ඉංගිරියේ බුදු පිළිමේ දන නෙත් පිනවන අරුමේ

rashi
By rashi
2 Min Read

චමෝද් පද්ම ශ්‍රී

සමනළ කඳු මුදුනෙන් ගමන් අරඹන කළු ගං කොමලිය නිහඬ ව ගලා බසින සුන්දර කඳු ශිඛරයන් ගෙන් වට වූ රයිගම් කෝරලයේ ඉංගිරිය නගරයට පසු ගිය ජුලි මස 19 වැනි දින අලුත් ආශිර්වාදයක් එක් විය. දකින කාගේත් සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සුවපත් කරන ආශිර්වාද මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සපුගහ කඳු මුදුනේ ප්‍රභාවත් වන්නේ ය.

හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ සිතෙහි පහළ වූ සුපසන් සංකල්පයක් වන මෙහි ඉදි කිරීම් ආරම්භ වූයේ මීට වසර දහයකට පමණ ඉහත දී ය.

විශේෂයෙන් ඒ වෙනුවෙන් සියලු‍ දෙනා එක් ‌කර ගනිමින් මෙම කර්තව්‍යය ආරම්භ කිරීමට මුල් වූ හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමන් ඇතුළු පිරිසට සහ නොයෙක් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනා වෙත ද මේ පිං පෙත් අනුමෝදන් විය යුතු ය.

බුදු පිළිමයක නිවැරැදි මානයන් අනුව නිර්මාණ ශිල්පී ගයාන් ලියනගේ (ශාන්) කලාකරුවා විසින් උත්තල දස තාල මානයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙම ආශිර්වාද බුදුපිළිම වහන්සේ බිම් මට්ටමේ සිට අඩි 69ක උසින් යුක්ත වන අතර පිළිම ආසනයේ සිට අඩි 49ක උසින් යුක්ත වේ.

බුදු පිළිමය ස්ථාපිත කඳු මුදුනේ සිට දැකගත හැකි එක් පැත්තකින් කොළඹ නගරය දක්වා දිවෙන පරිසරයත් අනෙක් පසින් ඉංගිරිය නගරයත් දසතින් කඳු යායකින් වට වූ හරිතවත් පරිසරයක් නෙතට එක් කරනුයේ අමුතුම මිහිරියාවකි. නාගරීකරණය තුළ සොබාදහමේ චමත්කාරය මෙලෙසින් අත්විඳින්ට ලැබීම ඉංගිරිය ජනතාව ලැබූ භාග්‍යයක් වන්නා සේ ම ආශිර්වාද බුදුපිළිම වහන්සේ රන්මය වටිනාකමක් අලු‍තින් එක් කරනු ඇත.

සතියක් පුරා සිදු කෙරුණු පිරිත් සජ්ඣායනයෙන් අනතුරු ව සිදු කෙරුණු දුර්ලභ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය අවසන අසිරිමත් බුදුපිළිමවහන්සේ වැඳපුදා ගනිමින් පහන් සංවේගය වඩවා ගන්නා අතර ම ඒ ශෝභාවත් පරිසරය දැකීමෙන් රස විඳින්නට සියලු‍ දෙනාට ම හැකියාව උදා වනු ඇත. එපමණක් නො ව එතැන් පටන් චිරාත් කාලයක් මේ ආශිර්වාදාත්මක බුදුපිළිම වහන්සේ කරුණා දෙනෙතින් ඉංගිරියටත් සමස්ත රටටත් ජාතියටත් ආශිර්වාද එක් කරනු ඇත්තේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නවමු මානයක් එක් කරමිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *