තණ්හාව රිදුමකි

cmadurawala
8 Min Read

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව
ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද

උඩුදුම්බර කාශ්‍යප හිමි

විසින් පවත්වන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සකස් කළ ලිපි මාලාවක තුන්වැනි කොටස.
එම අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.

මෙතෙක් සාරාංශය

යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ…” සත්පුරුෂ මහා ආර්යෝත්තමයාණන් වහන්සේ නමක වූ අස්සජි මහා රහතන් වහන්සේ විසින් වදාරන ලද මෙම ගාථා රත්නයේ පළමු පද දෙක පමණක් ශ්‍රවණය කිරීමෙන් උපතිස්ස පිරිවැජි තෙමේ සෝවාන් ආර්යශ්‍රාවකයෙකු බවට පත් වීමට එම ගාථා පද දෙකක අරුත පමණක් කෙසේ ප්‍රමාණවත් වූයේ ද? යන්න පැහැදිලි කරමින් ආර්යෝත්තමයාණන් වහන්සේගේ දේශනාව ප්‍රඥාවෙන් විමසීම තුළ පිරිවැජි තෙමේ සාක්ෂාත් කරගනු ලබන්නේ හේතුඵල දහම බවත්, සියල්ල ම හේතු ඇති ව සැකසෙන හෙයින් අපේ සිත් තුළ හටගන්නා දුක උපදින්නේ ද හේතුවක් ඇති ව ම බවත්, එසේ නම් ඒ හේතූන් නිසා හටගන්නා දුක් එම හේතූන් නැති වුව හොත් නැවත ඇති වන්නට පිළිවන්කමක් නොමැති බවත් ඔබ වටහාගෙන ඇත.

එසේ නම් අපේ සිත් තුළ ඇති වන්නා වූ දුකට හේතුව සොයන්නේ කෙසේ ද? සෝක බිය දුක ඇති වන්නට එක ම හේතුව ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නා වූ තණ්හාව බවත් දුක සහ තණ්හාව අතර ඇති අවස්ථා සම්බන්ධය පිළිබඳව සහ සබ්බාසව සූත්‍රය ඇසුරින් සෝවාන් ඵලස්ථ පුද්ගලයකු බවට පත් වීමට අවශ්‍ය කෙරෙන මනසිකාරය වූ මෙම අවස්ථා සම්බන්ධය පිළිබඳව දීර්ඝ ව කරුණු පැහැදිලි කරන ලදි. ‘ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි’ යන්න විමසීමේ දී ඔහු මෙනෙහි කරනුයේ දුක සහ දුකට හේතුවත්; දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයත් යන කාරණාවන් පිළිබඳව ය. සැම දුකකට ම මුල් වන ආදරය හෝ සිත්ගත් දෑ තුළ සැඟවී ඇති තණ්හාව නැමැති කටුව පිළිබඳ වත් ඉකුත් පොහෝ දින කලාපයන්හි විස්තර කරන ලදි.

කටුවක් ඇනී වේදනා විඳින්නේ කටුව ඇතුළත තිබෙන නිසා ය යන බව නො දන්නේ නම් කටුව ගැලවීමට අප කෙදිනක වත් අපේ පැත්තෙන් උනන්දුවක් උත්සාහයක් ගනී වි ද?

ශ්‍රද්ධාවන්ත පිංවතුනි, අප මෙතෙක් සබ්බාසව සූත්‍රය මූලික කරගනිමින් සාකච්ඡා කරමින් සිටියේ ආර්ය ශ්‍රාවකයෙක් වීමට පුරුදු කළ යුතු මනසිකාරය පිළිබඳවයි. දුක සහ දුකට හේතුවත් දුක නැති කිරීමත් නැති කිරීමේ මාර්ගයත් යන මෙම උතුම් ආර්ය සත්‍යය අපි අපගේ ජීවිත සංසිද්ධීන් තුළින් ම අවබෝධ කරගත යුතු ය යන්න දැනටමත් වටහාගෙන ඇත්තෙමු.

දුකක් සිතට පැමිණෙන විට ම ඊට හේතුව තණ්හාව බව හැඟෙන සංඥාව නැතිනම් හඳුනාගැනීම තමන් තුළින් නො දකින්නේ නම් මුල දී සඳහන් කළ තණ්හාව නමැති කටුව ගැලවීමේ වැඩපිළිවෙළක් අප තුළින් කෙදිනක වත් ඉස්මතු නො වේ. කටුවක් ඇනී වේදනා විඳින්නේ කටුව ඇතුළත තිබෙන නිසා ය යන බව නො දන්නේ නම් කටුව ගැලවීමට අප කෙදිනක වත් අපේ පැත්තෙන් උනන්දුවක් උත්සාහයක් ගනී වි ද? නිවැරැදි ම හේතුව තණ්හාව බව නො දැනීම තුළ වෙන යම් හේතූන් උපකල්පනය කරගනිමින් අපි මුළාවට පත් වනවා.

ඒනිසා අපි සැම විටෙක ම අවබෝධයෙන් සිටිය යුතුයි මේ කියනා තණ්හාවයි දුක් උපදින්නට හේතු වුණේ, තණ්හාව නිසා තමයි දුක් ඇති වෙන්නේ කියලා. අපි අපේ ජීවිතයේ සිද්ධ වෙන මුහුණ දෙන හැම දුකක දී ම ඒ දුකට තණ්හාව යෙදී ඇත්තේ කෙසේ දැ යි හඳුනාගත යුතු වෙනවා.

බොහෝ වේලාවට අපි එය වටහා ගන්නේ වැරදි ලෙසයි. මේ නිදසුන නිවැරැදි ව ඔබේ මනසට ගන්න. ළමයින් දකින්න නො ලැබීම නිසා දුකයි නම්, අන් අයගේ දෝෂාරෝපණ නින්දා අපහාස හෝ නපුරු වචන ක්‍රියා නිසා දුක් උපදියි නම් ඒ තුළ තිබෙන තණ්හාව මෙසේ ගළපාගත යුතුයි. දරුවන් කෙරෙහි ඇති ඇල්ම වුවමනාව දක්නට නො ලැබීම නිසා ඇති වන දුක ඇතුළත තිබෙන්නේ තණ්හාව බවත්, නපුරු ක්‍රියාවන් නිසා ඇති වන්නේ දුකක් නම් නපුරු නො වන ක්‍රියා ගැන ඇති තණ්හාව ඒ තුළ ඇති බවත් වශයෙන්. අන් අයගේ ප්‍රිය වචනයන් කෙරෙහි ඇති ඇල්ම වුවමනාව ඇතුළත තිබෙන්නේත් තණ්හාව බව අපට නො වැටහෙයි.

පින්වත්නි මෙතෙක් කථා කළ මේ තණ්හාව අපි තවදුරටත් විමසා බැලිය යුතු වෙනවා. මේ කියනා තණ්හාවේ ස්වභාවය කුමක් ද යන්න අපි හරියට ම නිවැරැදි ව ම හඳුනාගත යුතුයි. මුලින් සඳහන් කළ පරිදි අපි අවබෝධයෙන් ම එය වටහාගත යුතුයි. අපිට දැනෙන්නට ඕන පින්වත්නි මෙම තණ්හාව තමයි මුළා කරමින් අපව රැගෙන යන්නා බව.

මඳක් ඔබ දෙස ම විමසීමෙන් බලන්න. ආහාරයක් දැක ඒ ආහාරය නිසා ඔබට යම් නොසන්සුන්කමක් හෝ දුකක්, පීඩනයක්, ඔබව ඊට ඇදී යන ගතියක්, ඒ ආහාරය කෙරෙහි යම් ගිජු බවක් ආදි එවැනි යම් ආකාරයක ලක්ෂණයක් ඔබට පෙන්නුම් කරනවා ය යි සිතන්න. ඔබට පෙනෙන්න දැනෙන්න තිබෙනවා නම් එවැනි කුමන හෝ හැඟීමක් ලක්ෂණයක්, ඒ වෙලාවේ දී ඔබ තේරුම්ගත යුතු වෙනවා මෙම හැඟීම. මගේ හිත එය අවශ්‍යමයි කියා මගෙන් ඉල්ලන්න පටන් ගන්නවා, බල කරනවා, රිදවනවා රිදවමින් ඉල්ලනවා, දැඩි බලපෑම් කරමින් ඉල්ලනවා, බොහෝ අපහසුකම් ඇති වන ස්වභාවයක් පෙන්වනවා නම් පින්වත්නි අන්න ඒ මොහොත අපි අනිවාර්යයෙන් ම තේරුම්ගතයුතු වෙනවා මෙය තමයි තණ්හාව බවට.

ආහාරයක් ම පමණක් නො ව යම්කිසි සිත් ගත් රූපයක් දකින්නට නො ලැබුණේ නම්, යම් මිහිරි හඬක් අසන්නට නැත්නම්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ පහසක් ඔබට නො ලැබී යන විටෙක රිදෙයි නම්, එය නැති ව යන වේලාවේ ඔබ දැවෙනවා වගේ නම්, පිච්චෙනවා වගේ නම්, රත් වෙනවා වගේ නම්, අපහසුකම් ඇති වෙනවා නම් පින්වත්නි ඒ මොහොතේ ම අපි අනිවාර්යයෙන් ම තේරුම්ගත යුතුයි මෙය තමයි තණ්හාව බව. හඳුනාගත යුතුයි මේ තියෙන්නේ තණ්හාව බව.

තවත් නිදසුනකින් සරල ව ම පැහැදිලි කරන්නම්. තණ්හාව කුමන ආකාරයෙන් පවතින්නේ ද කියා ඔබ දන්නව ද? තත්‍ර තත්‍රාභි නන්දිනි… තැන් තැන්වල තැන් තැන්වල මේ හිත නිකන් පැන පැන සතුටු වෙන ගතියක් තිබෙනවා. ඒ සතුටු වෙන්නෙ පැන පැන සතුට සොයන්නේ තණ්හාව නිසා. මොහොතක් වත් එක තැනක ඉන්නට නො දෙන බව පින්වන්ත ඔබට තේරිලා ඇති. මේක හොඳට හිතුවොත් තේරෙනවා. මම බොහෝ විට ඔබට පෙන්වා දෙන මෙම තිරිසන්ගත සත්තුන්ගේ හැසිරීම් ඇසුරින්. ඔබ දැක ඇති තිරිසන්ගත සතුන්, බල්ලන් වැනි සත්තු සමහර වෙලාවට ගොඩාක් බඩගිනි වුණාම පාරේ දෙකට නැමී යන විදිය. බිම බලාගෙන බිම ඉව කර කර යනවා. කුමන හෝ යමක් හම්බ වේ ය යි සිතමින් වේගෙන් වේගයෙන් යනවා. හොයනවා. ඉව කරමින් වේගයෙන් සොයමින් යනවා. ඒ වගේ තමයි පින්වත්නි අපේ හිත, අපේ හිත කොහෙද කින්ද මන්ද කවුද හොඳ තැනක් ද නරක තැනක් ද ඒ මොක වත් පිළිබඳව තැකීමක් නැහැ. එයාට ඇති වැඩක් නැහැ. වැඩේ මොකක් ද? හිතට දුක් නැති වෙලා සතුට ඇති කරගන්න එක. එයා හරියට ම අර තිරිසන් සතා ආහාරයක් සොයා යනවා වාගෙයි.

මේ සිතත් හැම වෙලේ ම ආහාරයක් සොයනවා. එයාගේ ආහාරය තමයි පින්වත්නි සතුට. හිත කියන්නේ හරියට තිරිසන්ගත සත්ත්වයෙක් වගේ. ඇලෙන්නට සතුට සොයායන ගතිය තමා තණ්හාව. ඒ තණ්හාව නිසයි ඒ සතුට ඇති වෙන්නේ, ඇලෙන්නේ ඒ වස්තූන් කෙරෙහි තණ්හාව ඇති නිසයි. ඒ ඒ වස්තූන් දැක්කහම, අහපුවහම, වින්දනය කරපුවහම ඇසින්, නාසයෙන්, ශරීරයෙන් මනසට ආදරේ වගේ දේවල් ලැබුණහම ඔන්න හිත සතුටු වෙනවා. මේ සතුටු වෙන්නේ තණ්හාව නිසා බව තේරුම්ගන්න ඕනේ. දැන් බලන්න පින්වත්නි මේ සතුටු වෙන්න සතුට සොයායන හිතේ තිබෙන ගතිය දෙස. අපි ඉදිරියේ දී එය පටිච්චසමුප්පන්න ව විමසා බලමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *