දසබලධාරී බුදු රජ පෙර කල

rashi
By rashi
6 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනි, දේශාභිමානි ජී. චන්ද්‍රරත්න

මැදින් පොහෝ දින බුද්ධ චරිතයේ වූ වැදගත් සිදුවීමකි, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම වීම. බුදුවීමෙන් සත්මසක් ගතවූ පසු සිය උපන් ගමට වැඩි ගමනේදී වූ බොහෝ සිදුවීම් අතර උන්වහන්සේ යශෝධරා දේවිය බැලීමට ඇගේ මාලිගයට වැඩම කිරීම අනුවේදනීය සිදුවීමකි. එහිදී බුදුරජාණන් වහන්සේ සිය අතීත පතිභක්තිය අගය කරමින් චන්දකින්නර ජාතකය හෙවත් සඳකිඳුරු දා වත දේශනා කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. අද මැදින් පෝදා විමසා බැලෙන්නේ එම චන්දකින්නර ජාතකය ඇසුරෙන් නිර්මාණය වූ ජනප්‍රිය බොදු බැති ගීයකි.

ආර්.ඒ. චන්ද්‍රසේන නම් වූ අසහාය ගායන හා සංගීත ශිල්පියා විසින් ගැයූ “දසබලධාරී බුදු රජ පෙර කල…” ගීතයේ රචනය එල්.එස්. කැකුළාවල විසිනි. ඉතා කෙටි ප්‍රබන්ධයක් වන මෙම ගීයට පසුබිම වන්නේ චන්දකින්නර ජාතකයයි.

දසබලධාරී බුදු රජු පෙර කල
ඉපිද හිමාලේ කිඳුරකු වීලා
වසනා සඳෙහි කිඳුරඟ සමගා
වනයේ තුටිනී ප්‍රේමය පාලා

කර ආලේ රාජා ඒ
බරණැස හී කිඳුරී ටා
මැරුවෝ බෝසත් විද හී පහරා//
බෝසතු ගේ ප්‍රාණය ඒ
සක් දෙවිඳාණෝ දානය කෙරුවෝ

අනුවේදනීය ප්‍රේම කථාවක් වූ බැවින් දෝ චන්දකින්නර ජාතකය අනුව පසුකාලීනව ගද්‍ය පද්‍ය කෘති රාශියක් බිහිවූ අතර මෙම ගීතය ද එහි මෑත කාලීන ප්‍රතිඵලයකි. කෙසේ වුවද ජාතකපාළිය හෙවත් මුල් පුවතෙහි යශෝධරා දේවියගේ පතිභක්තිය පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නොලැබෙන අතර, කිඳුරු යුවළගේ පෙම් රැඟුම් පිළිබඳව සාධනීය ස්වරූපයෙන් ගාථා 25කින් යුතුව දක්වා ඇත. පහත දැක්වෙන්නේ ජාතකපාළියේ අවසන් ගාථා දෙකය.

වන්දෙ තෙ පාදේ අයිර බ්‍රහ්මේ – යො මෙ ඉච්ඡිතපතිං වරාකියා
අමතේන ආහිසඤ්චි – සමාගතස්මිං පියතමේන
විවරාම දානි ගිරිවරන්දියෝ – කුසුමාභිකිණ්ණසෝතයෝ
නානාදුමවසනායො – පියවදා අඤ්ඤමඤ්ඤස්සාති

“උතුම් බ්‍රහ්මයාණෙනි, යමෙක් දුක්පත් මාගේ සැමියා අමා දියෙන් ඉස්සේද, (එහෙයින්) ප්‍රියතම සැමියා හා එක්වීම ලදිමි. ඒ ඔබට වඳිමි.

අපි වන මලින් ගැවැසුන දියදහර ඇති නන්වැදෑරුම් තුරු සෙවණ නමැති වස්ත්‍ර ඇති ගිරි මතින් ඇදහැලෙන නදින්හි ඔවුනොවුනට ප්‍රිය බස් බෙහෙවින් හැසිරෙම්හ. (ජාතකපාළි 1 – 1974 – 1975 ගාථා)

පසුව ජාතක අටුවාව විසින් මෙම පුවත බුදුන් වහන්සේගේ අතීත භවයක වූ සිදුවීමක් ලෙස දන්වා වඩා විචිත්‍ර ලෙස වර්ණනා කරමින් බරණැස් රජු කිඳුරියට ලොබ බැඳ කිඳුරා මරා දැමීමේ අනුවේදනීය පුවත ද එක්කර ඇත. පසුව සිංහලයට නැඟුණු ජාතක පොතේ 447 වන ජාතකය ලෙස දැක්වෙන්නේ ද අටුවාව අනුව වඩා විචිත්‍ර වූ පුවතය. මෙය විවිධ කලා නිර්මාණ හා එක්වන්නේ ද අවසන් ජාතක කථා පුවත අනුවය.

විල්ගම්මුල තෙරිඳු විසින් රචිත “සඳකිඳුරු දා කව” නම් පැරණි සාහිත්‍ය කෘතියෙහි ද මෙම ගීතයෙහි පළමු ස්ථායි කොටස සර්ව සමාන ලෙසින් මෙසේ යෙදී ඇත.

සඳකිඳුරු ජන්මෙක – ඉපිද හිමවත පෙරදවස
සමඟ කිඳුරඟනක – වෙසෙති නිති ඔහු රිදි පවුවෙක
– (සඳකිඳුරු දා – 292 පද්‍ය)

සඳකිඳුරු ජාතකයෙහි මෙන්ම සඳකිඳුරු දා කවෙහි ද දීර්ඝ ලෙස කෙරෙන වර්ණනා ගීතයට උචිත පරිදි සංක්ෂිප්ත කරන රචකයා පළමු අන්තරා කොටසින්ම ගීතය නිම කරයි. කිඳුරියගේ නර්තනය හා මිහිරි ගැයුමට ලොල් වූ බරණැස් රජුගේ සිතැඟි සඳකිඳුරු දා කවෙහි ද මෙසේ දැක්වේ.

අසිරිමත් නැටුමෙකි – අසමාන වූ රුසිරෙකි
සුමිහිරි කටහඬෙකි – කවර දවසක ලැබුම් වේ හැකි
– (339 පද්‍යය)
හීයක් ගෙන අතට – ඇද ඇර බමා නිය පිට
දැතිවර තමා පිට – විදපි ඇද උර පුරා තර කොට
– (341 පද්‍යය)

ගීතයෙහි සඳහන් නොවුණ ද රජු විසින් කිඳුරාට විදීමෙන් පසු පණගැහෙන දේහය වැලඳගෙන කිඳුරියගේ විලාප ගැසීම සඳකිඳුරු දා පද්‍යයේ දීර්ඝ ලෙස විස්තර කෙරේ. සක් දෙවිඳුගේ පඬුපුල්අස්න උණුවන්නේද එම විලාපය ඇසීමෙනි.

අතක් බෝසතුන් ළෙයි තබමින් විමසා
මදක් සැලිසැලි පණනල තිබෙන නිසා
පසක් තෙදැති දෙවියන් යදිමින් නොලසා
තැතක් කන්නලවු බස් තෙපලයි මෙලෙසා
(396 පද්‍යය)

මෙම ගීතය කෙතරම් සංක්ෂිප්ත වුව ද ශ්‍රාවකයා එහි මුල් පුවත ඉතා හොඳින් දනී. ඊට හේතුව ජාතක පොතෙන්, කාව්‍යයෙන් මෙන්ම ජනගී හා නාඩගම් ආදියෙන් සඳකිඳුරු පුවත පිළිබඳව වූ අත්දැකීමෙනි. මෙම ගීතය ද අතිශය ජනප්‍රිය වීමට එම අතීත පුවත් පිටිවහලක් විය. එහෙත් වර්තමානයෙහි රසික ප්‍රජාව සඳකිඳුරු දා අතීත කෘති පිළිබඳව කවර දැකීමක් ඇති දැයි ප්‍රශ්නයක් බැවින් ඔවුනට එම ගීතයේ බැති රසය කෙසේ විඳීමට හැකිවේ ද යන්න නොදනිමු.

ගීතය කෙතරම් සංක්ෂිප්ත වුව ද රචකයා එහි ආරම්භය ලබාගන්නා වූ යෙදුම් පිළිබඳව ද මෙහිදී යමක් සඳහන් නොවූවොත් එය අඩුපාඩුවක් යැයි හඟිමු. එනම් දසබලධාරී “බුදුරජ පෙර කල…” යන්නය. බුදුන් වහන්සේ දසබලධාරී නම් වූයේ කෙසේ දැයි “බුත්සරණෙහි” මෙසේ සඳහන් ය.

“තවද සර්වඥයන් වහන්සේ නම් දසබලයක් ඇති සේක. ඒ දසබල නම් කවුරු යත්, ඇතුන් දසදෙනෙක් බල හා සමාන වූ බුදුන්ගේ කාය බල දශබල නම් වේ මැ යැ. එහි සර්වඥයන් වහන්සේ ඇතුන් දසදෙනකුගේ බල හා සමාන වූ කාය බලය දසයක් ඇති නිසා කෙසේද? යත්, කලාවකවැ, ගංගය්‍ය යැ, පණ්ඩර යැ, තම්බ යැ, පිංහල යැ, ගන්ධ යැ, මංගල යැ, හේම යැ, උපොසථ යැ, ඡද්දන්ත යැ, මෙසේ ඇතුන්ගේ දසකුලයක් වන්නේ යැ, (බුත්සරණ 238) අනතුරුව බුත්සරණෙහි දැක්වෙන්නේ ඉහත දැක්වූ එක් එක් ඇත් කුලයක ඇතුට පෙර සඳහන් ඇතුට මෙන් දස ගුණයක් ශක්තිය ඇති බවය. ඒ අනුව අවසන් ඇතුවූ ඡද්දන්ත ඇතුට ඊට පෙර ඇතු වූ උපොසථ ඇතුගේ බලය හෙවත් ඇතුන් දස කෝටියට හා සමාන බලයකින් යුතු විය. සැදැහැතියන්ගේ ඥානයේ පමණට වටහා ගැනීමට යෙදූ උපක්‍රමයක් ලෙස එය සැලකිය හැකිය.

කෙසේ වුවද බොදු බැති ගීතාවලියෙහි වෙනස් මඟක් ගත් මෙම ගීතය මධුර තාලය ද ගීතයට පදනම් වූ ශෝකී පුවතට අනුගතවීම විශේෂයකි. ගීතය අවසානයේ සියලුදෙනා සතුටට පත් කරමින් කිඳුරා යළි පණ ලබා කිඳුරිය හා එක්වීම පිළිබඳ කිසිවක් සඳහන් නොකරන රචකයා එහි බෞද්ධ ස්වරූපයම හුවා දක්වමින් සක්දෙවිඳාගේ බෝසතුන්ගේ ජීවිතය ප්‍රාණ දානය කෙරූ බව ප්‍රකාශ කරයි. බෞද්ධ සාහිත්‍යයෙහි එන පුවත් නූතන ගීතයට පදනම් කර ගැනීමේදී කොතරම් පරෙස්සමෙන් භාෂාව භාවිත කළ යුතු ද යන්නට මෙම ගීතය නිදසුනකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *