සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(තෙවැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
නම් කිරීම
සති මාත්‍රයෙන් කරනු ලබන, චිත්ත සන්තානය පිරිසිදු කිරීමේ හා සැකැසීමේ කටයුත්ත මඟින් සිතේ ගැට ලිහා දමා නිරවුල් කිරීමක් සිදු වන බව මින් පෙර සඳහන් කළෙමු. මෙම පට බේරා ගැනීම සෑම මානසික මෙන්ම වාචසික ක්‍රියාවකට ම සම්බන්ධ ය. එනම් “වෙන් කොට හඳුනා ගැනීමෙන්” පසු පමණි “නම් කිරීම” කළ හැක්කේ.
ආදිකාලීන මිනිස්සු වචනවල යම් ශක්තියක් ඇති බවකුත් ජප කිරීමෙන් එම ගුප්ත බලය ක්‍රියාවත් කළ හැකි බවකුත් ඇදහුවෝ ය. යමකු හට නම කියා ආමන්ත්‍රණය කිරීමෙන් ඔහු වසඟයට ගත හැකිවාක් මෙන්ම, ඒ පිළිබඳව නො දන්නා ගතිය ගැන ඇති බිය ද දුරු කළ හැකි ය. යමක් වෙන් කොට හඳුනාගෙන නම කියා ආමන්ත්‍රණය කළ හැකි නම් එය පුද්ගලයෙකු වේ වා, වස්තුවක් වේ වා, බලයක් වේ වා ඒ කෙනා හෝ දෙය තම වසඟයට නතු කරගත්තා වැනි ය. නම කියා ආමන්ත්‍රණය කිරීමේ දී සිදු වුණ මෙවැනි පුවත් පුරාණ සුරංගනා කථාවල දැක්වේ. නම කියා ආමන්ත්‍රණය කිරීමෙන් ඕනෑ ම යක්‍ෂයකුගේ බලය දුරු වී යන අතර, ඔවුන් නතු කරගත හැකි බවක් ද සඳහන් වී ඇත.
සති මාත්‍රය පුරුදු කිරීමේ දී මෙසේ නම් කිරීම, බලය තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස කෙනකුට පෙනෙනු ඇත. විශේෂයෙන් සිතේ අඳුරු ගුහා තුළ “ලැගුම් ගෙන සිටින යක්‍ෂයන්” හඳුනාගෙන නම කියා ආමන්ත්‍රණය කිරීම සිතක ඇති රහස් හෙළි කිරීමකට සමාන වන්නේ ය. සතිමත් පුද්ගලයාගේ මේ හුදු බැල්ම ඔවුන්ට දැරිය හැක්කක් නො වේ. ඔවුන් හෙල්ලුම් කෑමකට ලක් වන නමුත් පලවා හැරීමකට තරම් සමත් නො වේ. කාමාදී කෙලෙස් බලවේගවලට සති ආලෝකය එල්ල කළ විට එම යක්‍ෂයන්ට අකැමැත්තෙන් එළි බැසීමට සිදු වේ. එහි දී ඔවුහු පැකිළෙමින් එළියට විත් නිදහසට කරුණු කීමට මෙන් තතනති. නම් අඬගැසීමක් හා විත්ති කූඩුවට නැංවීමක් මිස ඉන් එහා යමක් මෙම සති මාත්‍රය නො කරයි. අඳුරු ගුහාවෙන් එළියට ගැනීමේ මෙම කෘත්‍යය නිසා ම මේ කෙලෙස් යක්‍ෂයන් ක්‍ෂය වී යන බව සත්‍යයකි. මෙය සති මාත්‍රය පුහුණු කිරීමේ ප්‍රථම ජයග්‍රහණයයි.
ඇතුළත කථාව හෙවත් හිස් සිතිවිලි කෙනකු තුළ අප්‍රසන්න පහත් බවක් ඇති කරවයි. එය තමාගේ පෞරුෂත්වයට නොතරම් බවකැ යි පෙනෙන නිසා තමා නො දැන ම ඒවා හමස් පෙට්ටියට දැමීම සාමාන්‍ය පුරුද්දයි. නැතිනම් පසුව ඒවායේ සුදු හුණු ගෑමක් සිදු කොට නම්බුකාර ලේබල් අලවා, ප්‍රසන්න දේවල් බවට පත් කරගනී. මේ අනියම් කටයුතු නිසා ඒවා උප විඤ්ඤාණයේ කෙලෙස් මණ්ඩි ලෙස තැන්පත් වීම දිගටම සිදු වේ. මේ නිසා යහපත් කුසල චේතනා දුර්වල වෙයි. මේ නිසා ම ප්‍රශ්නවලින් පැන යෑම ඇබ්බැහියට යයි. මෙසේ කුසල චේතනා දුර්වල වීම සහ ප්‍රශ්නවලින් පැන යෑමේ ඇබ්බැහිය මෙම අප්‍රසන්න සිතිවිලි හඳුනාගෙන “නම් කිරීම” – “ලේබල් කිරීම” මඟින් ලේසියෙන් පිටුදැකිය හැකි ය. මෙය විඤ්ඤාණය, උප විඤ්ඤාණය යන දෙකට ම හිතකර ලෙස බලපායි.
පෞද්ගලික දුර්වලතා හෝ කෙලෙස් සිතිවිලි වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නම් කිරීම නිසා, ඒවා කෙරෙහි එක්තරා විධියක පිළිකුල් සහගත බවක් සහ විරෝධයක් හිතෙහි හටගනී. මෙලෙස හිතෙහි හටගන්නා ගති නිසා කෙලෙස් සිතිවිලි ආදිය ඇතුළු වීම මඳකට වළක්වා ලීමේ හැකියාව නම් කිරීම නිසා ලැබෙන අතර, අන්තිමේ දී ඒවා සම්පූර්ණයෙන් යටපත් කිරීමටද හැකියාව ලබනු ඇති. මෙලෙස අනවශ්‍ය සිතිවිලි ආදිය මුලින් මුලින් සම්පූර්ණයෙන් ම වළක්වා ලීම අපහසු නමුත් සිතෙහි පුරුදු වන එම පහත් සිතිවිලි ආදිය කෙරෙහි වන පිළිකුල හා විරෝධය වැඩීමත් සමග ම ඒවායේ මතු පහළ වීම දුර්වල වන්නේ ය. දිගින් දිගට මෙසේ නම් කරගෙන යන්නේ නම්, ඒවාට බලහත්කාරයෙන් සිතට රිංගා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙන්නේ ය. මෙලෙස ඒවා දුර්වල කිරීමේ මෙම සාර්ථක ක්‍රමය නිසා මෙනෙහි කරන සිත ප්‍රබල වන්නේ ය. මෙසේ සිතේ සම්‍යක් වර්ධනයක් ඇති කර අධිෂ්ඨාන ශක්තිය වඩන මෙම චෛතසිකය ‘හිරිය’යි. එය ආචාර ධර්මයක් වන අතර, සදාචාර ගුණයෙන් හෙබි චෛතසිකයකි.
නම් කිරීමේ සහ හංවඩු ගැහීමේ මෙම ක්‍රමය ඇත්ත වශයෙන්ම හොඳ යහපත් චෛතසිකවලට ද එක සේ යෙදිය හැකි ය. එවිට ඒ හොඳ සිතිවිලි දිරිගැන්වේ. ප්‍රබල වේ. මෙලෙස නම් නො කළොත්, එම යහපත් සිතිවිලි ගණන් නො ගැනීම නිසා ම නිලීන ව අප්‍රධාන ව ම පවතින්නේ ය. නම් කිරීම හරහා මෙලෙස හොඳ දේ හොඳ වශයෙන් හඳුනා ගැනීමෙන් ඒවා වැඩි දියුණුවට පත් වේ.
සම්මා සතිය සහ සති මාත්‍රය සලසන හිතකර සේවාව නම්, ජීවිතයේ එදිනෙදා සිද්ධි මෙන්ම සිතේ ක්‍රියාකාරකම් ද ප්‍රතිපදාවේ දියුණුවට ම ගොනු කර ලීමයි. නම් කිරීමේ සහ හංවඩු ගැසීමේ මෙම කෘත්‍යය නිසා අහිතකර දේ පවා හිතකර දේ සඳහා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ.
මෙයට සාක්ෂි වශයෙන් සතිපට්ඨාන සූත්‍රයෙහි දැක්වෙන පහත සඳහන් පාඨ කියවා විශ්වාසය තහවුරු කරගන්න.
“සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමී’ති පජානාති”
“සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති”
“සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මේ අජ්ඣත්තං කාමච්ඡන්දෝ’ති පජානාති”
“සන්තං වා අජ්ඣත්තං සති සම්බොජ්ඣංගං අත්ථි මේ අජ්ඣත්තං සති සම්බොජ්ඣංගෝ’ති පජානාති”
මෙම පිරිසිඳ දැකීම සහ නම් කිරීමේ කටයුත්ත හරහා පසුවට විපස්සනාව තුළින් කාරණා වටහා දෙන තෙක් ඊට මඟ හෙළි කර දී සිත සකස් කර දීම සිදු වන බව මෙහි ලා කෙටියෙන් සඳහන් කරමින් මෙහි සමාප්තිය සටහන් කරමු. (සති මාත්‍රය මඟින් සිදු කරනු ලබන එම කටයුතු දෙක අනුව මානසික කර්තව්‍යය බිහි කරන ඝන සංඥා බිඳී යනු ඇත. එසේම නාම රූප ධර්මයන්ගේ නියම ස්වභාවය හෙවත් සටහන් සහ ආකාර හැඳින ගැනීම හරහා ඒවායේ උදයව්‍යය දැකීමට උපකාර වනු ඇත.)
(මතු සම්බන්ධයි)