රාණි සේනාරත්න රාජපක්ෂ
බුදුරජාණන්වහන්සේ සමග වාද විවාද කිරීමට එකල බොහෝ උදවිය වාද බිමට පැමිණියහ.
සාමාන්‍යයෙන් පරිබ්‍රාජකයෝ සර්වඥයන් වහන්සේ සමග විරුද්ධවාදී වූහ. එසේවිත් උන්වහන්සේ දැකීමට ගිය පිලෝතිකා නම් පරිබ්‍රාජක ආපසු යද්දී හමු වූ මිත්‍රයකු වන ජානුස්සෝණී බ්‍රාහ්මණට උන්වහන්සේගේ ගුණ වර්ණනා කළේය. සිය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටි බිඳින්නාක් මෙන් හැසිරෙන, සියුම් බුද්ධි ඇති, අනුන් හා කළ වාද ඇති, වාලවේධි දුනුවායන් වැනි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පණ්ඩිතයෝ ශ්‍රමණ ගෞතමයන් අසුවල් ගමට නියම්ගමට එතියි අසා ප්‍රශ්න සකස් කර අපි මේ මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ට ඉදිරිපත් කර දිගින් දිගට වාද කරමුයි සූදානම් වෙති.
“ගෞතමයන් ඒ ඒ ගමට නියම්ගමට පැමිණි කල මේ පණ්ඩිතයෝ ගොස් ශ්‍රමණ ගෞතමයන් හමු වෙති. උන්වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවති. ඔවුහු ශ්‍රමණ ගෞතමයන් වෙතින් ප්‍රශ්න නොවිචාරත්මය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරත්ද? ඔවුහු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ වෙති… ප්‍රඥාවන්ත… ශ්‍රමණ පණ්ඩිතයෝ ශ්‍රමණ ගෞතමයන් හා වාදයට පැමිණ… ඔවුහු ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න නොවිචාරත්මය. කොයින් වාදාරෝපණය කරත් ද? ඒකාන්තයෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගෙන් අවසර යදිත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන් පැවිදි කරවති… ඔවුහු අර්හත්වයට පැමිණ වාසය කරති.” (ම.නි. 1 – චුල්ලහත්ථිපදෝපම සූත්‍රය)
තවත් විටෙක කෝසලයේ ප්‍රසේනජිත් රජු වේදතළුම්ප නමැති ශාක්‍ය නියම්ගමෙහි වැඩවිසූ සර්වඥයන් වහන්සේ දැකීමට ගියේය. වැසූ දොර ඇති විහාරයේ සිටින බව දැනගෙන, කඩුව හා නළල්පට දීඝකාරායන සෙනෙවිට දී දොර වෙතට නිහඬව ගොස් මඳ කැස්සක් කැස යන්තමින් දොරට තට්ටු කළේය. සර්වඥයන් වහන්සේ දොර හළ විට පාමුල වැටී පා සඟල වඳිමින් සම්බාහනය කරමින් වඳිමින් ‘මම ප්‍රසේනජිත් කෝසල රජ වෙමි’ නැවත නැවත කියන්නට විය.
ඒ තරම් ගෞරවයක් කරන්නේ මන්දැයි සර්වඥයන් වහන්සේ ඇසූ කල රජු හේතු ගණනාවක් විස්තර කළේය. ඉන් දෙකක්: “ඉතා පණ්ඩිත, වාද පරිචය ඇති ඇතැම් ක්ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේ යම් ගමකට එතියි අසා ‘අපි ගෞතමගෙන් මේ ප්‍රශ්නය අසමු… අපි එයින් වාදාරෝපණය කරමු’යි ප්‍රශ්න සකස් කරති. භාග්‍යවතුන් වහන්සේ ඒ ගමට පැමිණි කල එහි එළැඹෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කතාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. මනා කොට පහදවති… ඔවුහු පැන නොඅසති. කවර හෙයින් නම් වාදාරෝපණය කරත්ද? ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වෙති.”
බ්‍රාහ්මණ, ගෘහපති හා ශ්‍රමණ පණ්ඩිතයන් ගැන ද රජු මේ අයුරින්ම කියයි. “ඔවුහු ද භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වනු ලබති… කවර හෙයින් වාදාරෝපණය කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අතින්ම, ගිහිගෙයින් නික්ම සසුනට එනු සඳහා අවකාශ යදිත්; භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරත්…”
ඉක්බිති රජු, ඒ ඇත්තන් පැවිදි වී නිවන් අවබෝධ කර මෙසේ පවසතියි කියයි. “… භවත්නි, අපි පෙර අශ්‍රමණ වූයෙම් ශ්‍රමණයම්හ යි පිළිණ කළෙමු. අබ්‍රාහ්මණ වූයෙම් බ්‍රාහ්මණයම්හ යි පිළිණ කළෙමු. අර්හත් නොවන්නමෝ අර්හත් වම්හ පිළිණ කළෙමු. දැන් අපි ශ්‍රමණ වෙමු – බ්‍රාහ්මණ වෙමු – අර්හත් වෙමු’යි ඔවුහු කියති.” (ම.නි. 2 – ධම්මචෙතිය සූත්‍රය)
වරෙක සර්වඥයන් වහන්සේ මහ වනයේ දිවා විහරණය කරද්දී පැමිණි දණ්ඩපානි ශාක්‍ය, භාග්‍යවතුන් කුමන දෘෂ්ටි ඇත්තේදැයි ඇසීය. උන්වහන්සේගේ පිළිතුර: “ඇවැත්නි, දෙවියන් – මරුන් – බඹුන් – මහණ බමුණන් සහිත මේ ලෝකයේ යමෙක් ලෝකයෙහි කිසිවකු සමගත් වාද නොකර සිටිත් ද… භවයෙහි පහ වූ තෘෂ්ණා ඇතිව ක්ලේශ රහිතව සිටිත් ද, මම එබඳු වාද ඇත්තෙක්මි.” (ම.නි. 1 – මධුපිණ්ඩික සූත්‍රය)
තවත් විටෙක නිගණ්ඨවාදී පණ්ඩිත සච්චක සර්වඥයන් වහන්සේ දැකීමට පැමිණ දීර්ඝ සාකච්ඡාවක් කෙළවර: “ශ්‍රමණ ගෞතමය, ආශ්චර්යය. අද්භූතය. මෙසේ ඝට ඝටා එළවඑළවා බනනු ලබන ගෞතමයන්ගේ ඡවි වර්ණය බබළන්නේය. මුඛ වර්ණය ඉතා ප්‍රසාදජනකය. ගෞතමය, මම පූරණ කාශ්‍යපට වාදාරෝපණය කළෙමි. ඔහු එකක් අනෙකක් කීය. කතාව බැහැර කර කෝපය ද්වේෂය නොසතුට පහළ කළේය… මම මක්ඛලි ගෝසාලට… අජිත කේසකම්බලට… පකුධ කච්චායනට… සංජය බෙල්ලට්ඨිපුත්තට… නිඝණ්ඨ නාතපුත්තට… වාදාරෝපණය කළෙමි. ඔහු නොසතුට පහළ කළේය.” (ම.නි. 1 – මහා සච්චක සූත්‍රය)
මේ උතුම් ගුණය ඉතා හොඳින් දැක්වෙන අවස්ථාවක් : තථාගතයන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණු තෙර වැඩ වාසය කරද්දී පෙස්ස නම් හත්ථාරෝහක පුත්‍ර සහ කන්දරක නම් පරිබ්‍රාජක උන්වහන්සේ දකින්නට පැමිණියහ. උන්වහන්සේ හා පෙස්ස අතර සාකච්ඡාවක් ඇතිවිය. පෙස්ස සතුටු වී, තමාට බොහෝ කටයුතු ඇතැයි උන්වහන්සේ වැඳ යන්නට ගියේය. ඔහු ගිය පසු සර්වඥයන් වහන්සේ භික්ෂුන් අමතා ‘භික්ෂුණි, පෙස්ස පණ්ඩිතය. මහා ප්‍රාඥය. ඔහු මගේ ධර්ම දේශනය තවත් අසා සිටියේ නම් සෝතාපන්න වේ. පැවසූහ. (ම.නි. 2 – කන්දරක සූත්‍රය) උන්වහන්සේ බලහත්කාරයෙන් ධර්මය කිසිවකු මත පැටවීමට නොයෙදුණ බව මෙයින් පැහැදිලි වෙයි.
වරක් සර්වඥයන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් පිරිවරාගෙන රාජගෘහ නුවරටත් නාලන්දා නුවරටත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්හ. සුප්‍රිය නම් පරිබ්‍රාජක සහ බ්‍රහ්මදත්ත නම් තරුණ අතැවැස්සා ද ඒ මඟම ගියහ. සුප්‍රිය දිගටම තෙරුවනට දොස් කියමින් ගිය අතර අතවැසියා තෙරුවන් පසසමින් ගියේය. රැයෙහි සර්වඥයන් වහන්සේ හා භික්ෂුන් අම්බලට්ඨික උයනේ නතර වූ විට පරිබ්‍රාජක හා අතැවැස්සා ද නතර වී පෙර සේම කතා කළහ. මේ ගැන සංඝයාගෙන් දැනගත් සර්වඥයන් වහන්සේ යමකු තථාගතයන්ට, ධර්මයට හෝ සංඝයාට දොස් කිවහොත් කෝප නොගන්නැයි ද කෝප වුවහොත් අනුන් කියන දේවල සත්‍ය අසත්‍ය බව දැනගත නොහැකි යැයි ද උපදෙස් දුන්හ. එපමණක් නොව, යමකු ත්‍රිවිධ රත්නයේ ගුණ කිවහොත් ප්‍රීති නොවන්න, ප්‍රීති වීම සංඝයාගේ භාවනාවට බාධක වෙතියි ද වදාළහ (දී.නි. 1 – බ්‍රහ්මජාල සූත්‍රය)
සර්වඥයන් වහන්සේගේ සාධාරණ බව මැනැවින් දැක්වෙන තවත් සිද්ධියක් : ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන උන්වහන්සේ දැකීමට යන සන්ධාන ගෘහපති ඊට කල් වැඩි යැයි සලකා උදුම්බරිකා පරිබ්‍රාජකාරාමයට ගියේය. එහි විශාල පරිබ්‍රාජක පිරිසක් සමග සිටි නායකයා වූ න්‍යග්‍රොධට හෙතෙම “මේ අන්‍ය තීර්ථකයෝ මහ හඬින් උස් හඬින් තිරශ්චීන කතාවේ යෙදී වසති. භාග්‍යවතුන් වහන්සේ නිහඬ හුදෙකලා ආරණ්‍ය ආදියෙහි වසති” කීය. එකල්හි න්‍යග්‍රොධ “ශ්‍රමණ ගෞතම කවුරුන් හා සාකච්ඡා කරයිද?… ඔහුගේ ප්‍රඥාව ශුන්‍යාගාරවලම විනාශ වී ගොසිනි. අවිශාරද නිසා පිරිස් මැදට නොඑයි… ඇඟේ යමක් හැපෙතියි බියෙන් මඟහැර යන එකැස් කණ එළදෙනක සේ ප්‍රශ්න අසතියි බියෙන් වනයට වී සිටියි. දැනගන්න! ඔහු මෙහි ආවොත් එක ප්‍රශ්නයෙන් යටපත් කරමු. හිස් කළයක් සේ වාදයෙන් බැඳ තබමු.” යි වහසි බස් දෙඩීය.
මෙය දිවකනින් ඇසූ සර්වඥයන් වහන්සේ ගිජ්ඣකූටයෙන් බැස සුමාගධා පොකුණු තෙර මයුර නිවාපයට පැමිණ සක්මන් කරන්නට වූහ. ඒ දුටු න්‍යග්‍රෝධ මහ හඬ තළන ශ්‍රාවකයන් නිහඬ කරවීය. සර්වඥයන් වහන්සේ වැඩිය කල න්‍යග්‍රෝධ උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන ආසනයක් දී, තෙමේ මිටි අසුනක හිඳ “ඔබවහන්සේ ශ්‍රාවකයන් හික්මවන බ්‍රහ්මචර්යා ධර්මය කුමක්දැයි අපි කතා කරමින් සිටියෙමු” කීය. සර්වඥයන් වහන්සේ “අන්‍ය දෘෂ්ටික ඔබට එය දත නොහැකිය. එහෙයින් තථාගතයන්ගෙන් තපෝජුගුප්සාව පරිපූර්ණ වීම ගැන අසන්න” යි වදාළහ. පරිබ්‍රාජක පිරිස ‘තම වාදය පසෙක තබා පරවාදය ගැන පවසන ගෞතමගේ ප්‍රඥාව තෙද බල මහ පුදුමයකි” යි මහ හඬ නඟන්නට වූහ.
ඔවුන් නිහඬ කළ න්‍යග්‍රොධ හට සර්වඥයන් වහන්සේ තපෝජුගුප්සාව ගැන දීර්ඝව වදාළහ. න්‍යග්‍රොධ ඒ පිළිගත් කල ශ්‍රාවකයෝ ‘ආචාර්යයා සහිත අපි විනාශ වීමු”යි හඬනඟන්නට වූහ.

