මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නාහිමි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිහිපත් කරන පොසොන් පොහෝ දිනය සමස්ත ලංකාවාසීන්ගේ සදානුස්මරණීය දිනයයි. ශ්‍රී ලංකාද්වීපය ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කළ මෙම ඓතිහාසික සංසිද්ධිය ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික, දේශපාලනික වටිනාකම නවමු දාර්ශනික මං පෙතකට යොමු කිරීමට හේතු විය. මෙම සංස්කෘතික පරිවර්තනයේ අග්‍ර ප්‍රතිඵලය වූයේ ධර්මාර්ථ චර්යාවෙන් පිරිපුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සංස්ථාපනයයි.
සම්බුදු දහම පිළිබඳ දැඩි ඇල්මක් පවතින මෙවන් වකවානුවක ගරුතර මහා සංඝරත්නය ඒ නිර්මල දහම නිවැරදි අයුරින් මහජනයාට සන්නිවේදනය කිරීමට කටයුතු කළ යුතු ය. ධර්මයෙහි හැසිරිය යුතු ය. එකල්හි තමන් ද ධර්මයෙන් පොහොසත් වන අතර අන් අයට ද ධර්මය බෙදා දීමට ශක්තියක් වෙයි.
නිර්මල සද්ධර්මය වෙනුවට එහෙත් අත්තනෝමතීන් ගෙන් ඉස්මතු කොට දක්වන පිරිසක් ඇති වීමත්, ඒ පිරිස පිටුපස යන අන්ධ අනුගාමිකයන් පිරිසක් බිහි වීමත් හේතුවෙන් වර්තමානය වන විට උද්ගතව ඇති ශාසනික අර්බුදය ශාසන චිරස්තිථිය සම්බන්ධයෙන් බරපතල සංකා ඇති කිරීමට හේතු වී ඇත.
එකී අභියෝගයන් සාර්ථකව ජය ගැනීම සඳහා ධර්ම විනය ඤාණයෙන් පිරිපුන් ප්‍රතිබල සම්පන්න ශාසන මාමක සිව්වනක් පිරිසක අවශ්‍යතාව උදෙසා නිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි.
නිවැරදි දහම් සන්නිවේදනයෙහි යෙදෙමින් සැදැහැතියන් තුළ ශාසනාලය වඩවනු පිණිස උපාලි පුවත්පත් සමාගම මගින් ආරම්භ කරන ලද බුදුමග සදහම් පුවත්පත පහළොස් වන සංවත්සරය සමරන අවස්ථාවේ තත් සත්කාර්යය සඳහා පෙරටුගාමීව කටයුතු කළ උපාලි පුවත්පත් සමාගමේ සභාපතිතුන් ප්‍රමුඛ සමස්ත කාර්ය කටයුතු කළ උපාලි පුවත්පත් සමාගමේ සභාපතිතුන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයට රත්නත්‍රයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරන අතරම ඉදිරියටත් මෙවැනි සත්කාර්යයන්හි ප්‍රෝත්සාභීව ක්‍රියාකිරීමට සැමට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවායි ආශංසනය කරම්හ.
ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අතිගරු මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහ නාහිමි

පසළොස් වසරක් තුළ එළිදක්වනු ලබන ‘බුදුමඟ’ නම් වූ පුවත්පතට සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් ඕනෑකමින් යුක්තවයි.
සමස්ත ශ්‍රී ලංකාවාසි බෞද්ධ සැදැැහැවතුන් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සමග බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වූ දිනය ලෙස සදානුස්මරණීයව සමරති. මෙම සිදුවීම ශ්‍රී ලංකාව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිලොව යහපත සඳහා දේශනා කළ සද්ධර්මය අනුව ජීවත්වන යහපත් සංකල්ප තුළින් නිර්මාණය වූ බෞද්ධ සංස්කෘතියකට හැඩගැසුණු පින්බර දේශයක් බවට පත්විය. එදා මෙදා තුර පොසොන් මස පුන් පොහෝ දින ශ්‍රී ලාංකික ජනතාවට පූජනීය දිනයක් බවට පත්විය. ඊට ධර්ම ප්‍රචාරයට ඇප කැප වූ මුද්‍රිත මාධ්‍ය තුළින් විශාල මෙහෙවරක් ඉටු කරන බව අපි දකින්නේ ඉතාමත් සතුටු සිතෙනි. උපාලි පුවත්පත් සමාගම විසින් ආරම්භ කොට නිකුත් කරන ‘බුදුමඟ’ පුවත්පත නිරවුල් ලෙසත් නිර්මල ලෙසත් ධර්ම ප්‍රචාරය සඳහා මහඟු උත්සාහයක යෙදෙන බව සඳහන් කළ යුතු ම ය.
බුදුන් වහන්සේ දේශනා කළ දහම් කරුණු මෙන්ම අපගේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව තොරතුරු දැනකියා ගැනීමට උනන්දුවක් දක්වනු ලබන සැදැහැවතුන්ගේ දැනුම වර්ධනය කිරීමට මෙතෙක් ‘බුදුමඟ’ පුවත්පත තුළ අන්තර්ගත වූ විවිධ ලිපි ඉවහල් වී ඇති බව අප දන්නා කරුණකි. ඉදිරියටත් එසේ කරන්නේ නම් එය යහපත් ධර්ම ප්‍රචාරයට ඉමහත් රුකුලක් වනු ඇත. අනාගත පරම්පරාව යහමඟට හැරවීමට නිවැරදිම මඟ බුදු දහම අනුව ජීවත් වීමට ඉගැන්වීමයි.
එනිසා මෙම මහඟු කාර්යයෙහිලා උත්සුක වන උපාලි පුවත්පත් සමාගමට හා මේ සඳහා නන් අයුරින් දායකත්වය සපයනු ලබන සැදැහැවතුන්ට අපගේ පුණ්‍යානුමෝදනාව පලකරන අතර ‘බුදුමඟ’ තුළින් දෙස් විදෙස් සැදැහැවත් බෞද්ධයින් තුළ ධර්මය සහ බෞද්ධ සදාචාරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇතිවී දළදා වහන්සේ කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වැඩිදියුණු වේවා!යි ප්‍රාර්ථනා කරම්හ
සැමට දළදා සමිඳු පිහිටයි!
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහ නාහිමි

උපාලි පුවත්පත් සමාගම විසින් අඛණ්ඩ ව පළ කරනු ලබන ‘දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහය’ සිය පසළොස් වැනි විය සපුරන මොහොතේ ශුභාශිංසන එකතු කිරීමට ලැබීම සතුටකි.
ලක්දිව දීර්ඝ කාලීන මුද්‍රිත මාධ්‍ය තුළ උපාලි පුවත් සමාගමෙහි දිවයින පුවත්පතට විශේෂ තැනක් හිමි වේ. ජනතාවගේ දැනුම, ආකල්ප, බුද්ධිය, කුසලතා වර්ධනය කර ගැනීමට එදාමෙදා තුර දිවයින පුවත්පත තුළින් සිදු වූ සේවාව අතිවිශිෂ්ට ය. ඒ අතර පසළොස් වැනි විය සපුරන ‘දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහය’ පාඨක ලෝකයාගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගැනීමට මහත් පිටිවහලක් වන හෙයින් ආධ්‍යාත්මික සුවය සඳහා ද දිවයින පුවත්පත කරන මෙහෙවර ප්‍රශංසනීය ය.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුව සෙසු සියලු දානයන් පරදා ධර්ම දානය ජයග්‍රහණය කරනු ලබයි. එවැනි ධර්ම දානයක් පාඨක ලෝකයාට දායාද කරන ‘බුදුමඟ ධර්ම සංග්‍රහය’ තුළින් ලෝවැසි ජනතාවගේ ධර්ම ඥානය තව තවත් වැඩිදියුණු වේ වා යි ප්‍රාර්ථනා කරන අතර එම සත්කාර්යය මුදුන්පත් කරගැනීම සඳහා ක්‍රියා කරන සංස්කාරක මණ්ඩලය ඇතුළු උපාලි පුවත්පත් සමාගමේ සැමට නීරෝගී සුවය ලැබේ වා යි හෘදයාංගම ව ප්‍රාර්ථනය කරමු.
ශාසන වංශාභිධජ සද්ධම්මජෝතික අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහ නාහිමි

‘දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහය’ ආරම්භ කොට මෙම 2024 ජුනි 07 දිනට වසර පසළොසක් සම්පූර්ණ වේ. ඒ සුබ සංවත්සරය නිමිති කරගෙන පොසොන් පුර පසළොස්වක පොහොය දින නිකුත් කරන ‘බුදුමඟ’ කලාපය වෙනුවෙන් අපගේ ආශිර්වාදය පිරිනමන්නේ හදපිරි සතුටිනි.
නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ වුවත් මෙවැනි බොදු පුවත්පතක් නිකුත් කිරීම පිළිබඳව උපාලි පුවත්පත් සමාගමට කාගේත් ප්‍රශංසාව හිමි විය යුතු වේ. සෑම පුරපසළොස්වක පොහොය දිනක ම අඛණ්ඩ ව පළ කරනු ලබන මෙම පුවත්පත මගින් ධර්ම ඥානය දියුණු කරගත් බොහෝ දෙනකු සිටින බව අපගේ විශ්වාසයයි.
පසළොස් වැනි සංවත්සර කලාපය නිකුත් වන පොසොන් පොහොය දිනය ශ්‍රී ලංකාවාසි සැමට ඉතා ම වැදගත් දිනයකි. වෙසක් පොහොය දිනය ලෝකයේ බෞද්ධ ජනතාව ඉතා උත්කර්ෂවත් ලෙස අනුස්මරණය කරන දිනය බව අපි කවුරුත් පිළිගනිමු. පොසොන් පොහොය දිනය ලංකාවාසී බෞද්ධ ජනතාවට විශේෂ වැදගත් දිනයක් වේ. ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩමවා සම්බුද්ධ සසුන මේ ලක්දිව පිහිටුවූ දිනය නිසයි. මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට වැඩමවා වර්ෂ 2332ක් ගත වන අවස්ථාවෙහි ‘බුදුමඟ’ ධර්ම සංග්‍රහය වැදගත් ධර්ම කරුණුවලින් යුතු ව නිකුත් කිරීම පිළිබඳ ව අපගේ සතුට ප්‍රකාශ කරමින් ‘දිවයින බුදුමඟ’ පුවත්පත තව චිරාත් කාලයක් ධර්මසන්නිවේදනය කරමින් සතට සෙත් සදමින් පවතී වා’ යි තෙරුවන් සරණ පෙරදැරි ව ආශිර්වාද කරම් හ.