මිනිස් සිතෙහි පහළවන උත්තම චිත්ත ස්වභාවයන් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෛත්‍රිය හෙවත් සෙනෙහෙබර දයාව (මෙත්තා) කරුණාව හෙවත් අනුකම්පාසහගත බව (කරුණා) මුදිතාව හෙවත් අනුවේදනීය ප්‍රීතිය (මුදිතා) උපේක්ෂාව හෙවත් නොසැලෙන සමබරතාව (උපේක්ඛා) බ්‍රහ්මවිහාර නැති නම් සතර බඹ විහරණය නමින් ද හැඳින්වේ. හිරිඔත්තප්පිය නමින් දැක්වෙන දේව ධර්ම දෙකක් එනම් පව් – නරක ක්‍රියා කිරීම හෙවත් ලැජ්ජා බය ලෝකපාලක ධර්ම දෙකයි. ඉහත සඳහන් කළ ධර්ම කාරණා කොපමණ වැදගත්ද? අප රටේ මෙන්ම බොහෝ රටවල මෙබඳු මනුදහම් ගුණ නැණ ක්‍රියාත්මක කෙරේද? බොහෝ සේ වංචාවන්ට අපි ගොදුරු වෙමින් සිටිමු. චිත්ත සන්තානයේ ශෝකය, දුක, බිය සැක අනතුර අහිමිවීම් ගැන සංවේදතා වලින් ජන මනස ඔද්දල් වී තිබේ. හොර මැරකම් ආකූල ව්‍යාකූලය. විනය, හික්මීම ශික්‍ෂණය විරලය. නීතිගරුක පුරවැසියන් සකසා ගැනීමේදී ගෙදර දොර, පාසල වැදගත් කාරක සාධක වෙයි.
කය නම් අසාරය
බව නම් භයංකාරය
අසනුව දිවා රැය
කියම් බුදුගුණ අලංකාරය
නම් කවිය වීදාගම මෛත්‍රිය නාහිමියන් පැවසුවේ නියත සත්‍යයකි. පවට බිය නැති මිනිසුන් තමා ද පවුලද, සමාජය ද, ලෝකය ද විනාශ කරනු ලැබේ. සතා සීපාවා ගහකොළ, පරිසරය, ජලධාරා විනාශයට පත්කර වස විස ලොවට මුදාහරිනු ලැබේ. මවුබස නොදන්නාකම උජාරුවට සිතන මිනිසුන් ඇති තැන ඇත්තේ රටක පරිහානිය මිස දියුණුව නොවේ. අලුත උපදින දරුවන්ට තබන නම් ස්ථාන නාම, ව්‍යාපාර නාම, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය වැඩසටහන්වල නම් ගම් නාට්‍ය, චිත්‍රපට, පොතපත, කවිය, කෙටිකතාව, නවකතාව ඇතුළු සෑම තැනම යොදන නම් ගම් දෙස බලන කල සිරිලක බිඳවැටුණු ජන මනස, ජන සැකසිය, හැදියාව කොපමණ ද කියා තේරුම්ගත හැකිය. බොල් නිසරු වල්මත් ගමනක පෙළ ගැසුණු මේ රටේ අභිවෘද්ධිය සඳහා බුදුදහමින් අපමණ ප්‍රයෝජන ලබාගත හැකිය. උපදේශන ග්‍රන්ථ නොකියවන කවියක් කතාවක් මතක නැති අයාලේ යන මංමුළා වැල් පෑගුණු ජනමනස සුවසෙත කරා ගෙන යෑමේ බොහෝ උත්සාහයන් අපට දැකගත හැකිය.
අවට පරිසරයෙහි මෛත්‍රි සංකල්පය පැතිරවීමේදී තමාගේ පවුල වැනි තමාට ඉතාම සමීප තැනකින් එකී චින්තාවන් අසල්වැසි නිවෙස්වලට, ආසන්නයේ පිහිටි වීදියට, මුළු නගරයට, මුළු රටට අනෙකුත් රටවලට සහ මුළු මහත් ලෝකයටම පැතිරවිය හැකිය. දිසාවන් ගැන සැලකීමේදී මෛත්‍රි සංකල්පනා පළමුව නැඟෙනහිරටත්, ඊට පසු බටහිර, උතුරු සහ දකුණටත්, අනතුරුව සතර අනුදිසාවන්ටත්, ඉහළට සහ පහළටත් පැතිරවිය හැකිය.
මේ ආරම්භ වී ඇත්තේ වස් වැසීමේ කාලයයි. ගිහියන්ට බොහෝ සේ පින් කුසල් වඩා ගැනීමට අවස්ථා ජනනය වන කාලයයි. ධර්මය දකින්න, ධර්මය අසන්න, ධර්මයෙහි යෙදෙන්න, ධර්මය රකින්න.

