දිමුතු පුන්සර කොළඹගේ
(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වැනි දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)
“මෙකල මනෝභාවනීය වූ මහ තෙරුන් ටිකදෙනා කෙරෙන් ඔබ මුල්තැන වූහ.”
- ලබුගම ලංකානන්ද මහ නාහිමි
“විසිවන සියවසේ මේ රටේ පහළ වූ මහ තෙරවරුන් අතර ප්‍රියවාදීත්වයෙන් අග්‍රගණ්‍යවූවෝ මුන්වහන්සේ ය යනු තුන්හෙළය ම අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි.”
- කොස්ගොඩ ධම්මවංස මහ නාහිමි
පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති පදවිය සිවුවැනි වරට ශෝභාවත් කොට වදාළ, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ දුටුවන්ගේ, ඇසුවන්ගේ නෙත් සිත් සනහාලූ සෞශීල්‍යාදී ගුණයෙන් පිරිපුන් මහා යතිවරයාණන් වහන්සේ නමක් වූහ.
විද්‍යාලංකාර පිරුවන මෙරට ජන සමාජයේ වඩාත්ම අවධානය දිනාගත් යුගය ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ යුගය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය එළිදැක්වීම, නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමට විදුලකර භික්ෂූන් වහන්සේලා පෙරට පැමිණීම, විද්‍යාලංකාර පිරුවනේ ත්‍රිපිටක ධර්ම සංගායනාව පැවැත්වීම, සේම විද්‍යොදය, විද්‍යාලංකාර පිරුවන් දෙකට විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමීම සිදු වන්නේ ද ශ්‍රී ප්‍රඥාසාර යුගයේ දී ය.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ කිරිවත්තුඩුව ග්‍රාමයේ විසූ අච්චිමද්දුමාගේ ජෝන් අමරසිංහ අප්පුහාමි පියතුමාගේ සහ බෝපාගමගේ නොන්නොහාමි මවුතුමියගේ පුත්රුවනක වශයෙන් වර්ෂ 1891 පෙබරවාරි මස 7 වැනි දින උපත ලද නාහිමිපාණන් වහන්සේ අච්චිමද්දුමාගේ ජේමිස් අමරසිංහ යනුවෙන් හඳුන්වන ලදහ.
සිය පියාණන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ බෙලිගම්මන විද්‍යාවර්ධන පිරුවනට ඇතුළත්ව අධ්‍යාපන කටයුතු සිදු කරද්දී රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන්, ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1902 ජුනි මස 10 වැනි දින විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ විහාරස්ථානයක් වූ හුණුපිටිය විජයසුන්දරාරාමයේ දී පැවිදිබිමට පත්ව බෙලිගම්මන පිරුවනින් ම අධ්‍යාපන කටයුතු සිදු කරන ලදි.
වර්ෂ 1911 දී රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ වෙත මල්වතු මහා විහාරයෙන් උපාධ්‍යාය පදවිය පිරිනැමූ අවස්ථාවෙහි එම නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලද පළමු සාමණේරයන් වහන්සේ වශයෙන් වැලිවිට සරණංකර මාහිමියන්ගේ සහ අඹන්වැල්ලේ සුමංගල ලේඛකාධිකාරී නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන්, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රවර සානුනායකාදී ගරුතර කාරක මහා සංඝසභාවේ ප්‍රසාදයට පත්ව අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
උපසම්පදාවෙන් පසු හුණුපිටිය විජේසුන්දරාරාම විහාරස්ථානයේ වැඩ සිටිමින් පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත්ව අධ්‍යාපන කටයුතු සිදු කොට ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්වීමෙන් පසු ශිෂ්‍ය ගුරුවරයකු ලෙස ද කටයුතු කරමින් අධ්‍යාපන කටයුතු සිදු කොට, රාජකීය පණ්ඩිත උපාධිය සමාර්ථ වූහ. මේ අවධියේ හුණුපිටිය ගම්වාසීන්ගේ ආගමික කටයුතු නොපිරිහෙළා ඉටු කරමින් ස්වකීය අධ්‍යයන හා අධ්‍යාපන කටයුතු පවත්වා ගැනීමට ප්‍රඥාසාර හිමිපාණන් වහන්සේ සමත් වූහ.
ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ ගිලන්භාවයට පත්වීමෙන් පසු නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පරිවේණාධිපති පදවිය හෙබවූ ලුණුපොකුණේ ධර්මානන්ද හිමියන් පෑලියගොඩට වැඩමවීම නිසා 1917 වර්ෂයේ සිට ප්‍රඥාසාර හිමියන් වීරහේන විද්‍යාරත්න පරිවේණාධිපති පදවියට පත් කරන ලදින් පස් වසරක් එහි වගකීම් උසුලන ලදි. ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ පරිවේණාධිපති පදවියට පත් වීමෙන් සිවු වසරක් ඇවෑමෙන් උපපරිවේණාධිපති පදවිය ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් වෙත පිරිනමන ලදි. මීට නුදුරු කාලයේ මල්වතු මහා විහාරය මගින් කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් ද සම්ප්‍රසාදනය කරවූහ.
දෙවන ලෝක යුද සමයේ කොළඹට නුදුරු පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන පැවැත්වීම දුෂ්කර වූයෙන් රට පුරා ශාඛා පිරුවන් ආරම්භ කළ අවස්ථාවෙහි, 1940 වර්ෂයේ කුරුණෑගල විද්‍යාලංකාර ශාඛා පිරුවනේ පරිවේණාධිපති ධුරය හොබවන ලදි. ඉන් පස්වසක් ඇවෑමෙන් ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයෙන් අර්චිත වූ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ වෙත මල්වතු මහා විහාරය මගින් ධර්මකීර්ති ශ්‍රී ගෞරව නාමාධෙය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියත්, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරව නාම සම්මුතිය සහිතව මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය පදවියත් පිරිනමන ලදි.
ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ යුගය ආරම්භක අවධියේ ම භික්ෂු දේශපාලන ප්‍රශ්නය උච්චස්ථානයට එළඹියේ ය. 1945 වසරේ කොළඹ මහ නගර සභා මැතිවරණයට සඳහා කොටහේන දිපදුත්තාරාමාධිපති, මාදම්පිටියේ ජිනානන්ද හිමියන් ඉදිරිපත්වීම සමාජයේ ඉමහත් ආන්දෝලනයක් ඇතිකරවීමට සමත් විය. මේ පිළිබඳ ඩී. එස්. සේනානායක මැතිතුමා මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙහි නිරතවීම විනයසීමා උල්ලංඝනය කිරීමක් ලෙස සඳහන් කිරීමට, විද්‍යාලංකාර සභාවේ ලේකම් වල්පොල රාහුල හිමියන් පිළිතුරු සැපයීම නිසා රටෙහි ප්‍රබල සංවාදයක් ඇති විය. භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා, එහි යෙදීම භික්ෂුවකට සුදුසුය යන අදහස ගැබ් වූ ඓතිහාසික විද්‍යාලංකාර ප්‍රකාශනය, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කොට 1946 පෙබරවාරි මස 13 වැනිදා විද්‍යාලංකාර ආචාර්ය මණ්ඩලය සහ සිසු පිරිස ඉදිරියේ කියවා කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අත්සන් පිහිටුවා සම්මත කරන ලදි.
සී- ඩබ්- ඩබ්- කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි බොහෝ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ වූ හෙයින් එම මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ඊට හිමිකර දෙනු පිණිස රටෙහි ජනමතයක් ඇති කරවීමට කිරිවත්තුඩුවේ නාහිමියන් ප්‍රමුඛ විද්‍යාලංකාරය ඇප කැප වී ක්‍රියා කරන ලදි. ඒ වන විට සම්මත කරගත නොහැකි වූ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරවා ගැනීමත් ලංකාද්වීපයට පූර්ණ නිදහසක් ලබා දීමත් යන අරමුණු මුල් කොට ගනිමින් 1946 මැයි මස විද්‍යාලංකාර පිරුවනේ මූලිකත්වයෙන් ලංකා එක්සත් භික්ෂු මණ්ඩලය පිහිටුවන ලදි. කයිට්ස් මන්ත්‍රී ද්‍රවිඩ ජාතික වී. නල්ලයියා මහතා නිදහස් අධ්‍යාපනය ලංකාවේ භික්ෂූන් නිසා ලද ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

1950 වසර අවසන එළැඹුණ විද්‍යාලංකාර පිරුවනෙහි සැත්තෑ පස්වන ජන්මෝත්සවය සඳහා සාම්ප්‍රදායික විහාරස්ථානවල මෙන් බණ, පිරිත්, පෙරහර දානමානාදිය පැවැත්වීම නොව විද්‍යාලංකාරයෙහි ශාස්ත්‍රීය පරිසරයට ඔබින පරිදි පැරණි බෞද්ධ ඉතිහාසයේ කියැවෙන පරිදි ධර්ම සංගීතියක් පවත්වා ත්‍රිපිටක පොත් ශෝධනය කොට මුද්‍රණය කිරීම සුදුසු බව වල්පොල රාහුල හිමියන් යෝජනා කළෙන් එය ක්‍රියාවට නැංවීමට යක්කඩුවේ නාහිමියෝ කටයුතු කළහ. 1950 අගෝස්තු මස 15 වැනි දින ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය විද්‍යාලංකාර පිරුවනට වැඩමවා අදියර තුනකින් යුතුව ත්‍රිපිටක සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරුණි. පළමු අදියරේදී සිංහල, බුරුම, සියම්, ඉංග්‍රීසි ආදී අක්ෂරයන්ගෙන් මුද්‍රිතව පැවැති ත්‍රිපිටක පොත් සහ ලක්දිව විහාරස්ථානවල පුස්කොළ පොත් වශයෙන් පැවැති ත්‍රිපිටක පොත් එකිනෙක සසඳා එම එක් එක් මූලාශ්‍රවල විසංවාදයක් ඇතිවන අන්දමේ පාඨ සටහන් කොට ගන්නා ලදි. දෙවැනි අදියර ලෙස මුල් අදියරේදී තෝරාගත් විසංවාදී පාඨයන් වියත් සංඝ සභාවකදී සාකච්ඡා කොට විසංවාද දුරු කිරීමට තීරණය විය. තෙවැනි අදියර ලෙස සකස් කරන ලද පාඨ පෙළ ග්‍රන්ථ සමග සසඳා මුද්‍රණද්වාරයෙන් පළ කිරීමට කටයුතු කෙරුණි. සිංහල ත්‍රිපිටකයක් සකස් කිරීමට පදනම දැමීම තවත් අතුරු අරමුණක් විය. අවුරුදු තුනයි මාස පහයි දවස් පහළොවක් විද්‍යාලංකාර පිරුවනෙහි පැවැති මෙම ත්‍රිපිටක සංගීති පුණ්‍යෝත්සවය බුරුම රට ඡට්ඨ සංගායනාව සඳහා ද ආදර්ශයක් සැපයීය- බෞද්ධ අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාලංකාර පිරුවන මගින් 1947 වර්ෂයේදී කැලණිය ගුරුකුල විද්‍යාලය ආරම්භ කිරීම ද මේ යුගයේ සිදු කෙරුණි.
පරාධීන යුගයේ දෙස, බස, දැය, සමය වෙත ඇතිවී තිබූ ශෝචනීය තත්ත්වය නැති කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන් එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට විද්‍යාලංකාර පිරිවෙනේ සහය හිමි විය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප්‍රාචීන පඬිවරුන් වෙත රජයේ රැකියා පිරිනැමීම වැනි මෙහෙවර සිදු කිරීමට විද්‍යාලංකාරයෙන් අනුශාසනා ලැබුණි.
විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සෑම අතින්ම සුදුසුකම් සපුරා සිටි විද්‍යොදය, විද්‍යාලංකාර පිරුවන් වෙත විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමිය යුතු යැයි සමාජයෙහි කතිකාවක් ගොඩනැඟී තිබූ අතර බණ්ඩාරනායක අගමැතිඳුන්ගේ රජය මගින් විද්‍යාලංකාර පිරුවනට විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමීමට තීරණය කළ බවත් එහිදී විද්‍යාලංකාරිකයන්ගේ විශේෂ ඉල්ලීමට අවනත වෙමින් විද්‍යොදය, විද්‍යාලංකාර දෙපිරුවන් ම විශ්වවිද්‍යාල බවට පත් කළ බවත් අපේ ගමන්මග කෘතියෙහි සඳහන් වෙයි. මේ අවස්ථාවේ අභිනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති පදවිය ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමුණි. සැටපස් විය සපිරීමෙන් පසු නාහිමිපාණන් වහන්සේ විශ්‍රාම ලැබීමෙන් පසු සම්මාන උපකුලපති යන ගෞරවනීය තනතුරෙන් හඳුන්වන ලදි. රටෙහි විවාදාපන්න අවස්ථාවන්හිදී නොපැකිළිව සංඝ සම්මුතියෙන් ධර්ම විනයානුකූල විසඳුම් ලබාදීමට කටයුතු කළහ. සුප්‍රකට ධර්ම දේශකයන් වහන්සේ නමක ලෙසින් ද සම්මානනීයත්වයට පත් වූහ.
උම්මග්ග ජාතක විවරණය, පපඤ්චසූදනී මජ්ඣිම හා උපරිපණ්ණාසක, පඤ්චතන්ත්‍ර මිත්‍රභෙද ව්‍යාඛ්‍යා, කඨින වංසය, සදහම් මල් පොකුර, එළු අත්තනගලුවංශ විවරණය, හත්ථවනගල්ල විහාර වංසය, පාලි-සිංහල පිරිත් පොත, හංස සංදේශ විවරණය, සැළලිහිණි සංදේශ විවරණය, සිංහල ථූපවංස විවරණය, ප්‍රාකෘත භාෂා සාහිත්‍යය, සුශ්‍රැත ශාරීරව්‍යාඛ්‍යා, කාන්තාව හා සමාජය, ඉතිවුත්තක ව්‍යාඛ්‍යා, පදවිනිස විවරණය ඇතුළු පොත්පත් නාහිමියන් අතින් රචනා විය.
වර්ෂ 1924 වර්ෂයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඇරයුම පරිදි දඹදිව බුද්ධගයාවේ වස් විසීමටත්, ඉන් පසු බැංගලෝරයේ ධර්මදූත සේවාවන් සඳහාත් සහභාගි වූ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ 1955 වර්ෂයේ ඡට්ඨ සංගායනාවට සහභාගි වීමට බුරුමයට වැඩම කළහ. පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් ධර්ම දේශනා කිරීමේ හැකියාව නිසා නාහිමිපාණන් වහන්සේ එම රටවල මහත් ගෞරවයට පත් වූහ.
විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් ආගමචක්‍රවර්තී උපාධිය ද, ලංකා විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යචක්‍රවර්තී උපාධිය ද, ලංකා සාහිත්‍ය මණ්ඩලයෙන් අධිසම්මාන උපාධිය ද නාහිමිපාණන් වහන්සේ වෙත පුද දෙන ලදි. දෙස් විදෙස් සංවිධාන සිය ගණනක නාහිමිපාණන් වහන්සේ අනුශාසක පදවි හොබවන ලදහ.
දුටු දුටුවන්ගේ නෙත් සිත් ඇදී යන රූප කායෙන් ද, ගුණ නුවණින් ද, සංඝශෝභන ගුණයන්ගෙන් ද පිරිපුන්ව ලෝකාර්ථචර්යාව උදෙසා ඇප කැපව සංඝරාජයකු වන්ව වැඩහුන් කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ 1970 සැප්තැම්බර් මස 23 වන දින අපවත් වී වදාළ සේක.

