ගයාවට යන පාර

rashi
By rashi
8 Min Read

රිංගු තුල්කු රින්පොචෙ ලාමාතුමා

පරිවර්තනය: අනුරාධ මහසිංහ

මෙම කථා කතුවර ලාමා තුමන්ගේ Parables from the Heart: Teachings in the Tibetan Oral Tradition කෘතියෙන් උපුටාගනු ලැබිණ. ධර්ම රසයෙන් නො අඩු ඇතැම් කථා අප අසා පුරුදු දේට නෑකම් කියන නමුත්, අනෙක් සම්ප්‍රදායයකින් එන බැවින් ඊට වෙනස් විය හැකි ය.

රජු සහ තවුසා

යට ගිය දවස අප බෝධිසත්ත්වයෝ ද්‍රැංසොං සෝපා මාවා නමින් ඉපිද, රමණීය වන අරණක එකලා ව තාපස වෘතයෙන් කල් ගෙවූ හ. දිනක් එරට රජ තෙමේ දඩ කෙළි පිණිස රාජපුරුෂයන් ද, මෙහෙසියන් ද, දාස දාසීන් ද පිරිවරා වන වැදුණේ ය. රජු ඇතුළු පුරුෂයන් දඩයම් සොයනු පිණිස ගිය අතර, මෙහෙසියෝ ද දාසියෝ ද මල් නෙළනු පිණිස පැහැබර වන පෙදෙසෙහි ඇවිදින්නට වූ හ. මෙසේ ඇවිදින අතර තාපසයන් දැක පැහැදුණු ඔවුහු, වන්දනා පූජා පිරිනමා, “බණක් දෙසනු මැනැවැ,” යි ආරාධනා කළ හ.

කඳවුරට පෙරළා පැමිණි රජ තෙමේ ස්ත්‍රීන් එහි නොමැති බව දුටුවේ ය. නිසි දඩයමක් නො ලැබුණු හෙයින් නො සතුටු සිතින් පසු වූ රජුගේ සිත, ස්ත්‍රීන් කොහේ දෝ නො දත් හෙයින් උපන් සංකාව ද මුසු වී මහත් සේ නො සන්සුන් විය. ඔවුන් සොයනු පිණිස වනයෙහි ඇවිද ගිය ඔහුට නොබෝ වේලාවකින් දක්නට ලැබුණේ, තවුසා වටා රොක් වී, සොම්නසින් යුතු ව කන් දී සිටින ස්ත්‍රීන් පිරිස ය. මෙය නො මනා වැඩෙකැ යි ඔහුට සිතිණ.

“මොකද මෙතැන වෙන්නෙ? මොනව ද උඹ මගෙ මෙහෙසියන් එක්ක කරන්නෙ?” රජු ගිගිරුවේ ය.

“මම මොකවත් කරන්නෙ නෑ,” තාපසයා පිළිතුරු දුන්නේ ය. “මම මෙතැන ඉඳගෙන ඉන්නවා, ක්ෂාන්තිය ගැන භාවනා කරනවා.”

මහත් සේ කිපුණු රජු, කඩුව ගෙන තවුසාගේ අතක් සිඳ දමා, “උඹට තාමත් ඔය ක්ෂාන්තිය තියනව දැ?” යි ඇසුවේ ය.

“අපොයි ඔවු. මට තමුන් ගැන කිසි ම තරහක් නෑ. තමුන් ඔය මොකක්ද කරන්නෙ කියල වත් නො දන්නා කෙනෙක්.”

මෙවිට රජු තවත් කඩු පහර එල්ල කරමින් තවුසාගේ අත් පා සිඳින්නට විය. ඒ අතර තවුසා මෙසේ යාච්ඥා කළේ ය. “මේ රජු මගේ ශරීරය සිඳ දමන නමුත් මට ඔහු ගැන කිසි තරහක් නැත. මම මොහුට සමාව දෙනවා විතරක් නො වෙයි, මතු යම් දිනෙක මා බුද්ධත්වයට පැමිණ යථාව අවබෝධ කරගත් පසු, අද මගේ ශරීරය කපා දමනා ලෙසින් මෝහ අවිද්‍යා කපා මාර්ගඵල ලබනා පළමු තැනැත්තා මොහු වේ වා!”

මේ ප්‍රාර්ථනය කොතරම් අව්‍යාජ වී ද – ප්‍රබල වී ද කිව හොත්, එය මතු දිනෙක සැබෑවක් ම වී ය. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය ශ්‍රවණය කළ පස් දෙනා අතරින් ප්‍රථමයෙන් අවබෝධයට පැමිණි කෞණ්ඩීන්‍ය තාපසයන් වනාහි පෙර දවස මේ රජු යැ යි බුදුන් වහන්සේ දේශනා කළ හ. තමන් කළ පාපයට කල්ප ගණනක් දුගතියෙහි වැටී දුක් විඳි රජ තෙමේ, බුදුන් වහන්සේගේ මහා කරුණා මහිමයෙන්, ගෞතම බුද්ධ ශාසනයෙහි අවබෝධයට පැමිණි ප්‍රථම ශ්‍රාවකයා වූයේ ය.

ගයාවට යන පාර

බුදුන් වහන්සේ බරණැස වැඩ වසන කල උන්වහන්සේ ගෙන් බණ අසන්ට නිතර ආ ගිය පුරුෂයෙක් විය. දිනක් මෙතෙම බුදුන් වහන්සේ වෙත ගොස්, “වහන්ස, මට ප්‍රශ්නයක් අහන්නට ඇතැ,” යි පැවසී ය.

“හොඳයි, අහන්නැ,” යි බුදුන් වහන්සේ කී හ.

“මම දැන් බොහොම කාලෙක පටන් ඔබවහන්සේ ගෙන් ධර්මය අහන්න එන්නෙ. ඔබවහන්සේගෙ දේශනාවලටත් මම බොහොම මනාපයි. නමුත් මම දැකපු දෙයක් තමයි, ඔබවහන්සේ ගෙන් ධර්මය අහන්න එන මහ ජනකාය අතරින් බොහොම ටික දෙනෙක් විතරයි, පරිවර්තනයට ලක් වෙලා අවබෝධය ලබාගන්නෙ. වැඩි දෙනෙකුගෙ කිසි වෙනසක් වෙන්නෙ නෑ කියල යි මට නම් හිතෙන්නෙ.”

“ඔබේ ගම්පළාත කොහෙ ද? කතා විලාසෙ නම් බරණැස පාටක් නෑ.”

“එහෙමයි, මම ගයා රටේ.”

“එහෙම නම් ඔබ නිතර නිතර ගයා රටට යනව ඇති?”

“එහෙමයි, පවුලෙ උදවිය එහෙ තමයි ජීවත් වෙන්නෙ.”

“එහෙම නම් ඔබ බරණැස ඉඳන් ගයාවට යන පාර හොඳට දන්නව ඇති?”

“එහෙමයි, අල්ලෙ ලියල තියනව වගේ දන්නවා.”

“එතකොට, ඔබ ගයාවට යන පාර දන්නව බව දන්න උදවියත් සෑහෙන්න ඇති?”

“මගෙ යාළුවො සේරම ඒ බව දන්නව, ස්වාමීනි.”

“ඒ අය ඇවිදින් ඔබෙන් ගයාවට පාර එහෙම අගහන්නව ද?”

“එහෙමයි.”

“ඔබ ඒ අයට හරියට පාර කියනව ද?”

“අපොයි ස්වාමීනි, මම පොඩි පොඩි දේවල් පවා මඟ අරින්නෙ නැතුව පාර කියල දෙනවා. කිසිවක් හංගන්නෙ නෑ.”

“එතකොට ඔය පාර අහගත්තු හැමෝම ගයාවට යනව ද?”

“නෑ ස්වාමීනි. ඇත්තට ම ඒ පාර අනුව ගිය අය විතරයි ගයාවට යන්නෙ.”

“නිර්වාණය ගැනත් එහෙම තමයි,” බුදුන් වහන්සේ කී හ. “මම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරල තියනවා. මම මාර්ගය දන්නවා. මම ප්‍රත්‍යක්ෂ කළ බවත් – මාර්ගය දන්නා බවත් බොහෝ දෙනා දන්නවා. ඒ නිසා ඒ අය අහනවා, කොහොම ද එතැනට යන්නෙ කියලා. මම හැම දෙයක් ම කියා දෙනවා, පොඩි පොඩි දේවල් පවා, කිසිවක් නො සඟවා. නමුත් ඇත්තට ම මාර්ගයේ ගිය කෙනා විතරයි, එතැනට ළඟා වෙන්නෙ.”‍

යකඩ කරත්තය

ගෞතමයන් වහන්සේ ස්වකීය සංසාර ගමනෙහි බෝධිසත්ත්ව මාර්ගයට පිවිසුණු පූර්වතම මොහොත ගැන කථාවක් සූත්‍රවල එයි. ඒ අනුව, උන්වහන්සේ සංසාරයෙහි ප්‍රථම වරට බෝධිචිත්තය වඩා ඇත්තේ නිරයෙහි ඉපිද දුක් විඳින කල්හි ය.

අප බෝධිසත්ත්වයන් හට තවත් නිරි සතකු ද සමඟ එකතු ව, ගිනි ගෙන දැවෙන පාරක් දිගේ, තද යකඩින් කළ කරත්තයක් අදින්නට සිදු වී ඇත.

ඉතා බරැති යකඩ කරත්තය දෙදෙනකුට ඇදිය හැකි නො වේ. ඒ වනාහි අනුකම්පාවෙන් තොර වූත් මහත් දුක්ඛයන් ගෙන් පිරුණා වූත් මොහොතකි. මෙවිට බෝධිසත්ත්වයන්ට මෙවන් කල්පනාවක් ඇති විය. “සිය දෙනෙකුට වත් අදින්න බැරි කරත්තයක් අපි දෙන්නා අදින්නෙ කොහොම ද? මේ වෙනුවෙන් දෙදෙනෙක් දුක් විඳීමේ තේරුමක් නෑ. මගේ සගයා මෙයින් මුදා හැරිය යුතුයි.”

උන්වහන්සේ යමපල්ලා අමතා මෙසේ කී හ. “මගේ යාළුවට යන්න දෙන්න, මම මේක තනියම අදින්නම්.”

කෝපයට පත් යමපල්ලා අතට හසු වූ බරැති යමකින් බෝසතාණන්ගේ හිසට පහර දුන්නේ ය. බෝසතාණෝ සිහි විසඥ ව ඇද වැටුණ හ. (සිහි විසඥ වීම යනු නිරයෙහි ලැබිය හැකි මහත් ම ආනන්දය යැ යි කියැවේ.) නැවත සිහිය ලැබුණු පසු බෝසතාණෝ තව දුරටත් නිරයෙහි නො වූ හ. ස්වකීය සගයා දුකින් මුදවාලීමේ සිතුවිල්ල කොතරම් ප්‍රබල ද -යහපත් ද යත්, නිරයට එම සිතුවිල්ල අඩංගු කරගන්නට නො හැකි වී ලු‍. සැබෑ ලෙස ම අනෙකාගේ යහපත පැතූ හෙයින් උන්වහන්සේ එදා ‘බෝධිසත්ත්ව’ භාවයට පැමිණිය හ. බෝධිසත්ත්වයන් සංසාරයේ ප්‍රථම වරට බෝධිචිත්තය වැඩුවේ එදා ය.

ගිරවා අලංකාර වූ හැටි

එක්තරා කැළෑවක ගිරවෙක් වාසය කළේ ය. දිනක් මහ ගින්නකින් කැලය දැවෙන කල කුඩා ගිරවා වහා ගම් පෙදෙස වෙත පියාඹන්නට විය. එහෙත් ගින්නට මැදි වූ සතුන්ගේ කෑගැසීම් ඇසී, උන්ට උදවු කළ යුතු යැ යි සිතා, ගඟට බැස තටු තෙමාගෙන, දැවෙන කැළයට පියඹා ගියේ ය. ගිනි වදින තන්හි තටු සැලීමෙන් ගින්න මතට දිය බිඳු ඉස එය නිවන්නට තැත් කළේ ය. යළි යළිත් දුම් මැදින් ගඟට ගොස් තටු තෙමාගෙන පැමිණ, දිය බිඳු ඉස්සේ ය.

ලැව් ගින්නක් ගිරා තටුවකින් කෙසේ නිවනු ද? ගිරවා ද බෙහෙවින් දුබල වී අකර්මණ්‍ය වී ය. මේ දුටු ඇතැම් දෙවිවරු සරදමට සිනාසෙන්නට වූ හ.

සිනා හඬ ඇසුණු ශක්‍රයා වන පෙතෙහි කුමක් වෙදැ යි විපරම් කොට දැන, උකුසු වෙසක් මවාගෙන, ගිරවා ඉදිරියේ පෙනී සිට මෙසේ කී ය. “මෝඩ ගිරවෝ, පිච්චිලා මැරෙන්ඩ ද හදන්නෙ?”

“ඔතරම් ලොකු ඇඟක් තියාගෙන උඹට ගින්න නිවන්ඩ මට උදවු වෙන්ඩ බැරි ද? උඹේ අවවාද නෙවෙයි, උපකාර යි මට ඕනැ,” ගිරවා කීවේ ය.

ගිරවා කොතරම් අවංක ව මෙය ප්‍රකාශ කළේ ද යත්, කම්පා වූ උකුස්සාගේ ඇසින් කඳුළු වැගිරෙන්නට විය. ශක්‍රයාගේ ඇසින් වැටෙන කඳුළු බොහෝ බලගතු ය; එයින් කැලයේ ඇවිලෙමින් තිබුණු ගින්න නිවී ගියේ ය. ගිරවාගේ පියාපත් මත වැටුණු කඳුළුවලින් තුවාල සුව වී, විනාශ වූ තන්හි අලු‍තෙන් පිහාටු මැවී වැඩෙන්නට විය. මෙසේ අලු‍තෙන් මැවුණු පිහාටු විචිත්‍ර වර්ණයෙන් යුත් වී ලු‍. ගිරවාගේ බලවත් කුසල කර්මය ඌ ශක්තිමත් වූත්, අලංකාර වූත් පක්ෂියකු බවට පත් කළේ යැ යි කියැවේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *