බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පඤ්චමානි භික්ඛවෙ සප්පුරිස දානානි, කතමානි පඤ්ච සද්ධාය දානං දේති. සක්කච්චං දානං දේති. කාලේන දානං දේති. අනග්ගහිත චිත්තෝ දානං දේති අත්තානංච පරංච අනුපහච්ච දානං දේති.”
මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නයවූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළහ. ඒ මෙසේය. “මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්ද? “සද්ධාය දානං දේති. ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ඇති කරගන්නා වූ ප්‍රසාද ලක්ෂණ ගුණයයි. අවබෝධයෙන් ම ශ්‍රද්ධාවට පත්වීම නම්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන, නව අරහාදී බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදුගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට, සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. “පයතපාණී “වොස්සග්ගරතො” යනුවෙන් සඳහන් කළේ එයයි. එනම් දෙන්නට සෝදාගත් අත් දෙකක් සහ දීමට නැමුණු අත් දෙකක් යනුවෙනි. දානයකදී සකස් විය යුතු අවස්ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස් වෙයි. එනම් පූර්ව චේතනා (දානයට පෙරාතුව, අලෝභ, අදෝස අමෝහ නම්වූ කුසල චේතනා පැවතීම) මුඤ්චන චේතනා (දානය සිදුකරන අවස්ථාවේදී ද අලෝභ, අදෝස, අමෝහ කුසල චේතනා පැවතීම) සහ අපර චේතනායි. (දානයෙන් පසුවද අලෝභ, අදෝස, අමෝහ නම් වූ කුසල චේතනා පවත්වා ගැනීම යි.)
මෙයට තවත් දහම් කොටසක් එකතුකර ගත හැකිය.එනම්,“සෝමනස්ස සහගත ඤාණසම්පයුක්ත අසංඛාරික” සිත් පෙළක් පැවතිය යුතු බවය. එහි අදහස මෙසේයි. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන් ද, කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන් ද, අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන් ම සිත හා සිතුවිලි සකස් වීමයි.
දෙවනුව සඳහන් කරන්නේ “සක්කච්චං දානං දේති “සකසා දන් දෙයි” යනුවෙනි. මෙහිදී “දාන සංවිභාග රතෝ” යනුවෙන් සඳහන් කළ පරිදි, මනාකොට, පරීක්ෂාකාරීව ද සංවිධානයෙන්ද, විමසා බලා ද දන් දෙන්නේ ය. “කාලේන දානං දේති” යනුවෙන් සඳහන් කරන්නේ, සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදී පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන් ද යුතුව එය කළ හැකිය. එනම්, බුද්ධාදි උතුමන් වෙනුවෙන් සිදුකරන දානය නම් උතුම් ගුණයන් සලකා ගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක් ඉල්ලා ගෙන පැමිණි කෙනෙකුට හෝ ඤාති හිතමිත්‍ර අයෙකුට යමක් දෙන්නේ නම්, එය අනුකම්පාවක් ලෙසය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදු කළ හැකිය.
මීළඟට සඳහන් කරන්නේ “අනග්ගහිත චිත්තෝ දානං දේති” යනුවෙනි. එනම්, දෙන දෙයෙහි සිතේ බැඳීමක් නැතිවම දන් දෙන බවය.“මුත්තචාග” යනුවෙන් සඳහම් කරන්නේද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කතාවේ සඳහන් කරන “පටිනිස්සග” නම් වූ එනම්, “අත්හැරීම” ඉලක්ක කිරීමක් අදහස් කෙරේ. ආධ්‍යාත්මික (අජ්ඣත්ත) හෝ බහිර (බහිද්ධා නම් වූ කවර දෙයක් වුවද තණ්හා මදමාන දෘෂ්ටීන්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම ම මින් අදහස් කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ අත්තානං ච පරං ච අනූපහච්ච දානං දේති” යනුවෙනි. එනම්, තමාගේද අන්‍යන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස්පව්, දස අකුසල්වලින් බැහැරවම දානය කළ හැකිවන්නේ නම්, කිසිවිටෙකවත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක් විපතක් නොවන්නේය. මෙහිදී ගළපා ගත යුතු දහම් පෙළ මෙසේය. “උට්ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි” යන්නයි. එනම්, භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්ඨාන වීර්යෙන්ද, දෑතේ බාහු බලයෙන්ද, දහදිය වැගිරීමෙන්ද ධර්මානුකූලවම බවය. එසේ උපයාගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක්වීමට මූලික පසුබිම සකස් කරයි.
මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.
“මහණෙනි සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කළු වුයේ ප්‍රසාද එළවන සුළු වූයේ මනා වූ ප්‍රසන්නද වෙයි.”
“මහණෙනි සකසා දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝ ද, ස්වාමි භාර්යාවෝ ද, දාසයෝ ද, කම්කරුවෝ ද, පිරිවර ද කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.”
“මහණෙනි නිසිකල්හි දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත සඵල වෙයි.”
“මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුණු සිත් ඇතිව දන්දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්කම් ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.
“මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ මහා භෝග ද වූයේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අප්‍රිය අය ගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භොගයන්ට කරදරයක්, විපතක්, හානියක් නොවෙයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ, සත්පුරුෂයෙකුගේ දන්දීමේ පිළිවෙතය. එසේ අවබෝධයෙන්ම යුතුව සිදුකරන ලද දානයේ විපාක, ප්‍රාර්ථනා කළත් නොකළත්, එම සත්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය පච්චේක බෝධිය, අර්හත්වය අධිෂ්ඨාන කරන කවර බෝධිසත්වයෙක් වුව ද, පාරමි ගුණ අතර, දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මගෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේ ද දානය ප්‍රධාන කොටගෙනය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මග “අත්හැරීමට” එනම් අස්මි මානය ඉවත්කොට සසර බැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු, ස්කන්ධ, ආයතනයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය, අනිතය වශයෙන් ද දුක් වශයෙන් ද අනන්ත වශයෙන් ද දැක ගනියි. (නේතං මම, නේසෝ හමස්මි නමේසෝ අතීතා)
සකසා දෙන්න. ගෞරවයෙන් දෙන්න. සියතින්ම දෙන්න. හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ටිය බැහැරකොට, දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.

