ගුණපාල කාරියවසම්
දහස් ගණනක් මිනිසුන් මරා ගුරු පූජාවක් කිරීමට උත්සාහ කළ අහිංසක කුමාරයාගේ කථා පුවත ඔබ හොඳින් දන්නා කථා පුවතකි. මෙම තරුණයා මුල් දිනවල කපාගත් ඇඟිලි ගල් ගුහාවල, ගස් බෙනවල සඟවා තැබුවද, ඒවා සතුන් කා දැමීම නිසා පසුව මරන ලද එක් මිනිසකුගේ එක ඇඟිල්ලක් බැගින් කපාගෙන ඒවා මාලයක් සේ වැල්පටක ගැටගසාගෙන කරේ එල්ල ගැනීම නිසා ‘අංගුලිමාල‘ යන නම පටබැඳි අයුරුත් ඔබ හොඳින් දන්නා කරුණක්. කොසොල් මහරජුගේ අණින් මෙම තරුණයා මරා දැමීමට නියම කළ අතර මෙම තරුණයාගේ පුණ්‍ය මහිමය පිළිබඳව බුදු නුවණට වැටහී ඔහුට පිහිට වීම සඳහා බුදුන් වහන්සේ මහ වනයට වැඩියහ. උන්වහන්සේ සමග ආනන්ද තෙරුන් වහන්සේද එක්වූහ. පසුව මේ අංගුලිමාල මිනීමරුවාට පිහිටවූ බුදුන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කර මහණ කරවා අංගුලිමාල මහරහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධියට පත්වූහ. මෙම කථා පුවතේදී මිනිසුන් දහස් ගණනක් මැරූ අයකුට බුදුන් වහන්සේ පිහිටවූ අයුරින් අප සැරියුත් මහරහතන් වහන්සේද දහස් ගණනක් මිනිසුන් මරා දැමූ පුද්ගලයකුට (රැකියාව පිණිස) පිහිටවූ කථා පුවතක්ද, බෞද්ධ සාහිත්‍යයේ ඇත. මේ කථා පුවත ගැන දැනුවත් කිරීමටයි මේ ලිපියෙන් උත්සාහ කරනුයේ.
බුදුරජාණන් වහන්සේ මෙන්ම අනෙකුත් සුවිශේෂ මහරහතන් වහන්සේලා ද දින කීපයකට නිරාහාරව සිටිමින් ඉතා නිදහස් ස්ථානයකට වැඩමකර නිරෝධ සමාප්තියෙන් ගත කරනවා. දින පහක් එසේ ගත කර එය අවසන් කිරීම ‘නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම’ ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මෙසේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින උන්වහන්සේලා තමන් වහන්සේ ප්‍රථමයෙන් පිණ්ඩපාතය ලබා ගන්නේ කවර අයකුගෙන් දැයි නුවණින් විමසා බලනවා. ඒ අනුව බොහෝ විට තෝරාගනු ලබනුයේ දුගී දුප්පත් අයකු හෝ පිං මහිමය ඇති අසරණ අයකුයි. ඊට හේතුව ඔවුන් විසින් පිරිනමනු ලබන දානය වැළඳීමෙන් පසුව ඔවුන් සිතින් හෝ වචනයෙන් ප්‍රාර්ථනා කරන යම් කාරණයක් ඇත්නම් දිට්ඨධම්මවේදනීය වශයෙන් එවෙලේම හෝ එදිනම එය ඉටුවීමයි. මෙවැනි කථා පුවත් රාශියක් තිබෙනවා.
කොසොල් නුවර වාසය කළ කිසිම ශිල්පයක් නොදත් එක්තරා තරුණ පුද්ගලයෙක් දිනක් එනුවර සිටි හොර නායකයකු වෙත ගොස් තමන්ද එම කණ්ඩායමට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කළා. මේ හොර කණ්ඩායමේ නායකයා ඇතුළු හාරසිය අනූ නව දෙනකු (499) සිටියා. ඔවුන් හොඳ ජවයෙන් යුත් ශරීර ශක්තියෙන් යුත්, සොරකම් පිළිබඳව හොඳින් පුරුදු පුහුණු කරන ලද, නායකයාට ඉතා කීකරු විශ්වාසවන්ත පිරිසක් මේ සොර නායකයා අර තරුණයාගෙන් හොඳින් කරුණු විමසුවා. හිසේ සිට පාදාන්තය දක්වා හොඳට නිරීක්‍ෂණය කළා. හෙතෙම මුරණ්ඩු ගතිගුණ ඇති, වධක චේතනා ඇති, තණ්හාව නිසා අම්ම තාත්තා වුවත් මරණයට පත් කළ හැකි. නායකයා වුවත් පාවා දෙන අයකු බව හොර නායකයාට වැටහුණා. තමන් ළඟ සිටින අනෙකුත් පිරිස සොරුන් වුවත් වධක චේතනා ඇති මුරණ්ඩු පිරිසක් නොවෙයි. ඒ නිසා මොහු තම කණ්ඩායමට බඳවා ගැනීම ප්‍රතික්‍ෂේප කළා. ඔහු කල්පනා කළා සොරකම්වලට සම්බන්ධ නොවුණත් මේ කණ්ඩායමේ සිටියොත් දිනපතා නොමිලේ කා බී ජීවත් වීමට හැකි බව. ඒ දැන සොර කණ්ඩායමට කෑම පිළියෙල කරන කෝකියා හමු වී ඔහු සමග මිත්‍ර වුණා. ඔහුගේ වැඩවලට බලෙන්ම වාගේ උදව් උඵකාර කළා. එම කෝකියාටත් දැන් ලොකු පහසුවක් වුණා අත් උදව්කරුවෙක් සිටීම නිසා. අර තරුණයාටත් තුන් වේලටම හොඳට කන්න ලැබෙනවා. මේ තත්ත්වය හොර නායකයා දැනගෙන හිටියේ නැහැ. දින කීපයක් ගත වූ පසු පෙර කී තරුණයා කෝකියාට කීවා තමන්ද කණ්ඩායමට බඳුවා ගන්නා ලෙස නායක තුමාට පවසන්න කියා. මේ ඇවිටිල්ල දින කීපයක්ම කළා. දිනක් අර කෝකියා සොර නායකයා නිදහසේ සිටින වේලාවක් බලා ඔහු වෙත ගොස් අර තරුණයාගේ හොඳ පවසමින් ඔහුත් කණ්ඩායමට බඳවා ගන්නා ලෙස ඇවිටිලි කළා. තමන්ට කෑම උයාදෙන කෝකියාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසාම නායකයා ඔහු බඳවා ගත්තා.
මේ හොර කණ්ඩායම කරන සොරකම් නිසා රටවැසියන් ඉමහත් පීඩාවන්ට ලක්වුණා. මේ ගැන කොසොල් රජුට පැමිණිලි කළා. රාජ නියෝගය මත චර පුරුෂයින් යොදවා විටින් විට සොරු කණ්ඩායමේ පන්සිය දෙනාම අත්අඩංගුවට ගත්තා. රජු වෙත ඉදිරිපත් කළා. මේ පන්සිය දෙනාම හිස ගසා මරා දමන ලෙස රජු නියෝග කළා. ඒ අතරම සොර නායකයාගෙන් ඉල්ලීමක් කළා. “නුඹ මේ හාරසිය අනූනව දෙනාගේ හිස ගසා මරා දමනවා නම් නුඹට නිදහස දෙන්නම්, ඒ විතරක් නොවෙයි නුඹට ස්ථීර රැකියාවකුත් දෙන්නම් කැමතිද?”
සොර නායකයා බැහැ කීවා. පිළිවෙළින් අනෙකුත් අයගෙන්ද පෙර කී ප්‍රශ්නයම ඉදිරිපත් කළා. ඔවුන්ද බැහැ කීවා. අවසානයටම හිටියේ අලුතින් බඳවාගත් සොර නායකයා ප්‍රතික්ෂේප කළ අර තරුණයා. රජතුමා ඔහුටත් අර ප්‍රශ්නය ඉදිරිපත් කළා. “නුඹ කැමැතිද මේ හොර නායකයා ඇතුළු 499 දෙනා මරාදාන්න. නුඹට නිදහස විතරක් නොවෙයි ස්ථීර රැකියාවකුත් දෙන්නම්”
ඔහු එම කාර්යය භාරගත්තා. තමාට මෙතෙක් කලක් තිස්සේ සේවය කළ පිරිස මරා දමා තමාට පමණක් නිදහස ලබාගැනීම නොමනා ක්‍රියාවක් නිසයි සොර නායකයා එය ප්‍රතික්ෂේප කළේ. එක්තරා අන්දමකින් බලන කල සොරෙකුගේ වුවත් එය හොඳ ලක්ෂණයක්. නමුත් මුලින් තම කණ්ඩායමට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කළ පෙර කී තරුණයා එය භාරගත්තා. ඒ අනුව දින කීපයක් අතරතුර ඒ සියල්ලන්ම අලුත් සොරාගේ කඩු පහරට ලක්වුණා. රජුගේ පොරොන්දුව අනුව ඔහුට නිදහස හිමි වුණා. ‘චෝර ඝාතක” නමින් අලුත් තනතුරක් ඇති කර එම තනතුර භාර කළා. ඉන්පසුව රටේ සොරකම් කරන පිරිස අල්ලාගෙන ආ විට ඔවුන් එක කඩු පහරින් මරණයට පත් කළේ මොහුයි.
මොහුගේ හිසකෙස් තඹ පාටයි. ඒ නිසා “තම්බදාසික චෝර ඝාතක” නමින් නමක් පටබැඳුණා. අවුරුදු 55ක් තිස්සේ මොහු එම රාජකාරිය ඉටු කළා. දැන් වයසයි. ශරීර ශක්තිය අතිනුත් දුර්වලයි. රටක අපරාධකරුවෙකු එක් කඩු පහරකින් ඝාතනය කළ යුතු බව රාජ සම්ප්‍රදායයි. නමුත් මොහුගේ වයස නිසාත් ශරීර ශක්තිය දුර්වල නිසාත් එක් කඩු පහරකින් යමෙකු මරාදැමීමට නොහැකියි. මෙම ඝාතන සිදු කරනුයේ ජනතාව ඉදිරියේදීයි. බොහෝ විට කඩු පහරවල් කිහිපයක් එල්ල කිරීමට සිදුවුණා. ජනතාව මීට විරෝධය පළ කළා.
ජනතා විරෝධය නිසා රජතුමා ඔහුට නිදහස ලබාදුන්නා. අවුරුදු 55ක රාජ සේවයෙන් නිදහස ලබා මොහු ගෙදර ගියා. මොහු හොඳින් නාගෙන අලුත් වස්ත්‍රයක්ද ඇඳගත්තා. බිරිඳට කීවා ගිතෙල් යොදා කැඳක් බීමට ආසයි ඒ නිසා කැඳක් පිළියෙල කරදෙන ලෙස. වසර ගණනාවකින් නිදහස ලබා නිවසට පැමිණි සැමියාගේ ඉල්ලීම ඉටු කිරීමට බිරිඳ ගිතෙල් මිශ්‍ර කැඳක් පිළියෙල කළා.
හරියටම මේ දිනයේදී සැරියුත් මහරහතන් වහන්සේ දින හතක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට ඉන් නැගී සිට අද දවස කා හට පිහිට වෙමි දේයි මෙනෙහි කළා. එවේලේ මේ චෝර සානතකයා සිහියට ආවා. හෙතෙම රැකියාවෙන් නිදහස ලබා ගෙදරට පැමිණි බිරිඳට කියා ගිතෙල් මිශ්‍ර කැඳක් පිළියෙල කරවාගෙන බඩකට පුරා බුක්ති විඳීමට සූදානම් ව සිටින මොහොතක් බව අවබෝධ කරගත්තා. රැකියාවෙන් නිදහස ලබාගත්තද මාරයාගෙන් නම් අද දවස නිදහස නොලැබෙන බවද උන්වහන්සේට වැටහුණා. ඒ අනුව මොහුගේ නිවසට වැඩම කළ යුතු හොඳම මොහොත මේ මොහොත බව තේරුම් ගෙන සැරියුත් මහරහතන් වහන්සේ වැඩම කළා. ඔහුගේ බිරිඳ තම සැමියාට කැඳ පිළිගැන්වීම පසෙක තබා සැරියුත් මහරහතන් වහන්සේට වන්දනා කර ආසනයක් පිළියෙල කළා. කෙසේ නමුත් දෙමහල්ලන් බොහොම ශ්‍රද්ධාවෙන් සැරියුත් මහරහතන් වහන්සේට කැඳ පූජා කළා.
මේ අතරතුර අර සොරාට මෙහෙම සිතුවිල්ලක් ඇතිවුණා. ‘අවුරුදු ගණනකට පසු ගෙදර ඇවිත් බිරිඳට කියා ගිතෙල් මිශ්‍ර කැඳක් පිළියෙල කරවාගෙන බඩකට පුරා බුක්ති විඳීමටයි බලාගෙන හිටියේ. කොහේද ඒකට ඉඩක් නැති වුණා. මේ හාමුදුරු නමකටත් දෙන්න සිදුවුණා නේ කියා හිතුණා. මේ හොරාගේ සිතුවිල්ල සැරියුත් මහරහතන් වහන්සේට අවබෝධ වුණා. උන් වහන්සේ කැඳ වළඳා අවසන් වී චෝර ඝාතකයාට මෙහෙම ප්‍රකාශ කළා.
“පින්වත, දැන් ඔබත් කුස්සියට ගොස් බඩකට පුරා කැඳ පානය කර බණ ඇසීමට සූදානම් වෙන්න. බඩගිනි අයට ධර්මය දේශනා කරලා වැඩක් නැහැ නේ”
ඒ අනුව ඔහු තරමක හිතේ අමනාපයක්ද ඇතිව කුස්සියට ගොස් කැඳ හට්ටිය දෙස බැලුවා. කැඳ හට්ටිය අඩුවී නැහැ. පිරිලා තිබෙනු දැක සතුටු වුණා. බිරිඳට පමණක් ටිකක් ඉතිරි කර බඩකට පුරා කැඳ බීවා. බිරිඳත් කැඳ බීමට ගියා. කැඳ හට්ටිය අඩුවෙලා නැහැ. දෙදෙනාම සැරියුත් මහරහතන් වහන්සේ වෙත පැමිණ බණට ආරාධනා කළා. බණ ඇසීමෙන් ඔහු පැහැදුණා. සතුටට පත්වුණා. සැරියුත් මහරහතන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලාගෙන උන්වහන්සේ සමගම විහාරයට ගොස් නැවත ආපසු ගෙදර යන අවස්ථාවේ ඔහුගේ මරණය කර්මානුරූපව සිදුවුවත් කරන ලද අවසන් කුසල් විපාකය මත දැන් ඔහු දෙව්ලොව උපත ලබා සිටිනවා. ඔහුට පිහිට වුණේ ඔබගේ වැඩිමල් සොහොයුරු සැරියුත් මහරහතන් වහන්සේ” යයි වදාළා.
මේ ලිපිය දෙතුන් වරක් කියවා හොඳින් තේරුම් ගෙන, වටහාගෙන, ඔබ මේ භවයේදී කවර අන්දමක යහපත් හෝ අයහපත් ජීවිත ගත කළත් ඔබගේ ඊළඟ භවය තීරණය වන්නේ මරණ මොහොතේදී ඇතිවන අවසන් චුති සිත අනුව බව මේ කතා පුවතින් මනාව පැහැදිලි වනවා.