ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
වෛද්‍ය මත නිසාත් වෙනත් විරෝධ ව්‍යාපාර නිසාත් දුම්බීමට විරුද්ධ යම් යම් පියවර ගැනීමට රජයට බලකෙරී ඇත. දුම්පානය සෞඛ්‍යයට අහිතකර බව දැක්වෙන සටහනක් දුම්වැටි පෙට්ටියේම මුද්‍රණය කිරීම, චිත්‍රපට ශාලා, කියවීම් ශාලා, රෝහල් ආදි ජනතාව ගැවසෙන තැන්වල දුම්බීම තහනම් බව දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කිරීම රජය විසින් ගෙන ඇති සමහර පියවරය. දුම්පානය නැවැත්වීම තබා කිසියම් ප්‍රමාණයකට හෝ එය වළක්වාලීමටත් මේ පියවර සමත් වී ඇද්ද? දුම්වැටි උරන්නන් විසින් මෙබඳු දැන්වීම් බරපතළ ලෙස සැලකිල්ලට ගැනේද?
බස්රථවල දුම්පානය කිරීම ඒවායේ ගමන් කරන අනිත් මගීන්ට ඉමහත් කරදර ගෙන දෙන්නක් බවට පත්ව ඇත. ‘දුම්පානය කිරීමෙන් වළකින්න’ ‘දුම්බීම තහනම්’ ආදි විවිධාකාර දැන්වීම් ප්‍රදර්ශනය කෙරුණත් බස්රථවල දුම්පානය දිගටම කෙරී ගෙන යයි. මෙයට එක් හේතුවක් වශයෙන් සමහරුන් දක්වන්නේ සෙසු මගීන් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමය. “දුම්බීමට විරුද්ධවීමට ඔබට අයිතියක් ඇත’ යන දැන්වීම බස් රියවල බහුලව දක්නට ලැබෙන්නකි. මෙයින් කියවෙන්නේ කෙනෙකු දුම්බොන විට අනික් අය ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතු බවය. ශ්‍රී ලංකාවේ බස් රථවල දැනට ඇති අපහසුතාවයන්ට අමතරව තවත් ප්‍රශ්න එකතු කළ යුතුද? තද-බදය, ගැට කපන්නන්ගෙන්, කාන්තාවන් අතර අවිනීතව හැසිරෙන්නන්ගෙන් බේරී සිටීමට උපදෙස් දෙන දැන්වීම් පුවරු දැනට බස්රථවල මගීන්ට මුහුණ පාන්නට සිදුවන සමහර ප්‍රශ්න ගැන ඉඟියක් කරයි. දුම් බොන්නන්ගෙන් බේරී සිටීමේ අයිතිය ප්‍රකාශ කරන්නට යාමෙන් තවත් ප්‍රශ්න ඇති කර ගැනීමට මගින් මැළිවීම පුදුමයක්ද? එවැනි අවස්ථාවක් බහින් බස්වීමකින් අවසන් වුවහොත් වාසනාවකි. දුම්බීමට විරුද්ධත්වය පාන්නට යෑමෙන් පොලිසියේ හෝ රෝහලේ ලගින්නට සිදු නොවේ යයි හෝ සමහර විටෙක ඊටත් වඩා දරුණු ඉරණමකට ගොදුරු නොවේ යයි හෝ කාට නම් කිව හැකිද?
දුම්බීම පුද්ගල සෞඛ්‍යයට අහිතකර බව පිළිගත් වෛද්‍ය මතය යි. අන් අය හමුවේ දුම්බීම ඒ අයගේ සෞඛ්‍යයටත් අහිතකර ලෙස බලපායි. ගැබ්ගත් කාන්තාවන් අසල හිඳ දුම්බීම කෙතරම් අසාධාරණ ක්‍රියාවක්ද? ආශ්වාස කරන දුම්කොළ දුම කුසෙහි සිටින දරුවාටත් බලපාන බව මේ දුම්බොන අය මොහොතකටවත් සිතන්නේ නැතුවා සේය.
පියවරුන්, වැඩිහිටියන්, කුඩා දරුවන් නළවමින් දුම් වැටියක් ඉරීම සුලභ දර්ශනයකි. මෙය දරුවන්ට කෙතරම් අහිතකර ලෙස බලපාන්නේ දැයි ඔවුන් සිතා බැලිය යුතුය. දරුවන් ඉදිරියේ දුම්වැටි ඉරීම මගින් පියවරුන්, වැඩිහිටියන් ඔවුන්ට සපයන ආදර්ශය කෙතරම් අහිතකරද? දුම්පානයට ඇබ්බැහි වුණ අයගේ දරුවන් ශ්වසන රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩප්‍රස්තා අධික බව වෛද්‍යවරුන්ගේ මතය ය. මේ නිසා අන් අය හමුවේ දුම්බීම නිසා ඇතිවිය හැකි අතුරු ප්‍රශ්න ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය. මුඛයෙහි පිළිකා ඇති වීමට, හෘදයාබාධ ඇති වීමට, ශ්වසනාලයේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණ වීමට දුම්බීම බෙහෙවින් බලපාන බව වෛද්‍ය විද්‍යාව මගින් සොයා ගෙන ඇත. මුදල් වියදම් කර නිකරුණේ මේතරම් ප්‍රශ්න රාශියක් ඇති කර ගැනීම කෙතරම් අනුවණ කමක් දැයි සිතා බැලිය යුතු නැද්ද?
මත්කුඩු භාවිතය
පසුගිය දසක දෙකක පමණක කාලයක සිට පටන් ගෙන, වැඩි, ශීඝ්‍රයෙන් පැතිරී ජනතාව විනාශ මුඛයට ඇදගෙන යන භයානකම උවදුර බවට පත්ව ඇත්තේ මත්කුඩු භාවිතයය. මේ නිසා ඇති වුණ ජීවිත විනාශ, පවුල් කඩාකප්පල් වීම්, හා මෙයට අනුබද්ධව කෙරෙන සොරකම් ආදිය සමාජය දෙදරුම් කවා ඉරිතැළීමට පත්කිරීමට සමත් වී ඇත.
මත්කුඩු භාවිතය ශ්‍රී ලංකා සමාජයට පමණක් සීමා වුණ ප්‍රශ්නයක් නොවේ. මෙය සෑම රටකම ඔඩු දුවා ඇති තුවාලයක් බඳුය. මෙය පිටුපස සිටින බලවේග සමහර රටවල රජයන් පවා අභිභවා යන බව නොරහසකි. මාපියා නමින් හැඳින්වෙන මේ අළුගෝසු සංවිධාන විනාශ කිරීමට තබා, පාලනය කිරීමටවත් සමහර රජයන් සමත් වී නැත. බොහෝ රටවල ඉහළ පෙළේ දේශපාලනඥයින් උසස් නිලධාරීන් මෙම ක්‍රෘර සංවිධානවල අතකොළු බවට පත්ව ඇත. අතිශයින් සශ්‍රීක ජාත්‍යන්තර මුදල් ගැරීමේ ජාවාරමක් බවට පත්ව ඇති මත්කුඩු වෙළෙඳාම ශ්‍රී ලංකාව ද දැඩිව ග්‍රහණයට ගෙන ඇති බව ඉතා පැහැදිලි ය. මත්කුඩු ජාවාරම් ආශ්‍රිතව ඇතිවන මිනීමැරුම්, මංකොල්ලකෑම් ආදිය මෙම උවදුර කෙතරම් ව්‍යාප්ත වී සමාජය වෙළාගෙන පැතිරී ඇද්ද යන්නට සාක්ෂි දරයි.
ආරම්භයේ දී මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෝ තරුණයෝ ය. දැන් වයසින් මේරූ අයද මෙයට ගොදුරු වන බව වාර්තා වේ. මේ ඇබ්බැහිවීම මත්පැනට දුම්වැටියට ඇබ්බැහි වීමට වඩා අතිශයින් භයානකය. මෙයින් ගැලවීම අතිශයින් දුෂ්කරය. යම් හෙයකින් ගැලවීමට හැකි වුවහොත්, එවිට කල් පමා වුණා වැඩිවිය හැකිය. මත්කුඩු භාවිතයේ දුර්විපාක කෙතරම් භයානක ද යත් එය සිරුරෙහි සාරය උකහා බී පුද්ගලයකු හුදු රොඩ්ඩක්, හපයක් බවට පත් කරයි. ඔහුගේ මනස අබල-දුබල කොට ඔහුව හෝන්දු මාන්දු තත්ත්වයකට පත්කර අමු-අමුවේ උන්මත්තකයකු කරයි.
මත්කුඩු භාවිතයට පුරුදු වූවකු එහි වහලකු බවට පත්වීම අනිවාර්ය සේය. මත්කුඩ ඔහුගේ ජීවිතයේ පාලන බලවේගය බවට පත්වේ. ඔහුගේ සිත-කය දෙකම මත්කුඩු ඉල්ලන්නට පටන් ගනී. මේ ඉල්ලුම සපයා ගැනීමට මත්කුඩු වහලා ඕනෑම දෙයක් කරන්නට පෙළඹේ. මත්කුඩු ගැනීමට මුදල් නොදුන් විට මව්-පියන් අමු-අමුවේ මරා දැමූ මෙබඳු මත්කුඩු ආසක්තයින් ගැන ජනමාධ්‍ය මගින් අසන්නට කියවන්නට ලැබේ. මත්කුඩු සඳහා මුදල් සොයා ගැනීමට සොරකමට පෙළඹීම දැන් ශ්‍රී ලංකාවේ සුලභ සිදුවීමකි. වේලෙන්නට වැල්වල දමා ඇති රෙදි, සෝදන්නට ළිඳ ළඟ, පයිප්ප ළඟ තබා ඇති හට්ටි, මුට්ටි සොරකම් කිරීමෙන් පටන් ගන්නා මොවුහු ක්‍රම ක්‍රමයෙන් මහා පරිමාණයේ සොරකම්වලට පෙළඹෙති. මත්කුඩු ජාවාරම් කරන මැර කල්ලි අතර නිතර ඇතිවන වෙඩි හුවමාරු, මිනීමැරුම් සමාජ සාමයට බාධාවක් බවට පෙරළෙමින් පවතී. රන් මාලයක්, වටිනා අත්ඔරලෝසුවක් පැළඳ මහ දවල් පවා කාන්තාවකට මහ මඟ යෑමට අපහසු තත්ත්වයක් උදාවී ඇත. චේන් කඩන බයිසිකල්කාරයින් ගැන අසන්නට නොලැබෙන දවසක් නැති තරම් ය. ඇඟිලි කපා රන්මුදු පැහැර ගන්නා දවස වැඩි ඈතක් නොවනු ඇතැයි සිතීමට තරම් මත්කුඩු භාවිතය දැන් සමාජය අරක්ගෙන ඇත.
මත්කුඩු උවදුර මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජයටත් විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. ඒ සඳහා වෙන් වුණු ආයතනයක් ද ලංකාවෙ ක්‍රියාත්මක වේ. මෙය පොලිසියට ප්‍රශ්න රාශියක් ඇති කර ඇත. රට තුළ පවතින වාර්ගික යුද්ධයට මුදල් සැපයීමේ එක් ප්‍රබල මාර්ගයක් ලෙස මත්කුඩු ජාවාරම යොදා ගැණේ. එක් අතකින් යුද්ධයෙන් තරුණ ජීවිත විනාශ වන අතර අනික් අතින් මත්කුඩු භාවිතයෙන් තරුණයෝ කාලකණ්ණි වී වැනසෙති. දුකට, කරදරයට, විනාශයට පත් වන්නේ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් පමණක් නොවේ. ඔවුන්ගේ පවුල්වල අයද මේ හේතුවෙන් ඉමහත් පීඩාවන්ට ගොදුරු වෙති. නඩු හබවලට වියදම් කිරීමට, පුනරුත්ථාපනය සඳහා වියදම් කිරීමට මුදල් සොයා ගැනීමට තමන් සතු සුළු-සුළු පෞද්ගලික දේපොළ පවා විකුණා අසරණ තත්ත්වයට පත්වුණු දෙමව්පියෝ වෙති. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවකුට දාව උපදින දරුවන්ට පවා ඔහුගේ පව්වලට කර ගැසීමට සිදු වේ.
මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියා කිරීම පහසු නැත. ඒ එය ජාත්‍යන්තර මැරකල්ලි මගින් පාලනය කෙරෙන, සෑහෙන දුරකට දේශපාලන නායකයින්ගේ අනුග්‍රහය ලබන ජාවාරමක් වන හේතුවෙනි. එහෙත් මේ නිසාම එම ජාවාරම්කරුවන් ඉදිරියේ පාලකයින් අසරණ විය යුතු නැත. ජාත්‍යන්තර වශයෙන් හඬක් ඇති කොට මේ උවදුරට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන එය යටත් පිරිසෙයින් මෙල්ල කර දැමිය යුතුමය. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කිරීම මත්කුඩු භාවිතය ව්‍යාප්තවීම හේතු කොට ගෙන ඇති වී තිබෙන දුර්භාග්‍යයේ අඳුරු වලාපටලය මඳක් හෝ ඉවත් කොට සෞභාග්‍යයේ සිහින් නව හිරුකිරණ පතිත කරවීමට හේතු වී ඇත. මේ උනන්දුවේ, උත්සාහයේ බලය දුර්වලවන්ට ඉඩ නොදී ඉදිරියටම ගෙන ගියහොත් නුදුරු – අනාගතයේදී මෙම උවදුර තුනි වී යනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.
ඒඩ්ස් වෛරස
මෑතකදී සමාජය ගිල ගැනීමට පැමිණ සිටින තවත් රුදුරු රකුසකු නම් ඒඩ්ස් වෛරසයය. ලිංගික සම්බන්ධතා මුල්කොට ගෙන පැතිරෙන මෙම වෛරසය නොයෙකුත් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමට ශරීරයේ ඇති නිජ ශක්තිය දියකර හැර කෙනෙකුගේ සිරුර ඕනෑම රෝගයක් රෝපණය වීමට යෝග්‍ය සරුසාර තවානක් බවට පත් කරයි. ප්‍රතිශක්තිකරණය හීනවීම නිසා ඕනෑම සුළු රෝගයක් මාරාන්තික රෝගයක තත්ත්වයකට පෙරළීමට ඉඩ ප්‍රස්ථා මෙයින් සැලසේ. ඒඩ්ස් වෛරසය ශරීර ගත වීම නිසා ඒඩ්ස් රෝගීන් බවට පත් වූ අයගේ මෙන්ම රෝග වාහක තත්ත්වයේ සිටින්නන්ගේ ප්‍රමාණය ද අති විශාලය.
නව විවෘත ආර්ථික ප්‍රවණතාවත් සමග අත්වැල් බැඳගෙන ආර්ථික ව්‍යුහයේ ඉතා වැදගත් ස්ථානයකට පත්ව ඇති සංචාරක ව්‍යාපාරය මෙම වෛරසය බෝ කිරීමට ලංකාව සරුසාර තේතැන්නක් බවට පත්කොට ඇත. මෙයට ගොදුරු වන්නේ ‘වැඩිහිටි ගැහැනු – පිරිමි පමණක් නොවේ. සංචාරක ව්‍යාපාරය සමග ළමා අපචාර බහුල වීම නිසා ගැහැනු – පිරිමි ළමුන්ට ද ඒඩ්ස් වෛසරය දායාදයක් වේ. සිරුරේ ලේ සමග මිශ්‍ර වී පැතිරෙන මේ වෛරසය ලිංගික සම්බන්ධතාවන්ට වෙනස් වූ වෙනත් ක්‍රම මගින් ද ශරීරගත විය හැකිය. උරා බී මත්කුඩු භාවිතය කරන්නන් මෙන්ම මත්ද්‍රව්‍ය සිරුරට එන්නත් කර ගන්නෝ ද වෙති. එකම සිරින්ජය යොදා ගනිමින් මෙලෙස සිරුරට මත්ද්‍රව්‍ය විද ගැනීම ඒඩ්ස් වෛරසය ශරීරගත වීමට ප්‍රධාන මාර්ගයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඒඩ්ස් වෛරසය ශරීර ගත වූවකු පවිචි කරන ලද සිරින්ජයේ ඉඳිකටුවට යොදාගෙන වෙනත් අයකු මත්ද්‍රව්‍ය සිරුරට ඇතුල් වේ.
මත්ද්‍රව්‍ය විද ගැනීමේ දී පමණක් නොව, ලෙඩ රෝගවලට ප්‍රතිකාර වශයෙන් සිරුරට බෙහෙත් එන්නත් කිරීමේදී ද ඒඩ්ස් වෛරසය ශරීර ගත වීම සිදුවිය හැකිය. එනිසා ඕනෑම අවස්ථාවක බෙහෙත් එන්නත් කිරීමේදී අලුත්, විසබීජ නසන ලද ඉඳිකටු භාවිත කිරීම ඉතා වැදගත්ය.
වසංගතයක් තරමට පැතිරී නැතත් ඒඩ්ස් වෛරසය බෝවීම එන්න එන්නම වැඩිවන බව වෛද්‍ය වාර්තා අනුව සනාථ වේ. ප්‍රතිකර්ම කිරීමට එය වසංගතයක් තත්ත්වයට පත්වන තුරු බලා සිටිය යුතු නැත. රජය මගින් මෙන්ම රජයේ නොවන ආයතන මගින්ද ඒඩ්ස් වෛරසය පැතිරීම වැළැක්වීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම වෛරසය පැතිරීම මේ තරමින්වත් පාලනය කිරීමට හැකි වී තිබෙන්නේ මේ ක්‍රියා මාර්ගයන් නිසාය. එහෙත් මෙයින් සෑහීමකට පත්විය යුතු නැත. ලැව්ගිනි මෙන් පැතිරී සමාජයම විනාශ කළ හැකි මෙවන් උවදුරු ගැන නිරන්තර අවධානය යොමු කිරීමෙන් වෛරසය පැතිරීමට ඇති සියලු මාර්ග ආවරණය කළ යුතුය. සංචාරක ව්‍යාපාරය දියුණු කරන අතර එයින් උද්ගත විය හැකි මෙවන් නොයෙකුත් අතුරු අන්තරා ගැන අවදියෙන් සිටීම ද වැදගත්ය.
සූදුව
සූදුවත් අනාදිමක් කාලයක සිට සමාජයට අහිතකර ලෙස බලපාන්නකි. රාජ්‍යයන් පවා පරදුවට තබා සූදු ක්‍රීඩාවෙහි යෙදුණු රජවරුන් ගැන පැරණි ඉන්දීය සාහිත්‍යයෙහි සඳහන් වේ. බුද්ධකාලීන භාරතීය සමාජයේ ද සූදුව සමාජ ව්‍යසනයක්ව පැවතී බවත් එය ‘භෝග අපාය මුඛය’ වශයෙන් නම් කර තිබීමෙන් ම පැහැදිලි වේ. සූදුවෙහි දුර්විපාක සයක් සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. දිණූ විට සතුරන් ඇතිවීම, පැරදුණු විට ශෝකය ඇති වීම, ධනය විනාශ වීම, උසාවිය ආදී තැන්වල දී සූදුකාරයන්ගේ වචන නොපිළිගැනිම, මිතුරන්ගෙන් අවමන් ලැබීම, සූදුකාරයකු යන ප්‍රචාරය පැතිරීම නිසා ආවාහ – විවාහ ආදිය කර ගැනීමට අපහසු වීම මේ දුර්විපාක ය. මීට අමතරව තවත් නොයෙකුත් දුෂ්කරතාවන්ට ගොදුරුවීම ට සිදුවන බව ඉතා පැහැදිලිය. ධන විනාශය හේතු කොටගෙන ණය ගැති බවට පත්වීමට සිදුවේ. ණය ගැති වීම කාමභෝගී ගිහියකු කාලකණ්ණියකු බවට පත් කරන ආකාරය අංගුත්තර නිකායේ ඉණ සූත්‍රයෙන් මනාව විස්තර කෙරේ. ආත්ම ගෞරවයට හානි පැමිණීම, බිරිඳ දූ දරුවන් ඇතුළු පවුලේ උදවිය නින්දාවට ලක්වීම, පවුල් ජීවිතය අඬදබර සහිත වීම ආදී නොයෙකුත් කරදර ඇතිවීමට ණය ගැතිවීම හේතු වේ.
සූදුවත් එක්තරා ඇබ්බැහියකි. සූදුව ජීවනෝපාය මාර්ගයක් තරමට යොදා ගන්නා අයද තැන්තේ නොවේ. සූදුවට යොමු වුණු විට සුරාවට, ගණිකා ඇසුරට හා වෙනත් දුෂ්චරිතයන්ට නැඹුරු වීම නිතැතින්ම වාගේ සිදු වේ. මේ සියලු දුෂ් චරිත එකට අත්වැල් බැඳගෙන ඇති ඒවාය. දුප්පත් පවුල්වල මෙන්ම ධනවත් පවුල්වල ද සූදුව පුරුද්දක් කොටගත් අය වෙති. මේ දෙගොල්ලන්ගේම අවසාන ඉරණම නම් විනාශයට යෑමය.
ලොතරැයි ද දැන් සූදුවක් තරමටම ව්‍යාප්ත වී ඇත. හදිසි ධන ලාභ බලාපොරොත්තුවෙන් අතේ – මිටේ ඇති කිසියම් සුළු මුදලක් හෝ වැය කොට ලොතරැයියක් ගැනීම දැන් ගැහැනු-පිරිමි සියලු දෙනාගේ ම සිරිතය. දරුවෝ ලොතරැයි අලෙවි කරති.
ලොතරැයි අලෙවිකරන්නන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් කරන බෙරිහන් දීම කනට යවුල් අනින්නාසේ ය. මීට දසක දෙකකට පමණ පෙර තිබූ ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ තරම් වේගයෙන් වෙනස් වූයේ කෙසේද? ලොතරැයි ව්‍යාපාරය රාජානුග්‍රහයෙන් සිදුවන්නකි. එය සූදුවක් නොව වාසනාව උරගා බැලීමක් යයි කෙනෙකුට තර්ක කළ හැකිය. සූදුවත් වාසනාව උරගකා බැලීමක් නොවේද? වාසනාව උරගා බැලීමට තම ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලොතරැයි මිලදී ගැනීම සඳහා කැප කරන අය සිටින බව රහසක් නොවේ. දිනෙන් දිනම අලුත් ලොතරැයි බිහිවීමෙන් ම එය පොදු ජනතාවට කෙතෙරම් දුරකට බලපා ඇද්ද යන්න පැහැදිලිය. ලොතරැයිවලින් බලාපොරොත්තු වන්නේ වරින් වර ධනපතියන් බිහිකිරීම නොවේ. හැකි පමණ මහජන මුදල් සූරා ගැනීමය. එය සරුවට සිදුවන බව නම් ඉතා පැහැදිලිය.

