ඇතුළතට සවන් දීම

rashi
By rashi
9 Min Read

(නවවැනි කොටස)

Inner Listening ග්‍රන්ථයෙහි පරිවර්තනයකි

එංගලන්තයේ අමරාවතී සේනාසනාධිපති, පූජ්‍ය අජාන් අමරෝ හිමි

පරිවර්තනය: රාණි සේනාරත්න රාජපක්ෂ

ප්‍ර – යම් අයකුට මේ නාදය ඇහෙනවා නං එයා සෝතාපන්න වෙලා කියලා කියනවා මම අහලා තියනවා. ඒක ඇත්තක් ද? මගෙ යාළුවෙක් ඉතා මිල අධික සති අන්ත භාවනා වැඩසටහනකට ගියා. එතන එයා ඉගෙනගත්තෙ මේ ක්‍රමයයි. ඒකෙන් ඔහුට යම් යහපතක් වෙන්න ඇති. ඒත් ඒක සෝවාන් වීම කියලා කීම නං තරමක අතිශයෝක්තියක් හැටියටයි මට පෙනෙන්නෙ. ඔබ මොකද කියන්නෙ?

පි – මේ ඉගැන්වීම මිල කරන්න බැරි තරම් අනර්ඝ දෙයක්. ඒත් සති අන්තයකට ඩොලර් 5000ක් ගෙවීම අපරාදෙ කියලයි මට හිතෙන්නෙ. අඩු ගණනෙ මීට අවුරුදු කීපයකට කලින් ඇමෙරිකාවේ ඔය වගේ වැඩසටහනක මිල දර්ශනය මම දැක්කෙ ඔහොමයි.

යම් අයකුට නාද ධ්වනිය ඇහෙනවා නං එයා සෝතාපන්න වෙලා කියන එක කොහෙත් ම ඇත්තක් නෙවෙයි – අඩු ගණනෙ ඒ වචනය බෞද්ධයන් අතර භාවිත වෙන අර්ථයෙන් ගත්තාම. සම්භාව්‍ය බුද්ධ ධර්මයේ අරුතින් ගත්තොත් සෝතාපන්න කියන්නෙ යමකුගේ හදවත සහ සිත ආයේ නො එන පරිද්දෙන් ම ලෝභ, දෝස, මෝහවලින් විමුක්ත වීමත් කිසි ම ආකාරයක ආත්මාර්ථකාමී ආකල්ප නො තිබීමත් යන තත්ත්වයටයි. සෝතාපන්න ඇත්තො සම්පූර්ණයෙන් ම නිර්මල හදවතින් යුක්තයි. ඒ අය කවදා වත් වංචා, දරුණු ක්‍රියා, වංකකම්, කාමයේ ගැලීම් ආදියේ යෙදෙන්නෙ නෑ. ඔවුන් ස්ථිර ව ම ඉන්නේ නො සැලෙන සන්හිඳියාවක, ප්‍රීතියක, නිදහස් බවක. ඉතින් ඒ අය නං තමන් දන්න දේ උගන්වන්න අර වගේ මුදලක් අය කරන්නෙ නෑ.

නාද ධ්වනිය කියන්නෙ යමකුට යෙදෙන්න පුළුවන් අත්දැකීමක ස්වාභාවික ගුණයක්. ඒක දිග කාලයක් තිස්සෙ බුද්ධිමත් ව යෙදෙව්වොත් ඒක සැබෑ විමුක්තියට උපකාරවත් වන කෞශල්‍යයක් වෙන්න පුළුවන්.

තමන්ට හොඳ අත්දැකීමක් ලැබුණා ම ඒක වෙනත් අය එක්ක බෙදාගන්න උනන්දුවක් ඇති වීම ස්වාභාවිකයි. ඒ අනුව ඔවුන් වැරදි ප්‍රත්‍යක්ෂයක් ඔස්සේ තමන්ගෙ අත්දැකීම අතිශයෝක්තියෙන් කියන්න යෙදෙනවා. ඒ වගේම, තමන්ට ඉතා හොඳ ප්‍රතිඵල ලැබුණා ම මිනිස්සු බොහෝ විට ඒ අත්දැකීමේ වඩා ගැඹුරු අරුතක් හෙළි කරගන්න, නැත්නං බාහිර ලෝකයෙන් වලංගු භාවයක් ලබා ගන්න කැමතියි. මේ කාරණයෙ දි ථෙරවාදී සම්ප්‍රදායෙන් ආව ඇත්තො මේ ඇතුළතට සවන් දීමේ ක්‍රමය ඉගෙන ගත්තාම සමහර විට මෙන්න මේ වගෙ දේවල් උද්වේගයෙන් කියනවා. – “දන්නව ද, බුදුන් වහන්සේගෙ ගෝලයන්ට කිව්වෙ ‘සාවක සංඝ’ කියලයි. ‘අසන්නන්ගෙ ප්‍රජාවක්.’ ඒකෙ තේරුම, එයාලා ඇතුළත ධ්වනිය අහන්න සමත් වුණ ඇත්තො වෙන්න ඕනෑ.” එහෙම නැත්නං මීටත් වඩා සැක සහිත නිරුක්තිමය තර්කයක් හදාගන්නවා. “දන්නව ද – සෝතාපන්න කියන වචනය හැම තිස්සෙ ම පරිවර්තනය වෙන්නෙ ‘ප්‍රවාහයට ඇතුළු වූ තැනැත්තා’ කියලයි. ඒ උනත් මට හිතෙන්නෙ එයාලා ‘සෝත’ කියන එකේ වැරදි තේරුමයි අරගෙන තියෙන්නෙ. ඔව්, ‘සෝත’ කියන්නෙ ප්‍රවාහය තමයි. ඒත් හරියට ම මේ අකුරුවලින් ම ‘සෝත’ කියන වචනයෙ තියනවා කන, ශ්‍රවණ ඉන්ද්‍රිය කියන තේරුමත්! ඉතින් ඒ පදයෙ නියම ම තේරුම තමයි, ‘ශ්‍රවණ ඉන්ද්‍රිය නමැති ද්වාරය ඔස්සේ ධර්මය අවබෝධ කළ තැනැත්තා.’ ඉතින් නාද ධ්වනියට සවන් දෙන්න පුළුවන් වුණ කෙනා ඇත්තට ම සෝතාපන්නයි!” ඔන්න ඔහොම තර්කයක්.

ඒකත් වැරදියි! ආයෙ පාරක් හිතේ ආසාවට ආව සිතුවිල්ලක්. මොකද, මෙතන දි ‘සෝත’ කියන්නෙ ඒ තේරුමෙන් නෙවෙයි. වෙනින් හුඟක් ඉගැන්වීම් ක්‍රමවලින් ඒ බව සනාථ වෙනවා.

ඊටත් වඩා, මේ ‘කනින් ඇතුළු වූ තැනැත්තා’ කියන අර්ථ නිරූපණය ගත්තොත්, සෝවාන් වීමේ ලක්ෂණයක් හැටියට ඒක පිළිගන්න නං හුදෙක් ම මේ නිහඬ බවේ නාදය ඇසීමට වඩා තව හුඟක් දේවල් අවශ්‍ය වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නෙ හදවතත් මනසත් ශරීරයෙන් හා පුද්ගල භාවයෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වීම. සමාජ හා ආගමික සම්මතවලට බැඳීමක් වත් ඒවා ගැන අවුලක් වත් කොහෙත් ම නොමැති වීම. අන්තිමට, සත්‍යය අවබෝධ කිරීමේ මේ තැනට පත් වුණ තැනැත්තා විමුක්ති මාර්ගය වන්නේ මොකක් ද, නො වන්නේ මොකක් ද යන්න ගැන සැක ඇති වීමේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබ්බට ගිහින්. මේ සත්‍යාවබෝධයේ ගැඹුර, නාද ධ්වනිය විතරක් ඇසීම නිසා යම් ආධ්‍යාත්මික ගුණයක් ලැබුණා නම් ඊට වඩා ඉතා ම ඔබ්බෙනුයි තියෙන්නෙ.

මට ඇහිලා තියනවා, මීට සමාන ආකාරයට මිනිස්සු මෙන්න මෙහෙම දේවල් ප්‍රකාශ කරනවා. “ඒක තත්ත්වගත නො වූ ස්වභාවයේ නාදයයි”, “ඒක අමත ධර්මයේ නාදයයි”. මමත් ඒ වාගෙ කියමන් කීපයක් හදලා තියනවා.

නිර්මල දිදුලන තථතා ගීයයි,

ඇතුළත සුදිලෙන අනන්ත ශාන්තියයි,

නිරතුරු ඇසෙනා නාද කදම්බය

ගිගුම් දෙමින් එයි මහෝඝයක් සේ.

අපට ඇතුළත ධ්වනිය ඇහෙනවා නම් අපට ඇත්තට ම ‘අමත ධර්මය හමු වුණා’ කියලා අපි හිතුවොත් ඒක තමයි වැරැද්ද. ඒක එහෙම වෙන්නෙ නෑ. අපට නිසැක ව කියන්න පුළුවන් වෙන්නේ සීනුවක් දිගට ම වදිනවා වගේ නාදයක් කන් දෙක ඇතුළෙන් ඇහෙනවා කියල විතරයි. මම ආයෙත් කියන්නම් – මේවා කාව්‍යමය සහ ප්‍රබෝධක ආවේගයෙන් කියන කියමන් වෙන්න පුළුවන්. පරම සත්‍යය පිළිබඳ වැදගත් දර්ශක වෙන්න පුළුවන්. ඒත් බෞද්ධ පර්යාලෝකයෙන් බැලුවොත්, සෝවාන් වීම පිළිබඳ මේ අතිරේක උපකල්පනය බරපතළ අතිශයෝක්තියක්.

ඒ ඇරෙන්න, ඒක ටිනිටස් රෝගය කියලා හිතාගෙන ඒක මහ වදකාර ලෙඩක් කියලා බේත් ගත්ත ඇත්තො ගැන බලන්න. ඒ ඇත්තො ඉන්නවා ඇත්තෙ කිසි ම අන්දමක ආධ්‍යාත්මික පූර්ණත්වයකින් ඉතා ම දුරකයි. ඊටත් වඩා, ඒක ඇසීමට ඒ අයට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙලාත් නෑ.

කලින් කීවා වගේ, අඩු ගණනේ බෞද්ධ පර්යාලෝකයකින් ගත්තා ම, නිහඬ බවේ ධ්වනිය ඇසීම විමුක්තියට උපකාරී වන ඵලදායී මඟක් වෙන්න පුළුවන්. නමුත් එය ඇසීම විමුක්තියේ අංගයක් නෙවෙයි.

නාද ධ්වනිය කියන්නෙ යමකුට යෙදෙන්න පුළුවන් අත්දැකීමක ස්වාභාවික ගුණයක්. ඒක දිග කාලයක් තිස්සෙ බුද්ධිමත් ව යෙදෙව්වොත් ඒක සැබෑ විමුක්තියට උපකාරවත් වන කෞශල්‍යයක් වෙන්න පුළුවන්.

පාරභෞතික ධර්මයේ, අමත ධර්මයේ ඉතා හොඳ සංකේතයක් හැටියට ගැනීමට සුදුසු ලක්ෂණ ගණනාවක් නාද ධ්වනිය තුළ තියනවා. ඒත් මෙන්න මේක සිතේ තබාගැනීම ඉතා වැදගත්: මේ ලක්ෂණ වනාහි නෛසර්ගික ව ම ඉන්ද්‍රියානුභූති ලෝකයෙන් ඔබ්බෙහි ඇති දෙයක් විස්තර කිරීමට ඉන්ද්‍රියානුභුති ලෝකය තුළින් ගත් සංකේතයි. අපි අන්න ඒක හිතේ තබාගත්තොත් අපට එය ගැන අදහසක් ඇති කරගන්න පහසු වෙනවා. ඒත් අපේ ගමනට ප්‍රයෝජනවත් වෙන මඟ සලකුණ, අපේ ගමනේ කෙළවර හැටියට වරදවා වටහාගන්න නරකයි.

ප්‍ර – අපට ඒක ඇහෙන්නෙ නැත්නං, හැඟෙන්නෙ නැත්නං, පෙනෙන්නෙ නැත්නං… එතකොට?

පි – මෙහෙමයි. කලින් කිව්වා වගේ ‘රත්රන් ඇත්තේ ඔබට එය හමු වෙන තැනයි.’ ඉතින් ඔබට මේ කම්පනයේ කිසි ම ස්වභාවයක් හඳුනාගන්න බැරි නං, බාග දා ඔබට වෙන තැනක් හාරන්න වෙයි. ඒ කියන්නෙ, ඔබේ ගති ලක්ෂණවලට වඩාත් ගැළපෙන භාවනාවක් තෝරා ගන්න – ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, නැත්නං යම් මන්ත්‍රයක්.

ඒ වුණත් ඔබ ඒක අත්හැර දමන්න කලින්, ඒක හොයාගෙන ඊට පස්සෙ ඒක යොදා ගැනීමේ හැකියාව වැඩි කරන්න සරල ක්‍රම කීපයක් තියනවා. ඒවා කරලා බලන්න පුළුවන්. පළමුවෙන් – ඔබේ ඇඟිලි දෙකක් කන් දෙක අස්සට දමාගෙන බලන්න. මේක ටිකක් ගොරහැඩි දෙයක් වගේ. දිග වෙලාවක් පුහුණු වෙන්න කොහෙත් ම හොඳ විදිහක් නෙවෙයි. ඒත් ඒ මුල් ම සම්බන්ධය ගන්න මේක හොඳ විදිහක්. හැකිතාක් ප්‍රමාණයකට බාහිර ශබ්ද කපා හැරලා ඊට පස්සෙ ශ්‍රවණයෙ ඉතුරු වෙලා තියෙන්නෙ මොකක් ද බලනවා.

දෙවැනි ව – මේක ටිකක් සංකීර්ණයි. මීළඟ සැරේ නානකොට හෝ පිහිනුම් තටාකයට ගියාම කන් දෙක වතුරට යටින් හිටින්න තියාගෙන ඉතා ම නිශ්චල ව ඉන්න. නැවත වාරයක් ඔබේ අවධානය ශ්‍රවණයට යොමු කරගෙන ඔහේ අහගෙන ඉන්න. කියන්න දෙයක් යැ, මහ සෙනඟක් ඉන්න තටාකයකට ගියොත් නං මේකෙන් ඒ හැටි වෙනසක් වෙන්නෙ නෑ, ඒත් මේක නිහඬ ව කරන්න ඔබට පුළුවන් නං, ඇතුළත ධ්වනිය පිළිබඳ හොඳ ම අවබෝධයක් දෙන හැඳින්වීමක් විය හැකියි.

නිගමනය

බෞද්ධ භාවනා ක්‍රමයෙහි දී ඔබ හැම විට ම ‘මේක වැඩ කරයි ද? මගෙ උත්සාහයෙ ප්‍රතිඵල මොනව ද?’ ය යි නිතර ම සලකා බලන්නෙහි ය. ප්‍රතිඵල යහපත් නම්, ඔබට දිගට ම කරගෙන යෑමට එය ධෛර්යයක් ලෙස යොදාගන්නෙහි ය. එහෙත් ඔබේ ව්‍යායාමය ප්‍රතිඵල නො දෙන්නේ නම්, ඔබ කරන ආකාරය ද ඔබට යොදාගත හැකි වෙනත් විවිධ ක්‍රම ද ගැන සලකා බැලීම අවශ්‍ය ය.

මේ භාවනා ක්‍රම ඇත්තේ ඔබ සඳහා බව සිහි කිරීම හැම විට ම වැදගත් ය. ඒවාට ඔබ යටත් වනවා වෙනුවට, ඒවා ඇත්තේ ඔබට සේවයක් කිරීමට ය. එහෙයින් කරුණාකර මේ ඇතුළතට සවන් දීමේ ක්‍රමය යොදාගෙන එය ඔබට ප්‍රයෝජනවත් වේ දැ යි බලන්න. එසේ වේ නම් ‘හරි දේ’ එයයි. එසේ නො වේ නම්, ආධ්‍යාත්මික ගිරි ශිඛරය නැඟීම සඳහා වෙනත් මාර්ග තෝරාගනු මැනවි.

ඉතුරු වන්නේ නිහඬතාවයි.

මතු සම්බන්ධයි…

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *