සංඛ මහසිංහ
පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් අගනගරය ආශ්‍රිත ව ගොඩනංවන ලදුව උන්වහන්සේගේ ශිෂ්‍යවර දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමියන්ට දායාද වූ විහාරස්ථානයකට හිටිහැටියේ ම නරක දසාවක් උදා විය. හදිසි අනතුරක් හේතුවෙන් විහාරාධිපති වාචිස්සර හිමියන්ගේ දෑස් අඳ විය! සංවේගප්‍රාප්ත දායකසභාවට සිහි එළවාගත නො හැකි විය. විහාරයේ පැවැතියේ අරාජික තත්ත්වයකි. මේ අඳුරු සමයට සහන් එළියක් වූයේ විහාරයේ වැඩහුන් කුඩා සාමණේර හිමිනමකි. එවකට සිප් සතර හදාරන ළමා වියේ පසු වුවත් මේ දහර හිමියෝ බැහැ යි නො කියා විහාරයේ මුළු බර සිය කර මතට ගත් හ. අනතුරු ව විහාර පාලනයේ ලොකු කුඩා සියලු දේ උන්වහන්සේගේ අණසකට යටත් ව ම සිදු විය. එවකට කවුරුත් පාහේ උන්වහන්සේට ඇමතුවේ “පොඩි හාමුදුරුවෝ” නමිනි. පසු කලෙක විහාරයේ නායක පදවිය ලැබ ලොකු පුටුවක වැජඹුණත් උන්වහන්සේ “පොඩි හාමුදුරුවෝ” ම වූ හ.
එදා කුඩා සාමණේර හිමි නමකගේ පාලනය හේතුවෙන් විනාශ මුඛයෙන් ගැලැවී ගියේ, කොළඹ හුණුපිටියේ පිහිටි සුප්‍රකට ගංගාරාම විහාරස්ථානයයි. තද් විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමියෝ කවර දාටත් කාටත් “ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ” වූ හ.
අපගේ කථානායක පොඩි හාමුදුරුවන් ජනාකීර්ණ වූ අගනුවර පන්සලක වාසයට එන්නේ, දකුණු ලක මාතරට සැතපුම් කිහිපයක් එපිටින් පිහිටි පිටිසරබද ගල්බොඩ ගම්පියසෙනි. උන්වහන්සේගේ ගිහි නම කරුණාරත්න විය. 1943 දෙසැම්බර් මස 14 වැනි දා උපන් කරුණාරත්නට ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලෙහෙනා යන දම්පතීහු මවුපියෝ වූ හ. හුරතල් මන්ද දශකය නිමවා යන්තම් ක්‍රීඩා දශකයට පය තැබූ අලුත ම කරුණාරත්න කොලු ගැටයාගේ කෙලි සෙල්ලම්වලට වාරණයක් පැනවිණ. ඒ, 1954 නොවැම්බර් මස 8 වැනි දා දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමියන් සහ දෙවුන්දර ශ්‍රී රතනජෝති නාහිමියන් ගුරු කොට මහණකම ලැබීම හේතුවෙනි.
මවුපියන්ගේ දාරක ස්නේහයෙනුත් ගම්බද සරල ආස්වාදයෙනුත් ඈත් වීමෙන් ලද විප්‍රවාසය ගැන තැවෙන්නට තරම් පොඩි හාමුදුරුවන් හට ඉස්පාසුවක් නො වී ය. පිරිවෙන් උගැනුමෙන් පසු ව වර්ෂ 1967 දී විද්‍යෝදය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා තුරු ම පොත පතෙහි වැඩ එමට විය. එතකුදු නො ව, වර්ෂ 1961 පටන් දෑස් නො පෙනෙන ලොකු හාමුදුරුවන්ගේ උවටැන ද අගනුවර පන්සලක බරසාර වගකීම් ද පොඩි හාමුදුරුවන්ගේ කර මත පැටවී තිබිණ. සිවුරකින් ගත වැසූ පමණින්, සැහැල්ලුවෙන් ගෙවිය යුතු නව යොවුන් වියේ දී එතරම් සාතිශය චිත්ත පීඩනයක් දරා සිටීම කෙසේ නම් කළ හැක්කක් ද? ගිලන් මවුපියන් රැක බලාගනිමින් අධ්‍යාපන කඩඉම් ජයගන්නා නව යොවුන් දරුවකු වෙත සමාජය හෙළන දයාර්ද්‍ර බැල්ම එකල උන්වහන්සේ වෙත ද එලෙසට ම යොමු වූවා දැ යි නො දනිමු. නො ඉඳුල් පිටිසර ගමක උපන් අහිංසක දරුවකු සිහිනයෙන් අවදි කළාක් මෙන් අගනගරය මැදට ගෙනවුත් අතහරිමින් දෛවය විසින් සිදු කරන ලද ආත්ම පරීක්ෂණය ගැන ප්‍රශ්න කළ අයත් එකල සිටියා දැ යි නො දනිමු.
බුදුන් දවස දෙව්රම වැඩ විසූ නවක හිමිවරුන්ට මෙන්, ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට පහසු පැවිදි දිවියක් නො තිබෙන්නට ඇති. ආදර්ශයෙන් ගුරුහරුකම් ගන්නට සිටි නායක හිමියෝ ඔත්පල ව හොත් සේක. වැඩිහිටි තෙරුන්ගේ ඇස් මානයෙන් මිදී තනි ව හැදී වැඩෙන ළපැටි බුදුපුතකු, ධනයටත් බලයටත් පමණක් දමනය වූ අගනුවර භීම කලාපය කෙසේ තරණය කරන්න ද? ජීවනාත්දැකීම් නමැති අකාරුණික මිටි පහරින් තැලී පන්නරය ලබත් ම, හොඳින් නමුත් නරකින් බාහිර බලවේගවලට ඔරොත්තු දී ලෝකය ඉදිරියේ තමාගේ පැවැත්ම තහවුරු කරගන්නැ යි පුහුදුන් සිත යෝජනා නො කරන්නට ඇති ද? දාර්ශනික නො වූ පියොවින් අත්දුටු මහ පොළොවේ ප්‍රශ්න හමුවේ, තමා වටා ගොඩනැඟුණු ආන්දෝලනාත්මක ප්‍රතිරූපයක් ද සහිත ව පොඩි හාමුදුරුවෝ ලොකු වූ හ.
පැවිදි වූ දා පටන් දිවි ඇති තුරා ම පොඩි හාමුදුරුවෝ ගංගාරාමය වෙනුවෙන් කැප වී උන් හ. වර්ෂ 1964 දී විසි වයස් පිරී උපසම්පදාව ලබද්දීත් උන්වහන්සේ නිල නො ලත් ගංගාරාම විහාරාධිපති වූ හ. 1984 වර්ෂයේ දී වාචිස්සර ගුරු හිමියන් අපවත් වූයෙන්, ඤාණිස්සර සිසු හිමියන්ට නිල වශයෙන් ම ගංගාරාමාධිපති තනතුර හිමි විය. 40 වසරක් විහාරාධිපති තනතුර හොබවමින් පුරා 80 වසරක් ආයු වැළඳූ පොඩි හාමුදුරුවෝ නොබෝ දා – එනම් අගෝස්තු 02 වැනි දා අපවත් වීමෙන් ගංගාරාමය හැර ගිය හ. ගංගාරාමය හැර යන මොහොතේ දී උන්වහන්සේ සිය වගකීම නිම කළේ, එහි පාලනය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ වියත් සිසු පරපුරක් අතට පත් කරමිනි.
ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අපවත් වීම නිමිත්තෙන් පසුගිය දිනවල නොයෙක් ප්‍රසිද්ධ ජනමාධ්‍යයන්හි ගුණ සැමරිණ. එසේ ම, එයින් විරුද්ධ මතයක් දරන උදවියට සමාජමාධ්‍යය අවකාශයක් වූ බව ද නො රහසකි. කෙසේ වෙතත් නිශ්චිත ව ම මෙම ලිපිය වෙන් වන්නේ ඤාණිස්සර හිමියන්ගේ ගුණ සැමරීමටයි. එහෙත් කොතැන දීත් අතිශයෝක්ති බස් කෙරෙහි නුරුස්නාසුලු ප්‍රතිචාරයක් දැක්වූ බව පෙනෙන උන්වහන්සේ සුජීවත් ව සිටියා නම් සිය ඇතැම් ගුණ ගැයුම් අසා දුර්මුඛ වෙතැ යි අපට අනුමාන කළ නො හැකි ද?
මෙහි ලා අප ඉදිරියේ ඇති දෙගිඩියාවකි: මිය ගිය තැනැත්තකුගේ ගුණ කෙසේ අගය කළ යුතු ද? සමාජයේ පිළිගත් කිසිවකු මිය ගිය කල්හි, ඔහුගේ හෝ ඇයගේ ඇති ගුණත් නැති ගුණත් එකට පටලා පෙර සකසන ලද පොදු වට්ටෝරුවක් අනුව ප්‍රශස්ති කීම සිරිතකි. බොහෝ දෙනා එය සිය යුතුකමකැ යි සලකති. එහෙත් එයින් වන්නේ මහ අවැඩකි. මිය ගිය තැනැත්තා පෞද්ගලික ව රුචි නො කළ චරිත ලක්ෂණ සමුදායක් ආරෝපණය කොට පෙන්වීම ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවට කරන අසාධාරණයකි; බලහත්කාරයකි. අනෙක් අතට, ව්‍යාජ ගුණ ආරෝපණයකින් සමාජයට සපයන ආදර්ශය ද ප්‍රශ්නගත වේ; විශ්වසනීය නො වේ. මේ දෝෂවලින් මිදී මැදහත් සිතින් කරන ගුණකථනය සියලු පාර්ශ්වවලට වැඩදායක වේ; සත්‍යවාදී හෙයින් හෘදයංගම ද වේ.
කාටත් විවෘත ව පෙන්වූ හෙයින් අපගේ කථානායක ඤාණිස්සර හිමියන්ගේ ඇවතුම් පැවතුම්වල කිසි රහසක් නො වී ය. ආර්ය ශ්‍රාවක මහ සඟරුවන සිහිගන්වන ශ්‍රමණ සාරුප්‍ය වත් පිළිවෙත් පුරා සංඝසෝභන පියවි ගමනින් වෙහෙරෙන් නික්මෙන උන්වහන්සේ වියදඬු පමණ දුර බලමින් සංයත වැ මඟට බට සේකැ යි කුමට චාටු බස් කියමු ද? නැත්නම් සිතන්නට අලස ඇතැමුන් කරන්නාක් මෙන්, උන්වහන්සේ කෙරෙන් පළ වූ සියලු වේගාවේග තුළ අමුතු ශාසනානුලෝමික එඩියක් ගැබ් ව තිබුණැ යි අදහමු ද? මෙම ගුණකථනයෙහි ලා අපි වඩාත් සත්‍යවාදී වෙමු. සැබැවින් ම කිව හොත්, ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ ගුණ චරිතයෙහි ප්‍රධාන මුහුණුවර දෙකකි. එකක් සමාජ සේවයයි. අනෙක සමාජ සහජීවනයයි. උන්වහන්සේ තුළ පිහිටි එම සුළු කොට තැකිය නො හැකි දුලබ චරිතාංග යුගලය මතු ලොවට පවා මනා චරිතාදර්ශයක් සපයයි.
ඤාණිස්සර හිමියෝ සිය සමාජ සේවා කටයුතු නිතර ම පාහේ ගංගාරාම නාමය පෙරටු කොටගෙන පවත්වාගෙන ගිය හ. නිවාස සාදා දීම, ශිෂ්‍යත්ව ලබා දීම, ද්‍රව්‍ය බෙදා දීම ආදි වශයෙන් වූ උන්වහන්සේගේ ප්‍රකට සමාජ සේවාවන් අතරින් ‘ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසල’ පිහිටුවීම ප්‍රමුඛ විය. එමඟින් දැයේ දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි උන්වහන්සේ දැක්වූ අවධානය ප්‍රශංසනීය වේ. ළමා වයසේ දී ම පිටිසරෙන් පැමිණ නුහුරු නාගරික සමාජයට නිරාවරණය වෙමින් දහසකුත් හැලහැප්පීම්වලට ගොදුරු වීමෙන් ලත් අත්දැකීම් සහිත උන්වහන්සේ, නිසි වෘත්තීය අධ්‍යාපනයක් නො ලබා ගමෙන් නගරයට සංක්‍රමණය වන නව යෞවනයන්ගේ ඛේදවාචකය කෙරෙහි වඩාත් සංවේදී වූවාට සැක නැත.
මෙරට පාසල් හැර ගිය දරුවන්ගේ ජීවිතවලට ඵලදායක ඉලක්කයක් ලබා දීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට ගංගාරාමය යොමු වූයේ ඤාණිස්සර හිමියන්ගේ මූලිකත්වයෙන් 1978 වසරේ දී ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසල ආරම්භ කරමිනි. වෙසෙසින් ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කඩඉම ජයගත නො හැකි වූ දරුවන් මඟ හසරක් නො දැන අතරමං වීම වළක්වන අදහසින් ආරම්භ කළ ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසලෙන් සාර්ථක ලෙස විවිධ පාඨමාලා හදාරා නික්ම ගිය දරුවන් සංඛ්‍යාව ලක්ෂ හයකට ආසන්න ය. ජපානය, කොරියාව, තායිවානය, හොංකොං ආදී රටවල මෙන් ම දේශීය වශයෙන් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල සහ ස්වයං රැකියාවල නියුතු ව ඔවුහු ජීවිතය ජයගත් හ.
අගනුවර වැසියන්ගේ ආගමික හා සාංස්කෘතික අවශ්‍යතා ඉටු කරන මධ්‍යස්ථානයක් බවට ගංගාරාමය පත් කිරීම ඤාණිස්සර හිමියන්ගේ තවත් සමාජ මෙහෙවරකි. දෛනික කලබලයෙන් ගැලවී පහන් සිතින් විවේකී ඇසිල්ලක් ගත කිරීමට සුදුසු තැනක් සොයන නාගරිකයන්ගේ පැතුම ඉටු කිරීම උන්වහන්සේගේ අදිටන විය. ඒ අනුව, සිත පහන් කරවනසුලු සකල කලාංග සහිත ව ගංගාරාමය කලාගාරයක් විය. කලාකරුවන්ගේ ජීවිකාව පිණිසත් කලාකාමී සැදැහැවතුන්ගේ තාවකාලික මානසික ඉහිල් බව පිණිසත් වන හෙයින් එය ද එක්තරා සමාජ සේවයකි.
බොහෝ දෙනා ආගමෙහි ඇති ශාන්ත ආධ්‍යාත්මික පක්ෂයට වඩා සාංස්කෘතික විසිතුරට ප්‍රිය කරති; එයින් අල්ප ආස්වාදයක් විඳ මඳකට ජීවන දාහය නිවා ගනිති. ඒ සාංස්කෘතික විසිතුර, ආගමක් නාම මාත්‍රික ව හෝ චිරාත් කාලයක් පැවැතීමට රුකුලක් සපයනු ඇති. බහුරූ විසිතුරු අතර විපිළිසර නො වී චාම් සුපහන් ආධ්‍යාත්මික දිවියක් ගත කිරීම බුද්ධානුමතය බැව් අපි ගෞරවයෙන් පිළිගනිමු. එහෙත් වසර දෙ දහස් හය සියයක් වියපත් වූ සසුන හදිසියේ තිරිහන් කරන්නට යනවාට වඩා එය ඇති හැටියෙන් භාරගන්නට තරම් අපි සාදර විය යුත්තෙමු.
බුදුදහමෙහි ආධ්‍යාත්මික නියෝජනය දකින්නට රිසි අයෙක් වෙත් නම් ජනවිවික්ත අරණ්‍ය සේනාසන සොයා යනු යෙහෙකි. ආධ්‍යාත්මික නියෝජනය කෙසේ වෙතත්, අගනගරයේ අනුනාදය නො ඉක්මවූ ගංගාරාමයටත් ඤාණිස්සර හිමියන්ටත් වූයේ වඩාත් සාංස්කෘතික නැඹුරුවකි.
කොළඹට පෙරහරක් නො තිබුණු වර්ෂ 1979 දී නවම් මහා පෙරහර ආරම්භ කරමින් උත්කර්ෂවත් සාංස්කෘතික මංගල්‍යයක් පවත්වන්නට ඤාණිස්සර හිමියන්ට හැකියාව ලැබුණි. ගංගාරාමයේ නවම් මහා පෙරහර නරඹන අටියෙන් ම නවම් මස දී විදෙස් සංචාරකයන් මෙරටට ඇදී එන බව කියැවේ. එසේ ම කොළඹ විසල් තොරණක් දිස් නො වූ සමයෙක දී ඤාණිස්සර හිමියන්ගේ නියමයෙන් කාර්මික විද්‍යාලයයේ ඉගෙනුම ලබන සිසු දරුවන් එක් ව තොරණ ඉදි කර, පසුකාලීන ව බේරේ වැව කේන්ද්‍ර කොටගත් ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ලෙස නව සාංස්කෘතික ප්‍රබෝධයකට මං විවර කරන්නට යෙදිණ. වැඩි ම ජනගහනයක් සපැමිණෙන වෙසක් කලාපය එය බවට පරිවර්තනය වීමට ගත වූයේ සුළු කාලයකි.
සමාජ සේවයට අමතර ව, ඤාණිස්සර හිමියන් තුළ වූ අනෙක් අගය කළ යුතු චරිතාංගය සමාජ සහජීවනයයි. උන්වහන්සේගේ සමාජ සහජීවනය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් සිසාරා පැතිරිණ. ජාතික සහ ආගමික සහජීවනය එයින් පළමුවැන්නයි. දෙවැන්න වන්නේ නිකාය භේදය නො සලකා ත්‍රෛනිකායික සංඝයා විෂයෙහි පැවැත්වූ සහජීවන ප්‍රතිපත්තියයි. ලෝකයේ සියලු ම බෞද්ධ සම්ප්‍රදායයන් කෙරෙහි දැක්වූ සහජීවන ආකල්පය තෙවැන්නයි.
ජාති, ආගම් නො තැකූ සුහද සහජීවන පැවැත්ම ගංගාරාමයට අරුමයක් නො වේ. ගංගාරාමයත් ගංගාරාමයෙන් දියත් කෙරෙන ව්‍යාපෘති සමූහයත් නඩත්තු වන්නේ උදක් ම සිංහල බෞද්ධයන්ගේ බරපැන මතින් නො වේ. අනෙනක් තබා, ගංගාරාමය පිහිටුවා ඇත්තේ ද අන්‍යාගමිකයකු පිදූ බිමකයි. වර්ෂ 1985 දී අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත ගංගාරාමය පිහිටි භූමිය පූජා කරන ලද්දේ එච්.එල්. ද මෙල් නමැති ක්‍රිස්තු භක්තික භවතකු විසිනි. එසේ ඇරැඹුමෙන් ම ගංගාරාමය දැක්වූ ආදර්ශය ඤාණිස්සර හිමියෝ ද නො කඩ ව ඉදිරියට පවත්වාගෙන ගිය හ. නවම් පෙරහර, වෙසක් කලාපය ඇතුළු ගංගාරාමය කේන්ද්‍ර කොටගත් සියලු ආගමික උත්සව කෙරෙහි වැඩි අන්‍යාගමික සහභාගිත්වයක් ලබාගනිමින් සහජීවනය පිළිබඳ සමාජයට ජීවමාන නිදසුනක් පෙන්වන්නට උන්වහන්සේ සමත් වූ හ.
නිකායික සහජීවනය වෙනුවෙන් ද ඤාණිස්සර හිමියෝ බොහෝ අනුග්‍රහ කළ හ. ගංගාරාමය අයත් වන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට ය. ඇහිබැම ගෑමත් දෙවුර නො වැසීමත් තද් නිකායික භික්ෂූන් වහන්සේලාගේ සිරිතකි. එහෙත් අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ලත් ඇරැයුමකට අනුව, ගංගාරාම සඟ පරපුර ඇහිබැම ගෑමෙන් වැළකුණ හ; දානමාන හා උත්සවාදිය උදෙසා විහාරයෙන් බැහැරට වැඩම කරන විට දී දෙවුර වැසූ හ. ඤාණිස්සර හිමියන් ද මෙම ගංගාරාම සම්ප්‍රදාය එලෙසට ම පවත්වාගෙන ගියේ අනෙකුත් නිකායන්ට කරන බුහුමනක් වශයෙනි. ගංගාරාමයේ දක්නට ලැබෙන දර්ශනීය සීමාමාලකය ද නිකායික සාමග්‍රියට මනා නිදසුනකි. සුප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥයකු වූ ජෙෆ්රි බාවාගේ සැලසුමකට අනුව ඉස්ලාම් භක්තික මුසාජි පවුලේ ධන පරිත්‍යාගයෙන් වර්ෂ 1976 දී ඉදි වූ මෙම සීමාමාලකය, කිසිදු නිකාය භේදයකින් තොර ව ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ විනයකර්ම සඳහා වෙන් කරන ලද්දකි.
ඤාණිස්සර හිමියෝ ථෙරවාදයෙන් පිටස්තර අනෙක් බෞද්ධ සම්ප්‍රදායයන් කෙරෙහි අවිරුද්ධ ප්‍රතිපදාවක් අනුගමනය කළ හ. එහෙයින්, මහායාන සම්ප්‍රදායයේ ආභාසය ද නො අඩු ව ලැබ බොහෝ අන්තර්ජාතික සබඳතා ගොඩනඟා ගන්නට ගංගාරාමයට හැකි විය. විදෙස් ජාතික මහායාන භික්ෂූන් වහන්සේලා ගංගාරාමයට වැඩම කොට පින්කම් හා අනෙකුත් කටයුතු සමග සම්බන්ධ වීම සුලබ දසුනකි. විවිධ රටවල සංස්කෘති සිහිගන්වන ප්‍රතිමා ආදිය ගංගාරාම පින්බිමෙහි පිහිටුවා ඇත. ථෙරවාදය සහ මහායානය කැටි කොටගත් බෞද්ධ සාංස්කෘතික නියැදියක් ලබා ගන්නට යා යුතු මෙරට හොඳ ම තැන ගංගාරාමයයි. දෙස් විදෙස් සැදැහැවතුන් සහ සංචාරකයන් එසේ භුක්ති විඳින්නේ ඤාණිස්සර හිමියන් දැරූ වෙහෙසකර ව්‍යායාමයක මියුරු ඵලයකි.
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් අරභයා කළ කෙටි ගුණකථනය මෙතෙකින් අවසන් කළ යුතු වෙයි. බොහෝ වේලා විහාරය ඉදිරිපිට කුඩා පුටුවක වාඩි වී උන් පොඩි හාමුදුරුවන්ගේ රුව යළි කිසිවකුගේ ඇස නො ගැටෙනු ඇති. අංගචලනයෙන් තරමක කලබලයක් පෙන්වූ ඒ රුව දැන් උදක් ම අතීතාවර්ජනයක් පමණකි.
කවුරුත් දන්නා කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට තිබුණේ පරස්පරතා සහිත බාහිර ප්‍රතිරූපයකි. බලවතුන් සහ ධනවතුන් සමග පැවැත්වූ කුලුපග ඇසුර එයට ප්‍රධාන නිමිත්තයි. උන්වහන්සේ පක්ෂ දේශපාලනය තුළ ප්‍රකට නො වූ නමුත් කවදත් දේශපාලන නාටකයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනු දක්නට ලැබුණි. එය වීරයකුගේ භූමිකාවක් ලෙස මෙන් ම, දුෂ්ටයකුගේ භූමිකාවක් ලෙස භාරගත් පිරිස ද දේශපාලන නාටකයේ ප්‍රේක්ෂකාගාරය තුළ හිඟ නො වී ය. උන්වහන්සේට එහි ලා බොහෝ මිතුරෝත් පසමිතුරෝත් ඇති වූ හ යි යන්න අරුමයක් නො වේ. පොඩි හාමුදුරුවන්ගේ වියෝවෙන් හටගත් සංවේගය විසින්, මිතුරුකමේ සහ පසමිතුරුකමේ උද්වේගය සමනය කරවන සම උපේක්ෂාවක් වෙත දැන් ඒ සියල්ලන් රැගෙන යනු ලැබ ඇත. පසමිතුරුකමේ කසට බිඳකුදු යම් සිතෙක ඉතිරි ව ඇත්නම් එයත් මෙත් දියෙන් සේදී යේ වා!
බොදුනු අපගේ පරම පැතුම නිවනයි. කුළුණු හදින් යුතු ව, සැවොම එකට එක් වී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට නිවන් සුව පතමු. උන්වහන්සේ ථෙරවාදයට පමණක් නො ව මහායානයට ද ගරු කළ හිමි නමකි. මහායාන දහමේ පැනෙන, කාටත් සාධාරණ වූ ‘බුද්ධ ස්වභාවය’ පොඩි හාමුදුරුවන් තුළ නො විණැ යි තර්ක කළ හැකි අයෙක් වෙත් ද?