අපටත් වැරදිලා තියෙනවා

cmadurawala
11 Min Read

කුකුල්පනේ සුදස්සි හිමිපාණන්

අපි වැඩි දෙනකුට සිද්ධ වෙන්නේ ජීවිතයේ යම් යම් දුර්වලකම්, අඩුපාඩු සිදුවන කොට අපි මනසින් කඩා වැටෙනවා. “මට මේක කරන්න බැහැ. මට මේ මඟ යන්න බැහැ. මට මේ සඳහා ශක්තියක් නැහැ” කියලා අපි යම් කිසි ප්‍රමාණයකින් හීනමානයක් ඇති කර ගන්නවා තමන් පිළිබඳව. ඒ හීනමානය ඇති වීම ලෞකික ජීවිතයේ අභිවෘද්ධියට පමණක් නොවෙයි නිවන් මඟටත් බාධාවක් වෙනවා.

අපේ ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලනකොට, මට මතකයි පැවිදි වුණු මුල් අවධියේ අතීතයේ වැඩ සිටි ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ සමහර චරිත කතා කියනවකොට, ලෝකයේ දක්‍ෂ මිනිසුන් පිළිබඳව අහනකොට, හැමවිටම මට මා පිළිබඳව හීන මානයක් ඇතිවෙන්නට පටන් ගත්තා. ඒ අය නම් මෙහෙම කරලා තියෙනවා. මෙහෙම කරලා තියෙනවා. ඉතින් අපි කවුද, අපි කොහොමද එහෙම කරන්නේ, අපිට නම් කවදාවත් එහෙම කරන්න බැහැ” කියන විධියේ අදහසක් මා පිළිබඳව මට ඇතිවෙන්නට පටන් ගත්තා.

විශේෂයෙන් ශීලය පිළිබඳව සිතනකොට උන්වහන්සේලා කැපවීමෙන් සිල් රැකලා තියෙනවා. අපේ ශීලය මොකක්ද, අපි මොනවද රකින ශීලය කියලා පසුතැවීම් ඇති වෙනවා. මෙහෙම සිතන්න සිතන්න මේ දහම් මඟෙහි ඉදිරියට යෑමක් නොවෙයි සිද්ධ වෙන්නේ. උදාසීන වෙමින් තව තවත් කඩා වැටීමයි.

මානසික වශයෙන් උදාසීන භාවයකට පත් වුණොත්, හීන මානයක් ඇති වුණොත්, කඩා වැටුණොත් එබඳු මිනිසුන්ට අභිවෘද්ධියකට යන්න අවශ්‍ය ආත්ම ශක්තිය, ධෛර්යය අවධි වෙන්නෙ නෑ. ඒ නිසා අපි ටිකක් හිතලා බලන්න ඕන. දුර්වලකම් එහෙම තිබුණා වුණත් අපි ළඟ යහපත් ගුණාංග සහ හැකියාවනුත් තියෙනවා. ඒ යහපත් පැත්ත සිතා බලන කොට අපට ඇත්තටම අවධි කරන්නට පුළුවන් බොහෝ යහපත් දේ අපි ළඟ තියෙනවා.

මේ ස්වභාවය, මේ සිද්ධාන්තය අපි තේරුම් ගත්තොත් ජීවිතේ හැම කාර්යයකදීම අපට ජයග්‍රහණය කරන්න ඉදිරියට යන්න පුළුවන් සාධක අපි ළඟ තියෙනවා කියලා අපටම වැටහෙනවා.

භාවනා කරන්න ආරම්භ කළ මුල් අවධියේදී භාවනාව කියලා අපි ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ එක තැනක වාඩිවෙලා හෙලවෙන්නේ නැතිව සිත එකඟ කරගෙන එකම අරමුණක, වෙනසක් වෙන්නේ නැතිව සිත පවත්වන්නට පුළුවන් නම්, ඒක තමයි භාවනාවේ උසස්ම තත්ත්වය කියලනෙ. ගොඩාක් දෙනෙක් භාවනාව ගැන හිතාගෙන ඉන්නේ එහෙමයි.

මමත් එක්තරා කාලයක් භාවනාව කියන්නේ එහෙම එකක් කියලා හිතාගෙන හිටියා. හැබැයි මුල් අවධියේදී භාවනා කරන්න වාඩිවුණු කිසිම දවසක මට එක විධියට පැයක් ගත කරන්න හැකි වුණේ නැහැ. ඒ වගේම එක විනාඩි කිහිපයක් එක අරමුණක මනස පවත්වාගෙන ඉන්න බැරි වුණා. එහෙම වෙන කොට හැම විටම මට මා ගැන ලොකු හීනමානයක් ඇති වෙන්න පටන් ගත්තා. “මට නම් කවදාවත් භාවනා කරන්න ලැබෙන්නේ නෑ. මේක නම් කවදාවත් හරියන වැඩක් නොවෙයි” කියලා.

අඩු තරමින් හරියට එක තැනක වාඩිවෙලාවත් ඉන්න බැරිව මම කොහොමද භාවනා කරන්නේ. අනිත් උපාසක අම්මලා, උපාසක මහත්වරු, මේ වයස්ගත අය පිළිම තිබ්බා වගේ හොඳට ඉන්නවා. මට එහෙම ඉන්න බැහැ. එහෙන් මෙහෙන් කකියන්න පටන් ගන්නවා. නලියන්න පටන් ගන්නවා. හිරිවැටෙන්න පටන් ගන්නවා.

මෙච්චර මේ වයසක අය මෙහෙම භාවනා කරද්දී තරුණ මට වාඩිවෙලා ඉන්නත් බැරි නම් මම කොහොමද භාවනා කරන්නේ. ඒ අයගේ කය පවතින ආකාරය දිහා බැලුවම හිතත් හරියට ඉද්ද ගැහුවා වගේ තියෙනවා කියලයි බැලූ බැල්මට පෙනෙන්නේ. ඇතුළේ මොකක් වෙනවද කියලා අපට පේන්නේ නැහැනේ. ඒ නිසා මට හිතෙන්නේ ඒ අය නම් හොඳට චිත්ත ඒකාග්‍රතාවයෙන් භාවනා කරනවා. මට තමයි බැරි. එහෙමයි මට හිතුණේ.

මේ හීනමානය නිසා, මේ කඩා වැටීම නිසා කොතරම් මානසික වික්ෂිප්ත භාවයකට පත් වුණාද කියනවා නම්, භාවනාව සිහි වෙනකොටම මට මගේ ගැන අමනාපයක් ඇති වෙන මට මගේ ගැන තරහක් ඇති වෙන තරමට එක්තරා කාලයක මගේ මනස දුබල වුණා. ඒ දිනවල භාවනාව කියලා මතක් වෙන කොට මට ලොකු දුකක් ඇති වුණා. මගේ නොහැකියාව පිළිබඳව.

මෙහෙම කාලයක් ගතවෙන කොට මට එක්තරා ගුරුවරයෙක් මුණගැහුණා. උන් වහන්සේ සීමාන්තිකව නීති පනවමින් භාවනා කරන්න යොමු කළා. එතැනට යොමු වෙලා දැඩි උත්සාහයෙන් වීර්යයෙන් ක්‍රියා කරන්න පටන් ගත්තා. මම හිතුවා ඒ මඟ හරියාවි කියලා. නමුත් එහෙම කරන්න පටන් ගත්තේ දුර්වලකම් වටහා ගෙන නෙවෙයිනේ. වෙන කෙනෙක් කියන ක්‍රමයට බලහත්කාරයෙන් හික්මෙන්න ගිහිල්ලා භාවනාව කියන එක මට තිත්ත වුණා.

එයම අත්දැකීමක් කරගන්න.

මුලදි භාවනාව ගැන සිහි කරන කොට මට මා ගැන ලොකු දුකක්, කනගාටුවක් ඇති වෙන්නේ. මේ ගුරුවරයාගේ දැඩි හික්මවීමත් එක්ක පසු කලෙකදී භාවනාව සිහිවෙන කොටම ඇඟ කිලිපොළා යන තරමට එය මනසින් ප්‍රතික්‍ෂේප වුණා.

මේ කාරණා දෙකෙන්ම හෙම්බත් වෙලා අවසාන ප්‍රතිඵලය වුණේ සම්පූර්ණයෙන් භාවනාව අත්හැර දමන එක. නමුත් භාවනා කරන්න ඕන, ගුණදහම් වඩන්න ඕන කියන අදහස මගෙ මනසින් ගිලිහිලා ගියේ නැහැ. භාවනාව ගැන සිහිපත් වෙනකොට මට බයක් ඇති වුණා. මං කොහොමද භාවනා කරන්නේ. මට මේක කරන්න ශක්තිය නෑ නේද කියලා.

ඊට පස්සේ භාවනාව පිළිබඳ අවශ්‍යතාව තියෙන නිසා මම ටිකෙන් ටික හොයන්න පටන් ගත්තා. ඇයි මට භාවනා කරන්න බැරි කියලා. මෙහෙම සොයන්න බලන්න පටන් ගන්න කොට තමයි, කය ඒ විධියට හෙම්බත් වෙන්නේ, සිත වික්ෂිප්ත වෙන්නෙ මේ මේ හේතු නිසයි කියලා හඳුනා ගන්න පුළුවන් වුණේ. එයම තමයි භාවනාවට ප්‍රවේශ වෙන්න ලොකුම අත්දැකීම බවට පත් වුණේ.

ඒ නිසා අදටත් අපි භාවනාව පිළිබඳව තව කෙනකුට උපදෙස් දෙනවා නම් ඒ අප විසින්ම අත්දැකපු කාරණා ටික ඔවුන්ට කියා දෙනවා. එතකොට බොහෝ දෙනා කියන්නේ “හාමුදුරුවනේ, මෙතෙක් කල් භාවනා කළාට අපි මේ ටික දැන ගෙන හිටියේ නැහැනේ. අපට මේ ටික කවුරුත් කියා දුන්නේ නැහැනේ. ඇත්තටම ඒ ටික භාවනා කරන්න මුලින්ම දැනගෙන හිටියා නම් වටිනවා. අපි ගොඩාක් පටලැවිලා තියෙන්නේ” කියලා.

එහෙම හුඟක් දෙනා ප්‍රකාශ කරන්නේ අමුතු දෙයක් නිසා නෙවෙයි. යම් තැනක වැරදුණා නම්, යම් තැනක පැටලුණා නම්, යම් තැනක දුබල වුණා නම් එහෙම වුණේ කොහොමද කියලා ප්‍රත්‍යවේක්‍ෂා කරලා බලන්න ඕන. එයම තමයි ජීවිතේ පරිපූර්ණත්වයට, ඉදිරි ගමනට අපට අත්දැකීමක් වෙන්නේ. අත්වාරුවක් වෙන්නේ. එසේ වරදින්නේ නැතිව අත්දැකීම් ලැබූ කිසිවෙක් මේ ලෝකේ ඇත්තෙ නැහැ.

පසුතැවීම හොඳ ගුණයක් නොවෙයි.

වරදින්නේ නැතිව ගමනක් නිමා කරපු, සාර්ථකත්වයට පත්වුණු කවුරුත් මේ ලෝකෙ නැහැ. ඒ නිසා වැරදීම්, දුබලවීම් පිළිබඳව අපි කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් වැරදිවලට, දුර්වලකම්වලට දැන දැන යොමු වුණොත් නම් ඒ පිළිබඳව අපට කනගාටු වෙන්න වෙනවා. එතැන තියෙන්නේ අත්දැකීම් අඩු බව නොවෙයි. නුවණින් විමසා නොබැලීම සහ වෙනත් මනෝ භාවයන්ගෙන් අපේ මනස දුර්වල කර ගැනීමේ දෝෂයයි.

නමුත් ඒ පිළිබඳව වුණත් කනගාටු වෙලා තැවිලා අපට කළ හැකි දෙයක් නැහැ. ඒ පිළිබඳව පසුව හෝ සිහි නුවණින් තේරුම් ගත්තොත් අපට නැඟී සිටින්න පුළුවන්, පසුතැවීමෙන් තොරව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පසුතැවීම කියන්නෙම අකුසලයක්. ඒක කුසලයක් නොවෙයි. නමුත් අපට කුසලයක් වගේ පෙනෙන්න පුළුවන්. යමෙක් කරපු වැරදි පිළිබඳව තැවෙන කොට අපි සාමාන්‍යයෙන් දකින්නේ.

“ඒ මනුස්සයා වැරදි කළාට දැන්නම් හරියට ඒ ගැන දුක් වෙනවා. හරියට තැවෙනවා.” කියලයි.

දැන් මේ තැවෙනවා කියන එක ලොකු ගුණයක් වගේ තමයි අපට පෙනෙන්නේ. ඒ නිසා අප අතින් සිදුවුනු වැරදි අඩුපාඩු පිළිබඳවත් අපි බොහෝ කොට පසුතැවෙන්න පටන් ගන්නවා. ඒක අපේ මනසේ ඇතිවෙන එක්තරා මුළාවක්. පසුතැවීම කියන එක මොනම ආකාරයකින්වත් කුසලයක් නෙවෙයි. ඒක අකුසලයක්මයි. ඇයි? ද්වේෂ මූලික සිත් පරම්පරාවක්මයි එහිදී හටගන්නේ.

නොසලකා හැරීමත් අනුවණකමක්

එහෙම නම් පසුතැවෙන්නේ නැතිව කාරණය අමතක කරන එකද අපි කළ යුත්තේ? වරද අමතක කළොත් ඒ මනුස්සයා ඒ වරදින් නිදහස් වෙන්නෙත් නැහැ. දැන් සමහරු කියනවානේ “ඕවා ගණන් ගන්න එපා. මම නම් ඕවා ගණන් ගන්නේ නැහැ සත පහකටවත්. මේ ලෝකෙ මිනිස්සු වැරදි කරන හැටියට අපි මොනවද කරන්නේ? මේ ලෝකෙ මිනිස්සු මහා අපරාධ කරද්දී අපි මේ වගේ පොඩි දෙයක් කළහම ඕක ඔය තරම් මහමෙරක් වගේ හිතන්න දෙයක්ද? මිනිස්සු අතින් වැරදි වෙනවානේ. මනුෂ්‍යයෝ කියන්නේ වැරදි සිද්ධ වෙන පිරිසක්නෙ. එනිසා ඕවා එතරම් ගණන් ගන්න දෙයක් නෑ. මම නම් ඕවා හිතන්නෙ නෑ” යනුවෙන්.

එහෙම කියලා සමහරු ඒවා අමතක කරලා දානවා. ඒක අතිශයින් භයානකයි. ඇයි? වරද වරද හැටියට නොදකින තැනැත්තා ප්‍රඥාව අවධිකර ගන්නෙ නෑ. අත්දැකීම් ලබන්නෙ නෑ. ජීවිතය ගොඩනඟා ගන්න වෑයම් කරන්නෙ නෑ. හැමදාමත් ඒ වරදෙහිම ගිලෙමින් විනාශ වෙනවා.

සමහර වෙලාවට වෙනත් ආගම්වල අය සතෙක් මැරුවයි කියලා ඒ අයට ලොකු පසුතැවීමක් ඇතිවෙන්නේ නෑ. “දෙවියන් වහන්සේ සතුන් මවලා තියෙන්නේ අපටයි. අපි මරාගෙන කනවා. අපි දෙවියන් වහන්සේටත් පූජා කරනවා. එතකොට දෙවියෝ අපව ආරක්‍ෂා කරනවා.” ඒ විධිහට ඒ අය සිතනවා.

ඉතින් එහෙම හිතන කොට කම්පාවක් නෑ. ඒ නිසා ඒ අය හැමදාමත් සතුන් මරමින් සතුටින් ඉන්නවා. හැබැයි අපි අතින් සතෙක් මැරුණොත්, හිතලා මරන්න ඕන නෑ. වැරදීමකින් හරි මරුණොත්, අපිට මහා පසුතැවීමක් ඇති වෙනවා. අර වගේ සිය දහස් ගුණයක අකුසලයක් අපි කර ගන්නවා පසු තැවීම නිසා.

දැන් ඒ අතින් බලනකොට අන්‍යාගමිකයන් බෞද්ධයා තරම්, පසුතැවීමෙන් පව් කරගන්න නැහැ. පසුතැවීමෙන් පව් කරගන්නේ නැති වුණාට ඔවුන් පාපයෙන් නිදහස් වෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. එය වරදක් බව නොදකින නිසා.

කුසල් අකුසල්, පින් පව් ගැන දන්නා තැනැත්තා, තමන් අතින් වරදක් සිදුවුණාම එක්තරා ප්‍රමාණයකට පසුතැවෙනවා. පසුතැවීම හොඳ නැතත්. ඒ පසුතැවීමෙන් ඇති වෙන පීඩාව, අපහසුතාව නිසා ඒ තැනැත්තා කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕන කියලා කල්පනා කරනවා. ඒක නම් හොඳ දෙයක්.

කුසලය අකුසලයටත් අකුසලය කුසලයටත් ප්‍රත්‍ය විය හැකියි

ඒ නිසා පසුතැවීම හොඳ නැති වුණාට ඒ පසුතැවීම පදනම් කොට ගෙන ඒ වරදින් නිදහස් වෙන්න සිතනවා නම් ඒක ඥානවන්ත ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සමහර අවස්ථාවල අකුසලය කුසල ධර්ම උපදවන්නට ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. සමහර අස්ථාවල කුසලය අකුසල් උපදවන්නට ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. කුසල ධර්ම කොහොමද අකුසල ධර්ම උපදවන්නට හේතු වන්නේ?

අපි හිඟක් පින්කම් කරනකොට, දන් දෙනකොට, බණ භාවනා කරනකොට, සිල් ගන්නකොට අප තුළ එක්තරා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. “අපි තමයි ගුණ දහම් වඩන්නේ, අපි නම් හොඳට සම්මා දිට්ඨිය ඇති කරගෙනයි ඉන්නේ. අපි නම් ආර්ය මාර්ගයේ ගමන් කරනවා. අනිත් අය මොනවද මේ කරන්නේ” කියලා අන් අය හෙළා දකින, තමන් හුවා දක්වන යම්කිසි සෙය්‍යමානයක් මනසේ ඇති වෙන්න පුළුවන්. ඒක කුසලයක්ද? ඒක කුසලයක් නෙවෙයි.

නමුත් දැන් මේ අකුසලය මනසේ හටගත්තේ කුමක් නිසාද? කැපවීමෙන් කුසල් දහම් වැඩූ නිසා. කුසල් කිරීම ම තම පුද්ගලයාගේ මනසට යම් අවස්ථාවක මේ විදිහට මානයක් ඇති වෙන්න පුළුවන්. ඒක කුසලයේ දෝෂයක් නෙවෙයි. අනුවණකමේ දෝෂයයි. කුසලය දොස් සහිත නැහැ. කුසල් කිරීම හොඳයි. නමුත් ඒ කුසල් කිරීමත් සමග අපි හැමවිටම සිහි බුද්ධියෙන් ඉන්නෙ නැහැනෙ. අපි හැම විටම ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ නැහැනේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *