නාථ කරණ ධර්ම පිරුවැරූ නන්දරතන නාහිමිපාණෝ

cmadurawala
7 Min Read

ශ්‍රීනාත් ද සිල්වා

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවානාරාමයේ වැඩ සිටිය දවසක භික්‍ෂු සංඝයා අමතා දේශනා කළ නාථ කරණ සූත්‍ර දේශනා දෙකක් අංගුත්තර නිකායේ දසවන නිපාතයේ එකොළොස්වන නාථ කරණ වර්ගයට ඇතුළත්ව තිබේ.

“සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති.

දස ඉමෙ භික්ඛවෙ නාථ කරණා ධම්මා” කතමෙ දස ?

“ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති බහුස්සුතොහොති.

කල්‍යාණ මිත්තොහොති,

සුවචො හොති,

යානි තානි බ්‍රහ්මචාරීනං උච්චාවචාති,

කිං කරණීයානි තත්ථ දක්කොහොති,

අනලසො ධම්මකාමො හොති,

අකුසලානං ධම්මානං පහානාය,

කුසලානං ධම්මානං උපසම්පදාය,

සන්තුට්ඨො හොති ඉතිරීතරෙන පරික්ඛාරානං

සතීමා හොති පඤ්ඤවා හොතී’ ති” යනුවෙන් ඉහත ධර්ම කරුණු නාථකරණ සූත්‍රයේ දක්වා ඇත.

එහි සිංහල තේරුම මෙසේ වෙයි.

“මහණෙනි,

නුඹලා සනාථව (පිහිටක් ඇතිව) වාසය කරව. අනාථ නොවන්න’ මහණෙනි,

“නාථකරණ ධර්ම දහයක් තිබෙනවා. ඒවා කවරේද? ”

  1. මේ ශාසනයෙහි භික්‍ෂුව සිල්වත් වෙයි.
  2. බහුශ්‍රැත (උගත්) වෙයි.
  3. කලණ මිතුරන් ඇත්තෙක් වෙයි.
  4. තමාට වඩා වැඩිහිටි භික්‍ෂූන්ගේ අවශ්‍යතා කවරේදැයි විමසමින් ඒවා ලබාදෙයි.
  5. සුවච වෙයි,
  6. පෙළ දහමට කැමතිව ඒවා අනුන්ට දේශනා කරයි.,
  7. අකුශලා දහම් නොකිරීමටත් කුශල දහම් කිරීමටත් උත්සාහ දරයි.
  8. තමාට ලැබෙන සිව්පසයෙන් සතුටු වෙයි.,
  9. සිහියෙන් යුතුව උතුම් ස්මෘතියෙන් යුක්ත වෙයි.,
  10. ප්‍රඥාවෙන් යුක්තව ආර්ය භාවයට හා කෙලෙස් දුරලීමට හේතුවන උදයාස්තංගම ප්‍රඥාවෙන් යුක්තවෙයි.,

එසේ පළමු සූත්‍රයෙන් නාථ කරණ කාරණා දහය වදාළ බුදුරජාණන් වහන්සේ

දෙවන සූත්‍රයෙන් වදාළේ :- එම ගුණ දහය : කිසියම් භික්‍ෂුවක් තුළ තියෙන – දකින ථෙර, මධ්‍යම, නවක ආදී භික්‍ෂූන් එම ගුණ දහය අගය කිරීම් වශයෙන් එම භික්‍ෂූන්ට ප්‍රශංසා කෙරේ නම්, භික්‍ෂුවගේ එම ගුණ තව තවත් දියුණු කර ගැනීමට උපකාර වන බව පෙන්වා දීමටයි.

පළමු නාථ කරණ ධර්මය.

භික්‍ෂුවකගේ භික්‍ෂු ජීවිතය සනාථ කරණ ධර්ම දහයෙන් පළමු වැන්න විස්තර කරමින් ශාන්ති නායක බුදුරාජාණන් වහන්සේ වදාළේ,

මහණෙනි,

“සිල්වත් මහණ තෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවර විය යුතුය. ඒවා මවක් තම එකම දරුවා රකින්නා මෙන්ද, එක ඇසක් ඇත්තා ඒ ඇස රකින්නා මෙන්ද ශීලය අඛණ්ඩව රැකගත යුතුයි.”

“බුදුරජාණන් වහන්සේටත්, රහතුන් වහන්සේලාටවත්, තවත් වෙන කෙනෙක් රකින්නට බැහැ. බෞද්ධ ප්‍රතිපදාව දේශනා කිරීම පමණයි කළ හැක්කේ”

එම අනුශාසනාව පිළිපැද තමාගේ විමුක්තිය (සනාථ බව) අත්කර ගත යුත්තේ තමාම යි.

සිල් ආරක්‍ෂා කරන භික්‍ෂුව ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය රකින අතර (ආචාර) වත් පිළිවෙත් කිරීමෙන් හා (ගෝචර) මනා හැසිරීමෙන් යුක්ත වෙයි.

ඉතා සුළු වරදක් පවා කිරීමට බියව ශික්‍ෂාපද සමාදන්ව ඒවා මනාව පිළිපදිමින් රැක ගත යුතු වෙයි. “මෙසේ ශීලය රැක ගන්නා අනාථ නොවේ. සනාථ වේ. එනම් තමා තමාට පිහිටවූවෙක් වේ.”

මෙම පළමු නාථ කරණ ධර්ම කරුණු සම්බන්ධයෙන් බලපිටියේ නන්දරතන මහ ථෙරවරයන් වහන්සේ සතතයෙන්ම ඊට අදාළ අනුගත බැවින් යුතුවු බව උන්වහන්සේ ඇසුරු කළ සියල්ලෝම දනිත්. ඒ කරුණෙන් උන්වහන්සේගේ පළමු සනාථ කරණ ධර්මයට උචිත වෙයි. සාධාරණවෙයි. ඒ කරුණු පිරිවරා සිටියි.

බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් “එබඳු වූ මේ භික්‍ෂුව මෙලොවින් මෙන්ම පරලොවින්ද තමා ආරක්‍ෂා (සනාථ) කර ගත්තෙක් ද වේ.” මේ පළමු නාථ කරණ ධර්මයයි.

දෙවන නාථ කරණ ධර්මය

දෙවන නාථ කරණ ධර්මය නම් (බහුශ්‍රැත) භික්‍ෂුව පිරූ (අසා හෝ කියවා හෝ සිතා මතා හෝ උගත් දෑ) දරාගත යුත්තේය. දහම පිළිබඳ මුල මැද අග යහපත් බව එහි අර්ථ මැනවින් දැක, එහි ව්‍යඤ්ජනාක්‍ෂර මැනවින් දැන, අක්‍ෂර උච්චාරණය මැනවින් දැන ඒ අනුව හාත්පසින්ම පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචරියාව දේශනාකරන්නට සමත් විය යුත්තේය.

එබඳු භික්‍ෂුවකගේ දේශනාව බහුශ්‍රැත වෙයි. ඇසූ ධර්ම දරාගත්තෙක් (හිතේ තබා ගත්තෙක්) වෙයි. ඔහු ධර්මය පුරුදු පුහුණු කළ භික්‍ෂුවක් වෙයි. සිතින් නොව ධර්මය පරීක්‍ෂා කළ අයෙක් වෙයි. නුවණින් දැකීමෙන් මනාව වටහා ගත්තෙක් වෙයි. මෙබඳු ගුණයන්ගෙන් සමන්විත භික්‍ෂුව සම්‍යක්දෘෂ්ටිකයෙක් වෙයි.

භික්‍ෂු නන්දරතන හිමිපාණන් වහන්සේ ඉහත කාරණා සම්බන්ධයෙන් සපුරා සාධාරණ වෙයි. පොතපත කියවා රැස්කර ගත් කරුණු තෙමේම ධර්මදේශනා (ගුවන් විදුලි) වලට සවන්දී දරාගත් දැනුම, ඇසුරු කරන්නන්ට, දායක දායිකාවන්ට, නිරන්තරයෙන් දේශනා කරයි. ඊට අමතරව ධර්ම ශාස්ත්‍රී පොතපත කියවීම් සඳහා යොමු කරයි. පොතපත ලබා දෙයි. කියවීමට පහසුකම් (භෞතික) ලබා දෙයි. ඒ අතින් බලන කල උන්වහන්සේ දෙවන ධර්ම කරුණ සම්බන්ධයෙන්ද උචිත වෙයි. සාධාරණ වෙයි. ඒ කරුණු පිරිවරා සිටියි.

තෙවන නාථකරණ ධර්මය

එනම් කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. තමා ඇසුරු කරන්නා ශිලාදී ගුණවලින් යුක්ත විය යුතුය. ඇසුරු කරන්නා පවින් වළකා කුශල ධර්මයන්හි අර්ථය, අනර්ථය කියාදී අනර්ථයෙන් වළකා අර්ථයෙහි (නිවැරදි දෙයෙහි) යොදවන කල්‍යාණ මිත්‍රයෙක් විය යුතුය.

කාට වුවත් එබදු මිතුරන් සහ යකයන් විය යුතුය.

සිතින් මෙන්ම කයිනුත් තමන්ට අවනත මිතුරන් ඉන්න ඕනෑ.

මෙබඳු කල්‍යාණ මිත්‍රයන් සිටින භික්‍ෂුව සනාථයෙකු වන බව බුදුන් වහන්සේ වදාළහ.

පොදුවේ කා අතරත් ව්‍යවහාර වන, අමතන “නන්ද” (හැම දෙනා නඳන කරන) ස්වාමින් වහන්සේගේ සකලාකාරයෙන්ම සකල අර්ථයෙන්ම කලණ මිතුරන් පිරිවරා සිටියි. උන්වහන්සේ වටා සිටි සෑම තරාතිරමකම ගිහි පැවිදි සැමට අත්‍යන්තයෙන්ම කල්‍යාණ මිත්‍ර කෙනෙකුන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ කේන්ද්‍රකරගත් විසල් අපිස්කේන්ද්‍රීය චක්‍රය තුළ ඒ සැම සනාථ වූවෝය. ඒ නයින් හාත්පසින්ම සලකා බැලූ කල්හි නන්ද ස්වාමින් වහන්සේ තෙවන නාථකරණ ධර්මය සඳහා උචිත වෙයි. සාධාරණ වෙයි. ඒ කරුණු පිරිවරා සිටියි.

සිව්වන නාථ කරණ ධර්මය

එනම්, සුවච (කීකරු) බව යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

“යමෙක් දෙන ලද අවවාද ඉවසන සුළු, ප්‍රදක්‍ෂිණාවෙන් (ගෞරවයෙන් වැඳ සිට) ඒවා පිළිගන්නා සුළු සුවච භාවයෙන් යුක්ත වන්නේ නම් ඔහු සනාථ වේ. අනාථ නොවේ. අපේ නන්ද ස්වාමිපාදයන් වහන්සේ, කුඩා කල සිටම සුවච වෙයි. තරුණවයසේද සුවචය. මැදි වයසේද සුවචය. අසූවස් දිවි විචාරමින් සිටියදීත් සුවච බව පළකරන ආකාරය උන්වහන්සේ කල්‍යාණ මිත්‍ර තනතුරේ තබාගෙන දිවි සරු කර ගත් උවසු -උවැසි, පැවිදි – ගිහි, උගත් – නූගත්, කොයි කවුරුත් කාය සාක්‍ෂි පෙර දැරිව දනිත්. ඒ පරිද්දෙනුත් සලකා බලන කල්හි උන්වහන්සේ සිව්වන නාථ කරණ ධර්මයට සපුරා උචිත වෙයි. සාධාරණ වෙයි. ඒ කරුණ පිරිවරා සිටියි.

පස්වන නාථකරණ ධර්මය

එනම්, ඔබවහන්සේට මාගෙන් යමක් කරගන්න තිබේ නම්, කියන්නැයි කියා අස අසා එය කරදීම,

වැඩිහිටි භික්‍ෂූන් සමීපයට ගොස් කළයුතු කුදුමහත් යමක් තිබේ නම් කියන්නැයි කියා අස අසා විචාරා එය කරදීම.

එනම්, “සිවුරු මැසීම්, රදන් කිරීම්, සුනු පිරියම් කිරීම්, දාගැබ්, බෝමළු, බෝධිඝර, ආදිය පිරිසිදු කිරීම ආදියෙහි දක්‍ෂනම්,

එසේම සබ්‍රම්සරුන් වහන්සේගේ උසස් පහත් උපකාර කටයුතු කරන්නේ නම්, එබඳු කටයුතුවල දක්‍ෂව, කම්මැලි නැතිව, ඒ පිළිබඳව විමසමින් ඒවා කිරීමට ඒවා සංවිධාන කිරීමට සමත්වීම පස්වන නාථ කරණ ධර්මයයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *