අශෝකා අබේවර්ධන
කැළඹීම්වලින් නිදහස් වුණු, විනිර්මුක්ත වුණු කිසිදු සාංසාරික ජීවිතයක් නොමැති බව භද්දා කාපිලානි තෙරණින් වහන්සේගේ පාරමිතා ගමන විමසා බැලීමේ දී ද පැහැදිලි වෙයි. එසේ ම අබුද්ධෝත්පාද සමයන්හි දී නිවැරැදි දහම මතු කොට ගැන්මට ඇති දුෂ්කර බව ද පසක් වේ. අබුද්ධෝත්පාද සමයක දී ඇය නැන්දනිය සමග කළහ කරගත් බවත්, නැන්දනිය පින් කුසල් කොට මතු මත්තෙහි බොහෝ සැප සම්පත් ලබන්නී ය යි ඊර්ෂ්‍යා සහගත සිතින් ඇය පසු වූ බවත් ථෙරි ගාථා වර්ණනාවන්හි සඳහන් වේ. සංසාරයක ඇති ආදීනවයන් නම් එබඳු ය. භද්දා කාපිලානිය සංසාරයෙහි අති දීර්ඝ කාලයක් බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ උත්තමාවියක වුව ද එම උතුම් ජීවිතය ද යම් පමණකට හෝ කිළිටි වී ගිය හැටි එම සිදුවීම්වලින් පැහැදිලි ය.
සංසාරයක ඇති දුක් ගැහැට ආදීනවයන් එබඳු යැ යි යළි යළිත් සිහිපත් කොට සම්මා මාර්ගයට පිවිසීම නම් මහත් වූ වුවමනාවෙන් ම, දැඩි වීර්යයෙන් ම සිදු විය යුත්තකි.
භද්දා කාපිලානි තෙරණින් වහන්සේගේ උතුම් පාරමිතා ගමන පදුමුත්තර ශ්‍රී පාද පද්ම මූලයේ දී ඇරඹුණකි. එකල්හි හංසවතී නුවර කුල ගෙයක ඉපිද සිටි ඇය සැමියාගේ උදව්වෙන්, සහායෙන්, අනුග්‍රහයෙන් යුතු ව නිරන්තරයෙන් බණ අසන්නී, මහත් සේ පින් පුරන්නී, දිනක් එක්තරා භික්ෂුණියක් පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන භික්ෂුණීන් අතුරෙහි අග්‍ර වන්නී ය යි අග තනතුරු ලබනු දැක එබඳු ම පින් සිරි ලබන අභිලාෂයක් ඇගේ සිත තුළ ද ඉපදිණ.
සිතෙකින් තවත් සිතකට පින් සිත සම්ප්‍රේෂණය වීම නම් මනුෂ්‍ය ස්වභාවයයි. එම සිටු දියණියගේ සිත ද පිනෙන් ඔපවත් වී පාරමිතා ගමනක් අරඹන්නට මූල චිත්ත බීජය සකස්විණ. වීරිය පාරමිතාව ද, අධිෂ්ඨාන පාරමිතාව ද මුදුන් පමුණුවා ගන්නට දාන පාරමිතාවෙන් ලැබෙනුයේ සවිමත් අත්වැලකි. පසු දා පටන් බුද්ධ ප්‍රමුඛ මහ සඟ රුවනට මහ දන් වැටක් පවත්වා, එම පැතුම බුදු සිරිපා මුලෙහි තබා විවරණ ගෙන මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ හෙවත් පිප්පලී මානවකයාණන් සමග ම පාරමිතා ගමන එක් ව ගිය බව ථෙරි ගාථා වර්ණනාවන්හි සඳහන් වේ.
එම දෙදෙනා වහන්සේට ම එකිනෙකා ගෙන් ලැබෙනුයේ මහත් වූ අනුග්‍රහයකි. දෙදෙනා ම එක් ව දිවි ඇති තෙක් ම පදුමුත්තර බුදුන් වහන්සේට උපස්ථාන කොට රැස් කොටගත් මහ පින් ඇති ව විසූ හ. බුදුන් වහන්සේ පිරිනිවී ගිය පසු නෑ හිත මිතුරන් රැස් කොට යොදුනක් උස රන්මුවා ස්ථූපයක් කරවා ඒ වටා සත් දහසක් භාජන රන් රුවන්වලින් සාදා තැන්පත් කොට බුදුරදුන් පිදීම උදෙසා සුවඳ තෙල් පුරවා පහන් දැල්වී ය. රනින් නිම කළ සත් දහසක් පුන්කළස් ද තැබූ හ. සතර වාසල් දොරටුවල රුවන්මය තොරණ සතරක් ඉදි කොට ඒ මත ධජ පතාක ද සවි කොට බුදුන් පිදූ හ. ස්වර්ණ වර්ණ වූ මනාකොට නිමවා ඇති විසිතුරු වූ රන්මුවා සෑය අහස් ගැබ මැද හිරු මෙන් බබලමින් තිබිණ. මෙසේ මහත් සැදැහැයෙන් පුද පූජා පවත්වා දිවි ඇති තාක් සංඝයාට දන් පැන් දුන් බව ද ථෙරි ගාථා වැනුමෙහි සඳහන් වේ.
මෙසේ පිනෙන් ම සරු සාර වූ භද්දා කාපිලානිය සිටුවරයා සමඟ ම ඡායාවක් සේ වෙමින් මහත් වූ පින්කම් කොට ඔහු සමග ම දෙව් ලොව ගොස් දෙව් සිරි වින්දා ය.
මෙයින් අනූ එක් කල්පයකට පෙර ලොව පහළ වූ විපස්සී බුදු පියාණන් සමයෙහි ඔහු සාධු සම්මත ගුණවත් ධනයෙන් ද ආඪ්‍ය වූ බ්‍රාහ්මණයෙකු වී ඇය ඔහුගේ බැමිණිය වූවා ය. දෙදෙනාගේ එම ජීවිතය ද පිනෙන් ම සපිරුණු බව ථෙරි ගාථා වර්ණනාවෙහි සඳහන් ය.
දිනක් ඔහු විපස්සී බුදුන් හමුවෙහි අමා සුව දෙන මිහිරි දහම් ශ්‍රවණය කොට බෙහෙවින් පැහැද කෙලෙස් මල සැඟව ගිය සිතින් යුතු ව තමන් උඩු කයෙහි පැළඳ සිටි උතුරු සළුව බුදුන්ට පුදා ඉණ හැඳි සළුව පමණකින් නිවසට පැමිණ තමන් උතුරු සළුව බුදුනට පිදූ බවත්, එහි පින් අනුමෝදන් වන ලෙසත් සිය බිරිඳට දැන්වී ය. එතුමිය ද මහත් වූ සැදැහැ සිතින් සියතින් ම කළ පින්කමක් සේ සිතා එම පින්කම උතුම් කොට පසසමින් අනුමෝදන් වූවා ය.
පින් අනුමෝදන් වීම දස පුණ්‍ය ක්‍රියා අතුරෙහි අග්‍ර වූ පින්කමකැ යි නිර්මල බුද්ධ දේශනාවක් වේ. අන් අය කරන පින් අනුමෝදන් වීමෙන් පින් කළ අයටත් වඩා මහත් වූ පින් කුසල් උපයා සම්පාදනය කර ගන්නට හැකි යැ යි බුදුන් වහන්සේ දේශනා කොට ඇති බව අප ද විශ්වාස කොට එම අනුශාසනාව බැහැර නො දා පින් රැස් කර ගැනීමට උත්සුක විය යුත්තේ ය.
වෙනත් කවර කෙනෙකු හෝ යහපත් පුණ්‍ය ක්‍රියාවක නියැළෙනු දුටු කල්හි එම පින අනුමෝදන් වන සිතක් පහළ වන්නේ බොහෝ කොට කුසලයෙහි භාවිත සිතක ය. එම සිතෙහි ඊර්ෂ්‍යාව නම් වූ දුර්ගුණය බොහෝ සෙයින් ම යටපත් ය. හෙතෙම පින් කළවුන්ගේ කුසලය ද අනුමත කරන්නේ ය. එම පිනෙන් ඔහු සුවපත් වනු සැපවත් වනු දැකීම ද රිසි වන්නේ ය. පටු ආත්මාර්ථකාමීත්වය මැඩගත් සිත ද රැක ගන්නේ ය. පින් අනුමෝදන් වීම මහත් ඵල මහානිසංස ගෙන දෙන්නේ එලෙස ය.
එම භවයෙන් මිදුණ බ්‍රාහ්මණයා යළි බරණැස් නුවර රජු ව උපන්නේ ය. ඇය ඔහුගේ අග බිසව වූවා ය. ඇය තම සැමියා කෙරෙහි බෙහෙවින් ම හිතකාමී පතිනියක් වූවා ය. එය අබුද්ධෝත්පාද සමයක් සේ ම පසේබුදුවරුන්ගේ සමයක් විය. යම් කලෙක ලොවුතුරා බුදු වරයෙකු බිහි වන්නට පෙර ඊට ආසන්න කාලයක පසේබුදුවරුන් පහළ වූ අවස්ථා ඇත. එකල්හි තරු පොකුරක් සේ බොහෝ කොට පසේබුදුවරු පහළ වෙති. පූර්ණ චන්ද්‍ර මඬල සේ සම්මා සම්බුදු රුවනක් පහළ වන්නේ මෙම තරු පොකුරු නිවී යෑමෙන් පසු ව ය. මේ අසිරිමත් සොබාදහමයි.
බරණැස් රජු එකල්හි පහළ ව සිටි පසේබුදුවරුන් අට නමක දැක සිත පැහැදී පිණ්ඩපාතය පිළිගන්වා පසුව දානය සඳහා ආරාධනා කොට රුවන් මඩුවක් තනා සියක් රියන් දිගු වූ රන් නූලෙන් වියන ලද වියනක් ද පූජා කළේ ය. අගබිසව ද ඒ සියලු පින්කම්වලට එක සිතින් ම බැඳී සහාය දැක්වූවා ය.
අනතුරු භවයෙක මේ පිනැත්තිය බරණැස් නුවර කුල ගෙයක සොහොයුරන් ගෙන් වැඩිමහල් සොහොයුරුගේ බිරිඳ වූවා ය. සොහොයුරන් එක් ව පසේබුදුරජාණන් වහන්සේට පූජා කළ දාන පාත්‍රය ගත් ඇය දානය ඉවත් කොට මඩ පුරවා බුදුන් වහන්සේ අත තැබූ බව ද ථෙරි ගාථා වර්ණනාවන්හි සඳහන් වේ.
පළමු කොට දානය දෙන විටත්, දාන පාත්‍රය ආපසු ගන්නා විටත් නො ඇලුණු, නො ගැටුණු, ප්‍රසන්න වූ සම මනසක් දක්වමින්, සිසිල් වූ නිවුණු ගති ඇති ව වැඩ සිටි නිකෙලෙස් පසේබුදුරදුන් දැක ඇය මහත් සේ සංවේගයට පත් වූවා ය. සංසාරගත පූර්ව කෘත කුසල් බලයෙන් ඇයට එම වරදෙහි ආදීනව වහා වැටහිණ. ඉක්බිති ඇය යටහත් පහත් ව ගෞරවයෙන් ම පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන් සිතින් ම ගිතෙල් හා හකුරුවලින් පාත්‍රය පුරවා පසේබුදුරදුන්ට යළි පිළිගැන්වූවා ය.
කිසියම් කෙනෙකු අතින් යම් වරදක් සිදු වුව හොත් එම වරද වටහාගෙන යළි එලෙස වරද සිදු නො වන්නට අදිටන් කොට ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටීම නැණවත් පුණ්‍ය වන්තයන්ගේ ස්වභාවයයි. සමාව ගෙන ආර්යෝපවාද කර්මයෙන් නිදහස් වීමෙන් යළි සුව සේ පාරමිතා ගමන යන්නට ඉඩ අවකාශ සලසා ගනී.
සිදු වූ දොස් කඳ ජීවිත තුලාවෙහි එක් පසෙකට දමා අනෙක් පස ඊටත් වඩා බර වැඩි වන ලෙස කරන ලද පින් කුසල් දැමුව හොත් පාප බර මැඬ පින් කුසල් බර මතු කොට ගත හැකි ය. ඒ සඳහා සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රද්ධාවත්, වීර්යයත්, යෝනිසෝමනසිකාරයත් ඉවහල් වේ. පාපයෙහි අගුණ මකා දැමීමට පිනෙහි බල මහිමය මහත් කොට ගත යුතු ය. ඒ කෙසේ දැ යි ලෝණඵල සූත්‍රය විමසීමෙන් ශ්‍රාවක බුද්ධි මහිමය ප්‍රභාස්වර කොට ගත හැකි ය.
භව ගමන ගෙවන භද්දා කාපිලානිය ඇගේ පින් මහිමයෙන් සැම කල්හි ම සුරූපිනියක වූවා ය. එහෙත් පසේබුදුන්ට කළ නිගරුවෙන් පසු මඳ කලක් මුහුණින් දුගඳ හැමී ය. පසු කලෙක ඇය සතු රන් අභරණ විකුණා ලත් මුදලින් රන් ගඩොලක් තනා සිවු වැදෑරුම් සුවඳ ගල්වා කාශ්‍යප බුදු රදුන්ගේ ධාතු චෛත්‍යයෙහි පිදුවා ය. රන් රුවන්මය පාත්‍රා දස දහසක් කරවා මුවවිට තෙක් ගිතෙල් පුරවා බුදුන් පිදීම පිණිස පහන් සිතින් පහන් පේළි සතක් දැල්වූවා ය. එම කුසල් බලයෙන් ඇය සියලු දුගඳින් මිදී මනහර රූසිරි ලැබුවා ය.
ඉන් පසු භවයක ඈ කසී රට කෝලිය ජාතියෙහි උපන්නා ය. එහි දී තම ස්වාමියා සමග ම පන් සියයක් පසේබුදුවරුනට එක්සිත් ව උපස්ථාන කළා ය. තුන් මසක් ම ඒ බුදුවරුන් සතපා පා සිවුරු පුදමින් පිනෙහි ම ඇලුණු ප්‍රසන්න සිත් ඇති ව විසුවා ය.
එයින් මිය ගිය පසුව නන්ද නම් රජුගේ අග මෙහෙසිය වූවා ය. ඒ භවයෙහි ද පන් සියයක් පසේබුදුවරුන් පිරිනිවෙන තෙක් ම රජ උයනෙහි වස් වසවා සත්කාර කළා ය. පසේබුදුවරුන් පිරිනිවන් පෑ කල්හි ඒ වෙනුවෙන් සෑයයන් ඉදි කොට දෙදෙනා ම පැවිදි වූ හ. ඉන්පසු සතර බ්‍රහ්ම විහරණයන් වඩා බඹ ලොව ඉපදුණු බව සඳහන් වේ.
එයින් චුත වුණ ඔහු අප බුදුන් සමයෙහි පිප්ඵලී ගෝත්‍රයෙහි උපත ලද අතර සාගල නුවර කපිල බ්‍රාහ්මණයාගේ දියණිය ලෙස ඇය උපත ලද්දී, භද්දා නම් වූවා ය. දෙදෙනා ම කාමයන් වරණ ලද සිත් ඇත්තෝ වූ හ. මාපියන් විසින් විවාහ යෝජනා ගෙන ආ නමුත් ඔවුන් දෙදෙනා ම විවාහයකට නොකැමැති බැව් සඳහන් ලිපි එකිනෙකා අතර හුවමාරු කරගත් හ. ඒ ලිපි දෙනුවරට රැගෙන ගිය පණිවුඩ කරුවන්ගේ උපායකින් දෙදෙනා අතර විවාහය සිදු විය.
මාපිය සිත් නො රිදවා ඔවුන් සිත් සතුටු කිරීම උදෙසා ම විවාහ වූ නමුත් දොළොස් වසරක් රාග සිත් නූපදවමින් එක් යහනේ ම සයනය කළ හ. මාපියන් ඇවෑමෙන් කෙත් වතු වෙළෙඳ ව්‍යාපාර මැනැවින් පාලනය කරන්නේ දෙදෙනා ම එක දා ම ගිහි ජීවිතයෙහි ඇති ආදීනවයන් අවබෝධ කොට ගිහි බවට කලකිරුණු සිත් උපදවා ගත් හ. දෙදෙනාට ම වූයේ එක් බඳු සිදුවීමකි. පනුවන් අවුලා කන කොකුන් සහ කපුටන් දුටු දෙදෙනා ම ගිහි ජීවිතයට ඇති ඇලීම සපුරා බැහැර කළ හ.
එක්වර ම ගිහි ගෙයින් නික්මුණු දෙදෙනා මඳ දුරක් ගොස් වෙන් ව දෙපසට ගියේ අනවරත සසරෙහි එක් ව ආ ගමනට ද සමු දෙමිනි. භද්දා කාපිලානිය තම ස්වාමියා කමා කොට දෙපා වැඳ සමුගත් මොහොතේ මිහිකත් මාතාව ද කම්පා වී සැලී ගිය බව ධර්මයෙහි සඳහන් ය.
ඇය පැවිදි වූයේ අන්‍ය තීර්ථ ආරාමයක ය. පස් වසරකට පසුව ඇය මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලබා නොබෝ කලකින් ම සිවුපිළිසිඹියා පත් මහ රහත් භාවයට පත් ව සිය සසර ගමන අවසන් කළා ය. පූර්වේනිවාසානුස්මෘති ඥානයෙහි කෝටිප්‍රාප්ත වූ භද්දාකාපිලානි තෙරණියට අපගේ ගෞතම නම් වූ සම්බුදුරජාණන් වහන්සේ ආර්ය සංඝ සමූහයා මධ්‍යයෙහි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන භික්ෂුණීන් අතුරෙහි අග්‍ර වන්නී ය යි අග තනතුරු දී වදාළ සේක.
භද්දාකාපිලානියගේ ගිහි කල ප්‍රිය සැමියා වූ පිප්ඵලී මාණවකයා පැවිදි වන්නේ මහා කාශ්‍යප තෙරණුවන් නමිනි. භද්දාකාපිලානි තෙරණින්වහන්සේගේ අතීත කථා පුවත් විමසන විට මහා කාශ්‍යපයාණන් වහන්සේ අමතක කොට අතහැර පසෙක ලිය හැක්කක් නො වේ. එම දෙදෙනා ම පදුමුත්තර බුදු පියාණන් හමුවේ සිට ම එක් ව බැඳුණු සිතින් පින් කුසල් කොට එක් ව ම සසර ගමන් මඟ ගිය දෙදෙනෙකි. දෙදෙනා ම එකිනෙකාට දැක්වූ සහාය මහ බෝසතාණන් වහන්සේ සහ යසෝධරාවනට සමාන කොට දැක්වීම කෙලෙසක වත් කළ නොහැකි වුව ද මහත් සේ අගය කොට දක්වාලිය යුත්තකි. සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරක ඇති වටිනාකම කෙතරම් දැ යි යළි යළිත් සිහිපත් කොට සත්පුරුෂ ඇසුර ම ප්‍රාර්ථනා කළ යුත්තේ ඉන් සත්ත්වයාට යහපත ම උදා වන නිසා ය.
ඔබ අප ඇතුළු සැවොම සද්දහමත්, කලණ මිතුරු ඇසුරත්, සසර සැපයත්, නිවනත් ඉක්මන් භවයක දී ම ලබන්නට පින්කුසල් පිරිය යුත්තේ ය.
විශේෂයෙන් ස්ත්‍රීන් පළිබෝධ සහිත වූ ස්ත්‍රීත්වය ඉක්මවා ධර්ම අවබෝධය පිණිස ම වෙර දැරිය යුත්තේ ය.
සැමට තෙරුවන් සරණ වේ වා!