බුද්ධික ගයාශාන්
තරුණ කාන්තා – පිරිමි දෙපාර්ශ්වයම විවාහයෙන් අනතුරුව වෙනම ජීවත්වන්නට රුචිකත්වයක් දක්වති.
මේ සඳහා එකිනෙකාගේ නිදහස පමණක් නොව ඔවුනොවුන් කෙරෙහි බලපවත්නා සමාජ, දේශපාලනික සහ ආර්ථික හේතුන් ද බලපාන අවස්ථා දක්නට ලැබේ.
පිරිමින් කෙරෙහි බලපානු ලබන තවත් විශේෂ කරුණක් වන්නේ තමන් මෙතෙක් නතුව සිටි ආධිපත්‍යයෙන් මිදී තම ආධිපත්‍යය පැතිරවිය හැකි ස්ථානයක් සොයමින් සිටීමය. තම දෙමාපියන් සමග හෝ බිරිඳගේ දෙමාපියන් සමග විසීමේ දී තමන්ට ඉහළින් පාලනාධිකාරියක් පැවතීම ඔහුගේ ආධිපත්‍ය අවප්‍රමාණ වීමකි. කාන්තා පාර්ශ්වය කෙරෙහි මෙය බලපාන්නේ වෙනත් ආකරයකිනි. ඇය නිතැතින්ම ලජ්ජාශීලීය. විශේෂයෙන්ම සැමියාගේ පාර්ශ්වය කෙරෙහි ඇය තුළ පවතින සැකය, බිය සහ ලජ්ජාව පුරුෂයා බිරිඳගේ පාර්ශ්වය කෙරෙහි බලපාන ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගනී.
“ඔයාගෙ අම්මටයි තාත්තටයි සලකනවට මම විරුද්ධ නෑ. ඒ වුණාට මිනිහ දාල ගිය අක්කයි එයාගෙ ළමයි දෙන්නයි ඉන්නෙත් ඔයාලගෙ ගෙදර. අපිට ඒ අයගෙ වියදම් දරන්න පුළුවන්කමක් නැහැනෙ. නැති බැරි වෙලාවට උදව්වක් කරන එක වෙනම දෙයක්. ඔයාලගෙ ගෙදර නතර වුණොත් ඒ වියදම්වලිනුත් කොටසක් දරන්න වෙන්නෙ අපි දෙන්නට. එහෙම වුණොත් අපි කොහොමද අපේ අනාගතය වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරගන්නේ?”
බිරිඳගේ මෙවැනි මැසිවිලි අසන්නට ලැබෙන අවස්ථා මෙන්ම සැමියාගෙන් බිරිඳට මෙවැනි මැසිවිලි ඇසීමට ලැබෙන අවස්ථා ද බොහෝ සුලබය. මෙවැනි හේතූන් ද විවාහයෙන් පසුව වෙන්ව විසීමට බලපාන බව සමාජ විද්‍යාඥයෝ පවසති.
දෙමාපියන් සමග එකට විසීමේදී තමන් වඩාත් කැමැති ආහාර වේලක් වෙනුවට බොහෝ විට ලැබෙන්නේ පවුලේ සියලු දෙනාගේ ආර්ථික මට්ටමට ගැළපෙන වර්ගයේ ආහාර වේලකි. තමන් කෙතරම් ආශාවක් දැක්වුවද ඇතැම් ආහාර පාන රැගෙනවිත් තනිවම පරිභෝජනය කරන්නට ඔවුන්ගේ සිත් නොදේ. එබැවින් එම ආශාව යටපත් කොට පොදු ආහාර වේලකින් තෘප්තිමත් වන්නට ඔවුනට සිදුවෙයි. නමුත් වෙන්ව විසීමේ දී මෙවැනි ගැටලු පැනනොනඟින බව අප කවුරුත් වටහාගත යුතුව ඇත.
පෘථග්ජනයන් වන අප තම දරුවාගේ ලිංගික ජීවිතය දෙස වුවද නොමනා බලපෑම් ඇති කරන අවස්ථා දක්නට ඇත. නැන්දා – ලේලී ගැටුම් සඳහා මෙවන් විස්මිත හේතු බලපාන ආකාරය මනෝවිද්‍යාඥයන් ද පෙන්වා දී ඇත. කුඩා කල සිට තම ඇසුරේ හැදී වැඩුණු පුතා කෙරෙහි මව ද දියණිය කෙරෙහි පියා ද මේ ආකාරයෙන් ලිංගික ඊර්ෂ්‍යා දැක්වූ අවස්ථා පරීක්ෂණ මගින් ඔප්පු කොට ඇති බව පොත පතෙහි සඳහන්ව ඇත.
ඇතැම් තරුණ තරුණියන් පිළිගන්නා දේශපාලන මත බොහෝ විට ඔවුන්ගේ දෙමාපියන්ගේ රුචිකත්වයට නොගැළපේ. එබැවින් එක නිවසේ විසීමේදී රූපවාහිනිය නැරඹීම, ගුවන්විදුලියට සවන් දීම පමණක් නොව පුවත්පතක් කියවීම පවා තමන්ට රිසි පරිදි සිදු කිරීමට නොහැකිවීම සැබෑ තත්ත්වයකි. වෙනම නිවසක විසීමට මෙම කාරණය ද බලපාන බව නොරහසකි. ඇතැම් අවස්ථාවන් හිදී බිරිඳගේ නිවසේදී සැමියාගේ ඥාති මිත්‍රාදීන්ට සිතු සේ සලකන්නට සැමියාට නොහැකි වන අතර සැමියාගේ නිවසේදී බිරිඳගේ ඥාති මිත්‍රාදීන්ට සිතුසේ සැලකීමේ අවස්ථාව බිරිඳට අහිමිවනු ඇත. වෙනම නිවසක විසීමෙන් මෙම ගැටලුව ද නිරාකරණය වන බව නව යොවුන් යුවළ විශ්වාස කරති.
ඇතැම් දෙමාපියන් තම පුතණුවට හෝ දියණියට ඇති ආදරය හේතු කොටගෙනම මහ ගෙදර ජීවත්වන ලෙස බලපෑම් කරන්නට පිළිවන. නමුත් එය නව යුවළගේ අනාගතය තීරණය කරනු ලබන එක් සංධිස්ථානයක් වන බව ඔවුන් සිහිතබා ගත යුතුය. එකම නිවසේ විසීම හේතුවෙන් පීඩාවට පත්වන කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වයම අසරණ වන අවස්ථා මෙන්ම දික්කසාද වූ අවස්ථා ද අසන්නට දකින්නට ලැබී ඇත.
ඉහත කරුණු සලකා බැලීමේදී විවාපත් තරුණ යුවළකට වෙනම නිවසක විසීම සඳහා අවැසි වටපිටාවක් සකසා දීම දෙමාපියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක ද වෙති. දරුවන්ගේ යහපත, සතුට පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඔවුන්ගේ නිදහස අවුරා තැබීමෙන් නොව යොවුන් සිත් සතන් තුළ තෙරපෙන සිතුවිලි නිදහසේ ගලා යන්නට ඉඩ හසර සැලසීමෙනි.

