අනිත්‍ය, දුක්ඛ, අනත්ත – පරම විද්‍යාව නොහොත් ”Theory of everything”

cmadurawala
8 Min Read

කපිල පීරිස්

සියලු සත්වයා සෑම විටම උත්සාහ ගන්නේ තම සිත් සතන් සතුටින් – සෝමනස්සයෙන් තබා ගැනීමටය. කෙසේ හෝ දෝමනස්සයන් පලවාහරිමින් සෝමනස්සය දිගින් දිගටම පවත්වා ගැනීමටය උත්සාහය. එහෙත් මේ සෝමනස්ස – දෝමනස්ස චක්‍රයම, එනම් මේ චක්‍රය සෝමනස්සය තුළ නවතා ගැනීමට දරන උත්සාහයම දුක බවත්, සැබෑ ලෙස දුකින් මිදීම යනු මේ චක්‍රයෙන් මිදීම බවත්, එසේ මිදුණු තැනැත්තා මේ සසරේ නූපදින බවත්, අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ සේක. මේ චක්‍රය (පටිච්ච සමූප්පාදය) යන්න හේතුඵල දහමකි. එය බිඳිය හැකි හේතුඵල දහමකි. මේ හේතුඵල දහමේ න්‍යාය වන්නේ ඉධප්පච්චේකතාවයයි. එනම් යමක් ඇති විට අනෙක් දේ ඇති බවත්, එය නැති විට අනෙක් දේ නැති බවත්, ඒ දේ උපදින විට අනෙක් දේ උපදින බවත්, ඒ දේ නූපදින විට අනෙක් දේ නූපදින බවත්ය. මෙහි දෙවැනි අංග දෙකෙන් හේතු සහ ඵල යන්න හඳුනාගත හැකිය. අවිද්‍යාව ඇති විට සංස්කාර ඇත, එසේම අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. අවිද්‍යාව නූපදින විට සංස්කාර නූපදී. මේ අනුව අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර දුරුවන බව පැහැදිලිය. මේ ධර්මතා එකිනෙක ඉතා සූක්ෂම ලෙස බැඳී තිබුණ ද මෙහි යම් හේතුඵල සබැඳියාවක්ද ඇත.

සසර ඇති එකම හේතුඵල දහම මෙයයි. සියලු සත්වයාගේ සැබෑ – මූලිකම ගැටලුව ලිහා දක්වන හේතුඵල විග්‍රාය මෙයයි. බොහෝ විෂයන් වල (උදා- විද්‍යාවේ) හේතුඵලයන් ගැන සඳහන් වූවද ඒ සියල්ලකින්ම දැක්වෙන්නේ එදිනෙදා ලෞකික කටයුතුවලට යම් ආකාරයකට දායක වන සොබා දහමේ පවතින රටාය. මේ සියල්ල පටිච්ච සමුප්පාදය හමුවේ කදෝ පැණියන් බඳුය. මේ සියලු ලෞකික හේතුඵල රටා පෙළ ගස්වා ගත යුත්තේ පටිච්ච සමුප්පාදය තුළය. එසේ නොමැති රටාවල අර්ථයක් නැත. මෙහිදී අර්ථය යනු දුකින් මිදීම යන්නය. පරමාර්ථය යනු නිවනය. අපට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අර්ථවත්භාවයක් ගැන සඳහන් කළ හැක්කේ එහි අතිශය වක්‍රව හෝ දුකින් මිදීමට සබැදියාවක් ඇත්නම්ය.

පටිච්ච සමුප්පාදයෙන් දැක්වෙන්නේ අපේ සිත්සතන් වල සෝමනස්සය / නන්දිය උදෙසා විවිධ දිට්ඨි – සංකාර ඇති වන අයුරු, එය ඇසුරු කරගෙන විවිධ අරමුණු ඇති වන අයුරු, ඒ අරමුණු මේ දිට්ඨි සංකාරවල ගැටීම (ස්පර්ශය තුළ / සෝමනස්ස / දෝමනස්ස ඇති වන අයුරු, මේ සියලු – සෝමනස්ස – දෝමනස්ස වේදනා රාගයෙන් ද්වේෂයෙන් පිළිගන්නා අයුරු (එනම් තණ්හාවෙන්) මේ පිළිගැනීම තුළ නව සංකාර ඇති කර ගන්නා අයුරු (ඒ සමගම පෙරලා වේදනා විඳිමින් එනම් අභිධර්මයේ දැක්වෙන ජවන සිත්වල ඇති වන වේදනා) එනම් උපාදානය ඇතිවන අයුරුය. උත්පත්ති – කර්ම භව සංකාර ඇති වන්නේ ඒ අනුවය. මෙයයි අපගේ දුක් චක්‍රය මේ චක්‍රයේදී අප සෝමනස්සය – නන්දිය උදෙසා සකසා ගන්නා සංස්කාර සියල්ල අනිත්‍යය. ඒ ඔස්සේ ඇති වන අරමුණු ද අනිත්‍යය. අප කොතෙක් උත්සාහ ගත්තාද මේ සංකාර – අරමුණු ක්‍රියාවලිය දිගටම අපේ සෝමනස්සය ලැබෙන පරිදි පවත්වා ගත නොහැක. සෝමනස්ස – නන්දිය උදෙසා අප යමක් සංස්කරණය (අභි සංස්කරණය) කළ විගසම සියල්ල අවුල් වී යයි. මේ සංස්කරණයන් සමගම එහි අනිත්‍යය ප්‍රකට වන අතර ඒ සමග අනිත්‍යය වූ අරමුණු ගොන්නක් හට ගැනීම ඇරඹේ. මේ අනිත්‍ය වූ අරමුණු සහ සංස්කාරවල ගැටුමය අප විඳිනා දුක් පොරය. සංස්කාරවලින් මිදුනු සිතේ මේ ගැටුම නැත ඒ සිත කිසිවකට උපාදාන වී නැත. එනම් තම සතුට – සොම්නස – නන්දිය වෙනුවෙන් මේ මේ දේ මේ මේ ආකාරයට ඉටුවිය යුතුය කියා කිසිදු සකස් කෙරුමක්, නියමයක්, අභිලාෂයක්, පූර්ව නිගමනයක් ආදී කිසිවක් ඒ සිතේ නැත. සිදු වන දේ අනුව ක්‍රියා කිරීම පමණි එහිදී සිදු වන්නේ (කිරිය සිත) සොබා දහමේ (තම සිරුර ද ඇතුළු) ක්‍රියා සිදු විය යුතු (තම අභිලාෂය අනුව) ආකාරයන් මෙහි නැත කෙටියෙන් සඳහන් කළහොත් සොබාදහම තම සතුට නන්දිය වෙනුවෙන් සංස්කරණය වීමක් නැත. සොබා දහමේ රටා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් වැලකීමක් නොව මින් අදහස් වන්නේ, මින් අදහස් වන්නේ ඒ සියලු රටා දැනුම් භාවිත වන්නේ අනුපාදානීයවය යන්නය. එනම් ඒ රටා දැනුම් ක්‍රියාවලි කිසිවක් තම සතුට – සොම්නස (ඒ නිසාම දොම්නසට) සමඟ නොබැඳී ඇති බවය. මේ බාහිර සොම්නස්- දොම්නස් චක්‍රයෙන් මිදුණ කෙනාට ඇත්තේ ආධ්‍යාත්මික නිවීමකි. ඔහුට අනුපාදානියව ඉතා හොඳින් බාහිරයේ ක්‍රියාත්මක විය හැක. (සතර බ්‍රහ්ම විහරණයෙන්)

මේ සංස්කාර – අරමුණු චක්‍රයෙන් මිදීම ඉවහල් කරගත හැකි හොඳම ක්‍රමයක් වන්නේ චක්‍රයේ ඇති අනිත්‍යය යන්න මෙනෙහි කිරීමය. මේ අනිත්‍ය යනු සාමාන්‍ය වෙනස්වීම යන්න නොවේ. අප දන්නා බාහිර සොබාදහමේ වෙනස්වීම්වල යම් යම් රටා ඇත. එහෙත් චිත්තාභ්‍යන්තර මේ සංස්කාර අරමුණු චක්‍රයේ අනිත්‍යට රටාවක් නැත. අප කවර ආකාරයකට නැවත නැවත සිතමින් සංස්කරණය කිරීමට කවර ආකාරයේ උත්සාහයන් ගත්තද මේ සෝමනස්ස දෝමනස්ස චක්‍රය අවසානයේ ඇති කරන්නෙ දුකය. කිසිදු ප්‍රවාදයකින් මතවාදයකින් මනස සැනසිය නොහැක. කවර මතවාදයන් නියමයන් සෑදුවද එය වෙනස් වේ. එපමණක් නොව ඉන් දොම්නස ඇති වන පරිදි අරමුණු ඇති වේ. ඒ මතවාදයේ නියමයේ දොස් දකින අරමුණු ඒ සිතේම පහළ වේ. සිතෙන් සිතා දිගුකාලීනව සිත සැනසෙන මතයක්, අදහසක් නිමැවිය නොහැක. විද්‍යාවේ දැක්වෙන ප්‍රවාදවල වෙනස් විම් නව ප්‍රවාද බිහිවීම් තුළ මෙන්ම ගණිතයේ දැක්වෙන ගර්ඩල් ප්‍රමේය වැනි ඒවායින් වක්‍රව හෝ ප්‍රකට වන්නේ මේ කාරණයයි. විද්‍යා ගණිත ආදී ක්‍ෂේත්‍රවල පරම පූජනීයත්වයට පත් (අප සිතන අකාරයට) ඇතැම් උදවිය සිය දිවි නසාගෙන ඇත. ඔවුන් සෙවූ සුවය සැනසීම ඒ ප්‍රවාද නිමැවීම තුළ ඔවුනට නොලැබී ඇති බව පැහැදිලිය.

ඕනෑම ප්‍රවාදයක්, නියමයක්, මතවාදයක් බිහි කළ යුත්තේ එය ලෞකිකව ගත්කල අවසානයේ යම් පිරිසකගේ හෝ නිවීමට සංස්කාරවලින් මිදීමට ඉවහල් වන පරිදිය. මෙහිදී ඉතිහාසය පුරාවිද්‍යාව වැනි ක්‍ෂේත්‍රවලදී මේ තත්වය ඉතා වැදගත්ය. යම් කණ්ඩායම් ගුරුකුල ආදියට හෝ තම පුද්ගලික මතයනට පක්ෂපාතීව හෝ එරෙහි වෙමින් එනම් එමගින් සතුටක් – නන්දියක් (බාහිරින් තම ගුරුකුලය, ඉස්මතු වීම තුළ) ලබමින් එනම් ඒවාට උපාදාන වෙමින් නොව ඒවා තමන්ගේ මෙන්ම අනුන්ගේද නිවීමට – උපාදන වලින් මිදී ආධ්‍යාත්මික සුවයට ඉවහල් වන පරිදි මේ මතවාද ගොඩනගන්නේ නම් ඉතා හොඳය.

සංඛාර-අරමුණු චක්‍රයේ මේ වෙනස්වීමය අනිත්‍ය යන්න. මේ අනිත්‍යය තමයි දුක. මේ චක්‍රය කිසිදා අපගේ පාලනයේ, වසඟයේ තබාගත නොහැක. එයයි අනත්තය. ඉතින් මේ අනිත්‍ය, දුක්ඛ, අනත්තය අවබෝධයට වඩා තවත් විද්‍යාවක් තිබිය හැකිද? සියලු ලෞකික විද්‍යාවන්ගේ අරමුණ සත්වයා සුවපත් කිරීමය. ඉතින් ඒ සඳහා වන පරම පූජනීය විද්‍යාව යනු අනිත්‍ය-දුක්ඛ- අනත්තය අවබෝධයයි. මේ අවබෝධය තුළ ලොව අනුපාදානීයත්වයට පත් උතුමා පරමාර්ථ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ ශ්‍රේෂ්ඨයෙකි. එනම් පරම විද්‍යාඥයාය. උන් වහන්සේ සියලු දෝමනස්සයන්ගෙන් මිදී ඇත. ඒ නිසා උන් වහන්සේට තවත් අවබෝධ කළ යුතු කිසිවක් නැත. මූලික ගැටලුව උන්වහන්සේ විසඳා ගෙන ඇත. කායික සැප දුක් මේ භවයට පමණක් සීමා කොට ගෙන ඇත. මේ පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ උතුමනට විවිධාකාරයේ අනුපාදානිය දැනුම් – අවබෝධ විවිධාකාරයට තිබිය හැක. විවිධ රහතන් වහන්සේට විවිධ හැකියාවන් තිබී ඇත. ඒ අතර බුදුරජාණන් වහන්සේ සර්වඥය. උන්වහන්සේගේ දැනුම යනු දැනගත හැකිය යන්න අරුත්ගන්වන දැනුමකි. දැනුම යනු උන්වහන්සේගේ දැනුමය. ඉන් ඔබ්බට දැන ගත හැකි කියා කිසිවක් නැත. කිසිදු විද්‍යාඥයකුට කිසිදු දිනක මේ අනිත්‍ය – දුක්ඛ – අනත්ත වූ සංස්කාර – අරමුණු පොදිය සහිත තම සිත් සතන් මගින් අවසාන ලෙස දැක්විය හැකි “Theory of everything” කියා නියමයක් නිමැවිය නොහැක. මෙලෙස බාහිරින් “Theory of everything” නිමැවීමට නිරර්ථක උත්සාහයන් ගැනීමට ප්‍රථම ඔවුන් තම අනිත්‍ය-දුක්ඛ-අනත්ත වූ සංස්කාර- අරමුණු චක්‍රය සහිත අධ්‍යාත්මය පිරික්සන්නේ නම් එයයි සැබෑ විද්‍යාඥයකුගේ මග.

“Theory of everything” කියා කවරක් නිර්මාණය කළත් ඉන් නොසැනසෙන සිත (තම හෝ අනුන්ගේ) ඊට එරෙහිව, එහි අඩු ලුහුඩුකම් දකිමින් විවිධ අරමුණු ඇති කරයි. මේ නිසා බාහිරයේ ඊට පටහැනි යම් යම් සිදුවීම් සිදු නොවූවත් චිත්තාභ්‍යන්තරයෙන්ම ඊට ප්‍රතිවිරෝධතා මතුවනු ඇත. මෙයයි සංඛාර-අරමුණු චක්‍රයේ ස්වභාවය. සදා නිවීම ඇත්තේ මේ “Theory of everything” තුළ නොව චිත්තාභ්‍යන්තර සංඛාර- අරමුණු චක්‍රයේ අනිත්‍ය සහ හරසුන් පරඬැල් ස්වභාවය ප්‍රත්‍යාක්ෂය තුළය. එයයි පරම සත්‍යාවබෝධය. මේ සියලු සත්වයා දුකින් මුදාලන පරම සත්‍යය පෙන්වා වාදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *