ගුණපාල කාරියවසම්
මෙලොව ජීවත් වන අපගේ කය ඉරියව් සතරකින් එකක ඕනෑ ම මොහොතක පවත්වනු ලබනවා. ඒවා අප සතර ඉරියව් නමින් හඳුන්වනවා. ගමන් කිරීම, සිට ගැනීම, හිඳ ගැනීම හා නිදාගැනීමයි ඒ. මෙයින් එකකින් හෝ තොර ව අප ශරීරයේ පැවැත්මක් නැහැ. මේ ඉරියව් හතරින් එකකට යටත් වයි අපි ජීවත් වන්නේ. අපි ඕනෑම මොහොතක ඇවිදිනවා. නැත හොත් වාඩි වී සිටිනවා. නැතිනම් සිටගෙන සිටිනවා. එසේ නැතිනම් නිදා ගන්නවා. මෙහි දී නිදාගැනීම යනුවෙන් හැඳින්වෙන්නේ ඇඳක හෝ බිමක වැතිර සිටීමයි. (හාන්සි වී සිටීමත් මීට අයත් වෙනවා) ඒ අනුව ඔබ අපි සෑම කෙනෙක් ම මේ ඉරියව් සතරින් කවර එකක හෝ තම ශරීරය පවත්වන බව ඔබට පැහැදිලියි. මේ කාරණා සතර පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළේ මේ සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ උත්තම චරිතයක් පිළිබඳව සඳහන් කිරීමටයි. ඒ ඔබ අපි කවුරුත් ඉතා උතුම් කොට සලකන බුද්ධ කාලයේ ජීවත් වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේයි.
සුද්ධෝදන මහ රජතුමාගේ මලනුවන් වූ අමිතෝදන රජුගේ පුත් කුමාරයෙකු ලෙස ශාක්‍ය ජනපදයේ ආනන්ද කුමාරයා උපත ලබනවා. බුදුන් වහන්සේ තම පිය රජතුමාගේ බලවත් ඉල්ලීම මත කිඹුල්වත් නුවරට වැඩි ප්‍රථම ගමනේ දී අනෙකුත් ශාක්‍ය කුමාරවරුන් සමග මේ ආනන්ද කුමාරයා ද පැවිදි බව ලබනවා. උන්වහන්සේ දුටුවන් මන නුවන් පැහැර ගන්නාසුලු මනා රූප ශෝභාවෙන් යුත් තරුණ භික්ෂුවක්. උන්වහන්සේගේ ආචාර්යවරයා වූයේ ‘පුණ්ණ මන්තාණිපුත්ත’ තෙරුන් වහන්සේයි. දිනක් උන්වහන්සේ රූපයෙහි ඇල්ම නිසරු දෙයකැ යි පැහැදිලි කරමින් දේශනා කරන ලද ධර්මය අසා ආනන්ද හිමියන් සෝවාන් ඵලයට පත් වුණා.
බුදුන් වහන්සේගේ පළමු වසර විස්ස තුළ වරින්වර නොයෙකුත් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට ඇප උපස්ථාන කළ නමුත් ස්ථිර උපස්ථායකයෙකු සිටියේ නැහැ. මේ නිසා භික්ෂුන්වහන්සේලා සියල්ල කැඳවා ස්ථිර උපස්ථායකයෙකු පත් කර ගැනීමට සාකච්ඡා කළා. මෙහි දී භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ම කැමැත්ත පළ කළ නමුත් බුදුන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේ නිශ්ශබ්ද ව සිටි ආනන්ද තෙරුන් වහන්සේ මේ තනතුර ලැබීමට පෙරුම් පුරාගෙන එන බව පැවසූ බුදුන් වහන්සේ තමන්ගේ නිත්‍ය උපස්ථායක තනතුර සඳහා නිසි පුද්ගලයා ආනන්ද තෙරුන් වහන්සේ ම බව වදාළා. ඒ අනුව ආනන්ද තෙරුන් වහන්සේ ආයාචනා හතරක් හා ප්‍රතික්ෂේප හතරක් සහිත ව වර අටක් ඉදිරිපත් කළා. බුදුන් වහන්සේ එය අනුමත කළෙන් ආනන්ද තෙරුන් වහන්සේ අග්‍ර උපස්ථායක ලෙස පත් කරගැනුණා. බුදුන් වහන්සේගේ පන් සාළිස් වසක බුද්ධ කාලය තුළ ඉතිරි වසර විසි පහක කාලය තුළ ම උන්වහන්සේට ඇප උපස්ථාන කළේත් උන්වහන්සේ බැහැදැකීමට පැමිණෙන භික්ෂු මහා සංඝයාට මෙන්ම රාජ රාජ මහාමාත්‍යාදීන්ට එම අවස්ථාව උදා කර දුන්නේත් ආනන්ද තෙරණුවෝයි. මේ වසර විසි පහ තුළ බුදුන් වහන්සේ යම් අවස්ථාවක දී යම් දහමක් දේශනා කළේ ද එම දහම නැවත ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරන්නට යෙදුණා.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට ධර්මය එක් වරක් දෙසූ පමණින් කිසිදු අඩුවක් නොමැති ව මනා කොට සිහි තබාගැනීමේ හැකියාවක් උන්වහන්සේ තුළ පැවතීම නිසා ධර්ම භාණ්ඩාගාරික පදවියෙන් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වුණා. බහුශ්‍රැත භික්ෂුන් අතර අග තනතුර, සිහි කල්පනාව ඇත්තවුන් අතර අග තනතුර, අවබෝධ ශක්තිය ඇත්තවුන් අතර අග තනතුර, ධෛර්ය සම්පන්න භික්ෂුන් අතර අග තනතුර යන අග තනතුරු අග්‍ර උපස්ථායක තනතුරට අමතර ව ආනන්ද තෙරුන් වහන්සේට පිරිනැමුණා. මේ සියල්ල ලැබීමට හැකි වූයේ සංසාරයේ කරන ලද ප්‍රාර්ථනා බල මහිමය නිසායි.
බුදුරජාණන් වහන්සේට කිසියම් රෝගාබාධයක් ඇති වූ විට ක්ෂණයකින් ඊට පිළියම් කිරීමට උන්වහන්සේ උත්සුක වුණා. තම යුතුකම් නිසි ලෙස ඉටු කළ උන්වහන්සේ බුදුන් වහන්සේ රාත්‍රි කාලයෙහි සැතපීමට ගඳ කිළියට වැඩම කළ පසු ආරක්ෂාව පිණිස රාත්‍රි කාලයේ නව වාරයක් පහනක් අතින් ගෙන ගඳ කිළිය වටා ඇවිදිමින් සෝදිසි කළ බව සඳහන් වනවා.
බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමේ දී ඉතා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වූයේ ආනන්ද තෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහ රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ඉතා ආරක්ෂිත ව මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරුණා. ඒ සඳහා රහතන් වහන්සේ පන් සිය නමක් පමණක් සහභාගි කරවා ගැනීමට තීරණය වුණා. ඒ අනුව සප්තපර්ණී ගල් ගුහාව තුළ ආසන 500ක් පිළියෙල කෙරුණා. රහතන් වහන්සේ 499 දෙනෙකු තෝරා ගැනුණා. එම රහතන් වහන්සේලා සහභාගි වී මූලික කටයුතු සිදු කෙරුණා. එක් ආසනයක් හිස් ව පැවතුණා. ඒ ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනයයි. උන්වහන්සේ තවමත් රහත් බව ලබා තිබුණේ නැහැ. රහත් බව ලබන තෙක් උන්වහන්සේට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. උන්වහන්සේ නොමැති ව ධර්ම සංගායනාව පැවැත්වීමටත් නොහැකියි. ඒ නිසා ආනන්ද හිමියන් රහත් බව ලැබීමට බොහෝ වෙහෙසුණා. නිකිණි මස අව පෑළවිය දා ධර්ම සංගායනාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට කතිකා කරගෙන තිබුණා. එදිනට පෙර දින ආනන්ද හිමියන් සක්මන් භාවනාවෙන් බොහෝ වෙහෙසට පත් ව සිටියෙන් මඳක් විවේක ගැනීමට සිතා දෙපා දෝවනය කරගෙන යහන මත වාඩි වුණා. දෙපා ඔසවා කොට්ටය මත හිස තබත් ම උන්වහන්සේ උතුම් රහත් බව ලැබුවා. ඒ නිකිණි පසළොස්වක අලුයම් කාලයේදීයි. උන්වහන්සේ ඒ අනුව රහත් බව ලැබුවේ සතර ඉරියව්වෙන් තොර වයි. සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ එක ම රහතන් වහන්සේ වනුයේ ආනන්ද රහතන් වහන්සේයි.
ධර්ම සංගායනා කාලය උදා වුණා. ආනන්ද රහතන් වහන්සේට දැන් සප්තපර්ණී ගල් ගුහාවට ඇතුළු වීමට අවසර තිබෙනවා. අජාසත් රජතුමා මෙම ගල් ගුහාව අවට විශේෂ ආරක්ෂක කටයුතු තර කර තිබුණා. රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් එම ආරක්ෂක වළල්ල තුළට රහතන් වහන්සේ නමකට හැර වෙනත් කිසිවෙකුට ළඟා විය නොහැකි වුණා. දෙවියන්ගේ සාධුකාර මධ්‍යයේ ආනන්ද රහතන් වහන්සේ විහාරයෙන් නික්මුණා. ඒ හිස් ව තිබූ ආසනය සම්පූර්ණ කිරීමටයි. ගල්ගුහාවේ විශේෂ ආරක්ෂිත දොරටුව වෙත ළඟා වූ උන්වහන්සේ එහි දොරට තට්ටු කළේ ඇතුළු වීමටයි.
“කවුද ඔබ?” ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ හඬයි.
“ස්වාමීනි මම ආනන්ද” ඒ ආනන්ද මහ රහතන් වහන්සේගේ පිළිතුරයි.
“ආනන්ද දොර වසා තිබෙනවා. ඔය යතුරු තහඩුවේ සිදුරෙන් ශාලාවට ඇතුළු වන්න”
එම අවසරය මත ආනන්ද මහරහතන් වහන්සේ නම ඍද්ධි බලයෙන් යතුරු සිදුරින් ශාලාවට ඇතුළු වී හිස් ව තිබූ ආසනය සම්පූර්ණ කළේ සියලු ම රහතන් වහන්සේලාට නමස්කාර කරමින්. ප්‍රථම ධර්ම සංගායනාවේ නිල කටයුතු ආරම්භ කෙරුණා. අදින් වසර 2568කට පෙරදීයි. රහතන් වහන්සේලා පන් සිය නමකගේ සහභාගිත්වයෙන් සිදු කළ නිසා මම ප්‍රථම ධර්ම සංගායනාව ‘පඤ්චසතිකා විනය සංගීති’ නමින් ද හැඳින්වෙනවා. නිකිණි මස දී ආරම්භ කළ මෙය සත් මසකින් නිම කෙරුණා. නිකිණි මස දී ශාසන ඉතිහාසයේ සිදු වූ වැදගත් ම සිදුවීම මෙයයි.
ඇසළ මස අව පෑළවිය දින පෙරවස් සමාදන් වීමට නොහැකි වූ උපසපන් භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන් වීමට ඉඩ ඇත්තේ ද නිකිණි මස අව පෑළවිය දිනයේදීයි.
ලිපිය තවත් දීර්ඝ වුව හොත් ඔබ තවත් වෙහෙසට පත් වන නිසා ආනන්ද හාමුදුරුවන් පිළිබඳව කෙටියෙන් කරුණු ඉදිරිපත් කළ අතර පොත්පත් කියවා බලා ධර්ම දේශනාවන්ට සවන් දී තව තවත් කරුණු දැනගෙන ඔබේ ධර්මය ඥානය වැඩිදියුණු කරගන්න. භික්ෂුණී ශාසනය පිහිටුවීමට මූලික වූයේද ආනන්ද හිමියෝයි. එහෙත් එම කාරණය 1 වැනි ධර්ම සංගායනාවේ දී විවාදයට ලක් වී ඇති බව ද සඳහන් කළ යුතුයි.
සැමට තෙරුවන් සරණයි