ශුන්‍යතා විහරණය

cmadurawala
12 Min Read

රාණි සේනාරත්න රාජපක්ෂ

සූත්‍ර පිටකයයේ එන අප්‍රකට කරුණු

ගම්භීරරූපෙ බහුභෙරවෙ වනේ සුඤ්ඤං අරඤ්ඤ විජනං විගාහිය
අනිඤ්ජමානෙන ඨීතෙන වග්ගුනා සුචාරුරූපං වත භික්ඛු ඣායසි (සං.නි. 1-කට්ඨහාර සූත්‍රය)

සර්වඥයන් වහන්සේ ශුන්‍යතා විහරණය අතිශයින් අගය කළ සේක. එහෙයිනි, බොහෝ සූත්‍රවල දැක්වෙන පරිදි සෑම දවසකම පිණ්ඩපාතයෙන් පසු උන්වහන්සේ වනයට ගොස් රුකක් මුල වැඩ හිඳ සමාපත්ති සුවයෙන් ගත කළේත් ඇතැම් විටෙක දවස් 15. මාස 3 වැනි කාලවල හුදෙකලාවම ආරණ්‍යගත වී වැඩ විසුවේත්.

බුද්ධත්වයට පෙර ගෞතම තාපසතුමා කුසලගවේසීව මගධ ජනපදයේ පිළිවෙළින් සැරිසරා සේනානි ගම වෙත පැමිණියහ. උන්වහන්සේ හුදෙකලාවට ද ස්වභාව ධර්මයට ද ඇලුම් කළ තරම, ඒ ගම පිළිබඳව කළ වර්ණනයෙන් පැහැදිලි වෙයි. “එහි රමණීය වූ භූමි භාගය ද සිත් පහදවන වන ලැහැබ ද කදිම වැලි තලා ඇති මහා තොටුපොළ ඇති රමණීය ලෙස ගලා බස්නා නදිය ද හාත්පස ගොදුරු ගම ද දිටිමි…. ප්‍රධන් වීර්ය වැඩීම සඳහා මෙය සුදුසුම යැයි සිතා එහිම හුන්නෙමි” (ම.නි. 1- අරිය පරියෙසන සූත්‍රය)

සර්වඥයන් වහන්සේ විශේෂයෙන් ප්‍රිය කළ හුදෙකලා ස්ථාන තිබෙන්නට ඇත. වෛශාලිය අසල මහ වනයේ කුටාගාර ශාලාව, රාජගෘහ පුරය අසල ස්ථාන තුනක් වන ගිජ්ඣකූට පර්වතයේ සුකරඛත ලෙන, ඉසිගිලි පර්වතය හා කලන්දක නිවාපය, බරණැස ඉසිපතන මිගදාය, භාර්ග ජනපදයේ භේසකලා වනය, චම්පා නගරය අසල ගග්ගරා පොකුණු තෙර, ඉච්ඡානංගල වනය ආදී හුදෙකලා ස්ථානවල සූත්‍ර ගණනාවක් දේශනා කර ඇත. මූලපරියාය සූත්‍රය දේශනා කළේ උක්කට්ඨා පුරය අසල සුභග වනයේ “වනාන්තරයේ ජ්‍යෙෂ්ඨයකු” වැනි මහ රුකක් මුලදී ය. තවද, කිම්බිලා පුරය අසල උණ වනය හා මිදෙල්ල වනය, කුසිනාරා පුරය අසල බලිහරණ නම් වන ලැහැබ, භද්දිය පුරය අසල ජාතියා වනය, චාලිකා පුරය අසල චාලිකා පර්වතය, කෝසල ජනපදයේ පලාස වනය හා සුන්දරිකා නදී තෙර ඥාතක ගම, ආලවක රට ඇට්ටේරියා වනය, සාකේත පුරය අසල අංජන වනය, කජංගලා පුරය අසල වේළුවනය, පාවා නුවර අසල අජකලාප වනය, ගයා ගම අසල ටංකිතමංච වනය, උජුඤ්ඤ පුරය අසල කණ්ණකත්ථල වනය, කපිලවස්තු අසල මහ වනය, අචිරවතී නදී තෙර අඹ වනය ආදි තන්හි ද විවිධ සූත්‍ර දේශනා කළහ.

වරෙක උන්වහන්සේ ශාරිපුත්‍ර හිමියන්, මහා මොග්ගල්ලාන හිමියන්, මහා කාශ්‍යප හිමියන්, අනුරුද්ධ හිමියන් ද, රේවත හිමියන් සහ ආනන්ද හිමියන් සමග ගෝසිංග ශාල වනයේ වැඩවිසූහ. (ම.නි. 1-මහා ගෝසිංග සූත්‍රය) වයස 80දී මහා සීහනාද සූත්‍රය දේශනා කළේ වෛශාලි අසල වන ලැහැබක වසද්දී ය. තවත් සූත්‍ර ගණනාවක් කුඩා ගම්වලදී දේශනා කර ඇත. නිද: සේදක, ඥාතක, වේළුද්වාර, නාදිකා, සහජාති, දණ්ඩකප්ප, උරුවේල, නළකපාල, බේලුව, ථූන, බානුමත, මනසාටක යන ගම්.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ නිහඬ බව සහ හුදෙකලාව අගය කළ සර්වඥයන් වහන්සේ ස්වභාව ධර්මය ඇසුරේ, මහ වනාන්තර, ගංගා තීර ආදියේ වාසය ප්‍රිය කළ බවය. තවද කුඩා කුටිවලත් එළිමහනේත් රුක් යටත් තණ සහ ගස්වල පත්‍ර අතුරා සැතපුණ බව සඳහන්ය. වරෙක හිමිදිරියේ හත්ථක ආලවක කුමරු සක්මන් කරද්දී දුටුවේ ඇට්ටේරියා වන ලැහැබක හරකුන් යන මගක වියළි පත්‍ර අතුරා පෙරදා රැයේ පටන් උන්වහන්සේ සැතපී සිටි අයුරුයි. (අං.නි. 1- දේවදූත වර්ගය) තවත් වරෙක මගධ ජනපදයේ හුදෙකලාව චාරිකා කොට රාජගෘහ පුරයට වැඩම කොට භාර්ගව කුම්භකාරගේ කුඹල් හලේ නතර වී බිම තණ අතුරා එහි රැය ගත කළහ. (ම.නි. 3 – ධාතු විභංග සූත්‍රය) තවත් වරෙක කුරු ජනපදයේ කල්මාෂදම්‍ය නියම්ගමේ භාරද්වාජ බ්‍රාහ්මණයකුගේ අග්නිගෝත්‍ර ශාලාවෙහි බිම තණ අතුරා වැඩ හිඳ පසුව රැයේදී එහිම සැතපුණහ. (ම.නි. 2- මාගන්දිය සූත්‍රය)

ස්වභාව ධර්මය ඇසුරේ හිඳිමින් ලැබූ චිත්ත විවේකය හා ආනන්දයත් ඒ සරල අල්පේච්ඡ පැවැත්ම අගය කළ ආකාරයත් මැනවින් ප්‍රකාශ වන්නකි. ධනිය ගෝපාල සුත්‍රය. එක් වැසි සහිත රැයක වනයක් අසල ගමක මහී ගං තෙර පැල්පතක වැඩ සිටී සර්වඥයන් වහන්සේ හා ඊට ආසන්නයේ පැල්පතක සිටි ධනිය ගෝපාල අතර ඇති වූ දෙබස එහි දැක්වේ. (ඛු.නි. සුත්ත නිපාතය – ධනිය සූත්‍රය) 17 පරිච්ඡේදයෙහි මෙය විස්තර වෙයි.

වරෙක මහ වනයේ සිටි උන්වහන්සේ වෙත ආ දෙවියෙක් “මධ්‍යහ්නයේ පක්ෂීන් විවේකීව සිටින විට මහ වනය හඬ නගන්නා වැනිය. එය මට බියක්ම වැටහේ” කීය. උන්වහන්සේ “මධ්‍යහ්නයේ පක්ෂීන් විවේකීව සිටින විට වනය මහ හඬ නගන්නා වැනිය. එය මට සිත් පිනවන්නක් යයි වැටහේ” යි වදාළහ. (සං.නි. 1-සකමාන සූත්‍රය)

ආරණ්‍යවාසීව සිටි උන්වහන්සේ බාහිර පුද්ගලයකුට පෙනෙන අයුරු: උන්වහන්සේ කෝසල ජනපදයේ වන ලැහැබක වැඩවිසූහ. දර ගෙන ඒමට වනයට ආ මානවක පිරිසක් භාවනානුයෝගීව හුන් උන්වහන්සේ දැක ආපසු ගොස් සිය ස්වාමි වූ භාරද්වාජ ග්‍රෝතික බ්‍රාහ්මණට ඒ බව කීහ. ඔහු පැමිණ: “ශ්‍රමණය, ජනශුන්‍ය වූ මේ හිස් ආරණ්‍යයට පිවිස, ගැඹුරු ස්වභාව ඇති, බෙහෙවින් බිය එළවන මේ වනයේ නොසැලෙන මනහර සිරුරින් යුක්තව, ඒකාන්තයෙන් සුන්දර ස්වභාවයෙන් යුක්තව ධ්‍යාන කරති. ගීත ගායන වාදන නැති මෙතැන වනයේ මුනිවර තෙමේ හුදෙකලාව වන සේනාසනය ඇසුරු කරයි. හුදෙකලාව සතුටින් වනයෙහි විසීම පුදුමයක් සේ මට හැඟෙයි.” (සං.නි. 1-කට්ඨහාර සූත්‍රය) වරෙක උන්වහන්සේ “මම පිරිවර හා එක් නොවෙමි. පිරිවර ද මා හා එක් නොවෙති”යි සිය උපස්ථායක නාගිත හිමියන්ට පවසති. ග්‍රාමාන්ත විහාරී භික්ෂුවට නොව ආරණ්‍යක භික්ෂුවට ප්‍රශංසා කරති. (අං.නි. 5 – නාගිත සූත්‍රය)

මෙසේ ඉතා නිසසල නිහඬ තන්හි වැඩවාසය කළේ වුව ද, සාමාන්‍යයෙන් උන්වහන්සේ දානයෙන් පසු හුදෙකලා ස්ථානයකට – බොහෝ විට අසල පිහිටි වනයකට වැඩම කර දිවා විහරණයෙන් රුකක් මුල ගතකළේ වුව ද, අඩමසක් තුන්මසක් ආදී වශයෙන් මුළුමනින්ම හුදෙකලාව විසීමට පවා යෙදුණහ. ශුන්‍යතා විහරණයට උන්වහන්සේගේ පැවැති රුචිකත්වය ඉන් පෙනේ. වරෙක ඝෝෂිතාරාමයේ වැඩවසන සේක් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, රාජ රාජ මහාමාත්‍ර, තීර්ථක, තීර්ථක ශ්‍රාවක ආදීන්ගෙන් ආකීර්ණ වූ හෙයින් අපහසුවෙන් වසති. එහෙයින් ගණයාගෙන් වෙන්ව හුදෙකලාව වසන්නට සිතූහ. දවසක පෙරවරුයෙහි පිණ්ඩපාතයෙන් පසු පෙරළා විහාරයට වැඩම කර, තමන් වහන්සේම සේනාසන සඟවා තබා පාත්‍රා සිවුරු ගෙන උපස්ථායකයින් ද නොඅමතා භික්ෂූන්ට ද නොදන්වා, හුදෙකලාව දෙවැන්නකු නැතිව වැඩම කළහ.

එකල්හි වෙනත් භික්ෂුවක් ආනන්ද හිමියන්ට මේ බව කී විට ආනන්ද හිමියෝ, භාග්‍යවතුන් වහන්සේ එසේ තනිවම චාරිකාවට වැඩම කරන්නේ හුදෙකලාව සිටිනු කැමැති නිසාය. එහෙයින් කිසිවකු ලුහුබැඳ නොයා යුතු යැයි පැවසූහ. උන්වහන්සේ පිළිවෙළින් චාරිකා කොට පරිල්‍යෙයක වනයට එළැඹ, භද්‍ර වූ සල් රුකක් මුල වැඩවිසූහ. (සං.නි. 3- පාරිල්‍යෙයක සූත්‍රය) තවත් වරෙක සර්වඥයන් වහන්සේ ඝෝෂිතාරාමයේ වැඩවසත්දී කෞශම්බියේ භික්ෂූහු එකිනෙකා හා උරණ වී වාද විවාද කරගන්නට වූහ. ඔවුන්ට කළ අවවාද තුන්වරක් ප්‍රතික්ෂේප කළ කල්හි, පිණ්ඩපාතයෙන් පසු “සමාන ස්වරූප ඇති මේ කලහකාරී ජනයා මහා ශබ්ද ඇතියහ. කිසි කෙනෙක් මා බාල යයි නොසිතී… සම්පජඤ්ඤයෙන් යුතු තමා හා වසන්නට කල්‍යාණ මිත්‍රයකු නොලැබේ නම්… තනිව හැසිරෙන්නේය. තනිව සිටින්නාගේ හැසිරීම ශ්‍රේෂ්ඨය… අල්පෝත්සුකව ආරණ්‍යයෙහි වාසයට පැමිණ එකලාව හැසිරෙයි.” ඉක්බිති හුදෙකලාවම කුඩා ගමකට හා එයින් ආරණ්‍යයකට වැඩියහ. (ම.නි. – උපක්කිලෙස සූත්‍රය)

තවද එක් සමයෙක්හි ශ්‍රාවස්ති පුරයේ විසූ උන්වහන්සේ “භික්ෂුණි, මම අඩමසක් තනිව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් භික්ෂුවක හැර අන් කිසිවකු නොඑළැඹිය යුතුය”යි උපදෙස් දුන්හ. ඉක්බිති ඒ කාලය කෙළවර විවේක සුවයෙන් නැගී සිට භික්ෂූන් ඇමතූහ. “භික්ෂුණි, මම බුදු වී පළමුකොට යම් විහරණයකින් විසුවෙම් නම්, එයින් කොටසකින් යුතුව විසිමි”යි වදාළහ. (සං.නි. 5/1 – විහාර සූත්‍රය) නැවත ද තුන්මසක් තනිව වසන්නට කැමැත්තෙමියි පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් පමණක් එළඹෙන්නැයි වදාළහ. ඒ තෙමස කෙළවර ද ඉහත දැක්වෙන පරිදිම ඒ විහරණය ගැන පැවසූහ. ඒ දෙවාරයේම මිථ්‍යා දෘෂ්ටියෙන් හා සම්‍යක් දෘෂ්ටියෙන් වේදනාව ඇති වන බවත් එලෙසින්ම මිථ්‍යා සංකල්පයෙන්…. ආදී වශයෙන් මෙනෙහි කර ඇත. (සං.නි. 5/1 – දුතිය විහාර සූත්‍රය)

තවත් වරෙක විශාලා පුර අසල මහ වනයෙහි කූටාගාර ශාලාවේ වැඩවසද්දී උන්වහන්සේ භික්ෂුන් අමතා, අඩමසක් හුදෙකලාව වසන්නට කැමැති යැයි ද පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් පමණක් එළඹෙන්නැයි ද වදාළහ. (සං.නි. 5/1 – අසුභ සූත්‍රය) ඉච්ඡානංගල වන ලැහැබේ වැඩවාසය කළ වරෙක තුන්මාසයක් හුදෙකලාව වසන්නට කැමැති යැයි ද පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් පමණක් එළඹෙන්නැයි ද වදාළහ. තුන්මස අවසාන වූ කල භික්ෂූන් අමතා, ඒ කාලය ආනාපානසති සමාධියෙන් යුතුව විසූහයි පැවසූහ. (සං.නි. 5/2- ඉච්ඡානංගල සූත්‍රය)

සර්වඥයන් වහන්සේ නිහඬ බව අගය කළ තරම සුත්‍ර ගණනාවකින් පැහැදිලි වෙයි. වරෙක උන්වහන්සේ කෝසල ජනපදයේ චාරිකා කර, ඉච්ඡානංගල බ්‍රාහ්මණ ගමට ගොස් ඉච්ඡානංගල වන ලැහැබේ වාසය කළහ. ගම්වැසි බ්‍රාහ්මණයෝ උන්වහන්සේගේ උතුම් බව අසා ඇත්තා හූ, පසුවදා උදයේ බොහෝ ඛාi භෝජ්‍ය රැගෙන වනයට එළැඹ, බිහිදොර කොටුවේ මහ හඬින් උස් හඬින් කතා කරමින් සිටියහ. සර්වඥයන් වහන්සේ එවකට සිය උපස්ථායක වූ නාගිත හිමි ඇමතූහ. “නාගිත, මත්ස්‍යයින් විකුණන තැන කේවට්ටයින් මෙන් මහ හඬ උස් හඬ නඟන්නේ කවුද?” ඒ කවුරුන්දැයි නාගිත හිමි කී කල්හි “මම යශස් හා සමාගත නොවෙමි. යශස් ද මා හා සමාගත නොවේවා. මම නෙක්ඛම්ම විවේක, උපසම, සම්බෝධ සුඛයක් කැමැති සේ නිදුක් සේ විපුල කොට ලබන සුලු වෙමි. එසේ නොවුවහොත් ඒ අශූචි සුඛය. නිද්‍රා සුඛය, ලාභ සත්කාර සුඛය ඉවසන්නට වෙයි.”

“ස්වාමිනි, දැන් ඉවසන සේක්වා….. ඔබවහන්සේ යම් දෙසකට වඩිත් නම්, ඒ බමුණන් … ආදීහු ඒ දෙසට නැඹුරු වූවාහුමය.”

“නාගිත, මම යශස් හා සමාගත නොවෙමි…” (අං.නි. 3- නාගිත සූත්‍රය)

මේ සිදුවීමම මෙපරිද්දෙන් නැවත දැක්වෙයි. ඊට අතිරේකව: සර්වඥයන් වහන්සේ නාගිත හිමි අමතා, ඇතැම් භික්ෂුන් ඇඟිලි ගටමින් මහ හඬින් සිනාසී ක්‍රීඩා කරන අයුරුත් කැමැති තාක් කුස් පුරා වළඳා නිදමින් හා හාන්සි වී විවේකීව සිටින අයුරුත් පවසති. තව ද “මම යම් වූ නෙක්ඛම්ම සුඛයක් පච්චේක උපසම, සම්බෝධි සුවයක් කැමැති සේ ලබනුයෙම්, නිදුක් සේ ලබනුයෙම්, විපුල සේ ලබනුයෙම් වුව ද මොවූහු නොලබති.” ඉක්බිති ආරණ්‍ය වාසයේ උතුම් බව පහදා දී “නාගිතය, යම් සේ මම අදන් මගට පැමිණියෙම්, ඉදිරියේ හෝ පසුපස කිසිවකු නොදකින්නෙම් නම්, එකල්හි මට මල මුත්‍ර කෘත්‍යයට ද පහසු වේ.” (අං.නි. 5 – නාගිත සූත්‍රය)

සර්වඥයන් වහන්සේ නිහඬ බව බෙහෙවින් අගය කළ බව දැන සිටි අන්‍යාගමිකයෝ ද ඊට ගරු කළහ. වරෙක ශ්‍රාවස්ති නගරයේ විසූ උන්වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තුන්දහසක් පමණ වූ සිය පිරිවර හා වසන තින්දුකාවීර උයනට වැඩම කළහ. පරිබ්‍රාජකයෝ රාජ කතා, චෝර කතා, මහාමාත්‍ර කතා ආදියත් වෙනත් නොයෙක් තිරශ්චීන කතාත් කියමින් උස් හඬ මහ හඬ ඇතිව මහ ඝෝෂාවක් කරමින් සිටියහ. දුරින් තථාගතයන් වහන්සේ වඩනා දුටු පොට්ඨපාද “නිහඬ වෙත්වා, හඬ නොනගවු. ශ්‍රමණ ගෞතම මෙහි එයි. ඒ ආයුෂ්මත් තෙම නිහඬ බව කැමතිය. නිහඬ බවේ ගුණ කියනසුලු ය.” යි පිරිස සන්සුන් කළේය.(දි.නි. 1-පොට්ඨපාද සුත්‍රය) තවත් වරෙක උන්වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ වසද්දී උදුම්බරිකා පරිබ්‍රාජකාරාමයේ විසූ න්‍යග්‍රොධ පරිබ්‍රාජක බලන්නට වැඩම කළහ. න්‍යග්‍රොධ තුන්දහසක් පමණ වූ සිය ශ්‍රාවකයන් සමග උස් හඬ මහ හඬ ඇතිව රාජ කථා චෝර කථා ආදී කථාවේ යෙදී සිටියේය. තථාගතයන් වහන්සේ වැඩම කරනු දුටු න්‍යග්‍රොධ පරිබ්‍රාජක සිය ශ්‍රාවකයන්ට කීය. “නිහඬ වන්න. ශ්‍රමණ ගෞතම…. නිහැඬියාව කැමැත්තේ, නිහඬ බව ගුණ කියනසුලුය. මේ පිරිස නිහඬව ඉඳිනු දැක එළඹියේ නම් ඉතා යහපත්ය.” (දි.නි. 3-උදුම්බරික සූත්‍රය)

තවද එක් සමයෙක්හි සන්දක නම් පරිබ්‍රාජක 500ක් පමණ ශ්‍රාවකයන් සමග පුලිල ගුහාවේ විසීය. ආනන්ද හිමියෝ සවසක දේවකටසොබ්භ ගුහා බලන්නට භික්ෂුන් පිරිසක් සමග ගියහ. එවිට සන්දක උස් හඬ මහ හඬ නගමින් තිරශ්චීන කථා කරන ශ්‍රාවක පිරිස සමග සිටියේය. ඔහු ආනන්ද හිමියන් දුරදීම දැක “වහා නිශ්ශබ්ද වන්න. ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවක ආනන්ද එයි. ඔහු ද ශ්‍රමණ ගෞතම සේම නිහඬ බව කැමතිය. නිහඬ ගෞතම විසින් විනයනය කරන ලදහ” කීය. (ම.නි. 2-සන්දක සූත්‍රය)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *