මඟ හොඳට තිබේ නම් අලුත් ආභරණ පලඳින්න

cmadurawala
2 Min Read

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රෝත්‍රං ශ්‍රැතේනෛව න කුණ්ඩලේන
දානේන පාණිර්න තු කංකණේන
විභාති කායඃ ඛලු සජ්ජනානාං
පරෝපකාරේන න චන්දනේන

(කන බබළන්නේ කරාබුවලින් නොවේ. අසන දෙයිනි. අත බබළන්නේ වළලුවලින් නොවේ. යහපත් දෙයක් ප්‍රදානය කිරීමෙනි. ඒ අනුව යහපත් මිනිසුන්ගේ ශරීරය බබළන්නේ සුවඳ විලවුන්වලින් නොවේය. අන්‍යයන්ට උපකාර කිරීමෙනි)

අප ආභරණවලට ඉතා ආසයි. කනට, අතට, මුළු ඇඟටම ගැහැනු – පිරිමි භේදයකින් තොරව ආභරණ පලඳිනවා. අපි ඒ ආභරණවලින් බලාපොරොත්තු වෙන්නේ ලස්සන තියෙනවට වඩා වැඩි අලංකාරය.

ඒත් ඇත්ත වශයෙන් ඒ අවයව අලංකාර වෙනවද? ටික දවසක් යනකොට හැම ආභරණයක්ම ලස්සන නැති වෙනවා. එක්කෝ ආභරණවල හැඩ නැති වෙනවා. නැත්නම් පලඳින කෙනා දිගටම ඒකම පැලඳුවාම ආභරණ සාමාන්‍ය වෙනවා. එතකොට ඒ ආභරණයේ වටිනාකම නැති වෙනවා. එය කොයි ආභරණයකටත් එහෙමයි. ඒත් කනට දාපු කරාබුවේ අගය අඩු වුණාට අහන දේ අගය අඩු වෙන්නේ නැහැ. සමහර විට අහපු දේ අගය වැඩි වෙන්නත් පුළුවන්. ආභරණ හැමෝටම ගැළපෙන්නේ නැහැ. ඒත් අහන දෙය හැමෝටම වටිනවා. අතත් ඒ වගේ.

රටට, සමාජයට අලුත් යමක් නිර්මාණය කරලා දුන්න දෑත කොච්චර වටිනවද? රත්රන් වළල්ලකින් ඒ වටිනාකම අතට ලැබෙන්නේ නැහැ. අතින් වළල්ල ගලවපුවාම වළල්ලෙන් ආපු ලස්සන නැති වෙන්නත් පුළුවන්. ඒත් දුන්න යමකගේ වටිනාකම නැති වෙන්නේ නැහැ. ඇඟේ ගාපු සුවඳ විලවුන් ටික වෙලාවකින් නැතිවෙන්නත් පුළුවන්. එහෙත් අන් කෙනකුට කළ උපකාරය මියගියත් නැති වෙන්නේ නැහැ. ඒ තමයි අද අපි අලුතින් හඳුනාගන්නා අලුත් ආභරණවල විශේෂත්වය.

ඔබත් ඒ ආභරණ පලඳින්න.

ඔබටත් මනස්කාන්ත දේහයක් ලද හැකි වේවි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *