මහාකණ්හ ජාතකය

rashi
By rashi
8 Min Read

සුගත් වීරසූරිය

නුවන් යුග පැහැර ගත් යමුනා ගං තලාවෙහි පැතිර තිබුණේ නොහිම් වූ සීතලයකි. හමා ආ මඳ පවනට මුසු ව ආ එහි සිහිල කා තුළත් ඇති කළේ අලස බව හා බැඳුණු දැඩි උදාසීන බවක ස්වරූපයක් ය. තවමත් ඒ තරම් දහවලක් පැමිණී නො තිබිණ. ඈත අහසේ ඉර තිබුණේ මෝදු වන ස්වරයකින් ය. අහස් ගව්වෙහි වූ සුදෝ සුදු වලා කැටි අතරින් එබී බැලූ එය උදැහැනැක්කේ වූ හීතලය තව නොබෝ වේලාවකින් ම දිය කර හරිනවාට නම් කිසි ම සැකයක් නැත. එතෙක් ඒ ඉර මඬල සැවැත් නුවර ජේතවනාරාමය දෙස බලා හිටියේ තෙරුවන කෙරෙහි වූ ස්වකීය වන්දනාව මේ වන තුරුත් නිම නො වූවාක් මෙන් ය. අසුන් මත බුදු රදුන් වෙනුවෙන් අරුණැල්ලේ ම තබා ලූ දහසක් මල් දසතෙහි ම නෙක නෙක සුවඳ විහිදුවමින් හුන්නේ ය. භික්ෂූන් වහන්සේලා එක් තැනෙක කිසියම් කතාවක නිරත වී සිටියෝ ය.

“ඇවැත්නි, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ කොයි තරම් නම් කරුණාවන්ත ද?උන්වහන්සේගේ මහා කරුණාව මේ මහා අහසටත් වැඩියි. මේ මහා පොළොව හා තෙරක් නො පෙනෙන සප්ත මහා සාගරයටත් වැඩියි. ඒ අනුකම්පාවත්, කරුණා සිතැඟි දහරත් එක් එක් අය කෙරෙහි ඒ ඒ ආකාර වූයේ නෑ. මහා සතුරුකම් කළ කෙනාටත් මහා මිතුරුකම් කළ කෙනාටත් බුදු කරුණා දහර එක ම පිළිසරණක් වුණා.” මෙඅයුරු කතා කළ භික්ෂූන් වහන්සේලාගේ දෑස් කඳුළින් ද බොඳ ව ගියේ ය. හුදෙක් ම ඒ දුක්බර බවක් නිසා නො වේ. සැබැවින් ම එය අසීමිත සැදැහැවත් බව නිසා ම උන්වහන්සේලාගේ දෙඇස් යුග උපන් කඳුළක් වී ය.

“පින්වත් මහණෙනි, මා මෙහි එන්න කලින් ඔබ වහන්සේලා කතා කරමින් සිටියේ කුමක් ගැන ද? එතැනට වැඩමවා ලූ බුදුරජාණන්වහන්සේ විමසූ හ.

“භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස, මේ මහ අහස හා පොළොව මෙන්ම මුහුදටත් වඩා වැඩි ඔබ වහන්සේගේ කරුණා ගුණය ම සිහි කළා” යි භික්ෂූහු පිළිතුරු දුන් හ. “ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ ආලෝක යක්ෂයාට පිහිට වෙන්න යොදුන් ගණනින් වැඩම කළා. අංගුලිමාල, සුනීත හා සෝපාක වෙත සරණ වෙන්නත් එලෙසින් ම පා ගමනින් ම වැඩම කළා. දැන් නො ව පෙරත් උතුම් සත් පුරුෂයෝ මෙලෙසින් ම අකුසල් පුරා අපාගත වෙන්න ගිය අය එයින් මුදවා ගත්තා” යි බුදුරජාණන්වහන්සේ සදෙසා වදාළ සේක.

“අනන්තයටත් වඩා දුර මහ බුදු ගුණ මුහුද විහිද පැතිරවූ හිමියනි, අපි තවමත් සංසාරය තුළ ම ගිලී සිටිමු. එහෙයින් අපට ඒ තොරතුරු නො පෙනේත නො දැනේත නො වැටහේ. එනිසා ඒ අතීත කතාව අපට ද දේශනා කළ මැනවි” යි භික්ෂූහු ආයාචනා කළ හ. එයින් ඉක්බිති ඒ දුරාතීත කතාව භික්ෂූන් අතර මෙඅයුරින් ගලා ගියේ ය.

එය ඈත අතීතයේ එක් කලෙක් වී ය. බරණැස් නුවර හැම තැන ම සොම්නස පිරී පැවතිණ. එහි උසී රථ නුවර රාජ්‍යයට පත් වී හුන් මහ රජතුමා රටත්, ජනතාවත් ගැන නිරන්තරයෙන් ම සොයා බැලු‍වේ ය. රජතුමා පමණක් නො ව රට වැසියන් ද කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ දහම කෙරෙහි බොහෝ සෙයින් ම පැහැදී සිටිය හ. පන්සලේ හැම තැනක් ම උවසු උවැසියන් ගෙන් පිරී ගියේ ය. පන් සිල් රැකිණි. පොහොයට ද පෙහෙවස් සමාදන් විණි. භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ මුවගින් ගිලිහුණු දහම් වැකි මිහිරි වී. එහෙත් ගලා ගිය කාලය කොයි තරම් දේ වෙනස් කළේ ද? වේගයෙන් දහම අදහම වී ය. බොදු සිව් පිරිවර ම දහම අතැර දා අදහම වැළඳ ගනිද්දී කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනය ද උසී රථ නුවරින් පමණක් නො ව බරණැස් රාජ්‍යයෙන් ම ද අතුරුදන් වුණේ ය. මුලින් පාළු අම්බලම් බවට පත් වූ හැම පන්සලක් ම ගරා වැටුණේ ය. එය එසේ වෙද්දී මිනිසුන් තුළ වූ මිනිසත්කම් ද ඔවුන් අතැර යන්නට ගියේ යළිත් කවර ම දාක වත් නො එන්නට ම ය. මේත් සමග ම එතෙක් කුසල් පුරවරයක් ව පැවැති බරණැස් නුවර සියලු ‍ම අකුසල් පුරවරයේ නිජ බිම ම බවට පත් විය. හැම නිරයන් වෙත ම තිබුණු හැම දොරටුවක් ම ඇරිණ. ජීවිතය ගෙවී මිය ඇදුණු හැම කෙනෙක් ම නිදා පිබිදියාක් මෙන් ගොස් යළිත් අවදි වූයේ කොයියම් හෝ අපායක ය. දෙව් ලොවකට කිසිවෙකුත් ගියේ ම නැති තරම් ය. සක් දෙවි තෙම බරණැස් නුවර දෙස බැළුවේ ය. එය අදහමින් ගිනි ගෙන තිබෙනු හෙතෙම දුටුවේ ය. එය වහා නැවැත්විය යුතු ය. නැත්නම් ඒ රාජ්‍යය ම තවත් නොබෝ කාලයකින් ම නැති වී යනු ඇත. සක් දෙවිඳු මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කළේ ය. සක් දෙව් රජ අණින් මාතලී ගත්තේ දරුණු බල්ලෙකුගේ වේශයකි. ඌ දෙස බැලීමෙන් පවා කෙනකු තුළ ඇති වූයේ මහ බයක හැඟු‍මක් ය. සුවිසල් අසකු තරම් ලොකු වූ මේ දරුණු බල්ලාගේ කට දෙපසින් එළියට ඇදුණු දෙදළ ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් මෙන් පෙනුණේ ය. බල්ලාගේ ඝන කළු‍ පැහැය ඌ හැබෑ ම අද්භූත යකෙකු බවට පෙරළා තිබුණේ ය. වැද්දෙකුගේ වෙසක් ගත් සක් දෙවි තෙම මේ බල්ලා ද සමග සැණෙකින් බරණැස් රාජ්‍යයට ආවේ ය. බල්ලාගේ බිරුම් හඬින් මුළු නුවර ම තිගැස්සී ගියේ ය. බලු‍ බිරුම, තවත් නිමේෂයන් කිහිපයක දී නුවර නසන බව සපථ කළේ ය. නුවරු මහත් සේ භය වූ හ. වහා එය රජුට දැන්වූ හ. ඇතුළු නුවර සියලු‍ ම වාසල් දොරටු වසා දමන්නැ යි රජු රාජ පුරුෂයන්ට නියෝග කළේ ය. එහෙත් බල්ලාටත්, වැද්දාටත් එය බාධකයක් නො වී ය. දොරටු වසා මොහොතක් ගත ව යද්දී ඔවුන් දෙදෙනා ම ඇතුළු නුවරට ද පැමිණ සිටිය හ. හිටි අඩියේම මාළිගයට ගිය බල්ලා රජු වෙත කඩා පැන නිමක් නැති ව ම බිරුවේ ය.

“වැද්ද? නුඹ කවරෙක් ද? මේ බියකරු බල්ලා නො නැවතී බුරන්නේ කුමක් නිසා ද? බයට පත් රජු ඇසුවේ ය. “රජතුමනි, ඌ බඩ සයින් බොහෝ පීඩිතව බුරන්නේ ය” යි වැද්දා කී ය. බල්ලාට ඒ අනුව බොහෝ බත් සැපයිණ. එහෙත් නිවුණේ බඩගින්න නම් නො වේ. අන්තිමේ දී මුළු රටේ ම බත් ද ගෙනැවිත් දුනි. සියල්ල ම කා දැමූ බල්ලා පෙරටත් වඩා මහ හයියෙන් බිරුවේ ය.

“වැද්ද, මේ නම් බල්ලෙක් නො වෙයි. මොහුගේ බඩ සාය නිවෙන්න තවත් දිය යුත්තේ මොනවා ද? මට නම් තේරුම් ගන්න බැහැ” රජතුමා කීවේ ය. “රජතුමනි, මේ බල්ලාගේ බඩගින්න නිවෙන්නේ මේ රටේ සියලු‍ ම දුසිල්වත් හා අදැහැමි මිනිසුන් කා ඉවර කිරීමෙන් පමණයි. බොරුකාර මහණුන්, සොරුන්, මවුපියන් නො සලකා හරින්නන්, වංචනිකයන් මුසා බස් කියන්නන්, අනුන් රවටන්නන් ආදි ලෙසින් වැද්දා රාජ්‍යයේ එතෙක් හුන් අදමිටුවන් රාශියක් ම හෙළි කරගෙන ගියේ ය. වහා ම මේ අදමිටුවන් දැහැමි බවට පත් නො කළ හොත් ඔබ ඇතුළු ඒ හැමෙකෙක් ම මේ බල්ලා ලවා කවා මරවමි” වැදි තෙම ගුගුළේ ය. “වැද්ද, නුඹ සැක ඇති කරගන්න එපා. මම එය වහා කරන්නම්.” බරණැස් රජු වැද්දාට පොරොන්දු වුණේ ය. එයින් පසු එතෙක් වූ වැදි වෙස අතැර දැමූ සක් දෙවි තෙම සැබෑ දෙව් වෙසින් රජු ඉදිරියෙහි පෙනී සිටියේ ය. රජුටත්, රට වාසීන්ටත් බොහෝ අනුශාසනා කොට යළිත් දෙව් ලොවට ම ගියේ ය. එයින් පසු බරණැස් නුවර බොහෝ දැහැමි දේශයක් වී ය. “මහණෙනි, එදා ඒ රට අදහමින් බේරා ගත් ශක්‍ර දේවයෝ නම් අද ලොවුතුරා බුදු බවට පත් වී වදාළ මම් ම යැ යි වදාළ බුදුරජාණන්වහන්සේ මේ මහාකණ්හ ජාතක දේශනාව නිමවා ලූ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *