දිමුතු පුන්සර කොළඹගේ
පළල් නළල් තලයෙන් යුත් විශාල හිසකින් සමන්විත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ දේහය දුටු කා හට වුවද මේ ඉන්නේ පණ්ඩිතයෙක් ය, විශාරදයෙක් ය, සිල්වත් තවුසෙක් ය යනු එකවරට ම වැටහේ. විශේෂයෙන් කැපී පෙනුණේ ඉන්ද්‍රනීල මාණික්‍ය දෙකක් මෙන් දිලිසෙන දීප්තිමත් නෙත් යුවළ ය. ඒවා ප්‍රඥා මහිමය විදහා දක්වන කැඩපත් දෙකක් මෙන් දිස් වූහ.”’
-මුදලිඳු ඊ. ඒ. අබේසේකර මහතා
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් උදා කළ ධර්මශාස්ත්‍රෝද්දීපනයෙහි අගතරලමිණ විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් බිහිවීම යැයි පවසතොත් එය අතිශයෝක්තියක් නොවේ. දහනව වන සියවසේ අග භාගයේ මෙරට වැඩ සිටි මහා යතිවරුන් අතර යසසින් හා පාණ්ඩිත්‍යයෙන් අගතැන්පත් වූයේ විද්‍යොදය පිරිවෙනේ ආදි කර්තෘභූත බෝධිසත්වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට නොගිය තෙරනමක වශයෙන් සමකාලීන යුරෝපීය පඬිවරුන් හඳුන්වා තිබේ.
දෙවන රාජසිංහ රජ සමයේ පටන් සිංහල රජවරුන්ගේ සම්භාවනාවට පත් පරපුරකින් පැවත ආ හික්කඩුවේ වලාකුල්ගේ දොන් ජොහානිස් අබේවීර ගුණවර්ධන මහලියනාරච්චි රාළහාමි මැතිතුමාගේ සහ තෙලිකඩ ගමේ උපන් දන්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ මැතිනියගේ පුතුන් අතර පස්වැන්නා වශයෙන් වර්ෂ 1827 ජනවාරි මස 20 වන දින අප කථානායකයාණන් වහන්සේ මෙලොව එළිය දුටහ. ලක්දිව මුළුමනින්ම බි්‍රතාන්‍ය ආධිපත්‍යයට නතුව දශකයක් ඉක්මවූ මෙම අවධියේ කුඩා බිලිඳුන් බෞතිස්ම කිරීම නීතියක් වූයෙන් මෙම දරුවා ද නිකුලස් නාමයෙන් 1831 දී පමණ පල්ලියේ දී බෞතීස්ම කරන ලදී.
හික්කඩුවේ තිලකාරාමාධිපතිව වැඩ සිටි හික්කඩුවේ සෝභිත හිමියන් විසින් 1832 මැයි මාසයේ අත්පොත් තබන ලදුව ස්වකීය අටවන වියේ දී ලිවීමෙහි, කියවීමෙහි සේ ම ක්‍රීඩාවෙහි ද සමර්ථයකු බවට පත් විය. දරුවාගේ වේලාපත්කඩය පරීක්ෂා කළ දෛවඥයන්ගේ අදහස වූයේ මොහු අල්පායුෂ ඇති රෝගී, අදක්ෂ දරුවකු බවයි. ජ්‍යොතිර්වේදීන් විසින් පළ කළ අනාවැකි නිසා ම දරුවා පැවිදි කරවීමට කටයුතු යෙදුණු අතර වර්ෂ 1840 නොවැම්බර් මාසයේ දී මැලෑගොඩ සිරිනිවාස ගුණරතනාභිධාන ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් වැඩ සිටි පෞරාණික විජයබා පිරිවෙන හෙවත් තෙල්වත්තේ රත්පත් විහාරයේ දී හික්කඩුවේ සුමංගල නාමයෙන් පැවිදි කරවන ලදී.
සුමංගල හිමියන්ගේ ආචාර්යයන් වහන්සේ අරුග්ගමුවේ රේවත හිමියන් ලෙස බොහෝ මූලාශ්‍රවල සඳහන් වුවත් ශ්‍රී සුමංගල චරිතයට අනුව ආචාර්යයන් වහන්සේ මාබොටුවන රේවත හිමිපාණන් වහන්සේ වෙති. මෙම අරුග්ගොඩ හා මාබොටුවන ගම් දෙකෙහි උපන් රේවත හිමිපාණන් වහන්සේලා දෙනම ම හික්කඩුව තිලකාරාමාධිපති හික්කඩුවේ සෝභිත හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වූහ. හික්කඩුවේ සෝභිත හිමියන් වෑදණ්ඩේ සෝභිත හිමියන් හට ශිෂ්‍යවරයා වූ අතර නුගවෙල ඉන්දජෝති හිමියන්ගේ ශිෂ්‍යවරයා වූයේ වෑදණ්ඩේ සෝණුත්තර හිමියන් ය. නුගවෙල ඉන්දජෝති හිමියන් සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ සිසු වූ තෙල්වතු වෙහෙරට පුනර්ජීවය ලබා දුන් පල්ලත්තර පුඤ්ඤසාර හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි.
ඉතා කුඩා වියේ දී ම ජාතක පොත දේශනා කරමින් දායක පිරිසගේ පැසසුමට පත් සුමංගල පොඩි හාමුදුරුවන් මාපලගම ජෝන් කොරනේලිස් අභයවර්ධන මැතිතුමා වෙතින් ඉංග්‍රීසි ඉගෙනුමට ද යොමු කරවූ අතර ස්වකීය ඥාතිවර තෙල්වත්ත විහාරයේ පන්නම්ගොඩ ජෙතුත්තර හිමියන් වෙතින් මූලික සිප් සතර හැදෑරීය. සුමංගල සාමණේර හිමියන් දාහත් වන වියේ දී පමණ ලක්දිව වන්දනාවේ වැඩි සියම් ජාතික හිමිවරුන් පිරිසක් සමග පාලි භාෂාවෙන් කථනයෙහි යෙදෙමින් සංචාරක හිමිවරුන්ට සහය වීය. මෙලෙස දක්ෂතා දැක්වූ සුමංගල සාමණේර හිමියන් 1844 වර්ෂයේ අග භාගයේ දී එවක ලක්දිව මහා පඬිවරයාණන් වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ වෙත භාර දෙන ලදී.
රත්මලාන පුරාණ විහාරයේ වැඩ සිටිමින් පරමධම්මචේතිය පිරිවෙනින් වලානේ නාහිමියන් වෙතින් ඉගෙනුම ලද අවධියේ උඩුගම්පොල රතනපාල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත හිමි සහ විද්‍යාලංකාර පිරිවෙනේ නිර්මාතෘ රත්මලානේ ධර්මාලෝක හිමියන් ද සමකාලීන සිසුන් වශයෙන් අධ්‍යාපනය ලබා තිබේ. වලානේ නාහිමියන්ගේ අවසරය පරිදි කාශිනාථ විද්‍යාලංකාර පඬිවරයා වෙතින් සංස්කෘත භාෂාව ප්‍රගුණ කරවීය.
උපසම්පදාව පිණිස නිසි වයස් සපුරන ලද සුමංගල සාමණේරයන් වහන්සේ 1848 වර්ෂයේ දී මහනුවර මල්වතු මහා විහාරයේ දී ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත සුමංගල මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝසභාව වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. දෝපේ ගුණරතන අනුනාහිමිපාණන් විසින් උපසම්පදාපේක්ෂක සාමණේර හිමියන්ගෙන් විචාල ප්‍රශ්නවලට මැනවින් පිළිතුරු දුන් අතර මෙහිදී ශ්‍රී දළදා අෂ්ටකය නම් පාලි පද්‍ය සංග්‍රහයක් සංඝ සභාවට ඉදිරිපත් කරන ලදී. එවන් උසස් ප්‍රබන්ධයක් ලාබාල සාමණේර නමක විසින් සිදු කිරීම දුලභ වූ ඒ යුගයේ සංඝසභාවේ සැකය දුරු කරනු පිණිස මහ නාහිමියන් පිළිබඳ අෂ්ටකයක් එවලේ ම රචනා කොට කුකුස සන්සිඳවීය. මෙයින් ප්‍රසාදයට පත් මහ නාහිමියන් විසින් ම උපාධ්‍යායත්වය හොබවන ලදී.
උපසම්පදාවෙන් පසු දකුණු බස්නාහිර දෙපළාතේ විවිධ විහාරස්ථානවල වස් වසමින් වැඩ සිටි සුමංගල හිමියන් 1850 දශකය ආරම්භයේ බෙන්තර අත්ථදස්සි හිමියන් ඇති කළ අධිමාස වාදයේ දී එම හිමියන්ට ප්‍රතිපක්ෂව විවාදාපන්න වූහ. ශ්‍රී සුමංගල හිමියන්ගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් නම් මල්වතු විහාරය කෙරෙහි අත්‍යන්ත පක්ෂපාතීත්වයෙන් වැඩ සිටීමයි. ස්වකීය ආචාර්ය වූ වලානේ සිද්ධාර්ථ හිමියන් ද බෙන්තර අත්ථදස්සි හිමියන්ගේ පසට එක් වුවත් ආචාර්ය බැතිය නොසිඳා ඊට ප්‍රතිපක්ෂව කටයුතු කළහ. තරුණ හිමිනමක වූ හික්කඩුවේ සුමංගල හිමියන් සමාජයේ කැපීපෙනෙන චරිතයක් ලෙසින් ඉස්මතු වීමට එවක වැඩිහිටි සහ පාණ්ඩිත්‍යයෙන් උසස් හිමිවරුන්ට එදිරිව අධිමාසවාදයට එළඹීම හේතු වූ බව අවබෝධ කොට ගත හැකිය.
ඉද්දමල්ගොඩ බස්නායක නිළමේතුමාගේ දායකත්වයෙන් පැල්මඩුල්ල සුදර්ශන ධර්ම ශාලාවේ පැවති ත්‍රිපිටක ශුද්ධිය සඳහා සියම් නිකාය නියෝජනය කළ ප්‍රධාන යතිවරුන් පස් නමට ඇතුළත්ව කටයුතු කළ සුමංගල නාහිමියෝ වලානේ සිද්ධාර්ථ හිමියන් අපවත් වීමෙන් පසු එම සංගායනාවේ සියම් නිකායේ ප්‍රධානත්වය හොබවන ලදහ. එසේම වලානේ නාහිමියන් ඇවෑමෙන් රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට ද පත් වූහ.
මේ අතර 1870 දී පමණ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි මැතිතුමා ප්‍රමුඛ ප්‍රභූන්ගේ ඇරයුම පිළිගෙන කොටහේන පරමානන්ද විහාරයට වැඩම කොට සුභාචාරෝදය සභාවෙහි අනුශාසක පදවිය හොබවමින් පොත් පත් දහම් පත්‍රිකා රචනා කරමින් අගනුවර බොදු පුනරුදය උදෙසා කැප වූහ. වර්ෂ 1873 දී පැවති පානදුරාවාදය සඳහා පසුබිමේ හිඳිමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හට සහය ලබා දුන් ප්‍රධාන චරිතය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ බව සඳහන් වෙයි. ඈපා අප්පුහාමි මැතිතුමා, දොන් අන්ද්‍රිස් ධර්මගුණවර්ධන මැතිතුමා ආදී අගනුවර ප්‍රභූන්ගේ මූලිකත්වයෙන් විද්‍යාධාර සභාව පිහිටුවා 1873 දෙසැම්බර් මාසයේ දී මාලිගාකන්දේ පාම් හවුස් මන්දිරයේ දී බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩක් වන් විද්‍යොදය පිරිවෙණ ආරම්භ කරන ලදී.
විද්‍යොදය පිරිවෙණ මෙරට සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ප්‍රතිස්ඨාපනය කළ මහානීය ආයතනයක් විය. ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යයන විෂයයන් සේ ම ජ්‍යොතිෂය, තර්ක ශාස්ත්‍රය, ගණිතය ආදී විෂයයන් ද මෙහි විෂය මාලාවට අයත්ව පැවතුණි. විද්‍යොදය පිරිවෙනෙහි උගත් ශිෂ්‍යයෝ ඉගෙනුම නිමවා මෙම අධ්‍යාපන සම්ප්‍රදායට අනුගත පාරිවේණස්ථාන රට පුරා ආරම්භ කළහ. එමතු නොව විදෙස් පඬිවරු ද විද්‍යොදයේ අධ්‍යාපනය ලැබීමට පැමිණියහ.

හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ ඉංග්‍රීසි ආණ්ඩුවේ නොමද ගෞරවයට පාත්‍ර වූහ. පිරිවෙන අරඹා තෙවසරකින් පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ විලියම් හෙන්රි ග්‍රෙගරි ලංකාණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙනි. ඉන්දියාවේ සෝපාරාහි පුරාණ දාගැබක් කැණීමේදී හමු වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවේ කොටසක් විද්‍යොදය පිරිවෙණට වැඩමවා ගැනීමට අවකාශ ලැබුණේ දෙස් විදෙස් පඬුවන් සමග ශ්‍රී සුමංගල නාහිමියන් පැවැත්වූ සමීප සබඳතා නිසාවෙනි. මහා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා මහාධිරාජිනියගේ පුතු වූ පසු කලෙක රාජප්‍රාප්ත සත්වැනි එඩ්වඩ් රජතුමා වේල්සයේ කුමරුන් ලෙස 1875 දී මෙරටට පැමිණි අවස්ථාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත තම අත්සන යෙදූ ඉංග්‍රීසි පුස්තකයක් පිරිනමා තිබේ. එසේම තායිලන්ත, බුරුම, කාම්බෝජ ආදී බෞද්ධ රටවල ගිහි පැවිදි ප්‍රධානීන් සමග ශ්‍රී සුමංගල නාහිමියන් සම්බන්ධතා පවත්වා ඇත.
බ්‍රහ්ම ධර්මය නම් අනුශාසනා සංග්‍රහය, වර්ණරීතිය, සන්දේශ කථා, සිදත් සඟරා සන්නය, කච්චායන වණ්ණනා, සීමා විභාගය, සුබෝධාලංකාරය, සත්‍ය සංග්‍රහය, ගඩලාදෙණි සන්නය, කාව්‍යශේඛර සන්නය, සන්ධි සංග්‍රහය, බාලාවතාර සුබෝධිනී ටීකාව ආදී ග්‍රන්ථ සමුච්චයක් ශ්‍රී සුමංගල නාහිමියන් විසින් සංශෝධනය කොට පළ කරවා තිබේ. අධිමාස වාදයට අමතරව පාරුපන වාදය, බුද්ධ වර්ෂ වාදය, න ණ ල ළ වාදය, සව් සත්දම් වාදය වැනි ධර්ම ශාස්ත්‍රීය විවාද සඳහා ශ්‍රී සුමංගල හිමියන් නායකත්වය දෙමින් සම්බන්ධ වී තිබේ. 1884 වර්ෂයේ සිදු වූ වැදගත් සිදුවීමක් නම් සියම් නිකායේ ඒකාංස පාරුපණය නම් සිවුරු පෙරවීමේ සම්ප්‍රදාය වෙනුවට උභයාංශ පාරුපණ සම්ප්‍රදාය ශ්‍රී සුමංගල නාහිමියන් පිළි ගැනීමයි.
වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් වූ ශ්‍රීපාදස්ථානයේ නායක පදවිය 1867 වර්ෂයේ දී ඉංග්‍රීසි ආණ්ඩුව මගින් හික්කඩුවේ නාහිමියන් වෙත පිරිනමන ලදී. එසේම හිප්පොල සෝභිත මහ නාහිමියන් ප්‍රමුඛ මල්වතු මහා විහාරයීය කාරක සංඝසභාව මගින් 1880 වර්ෂයේ දී ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය ද, 1890 දී කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ද ශ්‍රී සුමංගල හිමියන් වෙත පිරිනමන ලදී. මල්වතු විහාරයේ උපාධ්‍යාය හා කර්මාචාර්ය පදවි හෙබවීම එම විහාරවාසී හිමිවරුන්ට පමණක් පිරිනැමීම සම්ප්‍රදායක් වූ අතර එම සම්ප්‍රදාය බිඳ හෙළමින් සිංහල රජ දවස පැවති අතිසම්භාවනීය ගෞරව නාමයක් වූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය යන නාමය සහිතව ශ්‍රී සුමංගල හිමියන් මල්වතු විහාරයේ උපාධ්‍යාය පදවියකින් සම්ප්‍රසාදනය කරවන ලදී.
ඇතැම් යුරෝපීයයන් හික්කඩුවේ නාහිමියන් හඳුන්වා ඇත්තේ දකුණු (ථෙරවාදී) බුදු සමයේ නායකයා වශයෙනි. නාහිමිපාණන් කොලොන්නා කෝරළයට වැඩි අවස්ථාවේ ඒ පෙදෙස පාලනය කළ මඩුවන්වෙල දිසාවේ තුමා මුද්‍රණය කළ දැන්වීමෙහි සඳහන් වන්නේ “අද ලංකාවට බුදුන් වැනි වූ හික්කඩුවේ නාහිමිපාණන් වහන්සේ” වශයෙනි. එවක සමාජයේ ධර්ම විනයානුකූල හා භාෂා ශාස්ත්‍රීය ගැටලු විසඳීමේදී තීරක බලයක් හිමි වූ යතිවරයකු වශයෙන් ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ කැපී පෙනුණි.
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලය පිටකොටුවේ මැලිබන් වීදියේ ආරම්භ කළ අවස්ථාවේ එහි කළමණාකාර පදවිය පිරිනමන ලද්දේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත ය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ උපසභාපති, මහාබෝධි සංගමේ සභාපති, ඉතාලියේ රාජකීය ආසියාතික සංගමයේ ගෞරවනීය සාමාජික ආදී දෙස් විදෙස් සංවිධාන රාශියක නාහිමිපාණන් වහන්සේ තනතුරු හෙබවූහ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ශාසනික මෙහෙවරෙහි ප්‍රධාන අනුශාසකවරයාණන් වූයේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය.
තත්කාලීන මහා යතිවරුන් අතර දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යය ශ්‍රී සුමංගල නාහිමියන් වෙත හිමි වුණි. අසූ හතර වසරක් ආයු වින්දනය කළ නාහිමිපාණන් වහන්සේ රාත්‍රියේ සයනයෙන් බිමට ඇද වැටී උකුල් ඇටය බිඳී යාමෙන් ඇති වූ ආබාධ තත්වයෙන් ගිලන්භාවයට පැමිණ 1911 අප්‍රේල් මස 29 වන දින අපවත් වී වදාළ සේක.

