අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමි
අයං වස්සාන කාලො
හේමන්ත – ගිම්හාන – වස්සාන යැයි අවුරුද්දේ දොළොස් මාසය තුනකට බෙදෙයි. ඉල් මස අවපෑළවිය (පසළොස්වක් පොහෝදාට පසු දින) පටන් මැදින් මස පසළොස්වක් පොහොය දක්වා සාරමස් කාලය හේමන්ත ඍතුවය. මැදින් මස අවපෑළවිය පටන් ඇසළ මස පුනු පොහොය දක්වා සාරමස් කාලය ග්‍රීෂ්ම ඍතුව ය. ඇසළ මස අව පෑළවිය පටන් ඉල් මස පුනු පොහොය දක්වා සාරමස් කාලය වස්සාන ඍතුවයි.
භාරතයෙහි (දඹදිව) මේ ඍතු පෙරළිය අද ද පෙර සේම සිදුවෙයි. හේමන්ත ඍතුව ආරම්භයේදී සෞම්‍ය වුවත් මධ්‍යයෙහිදී කිව නොහැකි තරම් අධික ශීතක් ඇති වෙයි. ග්‍රීෂ්ම ඍතුවෙහි උෂ්ණය ද එසේම කිව නොහැකි තරම් ය. වස්සාන ඍතුව වූ කලී අතරක් නොතබා ම තදින් වසින කාලයයි. වස්සාන ඍතුවේ හැර අන් කාලයන්හි වැහි වැටීම සාමාන්‍ය ස්වභාවය නොවන හෙයින් අන් කාලයන්හි වහින වැස්සට අකාල මේඝ යැයි කියති. නිල්වන් ප්‍රාණවත් තණ කොළ හා ගස්වැල් දැක්ක හැක්කේ වස්සාන කාලයේදී පමණය.
පළමු වස් විසීම
බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුනු පොහොදා බරණැස ඉසිපතන්හිදී පස්වග මහණුන් ප්‍රධාන පිරිසට ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් ධර්ම දේශනා කොට පළමු වැසි සාරමස එහිම විසූ සේක. එතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියක් නොතිබුණු නමුත් ආවේණික ධර්මයක් – බුදුන් රහතන්ගේ ස්වාභාවික පුරුද්දක් ලෙස වස් කාලයෙහි චාරිකාවේ නොගොස් එක තැනකම වූසූහ.
කල් යත් යත්ම පෘථග්ජන භික්ෂු පිරිස වැඩි වෙත්ම රහතන් වහන්සේගේ ස්වාභාවික ගති සිරිත්වලට වඩා වෙනස් වූ ගති පැවතුම් ද ඇති විය. වස් කාලයේ එක තැනක විසිය යුතු යැයි නීතියක් නොතිබුණු හෙයින් ඇතැම් භික්ෂූහු ඔබ මොබ ඇවිදින්නටත් පටන් ගත්හ. එහෙයින්ම වස් කාලයෙහි එක තැනක විසිය යුතු යැයි සිකපදයක් පනවන්නට සිදුවිය.
වස් විසුමේ ආරම්භය
වස් විසුමට සිකපදයක් පැනවීම පිණිස හේතු වූයේ මහජන උද්ඝෝෂණ යයි. ඒ උද්ඝෝෂණය කර තිබෙන්නේ එකල සමාජයෙහි පැවැති හැඟීම් දෙකක් මුල් කර ගෙන ය.
බුදුරජාණන් වහන්සේට වඩා වයසින් ටිකක් වැඩිමහලු වූ නිගණ්ඨනාථපුත්‍රගේ ධර්මය එවකට රටේ ප්‍රචලිතව තිබුණේය. ඒ සමයවාදී පැවිද්දෝ වැසි කාලයෙහි එක තැනම වෙසෙති. චාරිකාවෙහි නොයෙදෙති. ඒ සමය (ධර්මය) අසීමිත අවිහිංසා වාදයෙකි. එහෙයින් ම තණකොළ හා ගස් වැල්වලට පණ ඇතැයි ද ඒවා මැඬීම පාපයෙකැයි ද යන ඉගැන්වීම් කරන ලදී.
මේ විශ්වාසය තදින් බලපැවැත්වූ නිසා වැසි කාලයෙහි භික්ෂූන් ඔබමොබ යන එන විට තණකොළ ආදිය පෑගෙනු දුටු මහජනයා “වැසි කාලයෙහි අන් හැම තාපසවරු ම එක තැනක වාසය කරති. පක්ෂීහු පවා කූඩු තනාගෙන එක් තැන්ව වෙසෙති. එසේ වුව ද බෞද්ධ භික්ෂූහු වැසි කාලයෙහිද චාරිකාවෙහි යෙදෙති. ඒකින්ද්‍රිය ජීවයක් (පණ) ඇති තෘණාදිය පාගා පව් රැස් කෙරෙති. මෙය කොතරම් නුසුදුසු ක්‍රියාවක්ද? කියා දොස් නඟන්නට වූහ. මහජනයා නඟන මෙකී දෝෂාරෝපණය බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබිණ.
බුද්ධාගමයේ දැක්වෙන පරිදි එකින්ද්‍රිය ප්‍රාණීන් ලෙස ලෝකයා විසින් සලකනු ලබන ගස් කොළන් ආදියට පණක් ඇතැයි පිළිගැනෙතත් සත්ත්වයනට මෙන් හිතක් තිබෙන බවක් නො පිළිගැනෙයි. එහෙයින් තෘණාදිය මැඬීම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නො වෙයි. බුදුරජාණන් වහන්සේ ඒ කාරණය නො පිළිගනිතත් වස් කාලයෙහි එක තැනෙක වාසය කරන්නට “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” මහණෙනි, වස්සාන කාලයෙහි වස් එළඹීමට අවසර දෙමි. නියම කරමි’ යි ශික්ෂාපද පණවා වදාළ සේක.
පෙරවස් හා පසු වස්
වස් විසිය යුතු යැයි නියම කිරීමෙන් පසු වස් විසිය යුත්තේ කවරදා දැයි ප්‍රශ්නයක් ඇති විය. එයට පිළිතුරු දේශනා කළ බුදුරජාණන් වහන්සේ පෙරවස්ය, පසුවස් යැයි වස් විසීම් දෙකෙකැයි ද, එය අසුවල් අසුවල් දිනයන්හි යැයි ද වදාළහ.
“ද්වේමා භික්ඛවේ වස්සුපනායිකා පුරිමිකා ච පච්ඡිමිකා ච අපරජ්ජුගතාය ආසාල්හියා පුරිමිකා උපගන්තබ්බා, මාඝගතාය ආසාල්හියා පරිඡිමිකා උපගන්තබ්බා” මහණෙනි, පෙර වස්ය. පසු වස් යැයි වස් විසීම් දෙකෙකි. ඇසළ අවපෑළවිය දිනයෙහි – ඇසළ පුනු පොහොයට පසුවදා පෙරවස් එළඹිය යුතු ය. ඇසළ පුනු පොහොයෙන් මසක් ගත වූ දා එනම් නිකිණි මස පුනු පොහොයට පසුවදා පසුවස් එළඹිය යුතු ය.
පෙරවස් පවාරණය හෙවත් අවසානය වප් මස පුර පසළොස්වක් දා ය. පසුවස් පවාරණය ඉල් මස පුර පසළොස්වක දා ය. වැසි කාලයෙහි වස් එළඹෙන්නට නියම කර වදාළ හෙයින් සුදුසු තැනක් ඇතොත් පෙරවස් හෝ පසුවස් හෝ එළඹිය යුතුම ය. එහෙත් පසුවස් එළඹෙන්නේ යම්කිසි හදිසි බාධාවකින් පෙරවස වැළකුණොත් ය. පසුවස් සමාදන් වූවන්ගේ පවාරණය වස්සාන ඍතුවේ අවසානයේ පුනු පොහෝදා හෙයින් කඨිනයක් දීම හෝ ගැනීම නොකළ හැකි වේ.
වස් වසන සෙනසුන
වස් විසුම සුදුසු තැනක ම කළ යුතුය. එළිමහනෙහි විසීම හා රුක්මුල විසීම කෙලෙස් තවන උසස් ගුණයක් වුවත් එබඳු තැනෙක වස් විසීම නො කටයුතු ය. එය සුදුසු සෙනසුනක ම කටයුතු ය. මෙහි සුදුසු සෙනසුන නම් පියසි දොර කවුළු ආදිය ඇති වාසස්ථානය යි. එබඳු සේනාසනයක් නැත්නම් දායකයන් ලවා කැප සරුප් ලෙස කරවා ගත යුතුය. එබඳු දායකයකුත් නැතිනම් කැප සරුප් ලෙස තමන් හෝ පිළියෙල කර ගත යුතුය. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි වස් කාලය ළං වනවිට භික්ෂූහු කර්මස්ථාන ද ලබාගෙන වස් විසුමට සුදුසු තැන් සොයා ගිය බව නොයෙක් කථා ප්‍රවෘත්තීන් ගෙන් පැහැදිලිව පෙනෙයි.
වැසි සළුව
වැසි කාලයෙහි චාරිකාවේ නොයතත්, පිඬු සිඟා යාමෙහි යෙදුණු භික්ෂූහු අතර නොතබා වැටෙන වැස්සෙන් තෙමී පීඩා විඳින්නට වූහ. මෙය දුටු විශාඛා මහෝපාසිකාව “ඉච්ඡාමහං සංඝස්ස යාවජීවං වස්සික සාටකං දාතුං” ස්වාමීනි, මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමියි කීවා ය. “අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං” මහණෙනි, වැසි සළුව අනුදනිමියි වැසි සළුව නියම කොට වදාළ සේක.
මේ වැසි සළුව ද සිවුරකි. එහෙත් සඟල සිවුරු ආදියට වඩා දිග පළලින් වැඩි ය. ප්‍රයෝජනයට ගත හැක්කේ වැසි සාරමස පමණකි. මෙය තමන්ම කැප කරුවනට දන්වා වුවත් පිළියෙල කරවා ගත හැකි ය. සොයා ගත හැකිය. එහෙත් හැම කාලයෙහි ම එය සෙවිය නොහැකි ය. ග්‍රීෂ්ම ඍතුව අවසන් වන්නට මසක් තබා සෙවිය හැකිය. ඊට ප්‍රථම සෙවීම හෝ පෙරවීම හෝ නොකළ හැකිය.
මේ වැසි සළු සිවුර මෙකල කිසිදු බෞද්ධ රටක නැත. මෙහි දිග පළල කියා ඇතත් තනන අයුරු කොතැනකවත් සඳහන් නො වෙයි. ඒ නිසා ශික්ෂා ගරුක මහ තෙරවරුන් නියම පිළිවෙළ නොදන්නා හෙයින් “බුද්ධ නියමය උල්ලංඝනය වේය” යි බියෙන් එය තනා ගන්නවත් උත්සාහ නො කරති. එසේ වුවද මේ සිවුර සමහර පළාත්වලට ඉතා ම අවශ්‍යය. විශේෂයෙන් වස්සාන කාලයෙහි ඉන්දියාවේ සහ ලංකාවේ නුවරඑළිය වැනි උඩරට පළාත්වලට ද මෙය ඉතා අවශ්‍ය බව කිව යුතුය. මේ වැසි සළු සිවුර හිස පටන් ඇඟත්, සිවුරුත් වැසෙන්නට පොරෝනා එකකි. වැසි කල මෙය පොරවා ගත් කල්හි කුඩයක් නැතිව ද නොතෙමි යා හැකි වැසුම් කබායක් (ඕවර් කෝට් එකක්) වැන්නක් විය යුතු යැයි අනුමාන කළ හැකිය.
වස් ආරාධනාව
දායකවරුන්ගේ ආරාධනාවක් ලැබුණත්, නොලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම වැනි බාධාවක් නැතොත් භික්ෂූන් විසින් වස් විසිය යුතුය. වස් ආරාධනා කරන්නේ දායකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙකල මෙන් නොව පෙර භික්ෂූන් වහන්සේ නිතර එක තැනෙක වාසය නොකළහ. අවුරුද්දෙන් වැඩි කාලයක ම චාරිකාවෙහි යෙදුණහ. භික්ෂුන් වහන්සේ නිතර එක තැන වාසය නොකිරීම නිසා දායක පින්වතුන්ට අවශ්‍ය අවස්ථාවන්හි ධර්ම ශ්‍රවණය හෝ ධර්ම සාකච්ඡාව හෝ සුලබ නොවීය. එහෙයින් ම ගුණ ධර්ම පිරුම ද පහසු නොවී ය. යම් පළාතක දායකවරුනට භික්ෂූන් වස්වසවා ගන්නට ලැබුණොත් ඒ පළාත් වාසීන්ට සිවු පසයෙන් උපස්ථාන කොට පින් ලබා ගැනීමටත් වඩා ශීල භාවනාදී ගුණ ධර්ම පිරීමෙන් යහපත සැලසෙන්නේය. දන් දීම නම් භික්ෂුන් චාරිකාවෙහි යෙදෙන කාලයන්හිත් කළ හැකි වේ. ඒ නිසා වස් වසවා ගන්නා දායකයන්ගේ පරමාර්ථය විය යුත්තේ තමන් උපස්ථාන කරන භික්ෂුන් ආශ්‍රයෙන් ගුණ ධර්ම දියුණු කර ගැනීම ය. ඇතැම් අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ ද සිවු පසයෙන් උපස්ථාන කොට පින් ලබාගන්නට යැයි කළ වස් ආරාධනා ප්‍රතික්ෂේප කොට (ඉවත දමා) ගුණධර්ම දියුණු කර ගැනීමට ආධාරයක් වශයෙන් වැඩසිටින්නැයි කළ ආරාධනා ඉවැසූ බව පෙනේ.
වස් කාලය භික්ෂූන් ද එක තැනක නැවතී විශේෂ කර්මස්ථාන වැඩීම කරන නිසාත්, දායකවරු ද සාමාන්‍ය කාලවලට වඩා සීල භාවනාදී ගුණධර්ම පිරීමෙහි නිරතව කල්ගෙවන නිසාත් පුණ්‍යකාලය හැටියට ද සම්මත විය. ඒ නිසා කඩ නො කොට නොවැස්සත් වස් කාලයෙහිවත් එක තැනකට වී විසීම හැම ලෙසින්ම සුදුසු ය.
වස් වසන දින ඒ ඒ තැන්වල මහ තෙරු වහන්සේ අවශේෂ භික්ෂූන්ට කරන ලද අවවාදවලින් ඒ කාලය තුළ භික්ෂූන්ගේ අප්‍රමාද භාවය ද මැනැවින් පැහැදිලි වෙයි. “කෙසේ ද ඇවැත්නි, අප අප්‍රමාද විහාරී විය යුතු නොවේද? අපි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කමටහන් ලැබ ආවෝ වෙමු. සටකපට බැවින් බුදුවරුන්ගේ සිත් නොගත හැකිය. බුදුවරු කලණ අදහසින් ම සිත් ගත යුත්තෝය. ප්‍රමාදව වාසය කරන්නවුන් හට අපාය සිය ගේ හා සම ය. ඒ නිසා ඇවැත්නි, අප්‍රමාදව මහණදම් පුරව්” මේ වනාහි චක්ඛුපාල තෙරුන් වහන්සේ සෙසු භික්ෂූනට වස් වසන දින අවවාද කළ ආකාරය යි.
ලංකාවේ ප්‍රථම වස්සාවාසය
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් පුර පසළොස්වක් දා මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක. එම වස ඇසළ පුනු පොහොදා අරිට්ඨ කුමරුන් ප්‍රධාන සපණස් (56) දෙනා තුම්බුරු සීමා මාලකයෙහි පැවිදි උපසපන් වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන දඹදිවින් වැඩම කළ භික්ෂූහු ද දේවානම්පියතිස්ස රජිදුන් විසින් කණ්ඨක චෛත්‍යස්ථානයෙහි කැර වූ අට සැට ලෙන්හි වස් විසූ සේක. මෙය ලංකාවේ ප්‍රථම වස්සාවාසය යි. එදා පටන් ලක්වැසි ගිහි පැවිදි දෙපස ම විශේෂ පුණ්‍ය කාලයක් ලෙස වස් කාලය ගත කිරීම මේ තාක් අත්හිටවී නැත.
අපේ සිංහල රජදරුවන් කළ අසිරිමත් කඨින පින්කම්
පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා මහත් සැදැහැයෙන් භික්ෂූන් වහන්සේ වස් වසවා කඨින පින්කම් අසූවක් සිදු කළ බව වාර්තාවේ. කෝට්ටේ සවැනි පැරකුම්බා රජතුමා ද ගණනින් කඨින පින්කම් තුන් දහසක් කළ බව සඳහන් වේ. මහනුවර (සෙංකඩගල) රාජ්‍යය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කඨින පූජා පින්කම් රැසක් සිදු කළ අතර ඔහුගේ බාල සහෝදර රාජාධිරාජසිංහ රජතුමා ද වාර්ෂිකව කඨින පූජා පින්කම් සිදු කිරීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කළ බව සඳහන් වේ.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!
මූලාශ්‍රය, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ
මහ නායක හිමියන්ගේ (2009) වස් විසීම වස් පවාරණය යන කඨිනානිශංසය නමැති කෘතියෙනි.

