ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
තපුස්ස හා භල්ලික යනු අප මහා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පළමු උපාසකයන් දෙදෙනාය. මෙම දෙදෙනා බුදුරජාණන් වහන්සේ හා ධර්මය කෙරෙහි පැහැදෙන්නේ පස්වග මහණුන්ට ද පෙරාතුවය. එම නිසා බුදු සසුනෙහි මුල්ම සාමාජිකයන් අතර ප්‍රමුඛස්ථානයක් මෙම දෙදෙනාට හිමි වේ. ඒ වනවිට බුදුරජාණන් වහන්සේ හැරුණු විට නිවන් අවබෝධ කළ හෝ නිවන් මඟට පිළිපන් කිසිවකු නොවූ නිසා මෙම දෙදෙනා සරණ යන්නේ බුද්ධ ධම්ම යන දෙරුවන් පමණි. එමනිසා මෙම උපාසකයන් දෙදෙනා ගෞතම බුදු සසුනෙහි සිටින ද්වේවාචික උපාසකයන් දෙදෙනා ද වන්නේය. ගෞතම බුදු සසුනෙහි සියල්ලන්ට පළමුව සරණ ගිය උපාසකයන් අතර අග තනතුර මෙම දෙදෙනා හිමි කරගන්නේ ඒ වෙනුවෙන් කළ ප්‍රාර්ථනයක් හේතුවෙනි. තපුස්ස හා භල්ලික යනු පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවති කාලයෙහි ඉපිද, එම බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙදෙනෙකි. එසේ එම බුදු සසුනෙහි ද පැහැදී සිටි මේ උපාසකයෝ දෙදෙනා, පියුමතරා බුදුරජාණන් වහන්සේ උපාසකයන් දෙදෙනකුට පළමුව සරණ ගිය උපාසකයන් අතර අග තනතුර ලබාදෙනු දැක එම තනතුර ප්‍රාර්ථනා කර කල්ප ලක්ෂයක් තිස්සේ එම තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් දෙව් මිනිස් ලොව සැරිසැරූහ. මොවුහු අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේ බුදුවීමට පෙරතුවම, අසිතඤ්ජන නගරයෙහි කුලගෙයක සොහොයුරන් ලෙස උපත ලැබූහ. තපුස්ස වැඩිමහල් සොහොයුරා වූ අතර භල්ලික බාල සහෝදරයා විය.
මොවුන් දෙදෙනා පන්සියයක් ගැල් යොදවාගෙන වෙළෙඳාමෙහි යෙදෙමින් සිය ජීවිකාව සළසා ගත්හ. අප මහා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව සත් සතියක් බෝ මැඩ වැඩසිට අටවන සතියෙහි කිරිපළු ගසක් මුල (රාජායතන මූලයෙහි) වැඩවසන සමයෙහි උක්කලා නුවරින් පිටත්ව වෙළෙඳාමෙහි යෙදෙමින් සිටි මෙම වෙළෙඳ දෙබෑයෝ ඒ අසලින් වූ මාර්ගයක ගමන් කරමින් සිටියහ. මෙම දෙදෙනාගේ පෙර භවයක මෑණියන් මෙම ප්‍රදේශයෙහි දේවතාවියක්ව උපත ලබා සිටියාය. එතුමිය මෙම සහෝදරයන් දෙදෙනා අමතා, භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ, කිරිපළු ගසක් යට වැඩවසන බවත්, එම භාග්‍යවතුන් වහන්සේට දන් පිළිගන්වන ලෙසත්, එම පිදීම බොහෝ කාලයකට හිත සුව පිණිස පවතින බවත්, දැනුම් දුන්නාය. එය පිළිගත් තපුස්ස හා භල්ලික දෙසොහොයුරෝ බුදුරජාණන් වහන්සේට අත්සුණු හා මී පැණි පිළිගැන්වූහ. (මනෝරථපූරණි, තපුස්සභල්ලික වස්තුව). අතින් එම දන් පිළිගැනීම නුසුදුසු නිසා සතරවරම් දෙවිවරු ශෛලමය පාත්‍ර හතරක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ අතර, එම පාත්‍ර හතර එකක් කොට ගෙන බුදුරජාණන් වහන්සේ එම අත්සුණු හා මී පැණි පිළිගෙන වැළඳූ සේක. දන් වැළඳීමෙන් අනතුරුව දහම් අසා පැහැදුනු මෙම දෙදෙනා,
“ස්වාමීනි මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යමු. භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයන් කොට දරණ සේක්වා” යි බුදුරජාණන් වහන්සේට පවසා බුද්ධ හා ධම්ම යන දෙරුවන් සරණ ගියහ (මහාවග්ගපාලි මාහාන්‍ධක්‍ඛය, රාජායතනකථාව, මනෝරථපූරණි, තපුස්සභල්ලික වස්තුව ).
ද්වේවාචික උපාසකයන් ලෙස ගෞතම බුදු සසුනෙහි සාමාජිකත්වය ලැබූ මෙම දෙදෙනාව තමන්ගේ නුවරට යෑමට පිටත්වීමට පෙර තමනට ගරුබුහුමන් කරමින් වැඳුම් පිඳුම් කිරීමට සුදුසු දෙයක් ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ සිය දකුණු අතින් හිස පිරීමැද, කේශ ධාතු මිට අටක් මෙම දෙදෙනාට දුන් සේක. එම කේශ ධාතූන් රන් කරඬුවක තබා තමාගේ නුවරට පැමිණ අසිතඤජන නුවර දොරටුවෙහි චෛත්‍යයක් ඉදි කළහ. (මනෝරථපූරණි, තපුස්සභල්ලික වස්තුව). සෑම පොහොය දිනයකම මෙම චෛත්‍යයෙන් නිල් රෑස් විහිදෙන බව ද අටුවාවෙහි දක්වා තිබේ.
ද්වේවාචික උපාසකයන් ලෙස බුදු සසුනෙහි සාමාජිකත්වය ලැබූ මෙම දෙදෙනාව, ලක්වාසී අප දන්නේ අප මහා බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේම උන්වහන්සේගේ කේශ ධාතු රැගෙන විත් එම ධාතු තැන්පත් කොට තිරියාය ප්‍රදේශයෙහි ගිරිහඬු සෑය සෑදීමට මූලික වූ උපසකයන් ලෙසය. තපුස්ස හා භල්ලික උපාසකයන් විසින් අප බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතු තැන්පත් කර සෑදූ චෛත්‍යය පිහිටි ස්ථානය පිළිබඳව නොයෙක් මතවාද පවතී. බුරුමයෙහි සියොදගොන් චෛත්‍යය ද ඉන්දියාවෙහි ඔරිස්සා ප්‍රාන්තයෙහි ස්ථානයක් ද ඒ අතර වේ. කෙසේ වුවත්, තපුස්ස හා භල්ලික උපාසකයන් දෙදෙනා අපට වැදගත් වන්නේ අප බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර සෑදූ චෛත්‍යය නිසාම නොවේ. බුද්ධ ශ්‍රාවකයන් ලෙස ගොඩනගාගත් ගුණ ධර්මයන් නිසාය. එසේම මෙම උපාසකයන් නිරතුරුව බුදුරජාණන් වහන්සේ මුණගැසී උන්වහන්සේගෙන් දහම් අසා සිය ධර්මාවබෝධය වර්ධනය කරගත් බවත් සූත්‍රපිටකයෙහි දැක්වේ.
බුදුරජාණන් වහන්සේ මලත ජනපදයෙහි උරුවෙලකප්ප නම් වූ මලතයන්ගේ නියම්ගමෙහි වසන කල, ආනන්ද තෙරුන්වහන්සේ හමුවූ තපුස්ස ගහපතියන් තමාට පවතින ධර්ම ගැටලුවක් පිළිබඳව ආනන්ද තෙරුනට දැනුම් දුන්නේය.
“ආනන්ද තෙරුන්වහන්ස, අපි, ගෘහස්ථ වූ, කම් සුව විඳින, කාමයෙහි ඇළුණු, කාමයෙන් මුදිත වූ, කාමභෝගී ගිහියෝ වෙමු. එසේ කම් සුව විඳින, කාමයෙහි ඇළුණු, කාමයෙන් මුදිත වූ, කාමභෝගී වූ අපට නෛෂ්කර්මය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ශාසනයෙහි ඉතා තරුණ වූ භික්ෂූන්ගේ සිත නෛෂ්කර්මයෙහි බැස ගනී. මෙය ශාන්තයයි එහි පිහිටයි. සිත මිදෙයි යයි මා විසින් අසන ලදී. තෙරුන්වහන්ස, බොහෝ දෙනෙකුට අප්‍රකට වූ මෙම නෛෂ්කර්මය ධර්ම විනයෙහි වන භික්ෂූන්ට ශාන්තය.”
යන්න තපුස්ස උපාසකයනට පැවති ගැටලුයි. මෙම ගැටලුවට සවන් දුන් ආනන්ද තෙරුන් වහන්සේ, දිවා විහරනයෙන් රුක් මුලක වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත යෑමට නිමිත්තක් ලැබුණු බව උපාසකයනට පවසා උපාසකයන් ද සමගින් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තපුස්ස උපාසකයනට ඇති ගැටලුව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියහ.
උපාසකයනට ඇතිවූ ගැටලුව පෙර බෝධිසත්ත්ව සමයෙහි තමන් වහන්සේට ද දැනුණු බව ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ, එම කාලයෙහිදී නෛෂ්කර්මය යහපත් බව, උසස් වූ විවේකය යහපත් බව, එසේම ශාන්ත බව, තමන් වහන්සේ දැන සිටියත්, එහි සිත පිහිටුවීමට තමන් වහන්සේට ද අපහසු වුණ බවත්, නොපැහැදුණ බවත්,
කෙළසුන්ගෙන් නොමිදුන බවත්, ප්‍රකාශ කරති. එසේ නෛෂ්කර්මයෙහි තමන් වහන්සේගේ සිත නොපිහිටීමට හේතු කවරක් පවතී දැයි තමා ම ණුවනින් විමසා බැලූ බවත්, එවිට
● තමන් වහන්සේ විසින් කාමයෙහි ආදීනව නොදැකීම
● නෛෂ්කර්මය බහුල වශයෙන් නොවැඩීම
● නෛෂ්කර්මයෙහි අනුහස් නොදැකීම
● නෛෂ්කර්මය ආදරයෙන් සේවනය නොකිරීම
නිසා තමන් ශාන්තයයි දන්නා නෛෂ්කර්මයෙහි සිත නොපිහිටි බව බවත්, එහි සිත පිහිටුවීමට තමන් වහන්සේට ද අපහසු වුණ බවත්, නොපැහැදුන බවත්,
කෙළසුන්ගෙන් නොමිදුන බවත්, ප්‍රකාශ කරති. එමනිසා තමන් වහන්සේ කාමයන්ගේ ආදීනවයන් දැක, නෛෂ්කර්මය බහුල කරන්නේ නම්, එහි අනුහස් ලැබ එය බහුල කරන්නේ නම්, එය ශාන්තිය පිණිස වන බව දකිනා සිත නෛෂ්කර්මයෙහි බැසගන්නා බවත්, එවිට සිත කෙළසුන්ගෙන් මිදෙන බවත්, දැන එසේ කළ බවත්, පවසති. සම්මා සම්බුද්ධත්වය දක්වා තමන් වහන්සේ සිත පුහුණු කළ ආකාරයත් පැහැදිලි කරති (අංගුත්තර නිකාය, නවක නිපාතපාලි, මහාවග්ගය, තපුස්සගහපති සූත්‍රය).
මෙසේ නිරතුරුවම තමන් සිතෙහි පවත්නා ධර්ම ගැටලු විසඳා ගනිමින් ක්‍රියාකළ මෙම උපාසකයන් දෙදෙනා ධර්ම මාර්ගයට යොමුව එහි නිරතවූ බව පැහැදිලිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෞතම බුදු සසුනෙහි ප්‍රථමයෙන් සරණ ගිය උපාසකයන් අතර අගතනතුරට අමතරව, එම තනතුර දැරීමට අවශ්‍ය ප්‍රතිපදාවෙන් ද යුක්ත විය. එහි ප්‍රතිඵලයක් ලෙස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී, සැක දුරුකරගත්, නිවන (අමෘතය) දුටු තපුස්ස හා භල්ලික යන උපාසකයන් දෙදනා සතු වූ ගුණාංගයන් හයක් පවතින බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක. එනම්
- බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රදධා ඇති බව
- ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධා ඇති බව
- සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධා ඇති බව
- ආර්ය වූ සීලයෙන් යුක්ත බව
- ආර්ය වූ ඥානයෙන් යුක්ත බව
- ආර්ය වූ විමුක්තියෙන් යුක්ත බව
යන කරුණු හයෙන් මෙම උපාසකයන් දෙදෙනාම යුක්ත බව ප්‍රකාශ කරති (අංගුත්තර නිකාය ඡක්ක නිපාතපාලි, සාමඤ්ඤවග්ගය, තපුස්ස සූත්‍රය හා භල්ලික සූත්‍රය). නිර්වාන මාර්ගයෙහි ස්ථීර ප්‍රතිපදාවන් සහිත වූ තපුස්ස හා භල්ලික උපාසකයන් මෙන් අපිත්, ධර්ම මාර්ගය තුළ ස්ථාවර වන්නට උත්සාහ කරමු.

