්තැන් වූ විට බිහිවන භෞතික සංවර්ධනය මානව සංහතියේම යහපත උදාකරයි.
බෞද්ධ දේශපාලන දර්ශනයේදී රාජ්‍ය තන්ත්‍රයක අවශ්‍යතාව උද්ගත වන්නේ ජනතාවගේ පොදු ක්‍රියාකාරීත්වයන්ට නියාමකත්වය දීමටය. සංවිධානය කිරීමේ වගකීම රජයට පැවරෙයි. එහිදී රජු හෝ පාලකයා මෙහෙයවනු ලබන බලවේගය වන්නේ යුක්ති ධර්මයයි. යුක්ති ධර්මයෙන් මෙහෙයවන පාලකයාගේ ක්‍රියාකාරිත්වය මුළු මහත් ජනතාවගේ ඒකමතික පිළිගැනීමට බඳුන් වෙයි. මේ නිසා ජනතාව පෞද්ගලිකව තම තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකිරීමෙන් සිදුකරන දායකත්වය මගින් සමාජය තුළ ධාර්මික වූ සුඛිතමුදිත බවක් උදාවෙයි.

