බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවීම, බුදුරජාණෝ නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර රජුන් අතර මිණි පළඟක් අරබයාවූ ගැටුම සමථයකට පත්කිරීම.
සතර පෙරනිමිතිවලින් පළමු පෙර නිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීමත් සුදොවුන් පියමහ රජතුමා ප්‍රධාන ඥාතිවර්ගයාහට නිවන් මඟ අත්කර දීම පිණිස විසිදහසක් මහ සඟුන් පිරිවරාගෙන මැදින් පුර පසළොස්වක පුන් පෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ එම ගමනේ ඵලදැරුවේ බක් පුර පොහෝ දින වසන්ත කාලයේය. එම වසන්තය වර්තමානයේ ලොව පුරා අසහනයක් ජනිත කර ඇත.
බලය, ආධිපත්‍යය, භූ දේශපාලනය ගැන කුමන දෑ කතා කළත් ධර්මයට අනුව එහිදී ලෝභ, ද්වේෂ, මෝහ, ක්ලේශ මූල ක්‍රියාත්මක වන සැටි මැනැවින් පෙනේ. මෙබඳු විපත්තිකර අවස්ථාවන්හිදී ගුණ නුවණ පිරි සත්පරුෂයන්හට කළ හැකි දෑ කවරේද? මෙත්කරුණා දසත පුරා පැතිරවීමය. සෙත ශාන්තිය පැතිරවීමය. දුකින් පෙළෙන සත්වග දුකින් මිදේවා, බියෙන් පෙළෙන සත බියෙන් මිදේවා, සොවින් පිරුණු ලොව සොව දුරු වේවා! යැයි අවංකව සෙත් පැතීමය. මිනිස් දුක නිවීමට කළ හැකි දේ කිරීමය. බලකාමී අඥානවන්තයන් ලොව ජන සමාජය, පරිසරය, සම්පත් විනාශ කරමින් සිටින සැටි නුවණැත්තෝ නුවණින් දහමින් දකිති. ජල මූලාශ්‍රය, වැනසීම, ඉන්ධන අර්බුදය, ලෙඩදුක් පැතිරීම, ජීවිත දේපළ සූරාකෑම පරිසරය, සොබා සම්පත විනාශ කිරීම, ලොව මටම පමණක් යැයි සිතන්නෝ මෝහයෙන් ආකුලවූවෝ වෙති. මිනිසුන්ගේ ඉවසා දරාගැනීම අන්තයටම පිරිහී ඇත. අවුල් වියවුල් සිදුවනවිටත් නොකැළඹී අටලෝදහම මෙනෙහි කරමින් උපේක්ෂාවෙන් හැසිරීම නුවණැත්තන්ගේ සිරිතය.
ලෝකයෙහි සත්‍ය අසත්‍ය ධර්මතාව ලෝකයෙන් වෙළුණ සිතක් ඇත්තකුට ප්‍රකාශ කළ නොහැකිය. ද්වේෂයෙන් වෙළුණ සිතක් ඇත්තකුට ප්‍රකාශ කළ නොහැකිය. මෝහයෙන් වෙළුණ සිතක් ඇත්තකුට පැවසිය නොහැකිය. කරුණා මෛත්‍රියෙන් සැදැහැ ගුණ නුවණින් යුත් පුද්ගලයාම ලොව පවත්වනු ලැබේ. පින් කුසල් වඩවා ගැනීම වචනය, සිත, කය සංවර කරගෙන සැමට සමව දිවිසැරිය ගත කළ හැකි ලෙස වැඩ කටයුතු කරන්නාම සැනසීම ලබයි. විවිධ දෘෂ්ටීන්ගෙන් මතවාදයන්ගෙන් ගිනිගත් ශාපලත් ලෝකයක ධාර්මිකව සදාචාරවත්ව අන්තවාදී නොවී මැදුම්මගේ දිවිගෙවන සැටි භාග්‍යවතුන් වහන්සේ ලොවට දේශනා කළහ. යමෙක් නුවණ මෙහෙයවා ගුණ දහම් හි පිහිටුවා ආහාර, ජලය, ඉන්ධන පරිසරය විනාශ නොකර තමන්ද දහමෙහි හසුරුවා ගන්නට සමත් වන්නේ ද ඒ තැනැත්තාම සැනසීම ලබයි.

