අංගුලිමාල – යශෝධරා සමග දඹදිව වන්දනා

cmadurawala
5 Min Read

පියසේන වික්‍රමගේ

දේශීය සිනමාවේ ආදායම් වාර්තා

අවුරුද්ද මතක නැත; එනමුදු ඒ වෙසක් කාලයයි. “සුවිනීිත ලාලනී” නම් චිත්‍රපටය, නුගේගොඩ මෙට්‍රෝ සිනමාහලේ ප්‍රදර්ශිත කාලයයි. උදේ 10.00 – සවස 2.30 – රාත්‍රි 9.30 දර්ශනවලදී සිනමා හල ජනයාගෙන් පිරී ඉතිරී ගිය නිසා රාත්‍රි 12.00ට විශේෂ වෙසක් චිත්‍රපට දර්ශනයක් පැවැත්වීමට මෙට්‍රෝ සිනමාහලේ කළමනාකාරීත්වය තීරණය කළේය. වෙසක් සිරි නැරඹීමට පැමිණි ජනයාගෙන් චිත්‍රපට ලෝලීන්, වෙසක් බැලීම පසෙක ලා පැය දෙකකට ආසන්න කාලයක් සිනමාහලේ ප්‍රවේශ පත්‍ර පෝළිමට එක් වූහ.

තවත් කාලයක “අංගුලිමාල” චරිතය ඇසුරෙන් ඉන්දියාවේ නිෂ්පාදිත හින්දි චිත්‍රපටයට – සිනමාස් සිනමා ප්‍රදර්ශන සමාගම විසින් සිංහල දෙබස් කවා සිනමා හල් ප්‍රදර්ශනයට පැමිණියේය. එහි භාරත් භුෂන් නම් හින්දි නළුවාට සිංහල දෙබස් කීවේ, සිංහල සිනමාවේ ප්‍රකට නළුවෙකු වූ ඩොමී ජයවර්ධනයි.

නුගේගොඩ කුයින්ලන් සිනමාහලේ “අංගුලිමාල” සිංහල දෙබස් කැවූ චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමීව අංගුලිමාල චරිතයෙහි විවිධ ජවනිකා ඇති තොරණක් ඉදිකර තිබුණි. හින්දි චිත්‍රපටයේ මන්නාඩේ නම් සුප්‍රකට හින්දි චිත්‍රපට පසුබිම් ගායකයා ගැයූ ගීයට, කරුණාරත්න අබේසේකර ලියූ සිංහල පද මාලාව අදටත් අමරණීයයි. (මතක හැටියට ඒ 1959 (එක්දහස් නවසීය පනස්නවය) අවුරුද්දයි ඒ ගීයෙන් වෙසක් කාලයට අනිවාර්යයෙන්ම ඇසෙන: ඔබේරාගී මන කැළඹේදෝ//

බිහිසුණු වදනින් සිත පෑරේදෝ//
එම විට පවසනු මුවින් ඔබේ//
බුද්ධං සරණං ගච්ඡාමි//
බුද්ධං සරණං ගච්ඡාමි//

අද මේ ඉතිහාස කතා වත්මන් පරපුර නොදනිති; එනමුදු අසහාය සිංහල චිත්‍රපට පසුබිම් ගායක අල්හාජ් මොහිදින් බෙග් ගයන “අංගුලිමාල” තේමා ගීය නම් වෙසක් සමයට, ආගමික උළෙලවල නොවරදවා ඇසෙන අරමණීය ගීයකි.

“බුද්ධං සරණං//” ගීය විනාඩි දොළහකට ආසන්න දීර්ඝ ගායනයකි; එය මුල් හින්දි ගායක මන්නාඩේ අබිබවන්නට සමත් ගායනයක් බව මන්නාඩේම විසින් පවසන ලදැයි පුවත්පතක පළ වූ වාර්තාවක් පෙන්වා දෙයි.

සිංහල සිනමාවේ දෙබස් කැවූ චිත්‍රපට මාලාවේ ඉහළම ආදායම් වාර්තා තබමින් එකල මෙම චිත්‍රපටය දින සියයක් අඛණ්ඩව ප්‍රදර්ශනය කළ බව දැක් වේ.

පැවිද්දෙක් හා ලලනාවක් අතර වූ සිද්ධි මාලාවක් රැගත් (දෙබස් කවන ලද) චෙතන් ආනන්ද් (දේව් ආනන්ද ප්‍රවීණ නළුවාගේ සොයුරු) හා නිම්මි නම් එකල ජනප්‍රිය නිළි රඟපෑ “අංජලී” චිත්‍රපටයත් යම් ජනප්‍රියත්වයක් අත්කර ගත් ඉන්දීය චිත්‍රපටය ද මෙහිලා සටහන් කළ යුතුය.

“දීපයෙන් දීපය දැල්වුණේ
ලෝ අන්ධකාරය නැති වුණේ// “එවක ගුවන් විදුලියේ ජනප්‍රිය ගීයකි.

මේ අතින් ඩී.සී.එල්. අමරසිංහ පළමු සිංහල චිත්‍රපට වෘත්තාන්තය “වෙසතුරු සිරිත” කිහිප අතකින් වැදගත් විය.

වර්ණයෙන් මි.මී. 35 ප්‍රමාණයෙන් නිර්මිත පළමු සිංහල චිත්‍රපටයයි – (ඊට පෙර 1962 නිර්මිත “රන්මුතු දූව” වර්ණ චිත්‍රපටය මි.මී. දහසය ප්‍රමාණයෙන් රූගන්වා මි.මී. තිස්පහ ප්‍රමාණයට නිමවා ඇත්තක් විය) “රන්මුතු දූව” චිත්‍රපටය ඇරඹෙන්නේ වෙසක් සිරි නැරඹීමට ගිය තරුණයන් තිදෙනෙකුගේ දර්ශනයකිනි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගී පද ලියා, අමරදේව සංගීතයට – අමරදේව විසින්ම ගායනා කළ “පාරමිතා බල – පූජිත// ගීය අදටත් වෙසක් උළෙලේ පැවැත්වෙන බෞද්ධ සංසිද්ධිවල බොහෝ කොට වාදනය වන ජනප්‍රිය ගීතයකි.

ඉතින් “වෙසතුරු සිරිත” අපූර්ව සිනමා නිර්මාණයකි. අමරදේව සංගීත අධ්‍යක්ෂණයෙන් මේ චිත්‍රපටයට නිර්මාණය වූ “දුහුල් වලා කඩින්//” (මහගමසේකර ගී පද) බඳු ගීත අදටත් අමරණීයයි.

එනමුදු “වෙසතුරු සිරිත” චිත්‍රපටයට නවක නළු නිළියන් යොදා රංගනය ජන ආකර්ෂණයට හේතු නොවිය. ඩී.සී.එල්. අමරසිංහ සිනමාකරුවා අපට කීවේ එවක සිටි “පුෂ්ටිමත්” සිනමා තාරකා සිය කාර්යයට උචිත නොවූ බවයි. පියල් සෝමරත්න බඳු විචාරකයන් මෙහි නිර්මාණ අගය කළා මතකයි. සුමින්ත අමරසිංහ පළමු වරට කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය “වෙසතුරු සිරිතයි” එනමුදු වෙස්සන්තර ජාතකය කොතරම් ජනතාව අතර ප්‍රචලිත වුවත්, චිත්‍රපටය ජනතාව අතර ප්‍රචලිත නොවීම පරස්පරයකි.

“අම්බපාලි” විමලනාත් දිසානායක සිනමා නිර්මාණය, විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකා බඳු සිනමා තාරකා යොදා නිර්මිත වුවද දුර්වල චිත්‍රපටයක් විය.

තවත් අවස්ථාවක සිනමාස් සමාගම නිපැයූ “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ ක්‍රිස්තියානි පැවිද්දෙක් මුල්කර නිර්මිත වීම, හේතුවෙන්, බෞද්ධ ජනතාවගේ ආකර්ෂණය උදෙසා “වෙස්සන්තර ජාතකය” කෙටි චිත්‍රපටයකට නංවා ප්‍රදර්ශනය සිදු විය.

මේ සියලු ප්‍රයන්ත මැද, සුනිල් ආරියරත්න නිර්මාණය “යශෝධරා” (එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය) වැසීයෑමට ගිය සිනමාහල් ප්‍රතිසංස්කරණය කර, ජනයා පිරි සිනමාහල් පිරී’තිරී යන වාර්තාගත ආදායමක් ඉපැයුවේය; එය වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය ද විය. එනමුදු සුනිල් ආරියරත්න නිර්මාණය කළ ගෞතම බුද්ධ මාතා (තිලංග සුමතිපාල නිපැයුම) අර තරම් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේ නැත.

ප.ලි.

ලිපිය දීර්ඝ වුවත් “අජාසත්ත” චිත්‍රපටය ඉපැයූ වාර්තාගත ආදායම සටහන් කළ යුතුය. දුර්වල චිත්‍රපටයක් වුවත් එය ජන ආකර්ෂණය දිනුවේ පියාට කළ වද හිංසා, ජනතාව කම්නයෙන් නැරඹූ නිසාද? විමසත්වා!

අනෙක එල්.එම්. පෙරේරා අධ්‍යක්ෂවරයා “හතර පෙරළිය” සමග “දඹදිව වන්දනා” කෙටි චිත්‍රපටය සමග තැබූ වාර්තාවයි. මුල් චිත්‍රපටය මුදල් ඉපැයීම, පිළිබඳ තිබූ සැකය හේතුවෙන්, අධ්‍යක්ෂවරයා කැමරාවක් රැගෙන “දඹදිව වන්දනා” සිද්ධස්ථාන රූගත කර නිපැයූ වාර්තා චිත්‍රපට ඊට ඈඳා ප්‍රදර්ශනය කළේය. සූදුව දින්නේය!

ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ ජනී – ජනයා බස් රථ කුලියට ගෙන, පුවක්මලින් සරසා “හතර පෙරළිය” චිත්‍රපටය නැරඹීමට පැමිණියහ. ලාංකේය සිනමා ඉතිහාසයේ අපූර්ව ප්‍රදර්ශන වාර්තාවක් බිහි විය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *