කලෙහේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ

rashi
By rashi
8 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

මැටරඹ ගමේ උපන් සෙනරත් දක්ෂ දරුවෙකි. ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ ඉගෙනුමට යන අතර සවස් කාලය වෙන්කොට තිබුණේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් හෙළ, පෙළ, සකු, තකු යන ඉගෙනීමටය. මැටරඹ ඇතුළු ගම් රැසකට පිහිටි මහා විහාරය, දේවානම්පියතිස්ස රජ දවස ඇරැඹි විහාරයක් වූ එසේම කැටගොඩ සඟ පරපුරේ මූලස්ථානය වන යටගල රජමහා විහාරයයි. මැටරඹ සිට වෙල මැදින් නියර දිගේ යටගල පන්සලට එන සෙනරත්, පෙර දා පාඩම් කළ කවි, ගාථා, ශ්ලෝක කටපාඩමින් කියමින් එනවා මිස පාර ගැන කල්පනාවක් නැත. මෙසේ එන ගමනක දී දවසක් ඇළේ වැටුණි. තෙත ඇඳුමින් ආ සෙනරත් දුටු ලොකු හාමුදුරුවෝ සිදුවූ දෙය හඳුනා ගත්හ. එදා සිට හේ පමා වුවහොත්,

“බලාපල්ලා සෙනරත් අදත් ඇළේ වැටිලා ද කියලා”

යැයි ඇබිත්තයන්ට පැවසීම සුලභ සිදුවීමක් විය. ඒ සෙනරත් අන් කිසිවකුත් නොව පසු කලෙක මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හොබවා ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය ද ශෝභාවත් කළ මහැදුරු සෙනරත් පරණවිතාන සූරීහු වෙති. එතුමන්ට අකුරු කළ මහා පඬිරුවන වනගතව පැවැති සිතුල්පව්ව පුදබිම සොයා ගනිමින් ඊට පුනර්ජීවය සැලසූ කවිකුලතිලක කලෙහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන ගාලු කෝරළේ උපප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ වෙති.

ත්‍රිසිංහලයේ වීරෝදාර යුගපුරුෂයන්ගේ නිජබිම වූ දක්ෂිණ ලංකාවේ ගාලු කෝරළේ තල්පේ පත්තුවේ කලෙහේ ග්‍රාමයේ විසූ රජරට පළාතේ පාඬික්කුලමේ කෝරාළ පරපුරට අයත්, ගම්වාසීන් විසින් ගෙදරවත්තේ ලොකු මහත්තයා ලෙස හැඳින්වූ දොන් ලුවිස් ද සිල්වා මැතිතුමාගේ සහ එම මැතිනියගේ දෙවන පුත්‍රයා වශයෙන් වර්ෂ 1861 නොවැම්බර් මස හත්වැනි දින උපත ලද නාහිමිපාණන් වහන්සේට නිකුලස් සහ ඇලෙක්සැන්ඩර් නමින් සහෝදරයන් දෙදෙනකු විය.

සන්සුන් ඉඳුරන් ඇති මේ කුමරුවන්ගේ පුරාකෘත ධන්‍ය පුණ්‍ය සම්පත්‍යය හේතුවෙන් ගමේ පන්සල වූ යටගල රජමහා විහාරස්ථානයේ ආධිපත්‍යය හෙබවූ තල්පේ සෝනුත්තර මාහිමිපාණන් වහන්සේ වෙත පමුණුවා කලෙහේ ගුණරතන නමින් සසුන්ගත කරවීය. ආචාර්යයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් හදාරා මාතර වටගෙදර පුරාණ විහාරාධිපති කනංකේ අත්ථදස්සි මාහිමිපාණන් වෙතින් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

ප්‍රාචාර්යෝත්තම හල්ඔලුවේ දේවමිත්ත හිමියන්ගේ යුගයේ දී 1855 දී පමණ උණවටුණ මුදියන්සේ වත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වස් සමාදන්ව සිටි බැවින්, ඇතිවූ සබඳතාවය නිසාවෙන් දෝ උසස් අධ්‍යාපනය පිණිස ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ ලක්දිව සුපතළ මහා විද්‍යාස්ථානය වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරුවනට ඇතුළත්ව දීප්තිමත් සිසුවකු ලෙසින් දක්ෂතා දක්වා 1888 වර්ෂයේ එලු, පෙළ, සකු යන භාෂාත්‍රය පිළිබඳ විශේෂ ත්‍යාගලාභීව අධ්‍යාපන කටයුතු සිදු කළහ.

උපසම්පදාව ලැබීම පිණිස යෝග්‍ය වූ වයස් සපුරා තිබූ බැවින් 1889 වර්ෂයේ දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති හිප්පොල ශ්‍රී ධර්මරක්ෂිත සෝභිතාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී කාරක මහා සංඝ සභාව වෙත භික්ඛුපාතිමොක්ඛගන්ඨිදීපනී නම් විනය ග්‍රන්ථයක් සංස්කරණය කොට ඉදිරිපත් කරවා සංඝ සභාවේ ප්‍රසාදයට පත්ව අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

1890 වර්ෂයේ ඉගෙනීම නිමවා ගම-රට බලා වැඩම කොට ඊළඟ වසරෙහි එනම් 1891 දී ස්වකීය විහාරස්ථානයෙහි හෙට්ඨාචල පිරුවන ආරම්භ කළහ. විහාරස්ථානයේ හා පිරුවනේ අභිවෘද්ධිය පිණිස කැප වෙමින් 1899 වර්ෂයේ දී දෙමහල් පුස්තකාලයක් ඉදිකරවා අනුක්‍රමයෙන් පෞරාණික වෙහෙර වහන්සේ, ලෙන් විහාරය, වෙහෙර මළුව, ශිලාපොකුණ ආදිය පිළිසකර කිරීම් ආරම්භ කළහ. යටගල රජමහා විහාරයේ ශෛලමය පොහොය සීමාව මේ අතර සුවිශේෂී නිර්මාණයකි. මේ අතර, එනම් 1904 වර්ෂයේ ඇමරිකාවේ මහා ප්‍රදර්ශනයකින් පදක්කමක් හිමිවීම තත්කාලීන සමාජයේ කතාබහට ලක්වූ සිදුවීමක් විය.

ගාලු කෝරළයේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අපහසුව හඳුනාගත් නාහිමිපාණන් වහන්සේ, 1914 දී යටගල මැල්කම් බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, ස්වකීය ආචාර්යයන් වහන්සේ වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හා විදුබිම වූ විද්‍යොදය පිරිවෙන සිහි කරමින් 1916 දී කලෙහේ ශ්‍රී සුමංගලෝදය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, 1918 දී මීපේ අමතායන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, 1925 දී පිලානේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, 1929 දී සල්ගමු විහාරේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, 1933 දී දොරපේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන පාඨශාලා, බෞද්ධ පරිසරයක් තුළ ස්ථාපනය කරන ලද්දේ මතු නොව කාර්මික අධ්‍යාපනය දියුණු කිරීම පිණිස 1917 වර්ෂයේ යටගල කාර්මික විද්‍යාලය ආරම්භ කරවූහ. මහා පිරිවෙනක්, පාසල් හයක් සහ කාර්මික විද්‍යාලයක් තනවමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලැබූහ.

කලෙහේ නාහිමියන් (සිටගෙන), හික්කඩුවේ සුමංගල නාහිමි (වම්පස) හා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමි (දකුණේ) සමග

වර්ෂ 1915 දී ලංකාවේ ජනවාර්ගික ගැටුම් අවස්ථාවෙහි ඉංග්‍රීසි ආණ්ඩුව මගින් යුද්ධ නීති පනවා තිබූ අවස්ථාවෙහි කලෙහේ නාහිමියන් මුල් වී විහාරස්ථානවල හේවිසි වාදනයට හා රැස්වීම් පැවැත්වීමට විශේෂ අවසරයක් ලබා ගත්හ. එසේම 1918 වර්ෂයේ මහා දුර්භික්ෂය අවස්ථාවේ පළාතේ පාසල්වල ඉගෙනුම ලද සිසුන් 500 දෙනකුට පමණ සය මසක් ආහාර සපයන ලද්දේ කලෙහේ නාහිමියන් විසිනි. සංඝ සාමග්‍රිය අපේක්ෂා කරමින් නාහිමිපාණන් වහන්සේ 1923 වර්ෂයේ දක්ෂිණ ලංකාවේ ශාසනාරක්ෂක මහා භික්ෂු සංගමය ආරම්භ කළහ.

කලෙහේ නාහිමියන්ගේ මෙහෙවරාවලියෙහි අගතරලමිණ වනගතව පැවැති සිතුල්පව්ව රජමහා විහාරයට පුනර්ජීවය සැලසීමයි. රෝහණ රාජ්‍යයේ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වූ, දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩ සිටි සිතුල්පව්ව රජමහා විහාරය යාල වන මැද සැඟවී තිබූ අවධියේ එම විහාරය 1918 දී හඳුනාගෙන 1927 වර්ෂයේ ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාගේ අවසරය ලබමින් පුනර්ජීවන කටයුතු ආරම්භ කළහ. සිතුල්පව්වට යන මඟ පිහිටි ඓතිහාසික මඟුල් මහා විහාරය ද හඳුනාගෙන සිතුල්පව්ව මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභාව පිහිටුවා නූතන නවෝදය ආරම්භ කළහ. යටගල දායක පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් තිස්සමහාරාම යෝධකණ්ඩියේ සිට සැතපුම් 18 ක මාර්ගය වාහන යා හැකි පරිදි පිළියෙළ කරවූහ. මහත් දුෂ්කරතා විඳිමින් වන සතුන්ගේ කිසිදු උවදුරකට පත් නොවෙමින් සිතුල්පව්ව යළි ගොඩනැංවූ අන්දම විස්මයජනක ය.

ප්‍රදේශයේ පෞරාණික පුදබිමක් වූ උණවටුන වැල්ලේ දේවාල විහාරස්ථානයත්, ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා ආරම්භ කළ තල්පේ හැඩිදෙමළකන්දේ සේලුත්තරාරාමය හා යද්දෙහිමුල්ලේ අමරසිංහාරාමයත් පවත්වාගෙන යමින් 1929 දී උණවටුන බෝධිරාජ විහාරය ආරම්භ කළහ.

මෙලෙසින් ලෝක ශාසනික මෙහෙවරෙහි නිරත වන අතර මලිදූවේ ශ්‍රී විමලබුද්ධි සෝමරතන හිමි, ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන හිමි, වත්තේහේනේ ශ්‍රී රතනසාර හිමි, රඹුක්වැල්ලේ සුමන හිමි, ඉලුක්පිටියේ සරණපාල හිමි, බංගම ඉන්දරතන හිමි යන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා පැවිදිබිමට පත් කළහ. මීට අතිරේකව විද්‍යොදය පරිවේණාධිපති බද්දේගම පියරතන නාහිමිපාණන් වහන්සේ, කලෙහේ නාහිමියන්ගේ සමානාචාර්යයත්වයෙන් පැවිදි වූ හිමි නමකි.

හික්කඩුවේ නාහිමියන්ගේ ධර්මාන්තේවාසික හිමිනමක වූ කලෙහේ නාහිමිපාණන් වහන්සේ එවක මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායකව වැඩ සිටි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහත් හිතපක්ෂපාතීත්වයෙන්, මහ නාහිමියන්ගේ චිත්තප්‍රසාදය ලබමින් වැඩ සිටි බව පෙනේ. 1910 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවියක් සහ තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලද්දේ එබැවින් විය යුතුය. තිබ්බටුවාවේ මහ නාහිමියන්ගේ අනූවන ජන්ම සංවත්සරය වෙනුවෙන් 1911 වර්ෂයේ දී මහ නාහිමියන්ගේ චරිතාපදානය, ලක්දිව ශාසන ඉතිහාසය ද කැටි කොට දක්වමින් පැදියෙන් සිරි සිදුහත් සුමඟුල්වත නමින් සංගෘහිත කිරීම වෙනුවෙන් ප්‍රාමෝද්‍යයට පත් මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව මගින් කවිකුලතිලක යන ගෞරව නාමය සහිතව ගාලු කෝරළේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි.

සැත්තෑ පස් වසරක පමණ කාලයක් ආයු වින්දනය කළ කවිකුලතිලක කලෙහේ ශ්‍රී රතනජෝති ගුණරතන නාහිමිපාණන් වහන්සේ 1936 දෙසැම්බර් මස 15 වැනි දින සන්ධ්‍යාවේ අපවත් වී වදාළහ. එම අපවත්වීම එවක මාධ්‍ය වාර්තා කළේ,

“අහෝ ඛේදයකි. දකුණු ලක සසුනඹර සුදිලි සුපුන් සඳමඬල අදිස් විය. යටගල රජමහා වෙහෙර හෙළි කළ මහ පහන්ටැඹ ඉදිරී වැටින” යනුවෙනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *