වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ

cmadurawala
10 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

සසුන රැක්කේ හාමුදුරුවරු. තරුණ පොඩි නමකගේ වැරැද්දක් දැක්කම කවදාවත් බනින්න නරකයි. තමන්ගේ දරුවෝ හැටියට මේ හැම පොඩි නමක් දිහාම බලලා මේ නමලව රැකගන්න ඕන. සසුන රැකෙන්න නම් හාමුදුරුවරු ඉන්න ඕන. වයසක අපි හෙට අනිද්දා මැරිලා යයි. මේ නමලා රැකුණොත් සසුනත් රැකේවි.”

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි

විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති පදවිය සත් වැනි වරට හොබවා වදාළේ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ය. අතීත විද්‍යාලංකාර සම්ප්‍රදාය නුදුරු අතීතයේ නියෝජනය කරවන ලද්දේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ය. විද්‍යාලංකාරය පිළිබඳ වර්තමාන සමාජයේ යම් මතකයක් ඉතිරි වී පවතී නම් එහි ගෞරවය කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සතු වෙති.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුව් දඹදෙණි උඩුගහ උතුරු කෝරළයේ වැලමිටියාව ගම්මානයේ දී පලිහවඩන ආරච්ච්ලාගේ ජෝන් සිඤ්ඤෝ මැතිතුමන්ගේ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල්එතනා මැතිණියගේ දරුවන් සත් දෙනා අතුරින් තෙවැන්නා ලෙස පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් වර්ෂ 1937 පෙබරවාරි මස 20 වැනි දින නාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූහ-

භික්ෂු දේශපාලන ප්‍රශ්නය ඇතිවීම නිසා දායක කාරකාදීන්ගේ සහය පිරුවන වෙත අවම වූ වකවානුවෙහි කිසිදු කර්තව්‍යයක් අඩුපාඩු නොවී සිදු කළේ යක්කඩුවේ නාහිමියන් විසිනි. විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්මසංගීතිය ආරම්භ කළ අවස්ථාවෙහිදී විවෘත කරන ලද දානශාලාවෙහි වහලයට අවැසි ලී දඬු සෙවීමට යක්කඩුවේ නාහිමියෝ හුරුක්ගමුව රාජමහා විහාරයට වැඩම කළහ. ඒ වනවිට ටිකිරි බණ්ඩාර දරුවා මිනුවන්ගොඩ හපුවලානේ විහාරස්ථානයේ පැවිදි කරවීමට කැඳවා ගෙන යාමට හුරුක්ගමුව රාජමහා විහාරයට භාර දී තිබුණි- හුරුක්ගමුව විහාරයේ සිටි දරුවා විද්‍යාලඞ්කාරයට රැගෙන යාමට යක්කඩුවේ නාහිමියෝ උනන්දු වූහ. හුරුක්ගමුව රාජමහා විහාරාධිපති හුරුක්ගමුවේ ගුණරතන නාහිමියන් මුලින් ඊට කැමැත්ත පළ නොකළ ද ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ අභිධර්ම විශාරද මීවැවේ යූ. බී. රාජකරුණා මැතිතුමාගේ මාර්ගයෙන් හුරුක්ගමුවේ නාහිමියන් කැමති කරවා එම දරුවා 1951 වර්ෂයේදී විද්‍යාලඞ්කාරයට රැගෙන එන ලදී- තවත් දරුවන් නව දෙනකු සමගින් පැවිද්ද පිළිබඳ පුහුණුව ලද පසු පැවිදි කරවීමට සූදානම් කරන ලදී. පැවිදි පිංකම සඳහා යක්කඩුවේ නාහිමියන් පළකළ දැන්වීමෙහි

කිරිවත්තුඩුවේ හා යක්කඩුවේ නාහිමිවරුන් සමග

“දස පැවිදි පිංකමක්
දස මගුල් බණක්
ගෙවදීමේ උළෙලක්

විද්‍යාලඞ්කාර පරිවේණාධිපතීන් වහන්සේලා විසින් පවත්වාගෙන ආ ආචාර්ය සම්ප්‍රදායයන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා කුල දරුවන් දස දෙනකු පැවිදි කරනු ලැබේ ”

යනුවෙන් සඳහන් විය.

1954 ජනවාරි මස 07 වන දින සිව්වන විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ විසූ, කිරිවත්තුඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට

නියංගොඩ අභයධම්ම, වක්කුණුවල අතුලධම්ම, වැලමිටියාවේ කුසලධම්ම, කරුක්කුලියේ මුදිතධම්ම, තුල්හිරියේ මධුරධම්ම, මඩකුඹුරේ පවරධම්ම, සියඹලාගහරුප්පේ විජිතධම්ම,

දාගොන්නේ උදයධම්ම, නියංගම්දොර සුගතධම්ම සහ යක්කඩුවේ රතනධම්ම යන සාමණේරයන් වහන්සේලා පැවිදි බව ලබා ඇරයුම්පතෙහි සඳහන් පරිදි එදින ම මංගල ධර්ම දේශනා පැවැත්වූහ. එහි වූ ගෙවදීමේ උළෙල නම් එවක පිරුවන් බිමේ පිහිටි ගුරුකුල විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැඟිල්ලට ගෙවදීමයි.

යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ගේ භාරකාරත්වය යටතේ හැඩිපන්නල ප්‍රඥාලෝක මාහිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමි, නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමි, වල්පොල රාහුල හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි ආදී මහා යතිවරුන් ඇසුරෙහි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට 1959 මැයි 23 වන දා මහනුවර මල්වතු මහා විහාරයීය අධිරාජපූජිත මංගල උපෝසථාගාරයේ දී පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහ නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝසභාව වෙතින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ. ඉනික්බිතිව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවේ ඊට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා විද්‍යාලංකාර පිරුවනෙහි අභිවෘද්ධිසාධනයට කැප වූහ.

පිරුවනට අනුබද්ධ කුලියාපිටිය කෝන්ගහගෙදර විහාරස්ථානයේ භාරකාරත්වය හොබවා 1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධව පන්නිපිටියේ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන අවස්ථාවේදීම එහි කෘත්‍යාධිකාරී ධුරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවියට ද හෙබවූහ. අනුක්‍රමයෙන් විද්‍යාලංකාර පිරුවනෙහි පරිපාලන කටයුතු සඳහා පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ට නොමඳ සහයක් සැළසූහ.

1980 වසරේ විද්‍යාලංකාර පිරුවන දෙමටගොඩ සිට යළිත් පෑලියගොඩ මුල් බිමෙහි ආරම්භ කරන විට එහි වැඩබලන කෘත්‍යාධිකාරී තනතුරට පත් වූ කුසලධම්ම හිමියන් වෙත තමන් වහන්සේගේ ඇවෑමෙන් පරිවේණාධිපති පදවිය සහ අධ්‍යක්ෂ පදවිය පිරිනැමීමට යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ විසින් 1986 පෙබරවාරි මස 15 වන දින විද්‍යාලංකාර සභාවට යෝජනා කරන ලදී.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවි ලැබූ දා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් සමග ඉදිරිපෙළ නියංගොඩ විජිතසිරි වර්තමාන අනුනාහිමි (එවක උපලේඛකාධිකාරී), රඹුක්වැල්ලේ පඤ්ඤාලංකාර නාහිමි, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල වර්තමාන මහ නාහිමි (එවක ලේඛකාධිකාරී), යටවර සංඝරක්ඛිත අස්ගිරි මහනාහිමි, පලීපාන චන්දානන්ද අස්ගිරි මහනාහිමි, සන්නස අතැතිව සිටගෙන වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, රඹුක්වැල්ලේ විපස්සි මල්වතු මහ නාහිමි, පහමුණේ ගුණානන්ද මල්වතු අනුනාහිමි, අලුත්ගම ධම්මානන්ද නාහිමි, නියඹේපොළ සෝමානන්ද නාහිමි, උඩුගම බුද්ධරක්ඛිත පසුව අස්ගිරි මහනාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි රත්කරැව්වේ විමලධම්ම නාහිමි, වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි, තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කොටුවිල විමලකිත්ති නාහිමි, හේනේපොල නන්දසිරි නාහිමි ආදී මහා යතිවරුන් වහන්සේලා ද අභයරත්න අදිකාරි මැතිතුමා ද ඡායාරූපයේ වෙති.

එනමුත් ආචාර්යවරුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් ක්‍රියාකළ කුසලධම්ම නාහිමිපාණන්ගේ බලවත් ඕනෑකම නිසා ම පරිවේණාධිපති පදවිය ඒ වන විටත් දැඩි ගිලන්බවින් වැඩ සිටි විද්‍යාලංකාර පිරුවන වෙනුවෙන් මුළු දිවිය ම කැප කළ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරුණි. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ බලවත් උනන්දුව නිසා ම මල්වතු මහාවිහාරයීය විංශත් වර්ගික කාරක සංඝ සභාව මගින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරය සහ උපාධ්‍යාය ධුරය ගිලන්ව වැඩ සිටි නාත්තන්ඩියේ නාහිමියන් වෙත පුද දෙන ලදී.

එම අවස්ථාවෙහි විද්‍යාලංකාර පරිවේණාධ්‍යක්ෂ පදවිය ද උප පරිවේණාධිපති ධුරය ද කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ධුරය ද වැලමිටියාවේ නාහිමියන් වෙත පුදනු ලැබීය.

වර්ෂ 1990 දී විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට සහ රත්මලානේ පුරාණ විහාරය, හුණුපිටියේ විජයසුන්දරාරාමය, කෑරගල පද්මාවතී පිරුවන ඇතුළු සතළිහකට අධික තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යයට ප්‍රාප්තව, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව නාම සහිතව ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝනායක පදවිය ලෙසින් දුරාතීතයේ පටන් හඳුන්වනු ලබන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය ධුරයන්ගෙන් පිදුම් ලැබූහ. මල්වතු මහාවිහාරය මගින් උපාධ්‍යාය පදවියක් පිරිනැමීමට උපසම්පදාවෙන් සතළිස් වස් සපුරා තිබීම අවශ්‍යතාවයක් වශයෙන් සළකනු ලැබුව ද කුසලධම්ම නාහිමියන් වෙත වස් තිස් එකක් සපුරා ඇති කාලයේ උපාධ්‍යාය පදවි පිරිනමා තිබීම විශේෂත්වයකි. එසේම මෙම නායක පදවි පිරිනැමීමේ උලෙළට අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිපාණන් වහන්සේ ද මල්වතු විහාරයේ උපෝසථාගාරයට වැඩමවීම තවත් විශේෂ සිදුවීමකි. උපාධ්‍යයයන් වහන්සේ නමක වශයෙන් සහස්‍ර සංඛ්‍යාත සාමණේර හිමිවරුන් උපසම්පදා අධිශීලයේ පිහිටුවාලීම සඳහා උපසම්පදා විනය කර්මවල මුලසුන් හෙබ වූ නාහිමිපාණන් වහන්සේ මල්වතු මහාවිහාරය කෙරෙහි අත්‍යන්ත පක්ෂපාතීත්වයෙන් වැඩ විසූහ.

1990 දශකයේ මුල්භාගයේ ශාසනික කටයුත්තක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට වඩිනා අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පා එම අවස්ථාවෙහි නාහිමියන් සමග එකට ගමන් කළ මාපලගම සෝමිස්සර හිමියන් ඇතුළු සියල්ලෝම ජීවිතක්ෂයට පත් වද්දී නාහිමිපාණෝ පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන්දෝ ජීවිත සුරක්ෂිතතාව ලැබූහ.

අතිපූජ්‍ය වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ විසිපස් වසරකට අධික කාලයක් කුලපති ධුරය හොබවමින් ලක්දිව වැඩිම ධුර කාලයක් කුලපති ධුරය හෙබ වූ කුලපතිවරයා වීමේ හෙබවීමට භාග්‍යය ලදහ. බුරුම රජයෙන් අග්ගමහාසද්ධම්මජෝතිකධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ඉමහත් ප්‍රියතාවයක් දැක් වූ නාහිමිපාණන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වල්බිහිව ගිය මහාදාඨික මහානාග රජ යුගයට අයත් ඉපැරණි රජ මහා විහාරයකට පුනර්ජීවය සපයමින් එම ග්‍රාමයේ යටිතල පහසුකම් නංවාලීමට සිදු කළ මෙහෙවර ද සුවිශේෂී වෙයි. විද්‍යාලංකාර ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව තැනවීම ඇතුළු භෞතික සම්පත් සංවර්ධන කටයුතු සඳහා ද මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ.

විද්‍යාලංකාර පිරුවනේ පෞරාණික භාණ්ඩ සහ ලිපිලේඛන සංරක්ෂණය කරමින් කෞතුකාගාරය සහ අධිලේඛනාගාරය පිහිටුවීමත්, එසේම පිරුවනේ ආදිකර්තෘ දිනය අනුස්මරණය කරමින් වාර්ෂික විද්‍යාලංකාර දින සැමරුම් වැඩසටහන් සිදු කොට අපවත් වී වදාළ නාහිමිවරුන්ට පුණ්‍යානුමෝදනා කරමින් අභිවන්දන වැඩසටහන් සිදු කිරීමත් නාහිමිපාණන් වහන්සේ සිදු කළහ.

අග්‍රගණ්‍ය මහා පාරිවේණිකස්ථානයක අධිපතීන් වහන්සේ නමක වශයෙන් ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ දයාවකින් කටයුතු කරන නාහිමිපාණෝ ස්වකීය ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා කෙරෙහි යාවත්කාලීන වූ ආකල්පයකින් ක්‍රියා කළහ. අධ්‍යයන කටයුතුවලට නිරන්තර ප්‍රමුඛත්වය හිමිවන පරිදි උපරිම ශාස්ත්‍රීය පරිසරයක් පිරුවන තුළ පවත්වා ගෙන යාමට නාහිමිපාණෝ කටයුතු සම්පාදනය කළහ. අතීත පඬිවරුන් රැක ගනිමින් පවත්වාගෙන ආ විද්‍යාලංකාර සම්ප්‍රදාය සුරක්ෂිත කොට අනාගතය කරා සම්ප්‍රේෂණය කරවීමට නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ.

සුපේශල ශික්ෂාකාමී නිරහංකාර පරමාදර්ශී පැවිදි දිවියක් ගත කළ නාහිමිපාණන් වහන්සේ සිදු කළ අසරණ සරණ සේවා රාශියකි. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පිරිනමන ලද ආධාර ප්‍රමාණය අති විශාල වෙයි. අධ්‍යාපනය ලබන දරුවන් වෙන ලබාදුන් ශිෂ්‍යාධාර ප්‍රමාණය ද එසේමය. රටේ කවර තරාතිරමක පුද්ගලයකු පැමිණිය ද සමානාත්මතාවයෙන් සළකා අවශ්‍යතාවයන් ඉටු කොට දීමට නාහිමිපාණන් වහන්සේ උත්සුක වූහ. ඕනෑම පුද්ගලයකුගේ ආරාධනාවක් අනුව රටේ කවර ප්‍රදේශයක වුවද දාන මාන, බණ පිරිත්, විවෘත කිරීම්, මූලාසන හෙබවීම් ඇතුළු කටයුතු සඳහා කිසිදු අදිමදි කිරීමකින් තොරව නාහිමිපාණන් වහන්සේ වැඩම කොට එම කටයුතු සිදු කර දුන්හ. 1985 පමණ සිට ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් පත් කළ සෑම උපදේශක සභාවකම, කොමිෂන් සභාවක ම නායකත්වය නිතැතින් ම හිමි වූයේ කුසලධම්ම නාහිමියන් වෙත ය.

විද්‍යාලංකාර පිරුවන් ඉතිහාසයේ දීර්ඝතම පරිවේණාධිපති යුගයට හිමිකම් කීමට භාග්‍යවත් වූ නාහිමිපාණන් වහන්සේ රට, දැය, සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්ෂණය පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සිල් ගුණ දහම්හි පිහිටා සාධු ජන විහරණයෙන් කටයුතු සිද්ධ කළ සේක. සිරිලක සසුනඹර එකලු කළ පහන් තාරකාවක් සේ ශාසනාම්බරය ඒකාලෝක කොට සියල් සකරදම්හි අනියතබව පසක් කරමින් නිවී යන ඉරබටු තරුවක් සේ 2021 ඔක්තෝබර් මස 28 වන දින කීර්තිශේෂභාවෝපගත වූ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විද්‍යාලංකාරයට එකසිය සතළිස් හය වසරක් සපිරෙන දිනට පෙර දිනයේ පූර්ණ රාජ්‍යගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *