රංජිත් වික්‍රමසිංහ
දිනකට එක් වරක් වාසනාව ඔබේ දොරට තට්ටු කරනු ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ වාසනාව ඔබේ දොරට තට්ටු කරන වේලාවට ඔබ සිටින්නේ තද නින්දෙනි. නිසි වේලාවට ඔබ දොර නොඇරියහොත් වාසනාව ආපසු හැරී යනු ඇත.
වාසනාව යනු කුමක්ද යන්න ගැන විග්‍රහ කර බැලීම වටී. දුප්පතුන් බොහෝදෙනකුට වාසනාව යනු ලොතරැයි දිනුමකි. තවත් දුප්පතුන් කොටසකට අශ්ව රේස් ඔට්ටුවක් දිනීමකි. ලොතරැයි දහසක් මිලදී ගත් පසුව ලැබෙන එක රුපියිල් පන්සියයේ දිනුම ගැන ඔවුහු පුරසාරම් දොඩවති. දිනපතාම අශ්වයන්ට ඔට්ටු අල්ලා පැරදුණ ද එක දිනක දිනුම් ලබන රුපියල් දහස ගැන සතියක් පුරා කතා කරති.
වාසනාව යනු එය නොවේ. ඔබ වැඩ කරන විට වාසනාව ඔබගේ දොරට නිරතුරුවම තට්ටු කරමින් සිටිනු ඇත. වැඩක් කරනවිට සෑම තප්පරයකටම වටිනාකමක් ලැබේ. එය ඔබ වෙනුවෙන් එකතුවෙමින් පවතී. වාසනාව යනු එයයි. ඔබ අඹු දරුවන්, දෙමාපියන් හෝ සොයුරු සොයුරියන් රකින්නන් එසේ වැඩ කිරීමෙන් ලැබෙන්නේ වටිනාකමෙකි.
වෙහෙස මහන්සි වී අවංකව උපයා ගත් මුදල අගයෙන් වැඩි ය. ලොතරැයි දිනුම් ලද බොහෝ අය අද මහමඟට වැටී ඇත.
වැඩ කිරීමම තමාට වාසනාව ගෙනෙනු ඇත. මා දැන සිටි එක්තරා දුප්පත් චිත්‍ර ශිල්පියෙක් ප්‍රවීණ රංගන ශිල්පියෙකු විසින් රචිත ග්‍රන්ථයකට පිටකවරයක් නිර්මාණය කර දුනි. එහෙත් එම රංගන ශිල්පියා එම නිර්මාණය පිළිබඳව සෑහීමකට පත් නොවීය. චිත්‍ර ශිල්පියාට කිසිදු තැවීමක් ද සිදු නොවීය. පසුව ඔහු එම පිටකවරය ද රැගෙන එක්තරා ප්‍රසිද්ධ ප්‍රචාරක ආයතනයක් වෙත ගොස් එය පෙන්වා “මෙන්න මේ පිටකවරයට වඩා හොඳ එකක් මට නිර්මාණය කරගන්න අවශ්‍යයි” යනුවෙන් පැවසීය.
එම පොත් පිටකවරය හොඳින් අධ්‍යයනය කර බැලූ එම ප්‍රචාරක ආයතනයේ අධ්‍යක්‍ෂවරයා එම රංගන ශිල්පියා සෑහීමකට පත්වන අන්දමේ පිටකවරයක් නිර්මාණය කර ඊට සෑහෙන මුදලක් ද අයකර ගත්තේය.
පසුව මුලින් පොත් පිටකවරය කළ තරුණයාගේ ලිපිනය, රංගන ශිල්පියාගෙන් ඉල්ලා ගත්තේය. ඉන්පසුව වහාම අර තරුණයා සොයා ගිය ප්‍රචාරක ආයතනයේ අධ්‍යක්‍ෂවරයා “ඔබේ චිත්‍ර ශෛලිය අප ආයතනය අගය කරන බැවින් සිංගප්පූරුවේ මාස හයක සේවාවක් සඳහා යෑමට කැමති දැ”යි තරුණයාගෙන් විමසා සිටියේය. ඉහත කී තරුණයා එම ඉල්ලීමට එක පයින්ම කැමති විය. ඊළඟ සතියේ ඔහු සිංගප්පූරුව බලා ගියේය. මාස හයකට පසුව සෑහෙන ධනයක් හා නවීන පන්නයේ පරිගණක යන්ත්‍රයක් ද සමග ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. අද ඔහු සුවිශාල මුද්‍රණාලයක හිමිකරුවෙකි. ‘වාසනාව’ ඔහු කරා පැමිණියේ ‘අවාසනාවක’ වේශයෙනි. වාසනාව ඔහු කරා පැමිණියේ වැඩකරමින් සිටින
අතරතුරදීම ය. වාසනාව සොයන අදහසින් රේස් ඔට්ටුපළ වෙත යන්නා රේස් බුකිකාරයා වෙත වාසනාව රැගෙන යන්නෙකි. රේස් බුකි තිබුණු පලියට ඔබ වැස්සකටවත් එහි නොයායුතුය. බුකිකාරයා කිසිදිනක කිසිවකුට එහි එන ලෙස ආරාධනා නොකරයි. සූදුවකට ප්‍රසිද්ධියේ ආරාධනා කිරීම සමාජ විරෝධී ය. එහෙත් හඳුනාගැනීමේ සලකුණු දර්ශනීය නියොන් එළියෙන් ආලෝකවත් කර තැබීමත්, ඉඟියෙන් ආරාධනා කිරීමත් තහනම් නැත.

