බුදු දහමේ ව්‍යාප්තියට ඉවහල් වූ තාරුණ්‍ය

cmadurawala
6 Min Read

ධර්මාචාර්ය ජයවර්ධන ලියනගේ

අතීතයේ දඹදිව පැවැති විවිධ වූ ආගමික ඇදහිලි හා පුද සිරිත් අතර බ්‍රාහ්මණ දහමට ප්‍රමුඛතාවයක් හිමිවිය. ජෛන, නිගණ්ඨ ආදී පිරිස් ද තම මතවාදයන් සමාජගත කළහ. මෙවන් විෂම ආගමික පරිසරයක අතරමං වූ තරුණ බුද්ධිමත්හු උකටලී නොවූහ. ඔවුනට අවශ්‍ය වූයේ සංසාරික බැඳීම්වලින් මිදුණා වූ, පරම සත්‍ය වූ, විමුක්ති මාර්ගයකි. මෙසේ සත්‍ය සොයන්නවුන් අතර ශාක්‍ය පුත්‍ර සිද්ධාර්ථයන්ට හිමි වන්නේ අසමාන වූ පිළිගැනීමකි. රජ සැප හැර දමා ජීවිතයේ හිස් බව හැඳින එකුන් තිස් වැනි වියේදී හෙතෙම පැවිදි විය. අධිෂ්ඨානය හා උට්ඨාන වීර්යය නිසාම සය වසරක දුක්ඛ ප්‍රාප්තියකින් පසු මැදුම් පිළිවෙතින් උතුම් නිර්වාණාවබෝධ කළහ.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් සමලංකෘත වූ තරුණ ශාස්තෘවරයකු වීමත් රාජකීය පෙළපතකින් පැවතෙන්නකු වීමත් නිසාද තමන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක සිත් බැඳී ගියේය. “ධුවාච බ්‍රහ්ම චරියා” තරුණ වියේදීම බඹසර රැකිය යුතු යැයි උන්වහන්සේ දේශනා කළ සේක. මේ නිසාම තරුණ පිරිස් ස්වකීය අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමටත් ධර්මාවබෝධ පිණිසත් බුදුන් වහන්සේ වෙත පැමිණියහ. පස්වග තවුසන් වූ ප්‍රථම රහත් පස්නම හැරුණු විට යසකුල පුතු ඇතුළු පනස් පස්දෙනාම යොවුන් කුමාරවරුය. මොවුහු සැටනම පළමුව ධර්ම චාරිකාවේ නියැළුණෝය. එතැන් සිට තව තවත් තරුණ පිරිස් අතර සදහම් පණිවුඩය ගියහ.

මිතුරන් සියලු දෙනාටම බිරියන් සිටිය ද තමන්ට නොසිටි බැවින් වෙනත් රූමත් තරුණියක කැටිව වනාන්තරයේ විනෝද චාරිකාවක නියැළුණු භද්දවග්ගිය කුමාරවරු ද සදහම් සෙවණේ සැනසුණහ. රන් රුවන් මිණි ඔටුනු හැරපියා තුණුරුවන් කෙරෙහි බැඳුණු සිතින් අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත ආදී රාජ කුමාරවරු බුද්ධ පුත්‍රයෝ වූහ. එකල්හි ද නැටුම් ගැයුම් බැලීමට යෑම තරුණයන් අතර ප්‍රචලිත වූහ. මෙයින් කලකිරුණු සිත් ඇති කෝලිත හා උපතිස්ස දෙදෙනා අස්සජි හිමි වෙතින් දහම් අසා සැනසුණහ. පසුකාලීනව සැරියුත් හා මුගලන් නමින් දෑගසව් වූයේ මේ උතුම් රහතුන් දෙනමයි. නන්ද, රාහුල, මහා කාශ්‍යප හා සීවලී මහ රහතන් වහන්සේලා ද තරුණ වියේදීම පැවිදි උපසම්පදාව ලැබූහ. පසුව අසූ මහා ශ්‍රාවක පිරිස අතර අග්‍රස්ථානයට පත් වූහ. මහා ප්‍රජාපතී ගෝතමියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹුණ භික්‍ෂුණි සාසනයේ ද වැඩි පිරිස නව යොවුන් කාන්තාවෝ වූහ. භද්දකච්චායනා, කුණ්ඩලකේෂි වැනි කුමාරිකාවෝ රාජ සම්පත් හැර දමා සසුන්ගත වූවෝය. පටාචාරා, කිසාගෝතමිය තරුණ වියේදීම වියෝ දුකින් ජීවිතය අවුල් කරගෙන බුදුන් සරණ ගියෝය. රූප සම්පත්තියෙන් අනූන වූ ඛේමා මෙන්ම උප්පලවන්නා ද පැවිදිව රහත් වී අග්‍රශ්‍රාවිකාවන් වූයේ ද බුදු සසුනට තවත් තරුණ දායකත්වයන් දායාද කරමිනි. සාමාවතිය මෙන්ම රජ්ජුමාලා ද සමාජ අසාධාරණයන්ට ලක්වූ තරුණ කතුන් වූහ. ඔවුන්ට සැනසීම උදා වූයේ ධර්මය ශ්‍රවණය කිරීමෙනි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද බුදු සමයේ ව්‍යාප්තියට තරුණ දායකත්වය නොඅඩුව ලැබිණි. දේශ දේශාන්තරවල ධර්ම ප්‍රචාරණයට මහඟු සේවාවක් කළ අශෝක අධිරාජ්‍යයා බෞද්ධයකු වූයේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාර්ගයෙනි. එනිසා රජතුමාට සදහම් පණිවුඩය ලබාදීමේ ගෞරවය මේ තරුණ හිමියන්ට හිමි විය යුතුමය.

ලක්වාසී අපට බුදු දහම රැගෙන පැමිණියේ අශෝක පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේය. රාජකීය අනුග්‍රහය හා තරුණයන්ගේ ද දායකත්වයෙන් අප රට තුළ ද බුදු සමය චිරස්ථිත විය. රාජකීය පුත්‍ර අරිට්ඨ කුමරු පැවිදි වීම කදිම පෙරහුරුවකි. ලොව පැරණිතම වෘක්‍ෂය ලෙසත් සම්බුද්ධත්වය උදෙසා පිටදුන් බෝධියේ ශාඛාවක් ලෙසත් අපට ලැබුණු උතුම්ම දායාදය ජය ශ්‍රී මහා බෝධියයි. මිහිඳු හිමියන්ගේ නැඟණිය වූ සංඝමිත්තා තරුණ භික්‍ෂුණිය මේ සද්කාර්යයට උර දුන්නාය. බොදුණුවන් වූ අපගේ මුදුන් මල්කඩ, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේය. උදේනි රජුගේ තරුණ දුහිතෘ හේමමාලා හා පුත්‍ර දන්ත කුමරු මේ උතුම් දායාදය ලබාදුන් බැව් ඉතිහාසය කියා පායි.

කාලයාගේ ඇවෑමෙන් එදා මෙදා තුර අප දේශයේ බිහිවූ තරුණ උගත් භික්‍ෂු භික්‍ෂුණි පිරිස අපමණය. ශාසනික හා සාහිත්‍ය සේවාවේ නියැළුණු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ, වීදාගම මෛත්‍රය මාහිමිපාණන් සෙවණට පැමිණියේ ද ගැටවර වියේදීමය. දේශයක් පුබුදුවාලීමට ජාතියක් අවදි කළ මහා පුරුෂයා වූ අනගාරික ධර්මපාලතුමා ද සිය තරුණ දිවිය ශාසනික උන්නතිය උදෙසා කැප කළෝය.

වත්මන් සසුනඹර දිදුලන අපමණ වූ සංඝ පීතෘ මාහිමිපාණෝ සිය තාරුණ්‍ය සසුනට පිදුවෝ වෙති. දෙමාපිය සෙවණින් හා හිත මිතුරන්ගේ ඇසුරින් මිදී කළා වූ මේ උතුම් පරිත්‍යාගයම ඔවුනට මහත් කුසලයක් නොවන්නේ ද?

නිරන්තරයෙන් ගමින් ගමට දහම් සිසිල බෙදමින් සදහම් චාරිකාවේ නියුතු තරුණ භික්‍ෂු පරපුර ද අපට මහත් වූ සම්පතකි. තරුණ අසහනයට හා ගැටලු සඳහා නිසි පිළිතුරු ලබාදීමෙන් ඔවුන් සුමගට යොමු කරනු ලබන්නේ ද මේ මා හැඟි තරුණ භික්‍ෂුවමය.

ගම්බද අපගේ තරුණ පෙළින් වැඩි දෙනකු නිරන්තරයෙන්ම පන්සල හා බැඳුණෝය. ඔවුහු විහාරස්ථානයේ හුදු මහත් කටයුතුවලදී මූලිකත්වය ගන්නෝය. විශේෂයෙන් කඨින පූජෝත්සවවලදී මෙන්ම පරිත්‍රාණ ධර්ම දේශනාවලදී සක්‍රීයවම දායක වන්නේ මොවුන්ය. බොදුණුවන්ගේ හැදියාව හා චරිත සංවර්ධනය සඳහා දහම් පාසලින් අනුපමේය සේවාවක් සිදුවන බව නොරහසකි. එහෙත් මෙවැනි උතුම් ආයතනයන්හි පැවැත්ම රඳාපවතින්නේ තරුණ පරපුරේ කැපවීම නිසාම බව ඔබ සිතුවාද? මෙහිදී වැඩිහිටි හිමිවරුන්ගේ අනුග්‍රහය ඇතිව තරුණ භික්‍ෂුවගේ උත්සාහය ද ප්‍රශංසනාත්මකය.

කරුණු මෙසේ වුවත් ඇතැමුන් තරුණයන් දෙස වපර ඇසින් බලන අවස්ථා ද නැතුවා නොවේ. යොවුන් වියේ අභිලාෂයන්ට අනුගතව ඇතෙමකු හිසකෙස් වැවීම මෙන්ම කනට කරාබුවක් දැමීම (මා මෙය අනුමත කරනවා නොවේ) දැකිය හැක. එහෙත් මොවුන් අවම වශයෙන් දුම්වැටියක්වත් තොල නොතබනවා පමණක් නොව අන් අයට අනුබල නොදෙනවාද ඇත. නිරන්තරයෙන් පන්සල හා බැඳුණු මොවුන් සමාජ විරෝධී කිසිදු පාපී ක්‍රියාවක් නොකරනු ඇත. සුදුවතින් සැරසී පොහෝ දිනවල අටසිල්, දසසිල් රකිනා ඇතැම් මැදිවියේ පුද්ගලයන්ට ඉතිරි දිනවලදී පන්සිල් පවා අමතක වන අවස්ථා අපමණය. මෙහිදී ගැමියන් අතර ප්‍රචලිත පිරුළක් මසිතෙහි ජනිත වුවද එය එසේම ලිවීම ප්‍රඥා ගෝචර නොවේ යැයි සිතමි. මුහුණේ සිනහව උතුරා ගියද හදවතෙහි ක්‍රෝධය, වෛරය හා ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් මලවලින් පිරී ඇති බව මෙහිදී සඳහන් කරමි. “කිංතේ ජඨාහි දුම්මෙධං” ආදී ගාථා රත්නයෙන් ද මේ බැව් මනාව සනාථ වේවි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *