යාමුකළේ සෙනරත් පොන්නම්පෙරුම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංවැල්ල ගම් ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන ගම්පියසකි. වැවත්, දාගැබැත් විහාරස්ථානයත් ඒකරාශි කළ පුරාණ විහාරස්ථානයක් වන ශෛල බිම්බාරාම විහාරය බොදු ජනමන සිත් සතන් පහදන පුණ්‍ය භූමියක් බවට වර්තමානයේ පත්ව ඇත්තේ බුද්ධ ශාසනය වෙනුවෙන්ම සිවුරු දරාගෙන සිටින්නා වූ තරුණ යතිවරයාණන් නමකගේ අප්‍රතිහත, කැපවීම, ඉවසීම ආදී උත්තුංග ගතිලක්ෂණ නිසාවෙනි.
ඒ වත්මන් විහාරාධිපති පූජ්‍යපාද කුරුපනාවල ධම්මජීව ස්වාමීන් වහන්සේය. වළගම්බා නිරිඳුන්ගේ සමයේ ගමේ රමණීය ගල් තලාවක් මත ආරම්භ කළ මෙම පුරාණ පුණ්‍ය භූමියේ එතෙක් මෙතෙක් ගත වූ ඉතිහාසය තුළ සිදුකර ඇත්තා වූ උත්කෘෂ්ට ආගමික හා සමාජීය සේවය සුළුපටු නොවේ. ඈත අතීතයේදී වළගම්බාවන් සේනා සංවිධානය කරමින් පරසතුරු උවදුරු මැඬලීමට ගත් උත්සාහයේදී තිස්සව කෝරළවාසී ජනයාද ඔහුට උපකාරී වී ඇත. එකළ ටැම්පිට විහාරයක් ලෙස ගොඩනැඟුණු මෙම විහාරය චෛත්‍ය බෝ මළුව ආදී අංගයන් යුගයන්ගෙන් පරිපූර්ණව තිබූ අතර වත්මන් බෝධීන් වහන්සේ රජසමයේ රෝපිත බෝධියක් ලෙස සැලකේ. සෙල්ලිපි කිහිපයක් ගල් වංගෙඩි, කොරවක් ගල්, ගල් පොකුණු සහ පෞරාණික ගල් ඇඳක් සහ තවත් නටබුන් රාශියක් දැක ගත හැකිව තිබේ. පැරණි රජ දරුවන් ඉදි කළ විහාරස්ථාන වලට පොදුවේ උරුමවන නටබුන් අභාවයට පත් වීමේ න්‍යාය ධර්මය මෙම ශෛලතලාරාමයට පසු කලෙක උදා විය. සියක් වසක පමණ කාලය තුළ වරින්වර ජනීජනයාත් වැඩ සිටි සංඝයාවහන්සේගෙන් තොරව පාළුවෙන් පාළුවට පත් මෙම ස්ථානයට දෛවෝපගතව පෙර පිං බලයෙන් මෙන් මෙයට විසි වසරකට පෙරාතුව තම ගුරු හිමිපාණන්ගේ උපදෙසින් වැඩමකළ කුරුපානාවෙල ධම්මජීව හිමියෝ කටුවන ලැහැබකින් වෙලාගත් හංවැල්ල ශෛල බිම්බාරාම පුදබිමේ කල දවස ගැන සිතා කම්පිත වූ හදවතින් යුතුව දායක කිහිපදෙනෙක් අටවා දුන් කුඩා අතුපැළක සෙවණ තුළ ලාම්පු කුප්පි එළියෙන් රැය පහන් කරමින් සංවර්ධන කාර්යයට උරදුන්හ. එදා මෙදා තුර සතරපේරුවේ දායක පිරිසද උන්වහන්සේගේ ගම් ප්‍රදේශයේ නෑදෑ හිතවතුන්ද එකතු කරගනිමින් දැවැන්ත කැපවීමක් තුළින් දැකුම්කළු අංගසම්පූර්ණ විහාරස්ථානයක් නිර්මාණය කිරීමම උන්වහන්සේට නිවන් මඟට පිවිසීමට හේතු කාරණයක් වනු නිසැකය.

මෙම විහාරස්ථානයේ අතීතය දෙස බලන විට මීරිගම වජිරඥාන, මීගොඩ ආනන්ද රතනසීහ, මිරිහානේගම සුමේධ, ජයසිරිගම සංඝානන්ද, කොළඹ ඥානාලංකාර ආදී යතිවරයාණන් වහන්සේලා වරින් වර වැඩ සිට ඇති අතර කොළඹ ඥානාලංකාර හිමියෝ අතිවිශාල මෙහෙවරක් විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා සිදුකර ඇති බව පැවසේ. වත්මන් විහාරාධිපති හිමියෝ වන ගරුකටයුතු කෙසෙල්වතුපිට සුමංගල නා හිමියන්ගේ ආරාධනයෙන් වර්ෂ 2005 දී වැඩම කළ කුරුපනාවල ධම්මජීව හිමියෝ දායක පිරිසගේද සහාය මත සිදු කළ අතිඋදාර සේවයේ මල්ඵල අද දින කාටත් දැකිය හැකි වේ. සමස්ත දායක කාරකාධීන්ගේත් සැමගේත් අවට ප්‍රදේශ වල ගෞරවයට බඳුන්ව සිටින වර්තමාන විහාරාධිපති හිමියෝ විහාරස්ථානයේ දියුණුවට පමණක් නොව ගමේ දියුණුව, දායක දියුණුව, දරුවන්ගේ අධ්‍යාපන දියුණුව මංමාවත් ජල අවශ්‍යතා ආදී යටිතල පහසුකම් ගම්වාසීන්ට ලබා දීම, අසරණ රෝගීන්ට ඖෂධ, රෝද පුටු ලබා දීම, ආයුර්වේද සායන පැවැත්වීම වැනි දේ ලබා දෙන හංවැල්ල ප්‍රදේශයට පහළ වූ කප්රුකක් බඳු පුදුමඑළවන සමාජ සාසනික සේවයක නිරත නිරහංකාර උතුම් බුදු පුතෙකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පඬුවස්නුවර සංඝ සභාවේ පරියත්ති ලේකකාධිකාරී, ත්‍රිපිටකවාගීශ්වර, විශ්ව කීර්ති ශ්‍රී විනයාචාර්ය පූජ්‍ය කුරුපනාවෙල ධම්මජීව සමිඳුන්ට දිගාසිරි සම්පත් පතමි. මේ සත්කාරයේදී මට සහය වූ හිතවත් අනුරාධ සෙනෙවිරත්න මාධ්‍යවේදී කේ.ඒ. ජයසූරිය මහතුන්ට ස්තූතියි.

