කසිණ භාවනාව මනෝ ප්‍රතිකාරයක් ලෙස

cmadurawala
6 Min Read

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන

බුදුදහමේ භාවනාවට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. භාවනා වර්ග දෙකකි. එනම් සමථ භාවනා සහ විදර්ශනා භාවනාවයි. කසිණ භාවනාව අයත් වන්නේ සමථ භාවනා ගොනුවටය. කසිණ භාවනාවෙහි ප්‍රභේද දහයකි. එනම්,

1) පඨවි කසිණය – පොළොව අරමුණු කර බවුන් වැඩීම

2) ආපෝ කසිණය – ජලය අරමුණු කර බවුන් වැඩීම

3) තේජෝ කසිණය – ගින්දර අරමුණු කර බවුන් වැඩීම

4) වායෝ කසිණය – වාතය අරමුණු කර බවුන් වැඩිම

5) නීල කසිණය – නිල් පැහැය අරමුණු කිරීම

6) පීත කසිණය – කහ පැහැය අරමුණු කිරීම

7) ලෝහිත කසිණය – රතු පැහැය අරමුණු කිරීම

8) ඕදාත කසිණය – සුදු පැහැය අරමුණු කිරීම

9) ආලෝක කසිණය – ආලෝකය අරමුණු කිරීම

10) ආකාශ කසිණය – ආකාශය අරමුණු කිරීම

යනුවෙනුයි.

මෙම කසිණ භාවනාව වැඩිමේදී ඇති විශේෂත්වය නම් භාවනා අරමුණ මෙවලමක් ඇසුරෙන් ගැනීමයි. මෙය කසිණ මණ්ඩල යනුවෙන් හඳුන්වයි. යෝගියා ඉදිරිපිට මෙම කසිණ මණ්ඩලය තබාගෙන එය දෙස බලාගෙන කසිණයේ නම සජ්ඣායනා කරමින් එම අරමුණේ සිත පිහිටුවීමයි. මෙම කසිණ මණ්ඩලය ස්ථාවරව හෝ එහා මෙහා ගෙන යා හැකි ජංගම එකක් ලෙස ද සාදා ගත හැකිය. එක් එක් කසිණය සඳහා නිශ්චිත වූ කසිණ මණ්ඩලයක් ඇත.

යෝගියාට රුචිකර වූ කසිණයක් තෝරා ගනිමින් එයට අදාළ කසිණ මණ්ඩලය සකස් කරගෙන කසිණ භාවනාව වැඩීමට හැකිය. බාහිර කරදරවලින් බැහැර වී බෞද්ධයකු නම් තෙරුවන් වන්දනා කොට සිත ශීලයෙහි පිහිටුවා භාවනාව ආරම්භ කළ යුතු වේ. භාවනාවේදී කසිණ මණ්ඩලය සාදා ඇති ද්‍රව්‍යයන් අරමුණු නොකර කසිණය අරමුණු කළ යුතුය. යෝගියා වඩන්නේ නීල කසිණය නම් කසිණ මණ්ඩලය සාදා ඇති රෙදි කැබැල්ල හෝ ඒ වටා ඇති දේවල් හෝ බඳුනේ ඇති මල් හෝ රේණු නටු හෝ නොව නිල් පැහැය අරමුණු කරමින් “නීල නීල” යනුවෙන් සජ්ඣායනා කරමින් කසිණයේ නිල් පැහැයම අරමුණු කළ යුතු වෙයි.

“සමසතළිස් කර්මස්ථාන භාවනා” කෘතියේ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියෝ භාවනාවට සූදානම් විය යුතු ආකාරය සහ භාවනාව වැඩිය යුතු ආකාරය මෙසේ පහදා දෙති.

“අන් අයට නොපෙනෙන පහසු තැනක නැඟෙනහිරට හෝ උතුරට හෝ මුහුණලා වාඩිවන සේ එක්වියත් සතරඟුල් පා ඇති සැප ආසනයක් පනවාගත යුතුය. වැඩිය උස් වූ ආසනයක වාඩිවීමෙන් ග්‍රීවය නවා කසිණය බැලිය යුතුවෙයි. අඩියකට වඩා අස්නෙහි වාඩිවීමෙන් දණ දෙක රිදීමට පත් වෙයි. එනිසා අඩියක් පමණ උස ආසනයක වාඩිවීම සුදුසුය. දෙරියන් හමාරක ප්‍රමාණය ඇතුළත කසිණ මණ්ඩලය බිම ඇතිරිල්ලක් මත සමතලාව තබාගත යුතුය. ආසනයේ ඉදිරිපස කෙළවරේ සිට කසිණ මණ්ඩලයේ අග කෙළවර තෙක් ප්‍රමාණය අඩි තුනකුත් අඟල් නවයක් ඈත් වන සේ තබාගත යුතුය. එයට වඩා ඈත් වීමෙන් කසිණ මණ්ඩලය නොපැහැදිලි වේ. ඉතා ආසන්න වීමෙන් කසිණ දොස් පෙනේ. සිල් පිරිසිදු කරගත යුතුය.”

“එසේම අභ්‍යන්තර බාහිර පවිත්‍රතාව සපුරා සිල් පිරිසිදුකොට භාවනාවට අවශ්‍ය උපචාර විධි සියල්ල සම්පූර්ණ කරගත යුතු වේ. මල් පහන් සුවඳ ආදියෙන් තෙරුවන් වැඳ පුදා පූර්ව කාත්‍යය සම්පාදනය කොට කාමයන්හි ආදීනවයන් නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසත් නුවණින් මෙනෙහි කළ යුතුය. බුද්ධාදි රත්නත්‍රයේ ගුණ ආවර්ජනා කොට ප්‍රීති සෝමනස්සය උපදවා, මේ උත්තම භාවනා ප්‍රතිපත්තිය වනාහි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ, ආර්යයන් වහන්සේලාගේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව යැයි ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරවය උපදවා, ඒකාන්තයෙන් මේ භාවනා ප්‍රතිපදාවෙන් ධ්‍යාන, මාර්ගඵල, නිර්වාණ සම්පත්තිය ලබන්නේ වෙමියි අධිෂ්ඨාන පිහිටුවා ගත යුතුය.”

“ඇස අධිකව දල්වා නොබැලිය යුතුය. ඉන් ඇස වෙහෙසට පැමිණේ. කසිණ මණ්ඩලය ද පමණට වඩා වෙනස්ව පෙනේ. එය උද්ග්‍රහ නිමිත්ත පහළ කරගැනීමට බාධාවකි. ඇස බාගෙට පියාගෙන ද නොබැලිය යුතුය. අඩ ඇසින් බැලීමේදී කසිණ මණ්ඩලය මනාව නොපෙනේ. සිත ද නින්දට බරවේ. කැඩපතකින් මුහුණ බලන්නා සේ සම ආකාරයෙන් ඇස ඇර කසිණ මණ්ඩලය බැලිය යුතුවේ. කසිණ මණ්ඩලයේ තමන් දෙසට ඇති කෙළවරේ සිට දකුණෙන් දකුණට සිත යවමින් බලා මණ්ඩල හරි මැද ඇසින් බලා සිත පිහිටුවා ගත යුතුය. ඇස ඇර බලමින් වචනින් සජ්ඣායනා කළ යුතුය. ඇස පියා සිතින් මෙනෙහි කළ යුතුය. සජ්ඣායනා කිරීමේදී ඉක්මන් නොවී පමා නොවී ශබ්ද නොනඟා තමන්ට පමණක් ඇසෙන සේ සජ්ඣායනා කළ යුතුය. කසිණ මණ්ඩලයේ වර්ණය ගැන නොසිතිය යුතුය. කසිණ දෝස ගැන නොබැලිය යුතුය. අරුණුවන් පාටින් යුක්ත පඨවි කසිණ මණ්ඩලයෙහි පඨවි යන සංඥාව පිහිටුවා එම පඨවි යන ප්‍රඥප්තිය අරමුණු කොට පඨවි- පඨවි – පඨවි කියා හෝ පඨවි කසිණය – පඨවි කසිණය කියා හේ සජ්ඣායනා ද මනසිකාරය ද කළ යුතුය.”

මනෝ උපදේශනයේදී ප්‍රතිකාරයක් ලෙස කසිණ භාවනාව යොදා ගැනීම

මනෝ උපදේශනයේදී ප්‍රතිකාරයක් ලෙස කසිණ භාවනාව යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. එනම්,

  • සේවාලාභියාගේ ගැටලුවේ ස්වභාවය
  • සේවාලාභියාගේ මානසික සහ චිත්තවේගික ස්වභාවය
  • එම මානසික සහ චිත්තවේගික ස්වභාවයේ තීව්‍රතාවය
  • යම් යම් භීතිකා තත්ත්ව ඇති සේවාලාභීන්ට මෙමගින් බලපෑමක් ඇතිවේද යන්න
  • භාවනාවට බාධා පමුණුවන කායික ගැටලු ඇත්ද යනවග

ඉහත කරුණු පිළිබඳව උපදේශකයා විසින් මනා ලෙස සැලකිලිමත් වීම වැදගත්ය.

නිදසුන් ලෙස,

1) අධ්‍යාපනය ලබන සිසුවකුට ඉතා යෝග්‍ය කසිණය වන නීල කසිණය වැඩීම ලබා දිය හැකිය. එහෙත් එම සිසුවා නිල්පැහැය සම්බන්ධව හෝ කසිණ මණ්ඩලය සාදා ගැනීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳව භීතිකා තත්ත්වයක් ඇත්තකු නම් නීල කසිණය ලබාදීම ප්‍රයෝජන රහිතය.

2) සෑම ගැටලුවකටම භාවනා ප්‍රතිකාරයක් ලෙස ලබාදිය නොහැකිය. සයිකෝසීය වර්ගයේ මානසික රෝග ඇත්තවුන් සඳහා භාවනා ප්‍රතිකාර වශයෙන් ලබාදීම අසීරුය. සමහර රෝගීන්ගේ රෝගය සියලුම දේ සැක කිරීම බැවින් එවන් රෝගියකු හට භාවනාව නිෂ්ඵල වීමට ඉඩ ඇත.

ඉහත නිදසුන්වලට අනුව සේවාලාභියාගේ ගැටලුවට අදාළව සායනික ප්‍රතිකාර ලැබීම අනිවාර්ය වේ නම් ඖෂධ ප්‍රතිකාර ලබාදී රෝගයේ තීව්‍රතාවය අඩුකර, ගැටලුව විසඳා දීමට හැකි පාර්ශ්ව විසඳා ගැනීමට උපදෙස් ලබාදීමෙන් අනතුරුව භාවනාවට යොමු කිරීම ප්‍රතිඵලදායක වේ.

කසිණ භාවනා සුදුසු සේවාලාභීන්

කසිණ භාවනාව වඩාත් උචිත සේවාලාභීන් වන්නේ ප්‍රතිකාර ලැබිය යුතු සේවාලාභීන්ට වඩා ගැටලුවට පමණක් මුහුණ දී පීඩා විඳින සේවාලාභීන්ය. ප්‍රතිකාර මගින් භාවනාවට සුදුසු මට්ටමකට සුවය ලැබූ රෝගීන් ද භාවනාවට යොමු කළ හැකිය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *