තාරුණ්‍යයේ වැඩි පිරිසක් බුදු දහමේ නමින් පෙනී සිටින්නේ යම් වූද අවබෝධයකින්ද?

cmadurawala
8 Min Read

සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමිපාණෝ

තාරුණ්‍යය සුන්දරයි. ජීවිතයක ප්‍රබෝධවත්ම කාලයයි.” මෙවැනි වදන් පෙළක් ඇසෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ හදවත් ඇසුරිනි. හැබෑවටම ජීවිතය සුන්දරයි. එනමුත් සිත ගැන කියාදෙන දහමට සමීප විය යුතුමයි. එසේ නොමැති වූවොත් තාරුණ්‍යයේ සුන්දර බව බොඳවී යා හැකිය. තථාගත වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ද්වේධා විතක්ක සූත්‍රයේදී මෙසේ දේශනා කරති.

“ඉති ඛෝ භික්ඛවෙ විවටෝ මයා
ඛේමො මග්ගෝ සෝවත්ථිකෝ පීති ගමනියෝ”

“මම ඔබට ප්‍රීතියෙන් සුවය කරා යාහැකි ක්ෂේම මාර්ගයක් විවෘත කොට තිබේ. බුද්ධිය මෙහෙයවීමෙන් සහ තම තම අවබෝධයෙන් යායුතු මග පියවර අටකින් හෙවත් අංග අටකින් සමන්විතය. මෙම මාර්ගය පෙන්වා දී ඇත්තේ නුඹලාගේ සැනසුම පිණිසයි. මෙය සෙනසුනක හෝ අරමක වෙසෙන පැවිදි උතුමන්ටත් බොහෝ සම්බන්ධ, ගෘහස්ථ ජීවිත ගතකරන සැමටත් එකසේ පොදුය. සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම), සම්මා සංකප්ප (නිවැරදි කල්පනාව), සම්මා වාචා (නිවැරදි වචන භාවිතය) සම්මා කම්මන්ත (නිවැරදි කායික ක්‍රියාවන්), සම්මා ආජීව (නිවැරදි ජීවිත පැවැත්ම), සම්මා වායාම (නිවැරදි උත්සාහය), සම්මා සති (නිවැරදි ලෙස සිහිය පිහිටුවීම), සම්මා සමාධි (නිවැරදි ලෙස සිතේ ඒකාග්‍රතාවය පැවත්වීම) යනුවෙන් සැනසිලි දායක ගමන අංග අටකින් යුතුව එසේ විස්තර කොට ඇත.

මෙම පියවර අට බෞද්ධ දර්ශනයෙහි ඉලක්ක කොට ඇත්තේ පරමාර්ථ ධර්මය උදෙසාය. එනම් සසරගත සියලු දුකින් සදාකාලිකවම නිදහස්වීම පිණිසයි. ඒ වගේම, ඒ සඳහා පෙන්වා දී ඇති මෙම ගමන් මාර්ගය සැකසී ඇත්තේ ද සෑම පියවරක්ම, සෑම ගතවෙන මොහොතක්ම සිත, කය, වචනය සන්සිඳෙන ආකාරයටය. මේ මොහොත ‘හොඳවීම’ ඊළඟ මොහොත යහපත්වීමට ප්‍රධානම සාධකය වන බව සිතන්නට හැකි කවරෙකුට වුවද අවබෝධ කරගත හැකිය. ජීවිතයේ නව අත්දැකීම් සොයා යන, නිරන්තරව ඉන්ද්‍රියන්ගේ සතුටක් ලබන්නට අවස්ථාවක් සොයන, ප්‍රිය අරමුණෙහි ඉක්මනින් ඇලෙන, බැඳෙන, අකැමැති අරමුණෙහි වහා ගැටෙන හෙවත් අකැමැති වන යුගයක් ලෙස තාරුණ්‍යය නම් කළොත්, එය බොහෝ තරුණ පිරිසකට ගැළපේ.

තාරුණ්‍යයේ හැබෑම සුවය නිවැරදි ලෙස භුක්ති විඳින ආකාරය බෞද්ධ දර්ශනය මේ අනුව පෙන්වා දෙයි. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍ර දේශනාවට අනුව ලෝකය දකින සහ බලන ආකාරය මෙසේ යථාර්ථවාදීව පැහැදිලි කොට දී තිබේ. මෙම “බලන සහ දකින” නම්වූ වචනවලින් අදහස් කරන්නේ ඇස් දෙකෙන් කරන බැලීම පමණක්ම නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය මන නම් වූ ඉන්ද්‍රිය සයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම (සිතුවිලි) නම් අවස්ථාවන් අරමුණුකර ගැනීම හෝ අරමුණු වීමයි. මෙලෙස අරමුණු ගැනීමේදී ආස්වාදය දකින්න. දෙවනුව ආදීනවය තේරුම් ගන්න. තුන් වෙනුව නිස්සරණයට පරමාර්ථ ලෙස සිත පුරුදු කරන්න.

ඔබ ඔබගේ පියවි ඇස් දෙකෙන් ලෝකය දකින්න. එමෙන්ම බලන්න. ඔබගේ ඇස ගැටුණ රූපය හඳුනාගන්න. නිදසුනක් ලෙස ඔබ මෙසේ හඳුනාගනීවි. අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක්, සොහොයුරෙක් හෝ සොහොයුරියක්, දුවක් පුතෙක් වශයෙනි. එමෙන්ම තරුණ දුවක්, තරුණ පුතෙක් ලෙසිනි. එමෙන්ම බොහෝම පැහැපත් අයෙක් හෝ එසේ නොවන අවලස්සන අයෙක් වශයෙනි. ඔබගේ සමීපතම අය දකින විට සාමාන්‍යයෙන් දකින ලෝකයට වඩා ළෙන්ගතුකමින්, ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ඔබ දකීවි. ඔබ ඔබගේ ධන ධාන්‍ය, ගේ දොර, යාන වාහන හෝ අනෙකුත් වස්තූන් ද බැඳීමෙන් යුතුව දකීවි, බලාවි. මෙහි සරල අදහස නම් ඔබගේ ඇස් දෙකෙන් ඔබ සුන්දර බව, ලස්සන, ප්‍රසන්න බව සොයා යන බව සාමාන්‍ය ලෝක ස්වභාවය බවයි. මෙය බුදු දහමට විරුද්ධ නැත. බෞද්ධ දර්ශනය, සාමාන්‍ය ලෝක ස්වභාවය පැහැදිලි කරන්නේ මෙසේය.

“පිය රූපේ රූපේ සාරජ්ජති
අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති”

“තමා ප්‍රිය රූපයෙහි ඇලෙයි
තමා අප්‍රිය රූපයෙහි කෝපයට පත්වෙයි.”

මෙම තත්ත්වයට මනා අවබෝධයෙන් යුතුව මුහුණදිය යුතුයි. ප්‍රිය රූපයෙහි ඔබ ඇලුණ ද මගේ යැයි පැවසුව ද එය වෙනස්වීමකට භාජනය වන බව නම් අමතක නොකළ යුතුය. මෙහිදී සම්මත ලෝක පැවැත්මට අනුව මගේය (ඒතං මම), මම වෙමි (එසෝ හමස්මි), ස්ථිර ආත්මයක් හෝ ස්ථිරය (ඒසෝ මේ අත්තා) යනුවෙන් කල්පනා කළද අනිත්‍යතාවය හෙවත් එම වස්තුවේ ගැබ්ව ඇති “ආදීනවය” අමතක නොකළ යුතුය. ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ගන්නා විට ආස්වාදය හෙවත් සොම්නස භුක්තිවින්ද ද එහි ඊළඟ අවස්ථාව වූ “ආදීනවය” පිළිබඳවත් අවබෝධයක් ඇතිකර ගත යුතු යැයි පවසන්නේ මේ නිසාය. එනම්, ඇසෙන් දකින රූපය ද කනින් අසන ශබ්දය ද නාසයෙන් ලබන ආඝ්‍රාණය ද දිවෙන් ලබන රසයද කයෙන් ලබන ස්පර්ශය ද සිතින් ලබන සිතුවිලි ද ස්ථිර නොවන බවය. ඇතිවී (උප්පාද) පැවතී (තිථි) නැතිව (භංග) යයි. මෙහිදී යම් තරුණ සිතක් මෙසේ ප්‍රශ්න කිරීමට හැකිය. දුටු, ඇසූ, ලැබූ ආදී දේවල් සමග සතුටු වෙනවාට වඩා අනිත්‍යය යැයි සිතා දුක්වෙන්නේ කුමකටද? යනුවෙනි. සත්‍ය වශයෙන්ම ඔබ පණ ඇති හෝ පණ නැති හැම වස්තුවකම ඇති මේ වෙනස්වීම හෝ අනිත්‍යතාව පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර නොගත්තේ නම් ස්වභාවයෙන්ම එම සියල්ල අනිත්‍යතාවයට පත්වන විට ඔබට දුකට පත්වීමට සිදුවනු ඇත. “ඔබේ වචනවලින්” නම් මෙසේ පවසනු ඇත. “මම සිතුවේ නැහැ මට මෙහෙම දෙයක් වෙයි කියලා.” “ඇයි මම සිතන දේවල් හෝ මට ඕන කරන දේවල් ඉටු වෙන්නේ නැත්තේ?” “මෙහෙම වෙන් වෙන්න නම් ඇයි අපි හමු වුණේ?” ඒ නිදසුන් කීපයක් පමණි. වෙනස්වීම හෙවත් හැම වස්තුවකම ඇති අනිත්‍යතාවය අමතක කොට ආස්වාදයෙහි පමණක් කටයුතු කිරීම නිසා කොපමණ නම් දුකට පත්වේද? තාරුණ්‍යයේ සිටින අය ද ඇතුළුව සෑම වයස් ප්‍රමාණයකම අය මේ වෙනස්වන ලෝකයේ, නොවෙනස් වෙනවා ලෙස සිතන්නට, කතා කරන්නට සහ හැසිරෙන්නට උත්සාහ කරන්නේ මේ ආදීනවය ගැන ඇති අනවබෝධය නිසා නොවේද? දැඩි වූ ලෝභයෙන් (අභිජ්ඣා) තරහවෙන් (දෝෂ) මුළාවන් (මෝහ) කටයුතු කොට තමාටත් අන් අයටත් කොපමණ නම් විපත් කරන්නේ දැයි සිතා බලන්න.

මීළඟ පියවර වූ නිස්සරණයේ දී ඔබ අත්හැරීමට පුරුදු වෙයි. මෙම අත්හැරීම යනු අත් දෙකෙන් කරන අත්හැරීමට වඩා සිතින් ඇතිකර ගන්නා වූ අවබෝධයයි. මම ඔබට නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි.

“හා යොබ්බනා ජරා අන්තා”

තරුණකම මහලුවීමෙන් අවසන් වෙයි.

“හා සංයෝගා වියෝගන්තා”

සියලු එකතුවීම් හා හමුවීම් වෙන්වීමෙන් කෙළවරවෙයි.

“හා පියා ශෝක අන්තතා”

සියලු ප්‍රේමයෝ ශෝකයකින් කෙළවර වෙයි.

“හා මතන්තා සජීවකා”

සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙයි”

ලෝකයේ සසර පැවත්මෙහි සහ ජීවිතයේ ඇති යථාර්ථය හෙවත් හැබෑ ස්වභාවය ඔබ තේරුම් ගැනීම යනු, ඔබ අකර්මණ්‍ය වීමක් නොවේ. ඔබගේ අධ්‍යාපනය අඩාල වීමක් නොවේ. තරුණ සිතේ ඇතිවන ප්‍රේමයට හරස් කැපීමක් නොවේ. ඔබගේ රැකියාව හෝ ව්‍යාපාරය විනාශ කිරීමක් නොවේ. හැබෑවටම සිදුවන්නේ මෙම සියල්ලේම ඔබ සුන්දර මනුෂ්‍යයෙකු වීමයි. එනම් ඔබ මෙසේ සිතන්නට පුරුදුවීමයි. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ ඇයි මම නපුරු කමින් හෝ වැරදි ආකාරයෙන් ජීවත් වෙන්නේ? ඇයි මම අනුන්ට කරදර කරන්නේ? ඇයි මම අනුන්ගේ දේවල් සොරකම් කරන්නේ? ඇයි මම වැරදි විදියට ඉන්ද්‍රියන් සතුටු කරන්නේ? ඇයි මම බොරු කියන්නේ? ඇයි මම මත්වතුරට හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතය පිරිහුණු කෙනෙක් වෙන්නේ? බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ස්වයං ශික්ෂණය වන පඤ්ච සීලයට ඔබ යොමුවෙන්නේ නැතිද? ඔබ සිතා බලන්න. අනිත්‍යතාවය අමතක කළොත් ඊළඟට ඇතිවන ප්‍රතිඵලය සමාජයටද මුහුණ දෙන්නට සිදුවන්නේ භයානක ආකාරයකට ය. “ඉගෙනීමක් නැති, හැඳුණු කමක් නැති, උපන් ගෙදරටත්, ගමටත් පිළිලයක් වූ අමනුෂ්‍ය පුද්ගලයන්ගේ බිහිවීමකිනි. “නිස්සරණ” නම් වූ නිදහස්වීම, අත්හැරීම යනු අනිච්ච, දුක්ඛ, අනත්ත නම්වූ ත්‍රිලක්ෂණය කෙරේ ඇතිකර ගන්නා වූ අවබෝධයයි. ඔබ ඔබගේ ශරීරය පිරිසිදුවද, නිරෝගීවද, ප්‍රසන්නවද පවත්වාගත යුතුයි. එනමුත් දිරීමේදී, රේගවලදී, මරණයේදී ඔබට පාලනයක් නැතිවීම සහ ඔබ “මගේ” යැයි සිතාගෙන සිටි ශරීරය ඔබටවත් හැබෑ අයිතියක් නැති බව අවබෝධ කොටගත යුතුයි. සත්‍ය එය නම් ඇයි මම සදාකාලික යැයි සිතාගෙන වැරැද්දකට, පාපයකට, අසම්මතයකට, අශිෂ්ටත්වයට යොමුවන්නේ? ඒ වෙනුවට හැකිතාක් දුරට නිවැරදි මනුෂ්‍යයෙක් වෙන්නට මම උත්සාහ කරමි. එක දවසක් ජීවත් වූවත් නිවැරදි හෙවත් සිල්වත් ජීවිතය උතුම්ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *