බුදුසමයේ අනන්‍යතාව

cmadurawala
7 Min Read

මහාචාර්ය කපිල අභයවංශ

ආගම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය වර්තමාන ආගමික අධ්‍යාපනයෙහි ජනප්‍රිය විෂයයකි. එක් එක් ආගමික ඉගැන්වීම් පද්ධතිය මෙන්ම ඒ ඒ ආගම් අතර ඇති සුවිශේෂී ලක්‍ෂණ ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි. එසේම ඒ ඒ ආගම් අතර ඇති සාමාන්‍ය ලක්‍ෂණ විමසා බලා අන්‍යොන්‍ය බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීම ද ඊට අදාළ වෙයි. කිසියම් ආගමක් තුළ ඇති සුවිශේෂී ලක්‍ෂණ මගින් ඒ ආගමෙහි අනන්‍යතාව මතුකර ගත හැකිය. අනන්‍යතාවක් නොමැති ආගමක් ලොව පැවැතීමේ හැකියාව මෙන්ම පැවතීමේ අවශ්‍යතාව ද නැති වෙයි. ආගම් අතර අන්‍යොන්‍ය බලපෑම් පැවැතිය හැකිය. එහෙත් ඒ නිසාම ඒ ආගම සතුව අනන්‍යතාවක් නැතැයි නොකිව හැකිය. එමෙන්ම ආගම් අතර සාමාන්‍ය ලක්‍ෂණ ද තිබෙන්නට හැකිය. අන්‍යොන්‍ය බලපෑමකින් තොරව සමාන අදහස් චින්තකයන් තුළ ඇතිවීමේ සම්භාව්‍යතාව ලෝකය තුළ පවතියි. එහෙත් සාකල්‍යයෙන්ම සමාන ආගම් දෙකක් හෝ වැඩි ගණනක් එකවිට පැවැතීමෙන් ලෝකයට ඇතිවන විශේෂ යහපතක් ද නැත. මේ නිසාම සාකල්‍යයෙන්ම සමාන ආගම් ඇතිවීමේ හා පැවැතීමේ සම්භාව්‍යතාව ගිලිහී යයි. බුදුදහම සතු අනන්‍යතාව නිශ්චය කිරීමට සාධක වන සුවිශේෂී ලක්‍ෂණ බුදුදහම තුළ පවතීදැයි විමසා බැලීමේදී අපගේ අවධානය යොමු වන්නේ දැනට ලොව ආගම් අතර පවතින ජනප්‍රිය ආගමික ලක්‍ෂණවලින් පරිපූර්ණ වූ ආගමකට නොවේ. පශ්චාත්කාලීනව බුදුසමය සාමාන්‍ය ජනතාව අතර භාවිතයට පත්වීම නිසා එයට ද එක්වූ ජනප්‍රිය ආගමික ලක්‍ෂණ කොතෙකුත් තිබේ. එහෙත් අපගේ අවධානය යොමු වන්නේ බුදුදහමෙහි ශාස්තෘවරයා වන බුදුන් වහන්සේ විසින් තම දේශනා මගින් ඉදිරිපත් කරන ලද ඉගැන්වීම් පද්ධතිය කෙරෙහිය. බුදුදහම ආගමක් ලෙස අප මෙහිදී හඳුන්වන්නේ ආගම යන්නෙහි ජනප්‍රිය අර්ථයෙන් කිසියම් ශාස්තෘවරයකු හෝ අදෘශ්‍යමාන බලවේගයක් පදනම් කොට ගෙන පවත්වනු ලබන පුද පූජා හා ඇදහිලි ක්‍රම එහි පවතින නිසා නොවේ. පුද්ගලයා පිළිබඳ යථාර්ථ දර්ශනය මත පිහිටි අපේක්‍ෂිත නිෂ්ඨාවක් කරා යොමුවී ඇති ජීවන මාර්ගයක් බෞද්ධ ඉගැන්වීම් පද්ධතියෙන් නිර්දේශ වී ඇති බැවිනි.

ලෝකයේ දැනට ඇති බොහෝ ආගම් ප්‍රාකෘතික ජනවර්ගයන් අතර ප්‍රභවය ලබා පසුව ඒවාට කිසියම් දර්ශනයක් ද අන්තර්ගත කොට ව්‍යාප්තියට හා වර්ධනයට පත් කරන ලද ඒවා ය. ප්‍රාකෘතික ආගම්වලට සංශෝධන ඇතුළත් කොට සංවර්ධනය කරන ලද ආගම් ද නැත්තේ නොවේ. අදෘශ්‍යමාන බලවේගයක් හෝ කිසියම් ඊශ්වරයකු විසින් මිනිසුන් අතර කිසියම් විශේෂ පුද්ගලයකුට හෝ මිනිසුන් කණ්ඩායමකට හෙළිදරවු කරන ලද හෝ අස්වන ලද බවට පිළිගැනෙන ආගම් ද තිබේ. භාරතයෙහි පැවැති බ්‍රාහ්මණ ආගම එවැන්නකි. ඔවුන්ගේ ආගමික පොත් ශ්‍රැතිය නමින් හඳුන්වා ඇත්තේ දෙවියන්ගෙන් අසන්නට ලැබිණැයි සැලකුණු බැවිනි. එහෙත් ඒවා පිළිබඳ ඉතිහාසය විමසා බලන විට අදෘශ්‍යමාන දේවමූලයකින් ප්‍රභවය වූවාට වඩා, සාමාන්‍ය ජනතාව අතරින් පැනනැඟුණ බවට සාධක ලැබෙන බැවින් ඒවාට ද මානව මූලයක්ම පවතින බව පෙනේ. කිසිවකු විසින් කවදාවත් නොදක්නා ලද ඊශ්වරයකුගෙන් හෝ මහා බ්‍රහ්මයකුගෙන් තම ඉගැන්වීම් පැවතෙන බවට කියන්නන් වාලේ කීම (භාසිතමනුභාසිතං) මුල මැද හෝ අග සිටින කිසිවකුට පෙනීමක් නැති එහෙත් එකිනෙකාට කණවැල අල්ලාගෙන යන අන්ධවේණි පරපුරකට සමාන යැයි බුදුන් වහන්සේ ද වරක් වාසෙට්ඨ නමැති බමුණකුට පවසා තිබේ.(1) (සෙය්‍යථාපි වාසෙට්ඨ අන්ධවේණි පරම්පරා සංසත්තා පුරිමොපි න පස්සති මජ්ඣිමොපි න පස්සති පච්ඡිමොපි න පස්සති එවමෙව වාසෙට්ඨ අන්ධවෙනුපමං මඤ්ඤේ බ්‍රාහ්මණානං භාසිතං)

බුදුසමය බිහිවූයේ ආගමික හා දාර්ශනික වශයෙන් සමාජය තුළ ඉමහත් උද්‍යෝගයක් පැවැති භාරතීය සමාජය තුළ ය. ඒ යුගය වන විට බ්‍රාහ්මණික දේවවාදයට හා යාගවාදයට එරෙහිව පැනනැඟුණු එමෙන්ම අධ්‍යාත්ම විමුක්තිය පිළිබඳව ගවේෂණයෙහි යෙදුණු දාර්ශනිකයන් සමූහයක් භාරතයෙහි පහළව සිටියහ. උපනිෂද් මුනිවරු මේ සම්බන්ධයෙන් වැදගත් වෙති. ඔවුන් සත්‍ය ගවේෂණයෙහි පුරෝගාමීවූවන් බව පිළිගැනේ.(2) යෝගි භාවනා ක්‍රම මගින් මනස වර්ධනය කරමින් ආධ්‍යාත්මික ප්‍රඥාව තුළින් සත්‍ය දැක්වීම ඔවුන්ගේ ව්‍යායාමය වී ඇත. ඔවුහු තමන් ලබා ගත් බවට විශ්වාස කළ සත්‍යාවබෝධය තම ශිෂ්‍ය පිරිස්වලට ලබාදීමට උත්සාහ ගත් පිරිසකි. මේ අනුව බලන විට බුදුන් වහන්සේ සත්‍යාවබෝධය ලබාගැනීමට අනුගමනය කරනු ලැබූ මාධ්‍යය උපනිෂද් මුනිවරුන් උපයෝගි කළ මාධ්‍යයෙන් වෙනස්වූවක් බව නොපෙනේ. බුදුන් වහන්සේ ද ප්‍රඥාව ලබාගැනීම සඳහා උපයෝගි කොට ඇත්තේ මේ යුගයෙහි බෙහෙවින් ප්‍රචලිතව පැවැති අධ්‍යාත්ම විශෝධන ක්‍රියාමාර්ගයයි. උපනිෂද් මුනිවරු තමන් සත්‍යාවබෝධය ලැබූ බවට ප්‍රතිඥා දෙති. බුදුන් වහන්සේ ද තමන් පිළිබඳව එම ප්‍රතිඥාවෙහිම පිහිටියහ. මේ නිසා බුදුසමය වූ කලී උපනිෂද් දර්ශනයේම මල්ඵල ගැනීමක් ලෙසත් බුදුරජාණන් වහන්සේ උපනිෂද් දර්ශනය තවදුරටත් ඉදිරියට ගෙනගිය ශාස්තෘවරයකු බවත් පැවැසීමට ඇතැම් භාරතීය ආගමික විචාරකයෝ මැළි නොවෙති. එසේ නම් බුදුසමය තුළින් සුවිශේෂත්වයක් දැකිය හැකි ද? එවිට බුදුසමයේ අනන්‍යතාවක් ගැන කතා කිරීම අර්ථශූන්‍ය නොවේ ද?

බුදුදහම සම්බන්ධයෙන් නැඟෙන මෙම චෝදනාව කොතරම් දුරට යුක්ත්‍යනුකූලදැයි නිශ්චය කළ හැක්කේ බුදුදහම උපනිෂද් චින්තනය සමග තුලනාත්මකව විමර්ශනය කිරීමෙන් පමණි. උපනිෂද් දර්ශනයේ මෙන්ම බුදුදහමේ ද අපේක්‍ෂාව සංසාරික දුක් කෙළවර කරනු සඳහා අධ්‍යාත්ම විමුක්තිය ලබාගැනීමයි. මෙම දෙපාර්ශ්වයටම ප්‍රපංච පැවැත්ම අසම්පූර්ණ මෙන්ම දුක්ඛදායක ද වෙයි. මෙසේ විමුක්තියක අවශ්‍යතාව හා විමුක්තියක අපේක්‍ෂාව එකක් වුව ද ඔවුනොවුන්ගේ විමුක්තිය පිළිබඳ දර්ශනය අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ වෙයි. උපනිෂදයන්ට අනුව සදාතනික පරම සත්‍යයක් පවතියි. එය ශාස්වත වූ අවිනශ්වර වූ තත්ත්වයකි. මෙම පරම සත්‍යය විශ්වය පුරා ව්‍යාප්තව පවතිනු පමණක් නොව සෑම පුද්ගලයකු තුළ ද පවතියි. පුද්ගලයා තුළ ඇති ප්‍රත්‍යගාත්මන් විශ්වය තුළ ඇති ජගදාත්මන් සමග අනන්‍යතාවෙන් කෙනකුට බැලිය හැකි නම් නැතහොත් පරම සත්‍යය අවබෝධ කරන්නේ නම් එයම විමුක්තිය බවට පත්වෙයි. මෙය වෙනත් ලෙසකින් පවසන්නේ නම් පරම සත්‍යය සමග ඒකාත්මික වීම හෙවත් බ්‍රහ්මසහව්‍යතාව විමුක්තියයි. පරම සත්‍යය වූ කලී අන් කිසිවක් නොව සත්, චිත් ආනන්දමය තත්ත්වයෙන් පවත්නා බ්‍රහ්ම තත්ත්වයයි. “තත්ත්වමසි අහං බ්‍රහ්මා අස්මි” යන උපනිෂද් මහා වාක්‍යය මගින් ප්‍රත්‍යගාත්මන් හා ජගදාත්මන් අතර ඇති අනන්‍යතාව පෙන්නුම් කෙරෙයි. පරම සත්‍ය වූ කලී සදාතනික ය. එය කිසිවිටෙක විනාශයට පත් නොවේ. පරම සත්‍යයෙහි ස්වභාවය විවරණය කරන කඨොපනිෂදය මෙසේ පවසයි.

“න ජායතේ මි්‍රයතේ වා විපශ්චින්
නා යං කුතශ්චින් න බභූව කශ්චිත්
අජෝ නිත්‍යං ශාස්වතො යං පුරාණො
න හන්‍යතෙ හන්‍යමානෙ ශරිරෙ”

“නුපදියි, නොමියෙයි, සවිඥානක වන මෙය කොතනකින් හෝ පැමිණියක් නොවේ. කිසිවෙක් ද නොවේ. ඉපදීමක් නැති සදාතනික වූ නිත්‍ය වූ අති පැරණි වූ මෙය ශරීරය විනාශ වූ විට ද විනාශයට පත් නොවේ.”

සෑම පුද්ගලයකු තුළම පෞද්ගලිකව පවත්නා ආත්මය විශ්ව ආත්මය සමඟ ඒකාබද්ධ කිරීමට දැරෙන ප්‍රයත්නයක් උපනිෂදයන්ගෙන් ඉදිරිපත් වී ඇත. විමුක්තිය පිළිබඳ බුදුදහමේ ආකල්පය මීට හාත්පසින්ම විරුද්ධ වෙයි. උපනිෂදයන්ගෙන් ඉදිරිපත් වන පරම සත්‍යය පිළිබඳ අදහස බුදුදහමට අනුව පරම අසත්‍යය වෙයි. නොවෙනස් වන සදාතනික පදාර්ථයක් ලෝකය තුළ පිළිගැනීම බුදුදහමට අනුව අවිද්‍යාවයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන විදර්ශනයෙන් ලෝකය වටහා ගන්නට කෙනකුට හැකිවේ නම් හෙතෙම සසර දුක් කෙළවර කළ තැනැත්තෙක් වේ යැයි බුදුදහම සඳහන් කරයි. මේ අනුව උපනිෂදයන් මගින් ඉදිරිපත් වන සත්‍යය බුදුදහමට අනුව මිථ්‍යාවක් වන අතර බුදුදහමින් ඉදිරිපත් වන අනිත්‍ය, දුක්ඛ අනාත්ම තත්ත්වයන් උපනිෂදයන්ට අනුව මිථ්‍යාවක් වෙයි. බුදුදහම සලකන අන්දමට විමුක්තිය ලැබීමට නම් පුද්ගලයකු තුළ හෝ විශ්වය තුළ ඇතැයි පිළිගැනෙන ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුය. පුද්ගලයා තමන් ඇතුළු ලොව පවත්නා හැමදෙයක් තුළම අවිනශ්වර ආත්ම තත්ත්වයක් ඇතැයි සිතනතාක් විමුක්තිය අත්කර ගත නොහැකිය. සංසාරික දුක ඇතිකරවීමට හේතුවන තණ්හා මාන දිට්ඨි යන ක්ලේශ ධර්ම ඇතිවන්නේ සක්කාය දෘෂ්ටිය හෙවත් තමන් සතුව ආත්ම තත්ත්වයක් ඇතැයි සිතීම මුල්කරගෙනයි. “මන්තාහමස්මීති සබ්බං උපරුන්ධෙ” යනුවෙන් පැවැසී ඇත්තේ මේ නිසාය.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *