සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ අෂ්ටමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති, පූජ්‍ය ලේල්වල සමිත නාහිමි
තිස්ස – කිරින්ද මාර්ගයේ ගොස් යෝධකණ්ඩිය වැවට නුදුරින් වමට හැරී කිලෝමීටර 28ක් පමණ ගිය විට මේ මනස්කාන්ත පුණ්‍ය භූමිය හමු වේ. අනුරාධපුර, මිහින්තලය මෙන් මෙම පින් බිම වන්දනාකරුවන් ගෙන් පිරී ඉතිරී යන්නේ පොසොන් මාසයේ දී ය. ටික දුරක් යන තුරු මාර්ගය හොඳට ඇතත් ඉතිරි කොටස තරමක් දුෂ්කර ය. එම කොටස ස්ථීර ව නො සාදන්නේ වැසි කාලයට කැඩී බිඳී යන නිසා ය. වසරකට වරක් පොසොන් කාලයට මාර්ග සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් සභාව විසින් පස් දමා තලා වාහන යා හැකි පරිදි සකස් කරනු ලැබේ.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ කාලයට ආසන්න කාලයක දී සිතුල්පව්ව අරණ්‍ය සේනාසනය ආරම්භ වන්නට ඇතැ යි සැලකේ. චුල්ලවග්ග පාළියේ සේනාසන ඛන්ධකයෙහි දැක්වෙන බුද්ධානුමත භික්‍ෂු ආරාම පහෙන් සිතුල්පව්ව අයත් වන්නේ ‘ලේණ විහාර’ ගණයට ය ආරක්‍ෂාව යන අදහස එම වචනයේ ඇත. ‘ලෙන’ යනු එහි සිංහල වහරයි. බුද්ධඝෝස මාහිමියෝ විසුද්ධිමග්ග පඨවි කසින නිද්දේසයේ දී රුහුණේ දක්ඛිණගිරි වෙහෙර හෙවත් මුල්ගිරිගල විහාරය, මිහින්තලය හෙවත් චේතියගිරිය, අනුරාධපුර ගල්ගමුවේ පිහිටි හත්ථිකුච්ඡි විහාරය මෙන්ම රුහුණේ සිතුල්පව්ව හෙවත් චිත්තල පබ්බත විහාරය “ලේණ සම්මත විහාර” යනුවෙන් හඳුන්වති. බුදුදහමේ ආලෝකය දඹකොල පටුනේ සිට රුහුණ දක්වා ම පැතිරී ගිය බවට සිතුල්පව්ව එක් උදාහරණයකි. මේ සමගම තිස්ස, කතරගම, මාගම ප්‍රදේශවල ද ශීඝ්‍රයෙන් බුදු දහම පැතිර ගියේ ය.
ඉතිහාසඥයන් පවසන පරිදි සිතුල්පව්ව ප්‍රදේශය කතරගම මූලික කරගෙන රුහුණ පාලනය කළ කතරගම ක්‍ෂත්‍රිය රාජධානියට අයත් විය. කතරගම විසූ දසභාතික හෙවත් දස බෑ රජවරුන් ගැන සෙල්ලිපි කිහිපයක සඳහන් වේ. මහානාග යුව රජුගේ මුණුපුරු හෙවත් යටාලතිස්සගේ පුත් ගෝඨාභය විසින් කතරගම ක්‍ෂත්‍රියයන් පරාජයට පත් කොට එය මාගම රාජ්‍යයට ඈඳා ගනු ලැබීමෙන් පසු කතරගම රාජ්‍යය මාගම රාජධානියේ උපරාජධානියක් ලෙස පැවතුණි. සිතුල්පව්ව විහාරය පළමුවෙන් ම පිහිටුවන ලද්දේ මහානාග යුවරජු විසිනි. කාවන්තිස්ස රජු එය විහාරාංගයන් ගෙන් සම්පූර්ණ කර සංවර්ධනය කළේ ය. රහතන් වහන්සේලා විශාල පිරිසක් මෙහි වැඩ සිටි බව මහාවංශයේ මෙන්ම සම්මෝහ විනෝදනී අටුවාවේ ද සඳහන් වේ.
කාවන්තිස්ස රජු ගෙන් පසු දුටුගැමුණු, සද්ධාතිස්ස, වසභ, වංකනාසික තිස්ස, මහල්ලක නාග, දෙවන විජයබාහු, දෙවන පරාක්‍රමබාහු ආදී රජවරුන් කිහිප දෙනෙකු මෙහි නව ගොඩනැඟිලි ඉදි කිරීමෙන් හා පැරණි ගොඩනැඟිලි පිළිසකර කිරීමෙන් සංවර්ධනය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි. ව. පළමුවැනි සියවසේ රජ කළ වසභ රජු මෙහි මහාථූපය වටා පරිවාර ස්තූප දහයක් කරවූ බව සඳහන් වෙතත් දැනට සොයාගෙන තහවුරු කර ඇත්තේ ස්තූප තුනක් පමණි. ක්‍රි. ව. 659 දී පමණ, පළමුවැනි දප්පුල රජතුමා ‘ගොන්න විට්ඨි’ නමැති ගම විහාර ගමක් ලෙස සිතුල්පව්වට පූජා කර ඇත්තේ විහාරයේ නඩත්තු කටයුතු සඳහා ඒ ගමින් ලැබෙන අය බදු යොදා ගැනීම සඳහා ය.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා ගෙන් එක් නමක් මෙහි රෝපණය කරන ලද බව බෝධිවංසයේ සඳහන් වේ. ශ්‍රීමහා බෝධි රෝපණ උත්සවයට සහභාගී වූ කතරගම ක්‍ෂත්‍රියයන්ට දේවානම්පියතිස්ස රජු ගෙන් එය ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නට ඇත. සිතුල්පව්ව පූජා භූමියෙන් පුරාණ බෝධිඝරයක නටබුන් හමු වී ඇත. මෙහි ඇති මීටර් 29ක් පමණ දිග ගල් ලෙන පැරණි පටිමාඝරයක් බව පුරාවි්‍යාඥයෝ කියති. ඉන්දියාවේ අජන්තා ලෙන් ගුහා චිත්‍රවලට නෑකම් කියන චිත්‍ර කිහිපයක් මෙම ගුහාවේ තිබී සොයාගෙන ඇත. ඒවා ක්‍රි. ව. 7-10 සියවස් අතර අඳින ලද ඒවා විය හැකි යැ යි නිගමනය කර ඇත. මේ චිත්‍ර බොහොමයක් මැකී ගොස් ඇති නිසා හඳුනාගත හැකි මට්ටමට ඇත්තේ චිත්‍ර කිහිපයක් පමණි.
මෙම විහාර ලෙන තුළ තිබී හමු වී ඇති බුදු පිළිමය අමරාවතී කලා සම්ප්‍රදායට අයත් ය. බෝධිඝරයට නුදුරින් පැරණි පටිමාඝරයක නටබුන් හමු වී ඇත. එහි එක් ගල් කණුවක් දැනට ශේෂ වී ඇති අතර, පටිමාඝරයේ මැද බුදුපිළිමයක් පිහිටුවා තිබුණු බවට සාධක ඇත.
වසභ රජතුමාගේ මුණුබුරු පළමුවැනි ගජබාහු රජතුමා සිතුල්පව්ව විහාරයේ වැඩවසන භික්‍ෂූන්ගේ බෙහෙත් වියදම සඳහා දුබලයහටගම සහ අකුජ මහගම යන දෙතැන පිහිටුවා තිබුණු විනිශ්චය ශාලාවෙන් ලැබෙන දඩ මුදලින් දිනපතා කහවණු දෙක බැගින් ලබා දීමට කළ නියෝගයක් ඇතුළත් ලිපියක් මෙහි එක් පර්වතයක කොටා ඇත. සිතුල්පව්ව විහාරයේ වැඩවසන භික්‍ෂූන්ගේ වාසය සඳහා ඉදි කළ ලෙන් සියයකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇත. ඒවා පිදූවන්ගේ නම් අතර බමණ (බ්‍රාහ්මණ), අචරි (ආචාර්ය), ගණක (ගණකාධිකාරි), ගපති (ගෘහපති හෙවත් සිටු), නට (නාට්‍ය ශිල්පී), බඩගරික (භාණ්ඩාගාරික) වැනි දුර්ලභ පුද්ගල නාම කිහිපයක් ම ඇත. එසේ ම පිත මහරජ (වළගම්බා රජු), වේලුසුමන, දෙවනපිය අභය (දුටුගැමුණු රජු), සෙනපති මිත (නන්දිමිත්‍ර සේනාපතියා) වැනි ඓතිහාසික නාම ද දක්නට ලැබේ.
රජ, බමුණු, සිටු, සේනාපති, රාජ සේවක ආදී බොහෝ පිරිසකගේ අනුග්‍රහය දිගු කලක් තිස්සේ මෙම විහාරයට ලැබුණු බවට මේ නාමයන් සාක්‍ෂි සපයයි. එහෙත් මහනුවර යුගය පමණ වන විට භික්‍ෂු වාසයෙන් තොර ව වන ගත වන්නට පටන් ගත් මෙම පුණ්‍ය භූමිය වෙත ක්‍රි.ව. 1909 දී ගිය පුරාවිද්‍යාඥ හෙන්රි පාකර් මහතා එහි නටබුන් පරීක්‍ෂා කර වාර්තාවක් සපයා ඇත. ක්‍රි. ව. 1922 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද මෙම විහාරය හා අවට නිරීක්‍ෂණය කොට වාර්තා ඉදිරිපත් කර ඇත. මෙම තොරතුරු කණ වැකුණු ගාල්ලේ යටගල රජමහා විහාරාධිපති, පූජ්‍ය, කවි කුල තිලක කලහේ ශ්‍රී රතනජෝති හිමිපාණන් වහන්සේ දායක මහත්මයකු සමග එහි ගොස් කටු අකුල් අස්සෙන් රිංගා එතෙක් මහ වනයෙන් වැසී තිබුණු පුදබිම මහත් අපහසුවෙන් සොයාගෙන එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ අනුමැතිය ලබාගෙන එළි පෙහෙළි කරවා සංවර්ධන කටයුතු ආරම්භ කළ හ. උන්වහන්සේ 1918 වසරේ දී යටගල ප්‍රදේශයේ දායක මහතුන් කිහිප පළක් සමග එහි ගොස් භික්‍ෂුවකට වාසය කිරිමට සුදුසු තත්ත්වයකට පත් කළ ද ආහාරපාන ලබාගැනීම පිළිබඳ ගැටලුව මහත් සේ මතු විය. ක්ලිෆඩ් ආණ්ඩුකාරයාගේ අවසරය මත එම ස්ථානය තවදුරටත් හෙළිපෙහෙළි කළ කළහේ ගුණරතන මාහිමිපාණන් වහන්සේ මෙහි සංවර්ධන කටයුතු කිරීම සඳහා තම පැවිදි සහෝදර මෙන්ම ශිෂ්‍යයකු ද වන ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන හිමියන්ට මෙහි භාරකාරීත්වය පැවරූ හ.
යෑමට ඒමට තිබුණ අඩිපාර වෙනුවට මං මාවත් ඉදිකරවා විහාරයට ගමනාගමන පහසුකම් සලස්වා දීමට ජිනරතන මාහිමියන්ට හැකි විය. ඉන් පසු යටගල රාජමහා විහාරාධිපති ධූරයට පත් වත්තහේන් රතනසාර නාහිමියෝ සිතුල්පව්ව විහාරාධිපති ලෙස රාජකීය පණ්ඩිත වත්තේහේනේ ශ්‍රී පියරතන නාහිමියන්ට පැවරූ හ. වන්දනාකරුවන්ට විශ්‍රාමශාලා පහසුකම් ආදිය සැලසීම, ගරා වැටුණු තැන් පිළිසකර කිරීම, උන්වහන්සේගේ මඟපෙන්වීම අනුව සිදු විය. අනතුරුව විහාරාධිකාරී ධූරය හිමි වූයේ ශාස්ත්‍රපති, උණවටුනේ රතනජෝති හිමියන්ට ය. උන්වහන්සේ කුඩා සිතුල්පව්වේ ස්ථූපය ගොඩ නැංවීමටත්, පොසොන් උත්සවය උත්කර්ෂවත් ව පැවැත්වීමටත් කටයුතු කළ හ. රතනජෝති හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් අග්ගමහා පණ්ඩිත, අෂ්ට මහාවිහාරාධිපති, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක, මහෝපාධ්‍යාය, ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක මාහිමිපාණන් වහන්සේ මෑතක දී අපවත් වන තුරු ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති ව ප්‍රතිසංස්කරණ හා ගොඩනැඟිලි ඉදිකිරීම් රාශියක් සිදු කළ හ.
මෙවර පොසොන් පූජෝත්සවය වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති තල්පේ අරියජෝති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කිරීමට දායක සභාව කටයුතු යොදා ඇත.
(ඡායාරූපය – යූ. කේ. අබේරත්න)