අශෝකා අබේවර්ධන
(බුද්ධ මාතා නම් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේගේ අර්හත්වය දක්වා පුවත පසුගිය කලාපයෙහි දක්වන ලදි. මෙවර උන්වහන්සේගේ පරිනිර්වාණ සමය විස්තර කෙරේ.)
බුදුන් වහන්සේගේ සේ ම සියලු රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම ද අසිරිමත් මංගල්ලයක් ම වන්නේ ය.
අතීත කර්මයන් ක්‍ෂය කොට නව කර්මයන් ද නූපදවා, තෙල් ද වැටි ද අවසන් වූ පහන නිවී යන්නා සේ රහතන් වහන්සේ පිරිනිවන් පානා සේක.
රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල්ලයක් වන්නේ කෙසේ ද? ඒ උන්වහන්සේ සියලු දුක් නිම කොට මේ සා කුරිරු වූ ද, කම්කටොලු ගහණ වූ ද සංසාර කතරෙහි යළි උපතක් සිදු නො කරගන්නා හෙයිනි. සියලු දුකට මුල ඉපදීම වෙයි. ඉපදීම නිමා කිරීම මොන තරම් සුන්දර අසිරිමත් දෙයක් දැ යි නිතර විමසීම ද නිවනෙහි බැඳුණු සිතින් විසීම ද මහාර්ඝ වූ කරුණකි.
මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ බුදු සසුනෙහි මහණ ව භික්ෂුණී ශාසනය ඇති කරවා බුදු රදුනට උත්තම ප්‍රතිපත්ති පූජා පවත්වමින්, එපමණක් නො ව තමන් වහන්සේ ද සියලු දෙව් මිනිසුන් අතින් නොයකුත් පුද සත්කාර ලබමින් විශාලා මහනුවර ලිච්ඡවී රජුන් විසින් කරවා පිළිගන්වන ලද ආරාමයෙහි වෙසෙමින් සිවුපස දානය වළඳා නිතර නිතර ගොස් බුදුන් දැක දහම් අසා එන සේක. බුදුන් වහන්සේ ද කලින් කලට එනුවරට ගොස් ලෝවැඩ කරමින් දනව් සැරිසරා වැඩ වසන සේක. එක් කලෙක බුදු රජු අසු මහා ශ්‍රාවකයන් ප්‍රධාන සඟ පිරිස් පිරිවරා විශාලා මහනුවර වැඩ වදාළ සේක.
එකල හත් දහස් හත් සිය දෙනෙකු වූ ලිච්ඡවි රජුන් හා එම බිසෝවරුන් සිටුවරුන් හා ශ්‍රද්ධාවන්තයන්ගේ පූජා උත්සවයෙන් කූටාගාර ශාලාව වෙත බුදුහු වැඩමවූ හ. රතන සූත්‍ර දේශනාවෙන් තුන්බිය දුරු කොට සුවසෙත උදා කළ තැන් පටන් තමාගේ නුවර දී යම් කලෙක බුදුන් දුටුවේ නම් පෙර සේ ම පෙර ගමන් කොට බුදුන් පුද පුදා, එතැන් පටන් සත් දවසක් බුදුන් දුටු සතුටින් ප්‍රමුදිත ව උත්සව කළ හ. එලෙස ඒ දින ද උත්සවයක් පටන් ගත් හ.
එදවස ගෝතමීන් වහන්සේ ද බුදුන් වැඩි පුවත් අසා සිවුරු හැඳ පෙරව පන් සියයක් මෙහෙණින් පිරිවරා මණි කවච ලූ පන් සියයක් ඇතිනි පෙළක් සේ බුදුන් පෙර මඟට ගොස් සිරිපා පුදා වැඳ බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස්හි අසිරි සොබා දැක සතුට පිරුණ සිතැති ව යළිත් තම මෙහෙණවරට ගොස් අර්ධ පර්යංකයෙන් වැඩ හිඳ මෙසේ සිතූ සේක.
මපුතණුවන් වහන්සේගේ ශ්‍රාවකයන් බොහෝ ය. එසේ ම ඉතා ම සමඟි සම්පන්නය හ. ශ්‍රාවකයෝ බුදුනට හොබනා හ. බුදුහු ශ්‍රාවකයනට හොබනා හ. බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ අනූනත්වයට කැමති වන සේක. කිමෙක් ද? මේ වන විට බුදුන්ගේ ශ්‍රාවකයන් අතුරින් අඩු වූ කෙනෙක් ඇත් දැ යි බලා එක ශ්‍රාවක කෙනෙකුත් අඩු නො වූ බව දැන ඉතා සතුටට පත් ව “සාධු සාධු” යි තුන් යලක් උදන් අනා ශාසනයෙහි අඩුවක් කවර කලෙක වන්නේ දැ යි අනාගතය බලා වදාළ හ.
නොබෝ කලකින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ඛේමා, උත්පලවණ්ණා, නන්ද, රාහුල, යශෝධරා ආදි මහ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බුදුන් වහන්සේට පළමු කොට පිරිනිවන් පානා නියාවත්, පසුව බුදුන්ගේ පරිනිර්වාණය ද සිදු වන නියාවත්, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වන නියාවත් මැනවින් දැක ‘මාගේ බුදුන්ගේ ශාසනයෙහි මතු වන්නා වූ ඌනතාවයන් මා වැනියන් නුදුටුව මනා ය. එම අසමෘද්ධියක් නො දකින්නෙමි’ යි සිතූ හ.
මවුපියන්ගේ අභාවයන් දරුවන් විසින් දැකීම ලෝක සාධාරණ ධර්මයකි. එසේ වූවත් දරුවන්ගේ පරිහානිය (මරණය) මාපියන් විසින් නුදුටුව මනා ධර්මයක් ම ය. එහෙයින් මා බුදු පුතණුවන් දැක්ක දී ම නිවන්පුරයට නික්මුණ මනා ම ය. මගේ අභිඥා බලයෙන් කොතෙක් කල් මුත් ජීවත් වීමට පොහොසත් නමුත් එය ද රහතන් වහන්සේගේ ධර්මය නො වේ. තමන් වහන්සේ නව යොවුන් වයසේ සේ පෙනෙන නමුත් එක සිය විසි වයස් ගිය බව ද, වයස කෙළවර ගිය බව ද දැන බුදුන් දැක අවසර ගෙන සියලු ශ්‍රාවකයන්ට පළමුව තමා ම නික්මුණ මැනවැ යි සිතූ සේක. එකෙණෙහි ඒ සිත හා සමග ම මහ පොළොව කම්පිත ව වෙව්ලා සෙලවිණ. අහස් තලය ද ගිගුම් දුනි.
එම පෙළහරින් කුතුහලයට පත් පරිවාර මෙහෙණියන් වහන්සේ හැම දෙන ගෝතමීන් වහන්සේ බැහැදැක, වැඳ සිට “ස්වාමීනි ආර්යාවෙනි, අහස පොළොව කම්පිත ව ගිගුරුම් දුන් කාරණා කිම් දැ?” යි විචාළ හ.
“දරුවනි, ඒ අනෙකක් නිසා නො වෙයි. මාගේ බුදුන්ගේ ශාසනය ඌන වනු නො දැක සැමට පළමු කොට ම පිරිනිවන් පාමි යි සිතීමි. එම සිතුවිල්ල නිසා උපන් පෙළහරකි ඒ. පිරිනිවීම සඳහා බුදුන් අතින් අවසර ඉල්ලා යමි” යි ද කී හ.
ඒ බස් ඇසූ පරිවාර මෙහෙණින් වහන්සේ, තාරකාවන් සිටිය දී ම සඳ තනි ව ගමන් යෑම නොහොබනා සේ අප හැම සිටිය දී නුඹ වැනියන් එකලා ව නිවන්පුර යෑම නොහොබනේ ය. මහණ වන දා ද එක් ව ම ගිහිගෙයින් නික්ම මහණ වීමු. අමා දහම ද එක් ව ම අවබෝධ කොට ගතිමු. “ආර්යාවෙනි, ඔබ වහන්සේ නොමැති මේ පින් බිමෙහි අපට ද තනි ව හිඳ පලක් නො වේ. සසරින් ගැලවී යෑමත් එක් ව ම යමු” යි කියා සිටිය හ. එවේලෙහි යහපතැ යි ගිවිස මෙහෙණවර අරක් ගත් දෙවියන්ට ද පින් දී බුදුන් දැක්මට නික්මුණා හ.
එපුවත් අසා හත් දහස් හත් සිය දෙනෙකු වූ ලිච්ඡවී බිසෝවරුන් පෙර මඟට රැස් වූ හ. ඒ බිසෝවරුන් ආදි ස්ත්‍රී සමූහයාට ඔවා දී භික්ෂුණී ශාසනෙහි චිර පැවැත්මට කළ යුත්ත මැනවින් ඉටු කළ බවත් පවසා කූටාගාර ශාලාවට ගොස් බුදුන් දැක වැඳ එකත්පසෙක හිඳ මෙසේ පැවසූ සේක.
“අහං සුගත තේ මාතා – ත්‍වඤ්ච වීර පිතා මම
සද්ධම්ම සුඛදෝ නාථ – තයා ජාතම්හි ගෝතම”
යනාදි වශයෙන් විසිතුරු ගාථා පෙළක් ම කිය කියා වන්දනා කළ හ.
“දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් ගෙන් ද අසූවක් අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන් ගෙන් හා අනූපම රූපකායකින් කප්රුකක් සේ බබළන්නා වූ ශ්‍රීවන්ත වූ මා පුතණුවන් වහන්ස, ගෞතම නම් වූ බුදු පියාණන් වහන්ස, නුඹවහන්සේ පා පිස ලූ පාබිස්ස පවා දෙව් බඹුන්ට මුදුන් මල්කඩ කළ වීර පුරුෂයාණන් වහන්ස, ධර්මපාල ජාතක චුල්ලනන්දිය ජාතකාදි නොයෙක් ජාතිවල මවු වීමි. නුඹ වහන්සේ මගේ ම පුතණුවන් වහන්සේ ම ය. එසේ වුවත් මේ ජාතියෙහි ම ආර්ය කුසින් මා වදා ලූ හෙයින් මම නුඹ වහන්සේගේ දියණි වෙමි. නුඹ වහන්සේ මාගේ පියාණන් වහන්සේ ම ය. එසේ ම ස්වාමීනි, නුඹ වහන්සේගේ රූපකාය පමණක් පෙම් කොට වැඩීමි. නුඹ වහන්සේ මගේ ධර්මකාය වඩාලන ලද හෙයින් නුඹ වහන්සේ මට ලබා දුන් දරුකම ම වඩා වටනේ ය.
මොහොතක් කල් කුසගිනි සමනය කරන්නා වූ කිරි පොවා නුඹ වහන්සේ නළවා ලූ නමුදු නුඹ වහන්සේ වෙතින් සදහම් අමා කිරි දී සංසාර ව්‍යසනයෙන් මා ගැලවූ අප්‍රමාණ සංග්‍රහයක් ලදිමි. එසේ හෙයින් මා පෙවූ තන කිරට වඩා නුඹ වහන්සේ මට පෙවූ අමා දහම් කිරි රසයෙන් ද උතුම් ම ය. අසමාන ය.
තව ද පුතණුවන් වහන්ස, ඔබ වහන්සේ කුඩා කල රජගෙයින් පිටත කෙළි සෙල්ලම් කරද්දී මම නුඹ වහන්සේ පසුපස සෙවණැල්ලක් සේ හිඳිමින් වැසි සුළං මැසි මදුරු ආදි ව්‍යසනයන් ගෙන් රැක ගතිමි. ශ්‍රී යහන්වල සතපා, නළවා නිදි ගන්වා ලෝකයෙහි සියලු මවුන් සියලු දරුවන්ට ම කරන්නා වූ සාධාරණ වූ දරු සත්කාරකමක් නුඹ වහන්සේට කෙළෙමි. එහෙත් ස්වාමීනි, බුදු පියාණන් වහන්ස, නුඹ වහන්සේ මා සංසාර ව්‍යසනයන්ට හසු වන්නට ඉඩ නො දී කරුණා මෛත්‍රියෙන් සසුන්හි පිහිටුවා මාර්ගඵල නමැති රථයෙන් ගෙන ගොස් නිවන් මඟ පායෙහි ධ්‍යාන නමැති ශ්‍රී යහනෙහි හොවා සමවත් සුවයෙන් අමා මහ නිවන් සුවක් ලබා දී නුඹ වහන්සේ මට දුන් දරු සෙනෙහස් සත්කාර සුවහස් ගුණයෙන් වටනේ ම ය.
එක මස්සකින් කළ සංග්‍රහයට සුවහස් රන්මසු දුන්නා වැනි ය. මාතෘ ධර්මයෙනුත් නුඹ වහන්සේ උතුම් ම ය. දරුවන් පතන්නා වූ සියලු මවුවරුන් ම නුඹ වහන්සේ වැනි සිරිබර පුතුන් ම පතත් වා යි ලබත් වා යි මා දැන් ලද දරු සිරි මුළු ලොවෙහි ම පින්වත් සියලු කුල ස්ත්‍රීන් ම ලබත් වා යි පැවසූ සේක.
මහා මන්ධාතු ආදි මහ බලවත් සක්විති රජුන් වැදූ මවුන් පවා සංසාර සාගරයෙහි ගැලී දැන් දක්වාත් එතෙරක් නො දැක සසරෙහි ඇවිද රජුන් වැදූ කුසින් කලෙක චණ්ඩාලයන් බිහි කරති. කුරු කුහුඹුවන් නයි පොළඟුන් ද ගවමහීෂාදීන් ද වදති. එසේ ම සසරෙහි තෙරක් නො දකිති. මම වනාහි සංසාරයෙහි නොයෙක් ජාතියෙහි නුඹ වහන්සේ වදා, මේ ජාතියෙහි මගේ බුහු නැණියන් විසින් වදන ලද නුඹ වහන්සේ, වැඩූ පින් පමණකින් සංසාර සාගරයෙන් ගොඩනැඟී බය නැති ව ම නිවන් ශ්‍රී විඳිමින් සිටියෙමි. පෙර මා සසර ඇවිදින කල ද එක පුතෙකුට-දුවකට-මවකට-පියෙකුට, හිමියෙකුට හැඬූ කඳුළට සතර මහා සාගරයෙහි ජලය උපමා කළ නොහැකි ය. සයුරු දිය මඳ ම ය. කඳුළු බොහෝ ය.
නොමළ තැනෙක් ද, නූපන් කුසක් ද නැත. එසේ වූ මම නුඹට මවු වූ පිනෙන් අනෙකකු නො වදමි. අනෙක් කුසකින් නො උපනෙමි, අජර වීමි, අමර වීමි, අමා මහ නිවන් දුටිමි. මේ කරුණකින් මා ලැබුවා වූ උතුම් පුත්‍ර සම්පත් ලද අනෙක් ස්ත්‍රියක් නැත් ම ය.
රජුන්ට මවු වන්නා වූ ද, අග මෙහෙසින් ස්ත්‍රීන් ලෝකයෙහි සුලබ ය. බුද්ධ මාතා යන මා වැනි ස්ථානාන්තර ලද ස්ත්‍රීහු කල්ප ලක්‍ෂයකිනුත් අසංඛ්‍යකිනුත් දුර්ලභ වන්නා හ. සෙසු කල් තබා මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය පුරාවට උපන්නා වූ රාජ මහේෂිකාවරුන් ද රාජ මාතාවරුන් ද අසංඛ්‍ය ගණන් වූ හ. බුද්ධ මාතාවරු අට විසි දෙනෙක් පමණක් ම වූ හ. මේ ආදි කාරණාවෙන් මා ලැබුවා වූ ස්ථානාන්තර ලබන්නා වූ ස්ත්‍රීන් ඉතා දුර්ලභ ය.
එසේ හෙයින් ස්වාමීනි, බුදු පියාණන් වහන්ස, මම ස්ත්‍රී ජාතියෙනුත් අග පැමිණියෙමි. මා කළා වූ ප්‍රාර්ථනාව සමෘද්ධ විය. එක සිය විසි අවුරුද්දක් ආයු වළඳාත් සිටිමි. එබැවින් නුඹ වහන්සේගේ අනූන වූත් නිර්මල වූත් ශාසනයෙහි සැමට පළමු කොට නිවන්පුර යනු කැමැත්තෙමි. අවසර දෙනු මැනවැ” යි අවසර ඉල්ලා සිටියා ය.
“බුදු රජාණනි, බුදු කෙනෙකැ යි යන නම ඇසීමත් පරම දුර්ලභ ය. එසේ හෙයින් මම නුඹ වහන්සේගේ බුදු සිරුරෙහි ළය මඬල සිත් සේ බලා නුඹ වහන්සේ පා පියුම් සිත් සේ වැඳ සිත් සනසා ගන්නා කැමැත්තෙමි. නුඹ වහන්සේගේ මඟුල් ලකුණින් දිලිසෙන දෙව් බඹුන්ට මුදුන් මල්කඩ වූ ද සත් දහස් අට සියයක් යොදුන් උස රාහු අසුරේන්ද්‍රයන් පවා සඟවා තබන්නට තරම් ආනුභාව ඇති සුරක්ත වූ ශ්‍රී පාද නමැති පියුම් යුග මා කරා දිගු කළ මැනව. තව ද සවණක් රසින් දිලිසෙන නුඹ වහන්සේගේ මනෝහර රූපකාය මඳක් දක්වා වදාළ මැනව. සිත් සේ නුඹ වහන්සේගේ රූසිරි බලා නිවන්පුර යනු කැමැත්තෙමැ” යි බුදු රදුන්ට දැන්වූ සේක.
එවේලෙහි මෑණියන් වහන්සේගේ ප්‍රේමණීය කථා ඇසූ බුදු පුතණුවන් වහන්සේ මහත් වූ කරුණා ඇති ව සුරක්ත වූ සුගත චීවරය මඳක් පහත් කොට ඌර්ධව කාය දක්වා රත් පියුම් දෙකක් වන් ශ්‍රී පාද පත්මයන් ද දිගු කළ සේක. ඌර්ධව කයෙන් නිකුත් බුදු රැස් කඳ අහස් කුසට අසූ රියන් උස් ව පැන නැඟී එකලු කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ශ්‍රීපාද පද්මයෙන් නිකුත් රැස්කඳ එසේ ම මහපොළෝ තලයෙහි අසූ රියන් විනිවිද රන් පිඩැල්ලක් සේ වෙමින් සිටගත.
එකල ගෝතමීන් වහන්සේ බුදු පුතණුවන් වහන්සේගේ රූප ශ්‍රී හා සියොළඟින් දිවෙන බුදු රැස් සිත්සේ බලා බුදුන් දිගු කළ ශ්‍රී පාදයෙහි ඇඟිලි අග තමන්ගේ සිරස ස්පර්ශ වන සේ වැඳවැටුණා හ. අනතුරු සෙනෙහෙ තෙපුල් කිය කියා බුදු රදුන් කමා කර ගත්තා ය.
“ස්වාමීනි, මා සොයුරී මහමායා දේවීන් කුසෙහි රන් කරඬුවෙක රන් පිළිමයක් සේ දිලිහි දිලිහී මවුනට සුව දෙමින් වැස මහ බඹුන් අතට බිහි වූ වීර පුරුෂයාණනි, එතැන් පටන් මා උකුළෙහි වැඩී මවුනට සේ ම සිරිඅසිරි දුන් පුතණුවන් වහන්ස, වැදූ මවුන් පියන් ඇතුළු සියලු ලෝවාසීන් ම දරු කොටගත් බුදු පියාණන් වහන්ස, අනන්තාපරියන්ත වූ සංසාරයෙහි ළාමක වූ නුගුණයට ආකර වූ ස්ත්‍රී ජාතියෙහි උපන් බැවිනුත්, බොහෝ වර මා උකුළෙහි වැන් මහණකොට හික්මවීමි.
ඔවුන් අතින් මට නොහික්මුණු කිසියම් කෙනෙකු වෙත්නම් ඒ වරද ද කමා කළ මැනව. මේ ජාතියෙහි නුඹ වහන්සේ මට බුදු පිය වන බව නො දැන පුත්‍ර ව්‍යවහාරයෙන් ඇමතීමි. ඔබ වහන්සේ වෙසෙන ගඳ කිළිය ද, වැඩ හුන් ආසනය ද, සැතපුණ යහන ද, වැළඳූ පාත්‍රය ද ධාතුන් වන බව නො දැන නුඹ වහන්සේ ඉතා ළදරු කල නුඹ වහන්සේ වසන ගෙයිත් වාසය කෙළෙමි. එක අසුනේ ද හිඳියෙමි. එක යහනේ ද සයනය කෙළෙමි. නුඹ වහන්සේට බත් කවනා කල මම ද ඒ තලියෙන් ම බත් අනුභව කෙළෙමි. මේ ආදි පුත්‍ර ප්‍රේමයෙන් මා කළා වූ වැඩීම අනන්තාපරියන්ත වූ බුද්ධ මාතාවනුත් කොට ආ සිරිතක් ම බැවින් එහි මාගේ දොසක් ද නො දකිමි. එසේ වුවත් නො දැන කළා වූ බුද්ධ මාතා ධර්මයෙහි අඩුවක් වෙත්නම් සමාව දී වදාළ මැනවැ” යි වැඳ වැටී ඉල්ලා සිටි සේක.
එවේලෙහි බුදු පියාණන් වහන්සේ “ඒ නම් නුවණැත්තන්ගේ ක්‍ෂමා කිරීමක් නො වේ. නිරපරාධ වූත් නිවැරැදි වූත් අයට ක්‍ෂමා කරවීමත් ක්‍ෂමා කිරීමත් කළ යුතු දෙයක් නො වේ. අමා මහ නිවන් දුටුවෝ නම් ඔවුනොවුන් ක්‍ෂමා කිරීමක් උවමනා නො වේ. නිවන් දැකීමෙන් ම ඔවුනොවුන්ගේ වැරදි නිමා වෙයි. එසේ වූවත් තොප විසින් බුදුන් කෙරෙහි ආදරයෙන් කීම පූර්ව ධර්මයක් වේ. සමාව දීම නම් බුදුන්ගේ ධර්මයක් මැයි. ලෝක ධර්ම ව්‍යවහාරයෙන් ලෝවැසියන්ගේ චිත්තාරාධනාව නිසා ක්‍ෂමා කළම් හ” යි වදාළ සේක.
“බුද්ධ මාතාවෙනි, තොප වැනියන් ශාසන පරිහානිය නුදුටුව මනා ම ය. තාරකා බන්ධූන් නිශ්ප්‍රභාවට පත් වීම නම් නො මනා ම ය යි පූර්ව භාගයෙහි හස්ත පර්වතයෙහි සඳ මඬල සැඟව යන්නා සේ නුඹ ද මේ ශ්‍රාවක සමූහයාත් සුගත සූර්ය රාජයාත් සසුන නමැති ගුවන් ගැබ බබුළුවමින් සිටිනා අතර ම සසුනෙහි යම් අඩුවක් නො දැක ම පිරිනිවන් පෑම යෙහෙකැ” යි අවසර දී වදාළ සේක.
එවිට ගෝතමීන් වහන්සේ ශ්‍රී පාද මූලයෙන් නැඟිට තරු පිරිවරා යන පූර්ණ චන්ද්‍රයා සේ පන් සියයක් මෙහෙණින් පිරිවරා තුන් යලක් බුදුරදුන් පැදකුණු කොට දොහොත් මුදුන් දී වැඳ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගාථා ගයමින් අවසර ලබාගත්තා ය.
ඔබ මා ඇතුළු සියලු ස්ත්‍රීන් ද සීල සමාධි ප්‍රඥා නමැති රන් අබරණින් සැරසී තම තමන්ගේ පිරිනිවන් මංගල්ලයට සූදානම් වීම බොහෝ සෙයින් වටිනා බව මෙනෙහි කරමු.
(පූජාවලියෙහි 27 වැනි පරිච්ඡේදය ඇසුරෙනි.)