පිළිවෙතින් දිවමන් වන සදහම

cmadurawala
8 Min Read

අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල නාහිමි

අපි ජීවත් වෙන්නෙ බුදුදහම ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීම කෙරෙහි උනන්දුවක් ඇති යුගයක. බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් පමණ ගත වූ තැන්පටන් විවිධ මතිමතාන්තර දහම සම්බන්ධයෙන් බිහිවන්නට පටන්ගත් ආකාරය දහඅටක් නිකායන්ගේ බිහිවීමෙන් ප්‍රකට වෙනවා. ඒ නිසා අද කාලෙ ශාස්ත්‍රිය බෞද්ධ අධ්‍යයනය මුල් බුදු සමය හා නිකායාන්තර බුදු සමය ක්ෂේත්‍ර දෙකක් යටතේ සිදු වෙනවා. අනෙක් අතින් පොදු මහජනතාව සංස්කෘතික ආකල්ප යටතේ ආගමික ආස්වාදයට යොමුවෙලා තියෙනවා. මේ පසුබිම යටතේ නිවන් පිළිවෙත ඇරඹීමේ උනන්දුවක් විiමාන වෙනවයි කියන්න අපහසුයි.

මෙවන් ක්‍රියාදාමයක් තුළ තථාගත ශාස්තෘත්වයේ අරමුණ කොතෙක් දුරට අර්ථවත් වෙනව ද කියන ප්‍රශ්නය අපේ සිත තුළ පැන නඟිනවා. සම්‍යක් සම්බුද්ධත්වය ලෝකයේ උදාවන්නේ ජාති, ජරා, මරණ, දුක ඇති නිසා බවත් ඒ දුක ලොව නැති නම් සම්‍යක් සම්බුදුවරයකු ලොව පහළ නොවන බවත් ඒ දුක නිසා සද්ධර්මය ලොව දීප්ත වන බවත් තයෝධම්ම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.

අද ලෝකයා බුදුදහමට සමීප වෙන්නෙ ඒ අවශ්‍යතාව නිසාම ද කියන එක ප්‍රශ්නයක්. ඒ අවශ්‍යතාව තියෙනව නම් ලෝකයා උනන්දු විය යුත්තෙ සංකල්පීය මතවාද සාකච්ඡා කර කර සිටීමට නොවෙයි. ප්‍රතිපදාවට අදාළව ධර්මය තේරුම් ගැනීමටයි. ප්‍රතිපදාව වැඩීමටයි.

මුල් බුදු සමයට අයත් දේශනා සරළයි. නමුත් ගැඹුරුයි. නිර්වාණ ප්‍රතිසංයුක්තයි. ශූන්‍යති. ප්‍රතිසංයුක්තයි. ප්‍රකට කරන්නෙ ප්‍රතිපදාව. ප්‍රතිපදාව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නෙ උදයත්‍ථගාමිනී පඤ්ඤාවැ ප්‍රතීත්‍යසමුත්පාද ධර්ම න්‍යායය ප්‍රත්‍යුත්පන්න වශයෙන් දැකීම.

නිකායාන්තර මත විමර්ශනයේදී සිදුවෙන්නෙ බොර දියේ පතුල නොපෙනෙන්නා වගේ අපැහැදිලි කමකට ශ්‍රාවකයා වැටෙන එක. ඒ වෙනුවට කළ යුත්තෙ ශාස්ත්‍රීයත්වය තුළ කල්මැරීමට පත් නොකර ශ්‍රාවකයාට පිළිවෙත හඳුන්වා දීමයි. ඒ සඳහා අවශ්‍ය කල්‍යාණ මිත්‍රත්වයේ හිඟපාඩුව තදින්ම දැනෙන්න තියෙනවා.

අසහාය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන බුදු රජාණන් වහන්සේ තම තමා වෙනුවෙන් යෝනිසෝමනසිකාරය භාවිත කිරීමේ හිමිකම පවරල තියෙන්නෙ ශ්‍රාවකයාට. ධර්ම කරුණු පිළිබඳ දෙගිඩියාවක් ඇති වුණෙත් සච්චානුරක්ඛණ පිළිවෙත හඳුන්වල දුන්න. අපණ්ණක පිළිවෙත හඳුන්වල දුන්න. ශ්‍රාවකයා දහම පිළිගත් පමණින් ශාස්තෘන් වහන්සේ සෑහීමට පත්වුණේ නෑ. ශ්‍රාවකයා අපරප්පච්චය ඤාණයට පැමිණීම ශාස්තෘන් වහන්සේ බලාපොරොත්තු වුණා. වර්තමාන දේශකයන්, වියතුන් කොතෙක් දුරට මේ තත්ත්වය කෙරෙහි සැලකිලිමත් වෙනවද යන්න අවධානය යොමු කළ යුතු කරුණක්.

වාග් බාහුල්‍යයෙන් තොර දෙසුමක්

ශ්‍රාවකයා තුළ යෝනිසෝමනසිකාරය පුබුදින ආකාරයට අනඳ හිමියන් දම් දෙසන අවස්ථාවක් ආජීවක ගෘහපති ශ්‍රාවකයෙක් මෙහෙම විමසනවා. ස්වාමීනි, ස්වාක්ඛාත වන්නේ කාගේ ධර්මයද? ලෝකයේ සුපටිපන්න වන්නේ කවරෙක්ද? සුගත වන්නේ කවරෙක්ද? කියල මේ අවස්ථාවේ ආනන්ද හිමියන් කළේ විස්තර සහිත උත්තරයක් දීම වෙනුවට පෙරළා ඔහුවම ප්‍රශ්න කිරීමයි. ඒ මෙහෙමයි. යමෙක් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණයට දම් දෙසනවා නම් ඔවුන්ගේ ධර්මය ස්වාක්ඛාතද? නැද්ද? මොකද ඔබට හිතෙන්නෙ? මේ ප්‍රශ්නයට ඔහු මෙහෙම පිළිතුරු දෙනව. යමෙක් රාග, ද්වේෂ, මෝහ දුරු කරන්න දම් දෙසනවා නම්, ඒ ධර්මය ස්වාක්ඛාත බවයි මගේ වැටහීම කියල.

ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ රාග, ද්වේෂ, මෝහ දුරු කරන පිළිවෙතට පිළිපන්නා නම් සුපටිපන්නද, නැද්ද? රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළා නම් ඔහු සුගතද, නැද්ද? මොකද ඔබට හිතෙන්නේ? යනුවෙන් අනඳ හිමියෝ පිළිවෙළින් ඉතිරි ප්‍රශ්න දෙකක් විචාලා.

රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වෙන පිළිවෙතට පිළිපන්නා නම් ඔහු සුපටිපන්න බවයි. මගේ වැටහීම. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළා නම් එයයි සුගත බව කියලයි, මට වැටහෙන්නෙ කියල ඒ ආජීවක ශ්‍රාවක උපාසකයා පිළිතුරු දුන්නා.

මේ පිළිතුරු ඇසූ ආනන්ද හාමුදුරුවෝ වදාරණව ඔබමයි මේ අයුරින් ප්‍රකාශ කළේ, (තයා චෙතං ව්‍යාකතං) කියල. එතනදි ආජීවක ශ්‍රාවකයා පවසන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ දම් දෙසුම අසුරු ගසන්නට නිසිමයි (අච්ඡරියං) පෙර නොවූවක් මයි (අබ්භූතං) තමන්ගේ ලබ්ධිය හුවා දැක් වූවෙත් නෑ (නචෙව් නාම සද්ධම්මක්කංසනා) අනුන්ගේ ධර්මය හෙළා දැක්කෙත් (පරධම්ම අපසාදනතා) නෑ. කරුණට අදාළව ම දේශනාව වුණා (ආයතනෙව ධම්ම දෙසනා) අර්ථයක් කියනු ලැබුවා (අතෙථා ච වුත්තො) තමන්ගේ ගුණ හුවා දැක්වූයෙත් නෑ (අතතා ච අනුපනීතො) ආජීවක ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ඇගයීමක් කරලා තියෙන්නෙ.

මේ දේශනාව අනුව පෙනෙනවා ආනන්ද හාමුදුරුවෝ ආජීවක ශ්‍රාවකයාගේ යෝනිසෝ මනසිකාරය පුබුදින විදියට දම් දෙසා ඇති බව. අවසානයේ ඔහු සසුනේ උපාසකභාවය ප්‍රතිඥා කළා. අද යුගයේ වියතුන්, දේශකයන් මේ සන්නිවේදන ආකල්පය හඳුනාගෙන ද කටයුතු කරන්නේ කියන බව විමසා බැලිය යුතු කරුණක්.

ශ්‍රාවකයාගේ අපරප්පච්චය ඤාණය:

බුදු රජාණන් වහන්සේ කළේ හුදු අනුගාමික පිරිසක් බිහිකිරීම නොවෙයි. ශ්‍රාවකයා අපරප්පච්චය ඤාණයට පැමිණිලා නම් තමයි උන්වහන්සේ සෑහීමට පත්වෙන්නේ. සාමාන්‍ය සංජානන මට්ටම ඉක්මවා අභිජානන වශයෙන් විනිවිද දකින්නයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නෙ. පටිච්චසමුප්පාද දැක්ම කියන්නේ අභිජානන වශයෙන් වෙසෙස් නුවණින් දැකීමක්. විනිවිද දකින ප්‍රඥාවක් (නිබේබේධිකපඤ්ඤා) පූර්වාන්තයට හා අපරාන්තයට නොදුවන ප්‍රත්‍යුත්පන්න දැක්මක්. දස කුසලයට අන්තර්ගත වන කම්මස්සකතා සම්මා දිට්ඨිය ඉක්මවා ගිය සම්මා දිට්ඨියක්. ඒ සම්මා දිට්ඨිය තමයි ආර්ය වූ විනිවිද දකින සුලු මැනැවින් දුක් කෙළවර වීම පිණිස පවතින උදයත්ථගාමිනී පඤ්ඤාව. සමුදය නිරොධ දක්නා නුවණ කියන්නෙ එයටයි.

පුද්ගලයා කියල දිගින් දිගට පවතින ස්ථාවර ධර්මයක් නෑ. වෙමි යන මැනගැනීම සිදුවෙන්නෙ උපාදානයක් ප්‍රත්‍යය කරගෙන. (උපාදාය අසමීති හොති) උපාදානයක් නොවේ නම් වෙමි යන්නක් නොවේ (නො අනුපාදාය) සසර කියන්නේ උපාදානය ඇති තාක් සිදුවන්නක්. බුදු රජාණන් වහන්සේ වදාරන්නේ උපාදාන සහිත වූවහුට උපතක් දකිමි (සඋපාදානස්ස ඛො අහං උප්පත්තිං පඤ්ඤාපෙමි) කියලයි. උපාදානය නැත්තහුට උපතක් නොවේ (නො අනුපාදානස්ස) උපාදාන කරන්නේ සළායතනික රූප, විඳීම්, හැඳිනීම්, චේතනා, දැනීම්. ඒ කියන්නේ විඤ්ඤාණයේ පිළිබිඹු වන නාමරූප. සිතක සමුදය කියන්නේ නාමරූප සමුදයයි (නාමරූප සමුදයා චිතකස්ස සමුදයො) නාමරූප ප්‍රත්‍යය වෙලයි සළායතනික ඵස්සය සමුදය වෙන්නෙ. (නාමං ච රූපං ච පටිච්ච ඵස්සා)

ලෝකයා ඵස්සයට ගැති වෙලයි ඉන්නේ. (ඵස්ස පරෙතො) ඵස්සයෙන් සමුදය වන අත්දැකීම් තමයි අන් අයුරකට පත්වෙන්නෙ (යෙන යෙන හි මඤ්ඤති තතො තං හොති අඤ්ඤථා) මේ අන්‍යථාවට පත්වන ස්වභාවය ඉදිරියේ ලෝකයා පැවැත්මක් ම බලාපොරොත්තු වෙනවා (භවමෙවාභිනන්දති) පවත්වා ගැනීමට තියෙන කැමැත්ත බිඳවැටෙයි කියල බයයි (යදභිනන්දති තං භයං)

ඒ බය නිසා තමයි දුක (යස්ස භායති තං දුක්ඛං) ඔය විදියටයි සළායතනික අත්දැකීම්වල අනිත්‍යතාව වෙන්නෙ.

මේ සළායතනික අත්දැකීම් සුව, දුක්, නොදුක්, නොසුව වින්දන සහිතයි. තණහා උපාදානයට කරුණු වන්නේ ඒ නිසා. ඒ වින්දන නිත්‍යව පවත්වන්න බෑ. අනිත්‍යතාව ඒවායේ ස්වභාවය වෙමි යන මානයෙන් යුතු සත්වයා ඒ අනිතතාව පිළිගැනීමට කැමති නෑ. ඒ නිසා තමයි අනිත්‍යතාව දුකක් වෙන්නෙ. අස්මිමානය උගුලුවා ලන්නයි අනිත්‍ය සංඥාව වැඩිය යුත්තේ. (අනිච්චසඤ්ඤා භාවෙබ්බා අස්මිමාන සමුග්ඝාතාය) අනිත්‍ය සංඥාව හරියට වැඩෙන කොට තමා යන්න හිතා ගැනීමක් පමණක් බව ස්ථිරව වැටහෙනව (අනිච්චසඤ්ඤී අනක්කසඤ්ඤා සණඨාති) ඒ අනාත්ම සංඥාව වැඩෙන කොට අසමිමානය ගිලිහීමට පැමිණෙත්වා (අනත්තසඤ්ඤී අස්මිමාන සමුග්ඝාතං පාපුණාති) එහෙම වුණොත් නිවන මේ ජීවිතයේදීමයි. (දිටෙඨවධමෙම නිබ්බානං)

හමාර:

මේ කරුණු ටික කතා කළේ සූත්‍රවල අන්තර්ගත සරලත්වය හා ගැඹුර පැහැදිලි කර ගැනීමට. අටුවා සම්ප්‍රදාය තුළත් වැඩි විශ්වසනීයත්වයක් පිරිනමා තියෙන්නෙ අත්තනෝමති, ආචරියවාද, සුක්කානුලොමවලට වඩා සූත්‍රයට. බුද්ධඝෝස හිමියන් ම සමන්තපාසාදිකාවේ දී පවසන්නේ සූත්‍රාන්ත, අභිධර්ම, විනය පිළිබඳ අට්ඨකතාවන්හි දී සියලු ථේරවාදය අත්තනෝමති නම් වේ. අත්තනෝමතිය ගෙන කතා කරන්නා විසින් එය දැඩිව ගෙන ව්‍යවහාර නොකළ යුතුය. කරුණු සලකා අරුතත් පෙළත්, පෙළත් අරුතත් සසඳා කතා කළ යුතු බවයි.

සුමංගලවිලාසිනියේදී බුදුගොස් හිමියන් පවසන්නේ මෙහෙමයි. සූත්‍ර නාමයෙන් අදහස් කරල තියෙන්නේ මුල් සංගායනා තුනෙන් සංගායික පිටක තුනයි. (සුත්තං නාම තිස්සො සංගීතියො ආරූළහානි තීනි පිටකානි) සූත්‍රය බැහැර නොකළ යුතුයි. සූත්‍රය බැහැර කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ද බැහැර කෙරෙන නිසයි.

සතර මහාපදෙසවලදී සූත්‍රයෙහි බහා බැලිය යුතු යයි දක්වන තැන සූත්‍ර යනුවෙන් ත්‍රිපිටක බුද්ධ වචනයම ගත යුතු බව පවසයි.

සුත්තානුලොම කියන්නෙ පිටකත්‍රයට අනුලොම් වන කරුණුවලට ගැනීම කියන්නේ සූත්‍රයෙන් එකඟ වන්නේ නම්පිළිගැනීමටයි. එසේ නොවන කරුණු නොපිළිගත යුතුයි.

ආචාර්යවාද කියන්නේ අට්ඨකතා විවරණවලට. (ආචරියවාදො නාම අට්ඨකතා) ආචාර්යවාද පිළිගත යුත්තේත් සූත්‍රයට එකඟ නම් පමණයි. එසේ නොවන්නේ නම් නොපිළිගත යුතුයි. (ආචරියවාදොපි සුකෙකන සමෙනෙකායෙ ගහෙත්භෙබෙබා න ඉතරො)

අත්තනොමති කියන්නෙ නයග්‍රහයෙන් තර්ක බුද්ධියෙන් ඇතිවන තමාගේම වැටහීම්වලට. (අත්තනොමති නාම නයග්ගාහෙන අනුබුද්ධියා අත්තනො පටිභානං) අත්තනොමතිය හැම අතින්ම දුර්වලය. එහෙත් සූත්‍රයට එකඟ වන්නේ නම් පිළිගත යුතුය.

මේ අනුව සූත්‍රාන්තයන්හි ඇතුළත් අර්ථය ම මතු කර ගැනීමේ අවශ්‍යතාව අටුවා සම්ප්‍රදාය තුළ ද අවධාරණය කරන බව සැලකිල්ලට ගැනීම අවශ්‍යය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *