මේ ලෝකයේ සිතන දේ කවදාවත් වෙන්නේ නැත. වෙනදේ හිතාගන්නට නොහැකිය. ජීවිතයට අරමුණක් තිබිය යුතුය. ජීවත්වීමේ තේරුම කුමක් දැයි වටහා ගත යුතුය. ජීවත්වෙන්නම් වාළේ ජීවත්වීමෙන් පුද්ගලයාට කවර ප්‍රයෝජනයක් අත්වන්නේද? අනුන්ගේ දොස් දකිමින් තමන්ගේ දොස නොදකිමින් ජීවත් වන පුද්ගලයෝ අනුන්ට හිංසා පීඩා කරති. පරපීඩා කාමය නම් මානසික රෝග ව්‍යාධීන්ගෙන් ජන සමාජයට සිදුවන හානිය අතිශය බරපතළය. බොරු මිථ්‍යා ප්‍රචාරය කරති. පුද්ගල චරිත, පාසල්, විශ්වවිද්‍යාල, ආයතන විනාශ කරති. එම පුද්ගලයෝ කර්මය කම්ඵලය, පව, පින, හොඳ නරක හඳුනන්නේ නැත. සෙය්‍ය සදිස, හීන, නම් සංකල්ප තුනක් බුදුදහමේ සඳහන්ය. තමා උසස් යැයි ගැනීම සෙය්‍ය වෙයි. සදිස යනු තමා සමාන යැයි සිතීමයි. තමා පහත් යැයි සිතීම වූකලී හීන නමින් හැඳින්වේ. අත්තුක්කන්සන පරවම්භන යන සංකල්ප දෙකින්ද මෙබඳු අදහසක් පළ වේ. තමන් උසස් කොට සලකා අනෙක් තැනැත්තා, පහත් යැයි පරිභවයට ලක් කෙරේ. මානව විද්‍යාව විෂය උගන්නා විට මානව කේන්ද්‍රණ වාදය නම් සංකල්පයක් පවතී. තම ජාතිය ආගම, භාෂාව කුලය උසස් අනෙක් තැනැත්තා පහත් යැයි සැලකීම ඉන් අදහස් කෙරේ. සෑම සමාජයකටම සංස්කෘතියක් පවතී. එකක් උසස් අනෙක පහත් යැයි සිතීම වැරදිය. සංස්කෘතික සාපේක්ෂතාවාදය නමින් එය හඳුන්වනු ලැබේ.
කුදුමහත් කටයුත්තහි කුසලතාව දියුණු කර ගැනීම සූරකමයි. වීර යන ජීවිතයේ ගැටලු අභියෝගයන්ට නිර්භීතව මුහුණදීමයි. අලසකමින් නිදිබරවීමෙන් පුද්ගලයා මෙන්ම රට ජාතිය ආගම ද සමාජය ද පිරිහෙයි. ධීර නමැති ප්‍රඥාසම්පන්න භාවය අවදි කළ යුතුයි. ධාර්මික විය යුතුයි. ආචාර ධර්ම රැකීම, සදාචාරවත්වීම, ධර්මවාදී වීම, යුක්ති සහගත, නීතිගරුක, විනයගරුක, සාධාරණ පින් කුසල් වඩන පුද්ගලයා දෙලොවම දිනති. අපට ජන සමාජයේ බොහෝ විට හමුවන්නේ වංචනික සටකපට පුද්ගලයෝ වෙති. පොලිස් නිලධරයන් පාරවල් පාරවල් ගානේ මුරකරන සමාජයක් බවට අපි පත්වී සිටිමු. විනය නීති බිඳවැටී ඇති බව ඉන් මනාව පැහැදිලි වෙයි. මොන තරම් ආහාර, ඉන්ධන, ජලය, වචන, සිතිවිලි, ක්‍රියාවන් අපි නාස්ති කරන්නමෝ වෙමුද? මේ මොහොතේ සිහිකල්පනාවෙන් ජීවත්වීම අත්‍යවශ්‍යය. අවුල් වියවුල් නොවී සිටින පුද්ගලයා ගුණ නුවණින් යුක්ත වෙයි. අප සැම දෙනටම බුදුමග ආලෝකය පිහිට වෙයි.

