පිරිහීමට හේතු

cmadurawala
8 Min Read

සී. ආනන්ද ග්‍රේරු

මිනිස් ජීවිතය කෙසේ හෝ ගත කිරීම සැබෑ නැති නම් නිසි ජීවිතයක් ගතකිරීමක් හැටියට පිළිගැනීමට නොහැකි ය. ජීවත් වීම තමන් විසින් මහත් ඕනෑකමින් සකස්කොටගෙන කළ යුතු කටයුත්තක් හැටියට පෙන්වා දීම වැදගත් වන්නේය. ජීවිතය මනාව සකසා ගෙන තමන්ටත් අනුන්ටත් හොඳක් යහපතක් සැලසෙන පරිදි ජීවත්වීම තරම් ඉහළ සේවාවක් නැති තරම් බව කිය යුතුය. ජීවත් වීමේ ක්‍රමය, පිළිවෙළ, නුවණ මෙහෙයවා සිදුනොකළ විට හරයක්, ඵලයක් නැති ගසක් මෙන් හැදී වැඩී මියයන්නට පිළිවන. එවිට උපතින් නිසි ඵල ගත්තාය කියා නිගමනය කළ නොහැකි ය. බොහෝ දෙන මනාකොට ජීවිතය සකස් කර නොගත් කල පිරිහීම දෙසට ඉක්මනින් පා නඟති. දසවසින් සදවස පිරිහෙන ජීවිත ඇතිව ඔවුහු කල් ගෙවති. ඔවුන්ගේ පිරිහීමේ ප්‍රමාණය ඔවුනට අවබෝධ වන විට විශාල පරිහානියකට පත් වී අවසන් ය. කිසිවක් කර කියා ගන්නට නොහැකි ඔවුහු ජීවිතයේ ඉතුරු කාලය ද ගත කොට මියයති.

මිනිසුන් පරිහානියට පත්වන්නා වූ කරුණු රැසක් බුදුදහමේ ‘පරාභව සූත්‍රයෙහි’ පෙන්වා දෙයි. එකල මෙන් මෙකල ද ඉදිරියට ද මේ කරුණු හේතුකොට මිනිසා පිරිහීමට පත්වන්නට හැකි බව ඒ දහම පිළිබඳ විමසා බලව විට සක්සුදක් සේ පෙනෙයි.

‘නිතර ම අලසකමින් නිදන, තැන් තැන්වල කට අයාගෙන් ප්‍රලාප බස් කියන, උනන්දුවක් සැලකිල්ලක් නැතිව කටයුතු කරන, සිටි තැනම සිටිනවා විනා අලස කමින් කටයුතු කරන, කටයුතු කිරීමේදී කරන බවක් හඟවන තැනැත්තා පිරිහෙන්නේ ය.” මෙසේ පෙර කී සූත්‍රයෙහි දක්වා තිබේ.

මිනිසාට නින්ද අවශ්‍ය වේ. සනීපය ආරක්‍ෂා කර ගැනීමට නින්ද ඕනෑ ය. දවසේ කටයුතු නිමා කොට රාත්‍රිකාලයේ හොඳින් නිදාගත් විට ගතට (සිරුරට) දැනෙන සුවය අපමණය. පිරිහී ගිය ශක්තිය යළි ඇති වේ. එහෙත් ප්‍රමාණයට වඩා නිදාගන්නේ නම් එය යහපත් වන්නේ නැත. එය සෞඛ්‍යයට ඉතා අහිතකරය. අවදිවන්නට අලසකම, කම්මැළිකම නිසා සිත නොදෙයි. තවටිකක් නැති නම් තව මඳක් නිදා ගැනීම හොඳය කියා අලසයා නිදයි. අවදිවන විට කාලය ගෙවී ගොස් ය. රැකියාවට යන කෙනකු නම් ඉතිරි වැඩකටයුතුවල යෙදීම ඉක්මනින් කොට, කොතෙකුත් අඩු පාඩු ඇතිව ගමන සඳහා පාරට පැමිණි කල, නිසි වේලාවට වාහන පහසුව ලබාගන්නට හැකි වන්නේ නැත. කන්තෝරුවට පැමිණෙන්නේ පමා වීමෙන් ය. එතැන් සිට සියලු වැඩකටයුතු ද කලට, වේලාවට සහ නිසි ලෙස කළ නොහැකි ය. කරන රැකියාවට ද එය බලපාන්නේය.

රැකියාවේ දියුණුවට පමා වීම පිහිට වන්නේ නැත. අලසකම හේතු කොට ගෙන බොහෝ කාලයක් නිදා ගන්නා තැනැත්තා කාලකණ්ණියකු බවට පත් වීම වැළැක්විය නොහැකි ය. නින්දට ගිජු වුවොත් දියුණුවේ දොරටුව වැසෙයි.

තැන් තැන්වල ගැවසෙමින් හිස් වචන කතා කරන තැනැත්තා ද පිරිහෙයි. ඇතැමුන්ගේ පුරුද්දක් වී ඇත්තේ කිසි ප්‍රයෝජනයක් නැති හිස් වචන, අනුන්ගේ ඔපාදූප කතා කරමින් එක් තැනක සිට තවත් තැනකට ගොස් යළි හිස් වචන කතා කරමින් කාලය ගත කිරීමයි. එවැනියනට කාලය ගත වෙනවා දැනෙන්නේ නැත. දවසේ අවසානයේ කළ වැඩක් නැත. හිස් වචන ප්‍රලාප කතාව හැර. එබඳු අයට පිරිහීම ළඟාවීම පුදුමයක් නොවේ. මෙබඳු තේරුමක්, පලක් නොමැති කතා කරමින් කාලය ගත කරනවාට වඩා කිසියම් ප්‍රයෝජනවත් කාර්යයක යෙදීම දියුණුව උදාකර ගැනීමේ මගට පිවිසීමක් හැටියට සැලකිය හැකි ය.

යම් කටයුත්තක් කිරීමේදී උනන්දුවක් සහ සැලකිල්ලක් නැති තැනැත්තා ද පිරිහීම කරා ගමන් කරයි. ඉගෙනීමේදී වේවා, රැකියාවක නිරතවීමේදී වේවා, කර්මාන්තයක යෙදීමේදී වේවා එය ඉතා උනන්දුවෙන් හා සැලකිල්ලෙන් යුතුව කළ යුතුම ය. එමෙන්ම කැපවීමේ සහ මහත් කැමැත්කින් සිදු කළ යුත්තේය. කරන දෙය පිළිබඳ සැලකිල්ලක් නැති වුවහොත් එය නිසි අයුරු කරන්නට නුපුළුවන් වෙයි. එමෙන්ම කොතෙකුත් වැරදි, අඩුපාඩු, අලාභ සිදු වෙයි. සුළු රැකියාවක යෙදෙන තැනැත්තා හට එය ගැන කැපවීමෙන්, උනන්දුවෙන් සහ සැලකිල්ලෙන් කළ හොත් කල් යෑමේදී එය උසස් තත්ත්වයට පත් කරගත හැකි වන්නේය. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ජීවිතය අරඹුවේ ගණන් පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලිපිකාර පදවියකට පත්වීමෙන් ය. හේ මඳ කලකින් පසු එම දෙපාර්තමේන්තුවේ අධිපති (ඔඩිටර් ජනරාල්) වූයේ ය. තවත් පදවි කිහිපයක් දරා අවසානයේදී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට පත් වූයේ ය.

සමහරු පටන්ගත් තැනම රැඳී සිටිති. අලසකම නිසා කරන දෙයක් යන්තමින් කොට ජීවිතය ගෙවති. එබඳු අය ජීවිතයේ නිසි ඵල නොලබති. යන්තමින් ජීවිතය පවත්වාගෙන යති. දියුණුව පෙනෙනතෙක් මානයේ නැත. කම්මැළිකම, අලසකම හේතු කොටගෙන දියුණු වන්නට සිතෙන්නේ නැත. ජීවිතය යන්තමින් ගැටගහගෙන යනවාය කියා සිතමින් ඔවුහු වෙහෙසෙන්නේ නැතිව කටයුතු කරති. ඉතින් පිරිහීම ඇතිවීම පුදුමයක්ද? කටයුතුවල නිරත වන විට තරහ බවක් පෙන්වන තැනැත්තා ද පිරිහෙන බව පරාභව සූත්‍රයෙහි පෙන්වා තිබේ. තරහයෙන් යුතුව යමක් කළ විට සිදුවන්නේ බොහෝ අඩු පාඩු ය. ඇතැම් විට විපත්තිදායක දේ ද සිදුවෙයි. යම් කටයුත්තක් කිරීමේදී සන්සුන් සිතින්, නිසි අවබෝධයකින් යුතුව එය කළ යුතු වේ. තරහ සිතින් කිරීමේදී සිතේ තැන්පත් ගතියක් ඇති නොවෙයි. මේ හේතු කොටගෙන කටුයතුවල සාර්ථකත්වයක් ඇතිවෙන්නේ නැත. කටයුතුවල පිරිහීම ඇති වීමෙන් පුද්ගලයාගේ දියුණුව වෙනුවට පරිහානිය ක්‍රමක්‍රමයෙන් ඇතිවෙයි. තරහා ඇති වීම මිනිසාගේ දුබල ගතියකි. එහෙත් එය පාලනය කර ගැනීම ඔහු සතු ක්‍රියාවකි. එමෙන්ම එය කළ යුත්තක ද වේ.

පරාභව සූත්‍රයෙහි මෙසේ ද සඳහන් වෙයි. යමෙක්, ජාතිය, ධනය, ගෝත්‍රය නිසා මානයෙන් යුක්තව සිය නෑයන්ට නොසලකයි ද එය පිරිහීමට කරුණක් වන්නේය. සමහරු ජාතියෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන් උසස් යැයි සිතා හිස උදුම්මාගෙන මහත් ආඩම්බර ලීලාවෙන් වෙසෙති. අන් අය පහත් කොට සිතති. එවැනි වැරදි ආකල්ප සිත් තුළ හටගත් කල ඔවුන්ගේ ක්‍රියා ද හිතකර වන්නේ නැත. එනිසා ම ඔවුහු පරිහානියට පත් වෙති. කවුරුනුත් මිනිසුන් හැටියට සලකා, උස් – පහත් වන්නේ හොඳ නොහොඳ ක්‍රියාත්මක බව සලකා සමානාත්මතාවයෙන් ජීවත් වීම නිවැරැදි ජීවත් වීම වටහා ගෙන ඒ අනුව ජීවිතය ගෙන යෑම සෑම අතින්ම සුදුස ය. එවැනි ජීවිත ගෙවන්නෝ පිරිහීමට පත්නොවෙති. පෙර දැක්වූ පුහු හේතු හත මානයෙන් යුතු ඇතැම් පුද්ගලයෝ තමන්ගේ නෑයන් පවා අමතක කොට, ඔවුනට කිසිදු සැලකිල්ලක් නොකරති. හේතුව තමන් උසස් යැයි සිතා අනෙකුත් දුප්පත් නෑයන් තමන්ට සම වන්නේ නැත යන හැඟීම පෙර දැරිකොට ගෙන කටයුතු කරන හෙයිනි. එවැන්නෝ දවසින් වස පිරිහෙති. ඥාති සංග්‍රහය උසස් කොට තැකිය හැකි දෙයකි. එය බුදු දහමේ මහා ඉහළින් පෙන්වා දී ඇත. තමනට හැකි පමණින් වෙසසින් දුප්පත් නෑ පිරිසට සංග්‍රහ කළ යුතුය. එය සැබවින් ආශීර්වාදයක් වන්නේ ය.

මහලු දෙමාපියන් ගැන සොයා බැලීමට තමන් හට කොතෙකුත් හැකියාව තිබියදී ඔවුන් ගැන නොසොයා නොසලකා හැරීම පිරිහීමට තවත් හේතුවක් බව පරාභව සූතයෙහි සඳහන් වෙයි. දෙමාපියන් හට සැලකීම දරුවන්ගේ පරම යුතුකමකි. ඔවුනට සැලකීමට හැකිකම තිබියදී නොසැලකා හැරීම ඉතාම පහත් ක්‍රියාවකි. වැඩිහිටි නිවාසවලට ගොස් කරුණු විමසන කල දැනගැනීමට හැකි වන දෙයක් වෙන්නේ පොහොසත් පවුල්වලට අයත් ඇතම් මහලු අය ද ඒවායේ වාසය කරන බවයි. ඔවුන්ගේ දරුවෝ සමාජයේ උසස් තැන්වල වැජඹෙති. එහෙත් තමන්ගේ නිවෙස් මහලු මවට හෝ පියාට හෝ තහනම් ය. ඔවුනට සුදුසු තැන වැඩිහිටි නිවාසයයි. කලාතුරකින් එහි වාසය කරන මව හෝ පියා හෝ බැලීමට දරුවෝ පැමිණෙති. වැඩිහිටි නිවාසත් නැති නම් අසරණ මා – පියන්ට යන කලදසාව කුමක් ද? එතරම්ම ඇතැම් දරුවන්ගේ මා – පියන්ට කරන සැලකිලි පිරිහී ගොස් ය. එබඳු දරුවන්ගේ පිරිහීම ඔවුන් නොදැනුවත්වම සිදුවේ.

පිරිහීමට නොවැටී, පිරිහෙන මගින් වෙන්ව, ප්‍රගතිය ළඟා කරගැනීමට උත්සාහ දරා කටයුතු කිරීම අප සැමගේ පරම යුතුකම විය යුතු ය.

ජීවිතය පිරිහීම පහසුවෙන් කළ හැකිය
දිනුම නොව පරාජය එයින් අත්වනු හැකිය

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *