දැනුමෙන් දැක්මට

cmadurawala
10 Min Read

කපිල පීරිස්

සංසාරගත සත්වයා යනු ප්‍රසාද රූප (ඉන්ද්‍රියන්) හා බැඳුණ නාමධර්ම සමූහයක ක්‍රියාවලියකි. පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය යනු ද එයයි. ප්‍රසාද රූප මාංශ සිරුරේ රැඳී ඇත. බාහිර සංවේදන මේ ප්‍රසාද රූපවල ගැටීමත් සමඟමය, මේ නාම රූප ක්‍රියාවලිය එනම් පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය එහෙමත් නැති නම් දුක් චක්‍රය ක්‍රියාත්මක වන්නේ. පටිච්චසමුප්පාදයෙන් දැක්වෙන්නේ මේ අනාත්මීය වූ දුක් චක්‍රය ඇති වන අයුරුය. මෙහිදී ඵස්ස, වේදනා, චේතනා, සංඥා, මනසිකාර යන මූලික නාම ධර්ම අතරේ ඇති සෙසු නාමධර්මයන් කෙරෙහි යම් ආකාරයක පාලනයක් පැවැත්විය හැකි මනසිකාර චෛතසිකය පවතිනුයේ අයෝනිසෝවය. එහෙත් සද්ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ඇසුර ධම්මානුධම්ම පටිපදාව තුළ මේ මනසිකාරය යොනිසෝ තත්වයට පත් වීම තුළ පටිච්චසමුප්පාද දුක් ක්‍රියාවලිය /චක්‍රය ආපසු හැරවිය හැක. උපනීස සූත්‍රයෙන් භාග්‍යවතුන්වහන්සේ ගෙන හැර දක්වන්නේ මෙයයි. මේ ක්‍රියාවලියේදී මනසිකාර චෛතසිකය කුළුගන්වමින් ඊට අනුබල සපයන්නේ සිහි නුවණය (සතිසම්පජඤ්ඤය) ආනාපානය වැනි භාවනාවන් මගින් සිහිය සාමාන්‍ය පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් වෙන්කර ගත් විට එම දුක් ක්‍රියාවලිය අඩපණ වන අතර සිහිය වඩාගත හැක. දැන් මේ වැඩුණු සිහිය අදාළ දහම් දැනුම (සම්පජඤ්ඤය) සමග යෝනිසෝමනසිකාරය වැඩීමට යොදා ගැනේ. වේදනා (මානසික සොමනස්ස දෝමනස්ස උපේක්ෂා) චෛතසිකය දුර්වල වී අවසානයේ අවේදයිත තත්වයට පත්වන්නේ එලෙසය.

විදර්ශනාවේදී සිදු වන්නේ සතිසම්පජඤ්ඤය සහිතව යෝනිසෝමනසිකාරයෙන් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය එහෙම නැතිනම් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය විමැසීමය. දුක හටගන්නා යාන්ත්‍රණය පැහැදිලි වන්නේ එවිටය. බාහිර සංවේදන අරමුණු චිත්තාභ්‍යන්තර සංඛාර දිට්ඨි සමඟ ගැටීම තුළ සොම්නස් දොම්නස් උපේක්ෂා වේදනා හට ගන්නා අයුරු එවිට විශද වනු ඇත.

අප ඉමක් කොනක් නොපෙනෙන සසර පුරා පුරුදු වී ඇත්තේ බාහිර අරමුණු ඔස්සේම සතුටු වීමටය. මේ වෙනුවෙන් අපේ චිත්තාභ්‍යන්තර වල දහසකුත් එකක් සංඛාර දිට්ඨි (කතා) ගොඩනැඟී පැලපදියම් වී ඇත. එහෙත් මේවා අනිත්‍යය. එමපණක් නොව කෙසෙල් කඳක් මෙන්ය. පතුරු ගැසූ විට කිසිදු හරයක් හමු නොවේ. දුක් චක්‍රය ඇති වන්නේ මේ නිසාය. කවරාකාරයක සංස්කාරයකින් වත් අපට වේදනාව දිගටම සෝමනස්සව තබාගත හැකි නොවේ.

බාහිරින් ලැබෙන සංවේදන ඔස්සේ සතුටු වීම යනු යම් යම් දේ අත්පත්කර ගැනීම තුළ ලබන්නකි. ඍජුවම පංචේන්ද්‍රියනට හෝ/ හා මානසික සංවේදන ලෙස යම් යම් තත්වයන් ගරුත්වයන් නම්බුනාම බලයන් අත්පත් කර ගැනීම මෙහිදී සිදු වේ. මේ මානසික වින්දනයන් සියල්ලම ලැබෙන්නේ සමාජයට සාපේක්ෂවය. එනම් සමාජයේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙන්වූ මම ටය. මානය නමැති කෙලෙස් දහම නිසා ඊර්ෂ්‍යාව, වෛරය, තරහව ආදී සියල්ල ඇති වන්නේ මෙලෙසය. සමාජයේ අනෙක් අයට සාපේක්ෂව ගොඩනගා ගන්නා මමට බොහෝ දෑ ඕනෑ කර තිබේ. ඒ මමට සතුට ලැබෙන්නේ මේ සාපේක්ෂ ලැබීම් ඔස්සේය. එහෙත් මේ සතුට සොම්නස යන්නත් පදනම් වන්නේ අපේ චිත්තාභ්‍යන්තරයේ අප විසින්ම ගොඩ නගාගෙන පල් කරමින් සිටින චිත්තාභ්‍යන්තර සංස්කාර දිට්ඨි නමැති අනිත්‍ය වූ පරඬැල් බඳු වූ හිස් මායාවන් රාශියක් මත බව දකිත හැකි නම් මෙලෙස සතුට සොම්නස සොයා තවදුරටත් වෙහෙසෙනු ඇත්ද? මෙලෙස සතුට සොයා යාමේ ඒ සතුටු පොරයේ ඇති දුක්ඛිත භාවය පසක් නොවනු ඇත්ද? ඉතින් අප මේ චිරාත්කාලයක් පුරුදු වී ඇති යම් යම් (ලෞකික) දේ අත්පත් කර ගැනීමෙන් පමණක් සතුටු ළඟාකරගත හැකිය යන්න කොපමණ සත්‍යයක්ද? අපට ඇත්තටම මේ අප සතුටු සොම්නස සොයා යන පොරය මුළුමණින්ම ප්‍රකට කරගත හැකි නම් එමගින් කොපමණ සතුටක් විඳීමක් නිවීමක් ඇති කරගත හැකිද? එය යම් යම් දේ අත්පත් කර ගැනීමෙන් ලැබීමට බලාපොරොත්තු වන සතුටට වඩා කොපමණ ගැඹුරු වනු ඇත්ද? අත්පත් කරගැනීම් වූ කලී අභ්‍යන්තරව (චිත්තාභ්‍යන්තර සංස්කාරවල) මෙන්ම බාහිරව ද අනිත්‍ය දෑය. ඉතින් එය දැනගෙන ඉන් මිදීම කවර නිවීමක් වනු ඇත්ද? ප්‍රඥාව මෙහෙයවන විදර්ශනාවෙන් ලැබෙන්නේ මේ දැනුම දැකුම නොවේද? දැනට අප මේ ප්‍රඥාවෙන් දැන දැක ගැනීමේ පූර්ණ අවසාන අවස්ථාව එනම් නිවණ යම් මොහොතකට අමතක කළ ද අපේ එදිනෙදා ජීවිතයේදී වුව සතුට සොම්නස් ලැබීම යන්න විවිධ අත්පත්කර ගැනීම් වලින් යම් ආකාරයකට හෝ මුදවා ගෙන මේ ධර්මානුකූලව පෙන්වාදෙන අනිත්‍ය ක්‍රියාවලිය පිළිබඳ දැනුම ලැබ එය මෙනෙහි කිරීම තුළින් ලබාගැනීමට උත්සාහ කළ නොහැකිද?

අප සාමාන්‍යයෙන් විවිධ ලෞකික දැනුම් මගින්ද සතුට ලබමු. එහෙත් ඒ සියල්ල සමාජයට සාපේක්ෂවය, විවිධ නම්බුනාම උපාධි ගෞරව (බුද්ධිමතකු, උගතකු ලෙස) ආශ්‍රිතවය මේ සතුට ලැබෙන්නේ. එනම් මේවා සියල්ල යනු විවිධාකාරයෙන් (මානසික) අත්පත්කර ගැනීම්ය. එහෙත් මේ අනිත්‍ය වූ පරඬැල් බඳු වූ අත්පත්කර ගැනීම්වල ඇති හරසුන් දුක්ඛිත සොබාවය ගැන දැන ගැනීමෙන් ලබන සතුට එපරිදිම සමාජයට සාපේක්ෂක නැත. මේ සතුට සොම්නස උදෙසා එය ලබාගත් තැනැත්තාට ඒ බැව් සමාජයට ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. එයයි මෙහි සුවිශේෂත්වය. මෙය ආධ්‍යාත්මික නිවීමකි. සමාජයට සාපේක්ෂ නැත. මෙසේ නිවුණු කෙනාට තව දුරටත් සමාජයෙන්, බාහිර ලෝකයෙන් විවිධ දෑ අත්පත් කර ගැනීම තුළ සතුට සහනය අවශ්‍ය නැත. එයාට බාහිර ලෝකයේ යම් යම් කොටස් මගේ සතුට සඳහා මේ මේ ආකාරයට විය යුතුය යන සංඛාර දිට්ඨි, වුවමනා එපාකම් නැත. ඒ නිසාම ඒවා ඉටු නොවීම පිළිබඳ දුක් නැත. ඒවා ඉටු වීම වැලකීම පිළිබඳව කිසිවකු සමඟ කිසිදු තරහක් නැත. තව කෙනකු යම් යම් දේ ලබාගන්නා යැයි. ඊර්ෂ්‍යාවක් නැත. එයාට මේ ආධ්‍යාත්මිකව නිවුණු සිතින් මෛත්‍රිය, කරුණාව මුදිතාව උපේක්ෂාව සහිතව සමාජයේ-ලෝකයේ ඉතා සතුටින් අන් අයට මහත් කරුණාවෙන් වැඩ කටයුතු කළ හැක. ඉතින් මේ මොහොතේ සිටම අපේ සතුට සොම්නස හුදෙක් යම් යම් දේ අත්පත්කර ගැනීම යන්නෙන් මුදවාගෙන යම් යම් පරම සත්‍යයට අදාළ පරම විද්‍යාවේ එනම් ධර්මයේ කරුණු කාරණා දැන ගැනීම වෙත යොමු කළ හැකි නම් කොපමණ සහනයක් ලැබිය හැකි ද?

කිසිදු අත්පත්කර ගැනීමකින් ලබන්නා වූ කිසිදු සතුටක් ස්ථිර නැත. එය බාහිර දෑ-සමාජය වශයෙන් පමණක් නොව ඊට වඩා බොහෝ සේ ප්‍රබලව චිත්තාභ්‍යන්තරයේ ඊට අදාළව ගොඩනැඟී ඇති සංඛාර දිට්ඨිවල අනිත්‍ය තුළ වියැකී යයි. මේ සතුටු සොම්නස් වැල්ලේ තනන මාලිගා වැනිය. එහෙත් මේ සියල්ල ගැන දැනීම එලෙස අනිත්‍ය නැත. මේ පිළිබඳව පුහුදුන් මට්ටමේදී ගොඩනගන දැනුම (එයද සංස්කාරයකි) අනිත්‍ය වුවත් අවසානයේ ප්‍රඥාවෙන් මේ ක්‍රියාවලිය විනිවිදීම තුළ ලබන්නා වූ දැක්ම අනිත්‍ය නැත. එය වූ කලී පූර්ණ අවබෝධයකි. යම් යම් අත්දැකීම් මත ගොඩනැගුණු හිතළු ආකෘතියක් නොවේ. එය වූ කලී සතුට සොම්නස උදෙසා වූ සියලුම සංස්කාරවලින් මිදීමකි.

කන්දක් පාමුල ඇති නගරයක සතුට සොම්නස වෙනුවෙන් තනාගත් විවිධ ආකෘති – කතා (සංස්කාර දිට්ඨි) තුළ විවිධාකාරයට වෙහෙසෙන මිනිසුන් දෙස කඳු මුදුනේ සිට නිවී සැනසිල්ලෙන් බලා සිටින අයකුගේ තත්වය කෙබදුද? ඔහු මේ කඳු පාමුල නගරයට වැද සතුට සෙවීමට උත්සාහ ගනු ඇත්ද? මේ නගරයේ සොම්නස් දොම්නස් ඔහුට අදාළද? ඔහු මේ සොම්නස් වෙනුවෙන් නගරයේ අය සමඟ පොරකනු ඇද්ද? ඒ අය ගැන තරහවක් ඇති කර ගනු ඇද්ද? ඊර්ෂ්‍යා කරනු ඇද්ද? කඳු පාමුල නගරයේ තත්වය ගැන සැබෑ තතු දන්නා මේ කෙනා ඒ දැකීම තුළ සිටින්නේ සැබෑ නිවීමෙනි. ඔහුට නගරයේ අය ගැන ඇත්තේ මෛත්‍රියකි. ඔවුන් සමඟ සැසඳෙමින් පොරකමින් ලබාගැනීමට සතුටක් මේ කඳු මුදුනේ කෙනාට නැත. එහෙත් ඒ අයගේ දුකට පිහිටවීමේ කරුණාවක් නම් මේ කෙනාට ඇත. ඔවුනගේ යම් හෝ සතුටකට ඊර්ෂ්‍යා කිරීමේ කිසිදු වුවමනාවක් මේ කෙනාට නැත. කඳු පාමුල නගරයේ සිදුවන කිසිවකින් මේ කෙනාට කිසිදු සතුටක් හෝ දුකක් ඇති වන්නේ නැත. ඔහුට ඒ නගරයේ උපාදාන නැත. ඇත්තේ සතර බ්‍රහ්ම විහරණ තුළ ක්‍රියාත්මක වීම පමණය.

කඳු මුදුනේ සිටින කෙනා මේ නිවීම ඇති කර ගන්නේ කිසිවක් අත්පත් කරගෙන නොවේ. හුදෙක් අවබෝධයක් තුළ පමණය. කඳු පාමුල නගරයේ සිටින අයට කඳු මදුනේ ඔහුගේ තත්වය ගැන කියා සතුටු වීමක්ද ඔහුට අදාළ නැත. කොටින්ම මේ නිවීම නගරයට සාපේක්ෂ නැත.

නගරයේ කිසිදු ඇගයීමක් ඔහුට අදාළ නැත. එහෙත් ඔහුට සතර බ්‍රහ්ම විහරණය තුළ ඉතා හොඳින් කිසිදු හැලහැප්පීමකින් තොරව ඒ නගරයේ කටයුතු කළ හැක. ඔහු නගරය ප්‍රතික්ෂේප කර නැත. නගරය මායාවක් ලෙස සලකන්නේ ද නැත. ඔහුගේ එකම වෙනස වන්නේ දැන් ඔහු පෙර මෙන් නගරයේ කටයුතු වලින් තම මනස – සිතැඟි සන්තර්පණය කිරීමට නොපෙළඹීම පමණි. නගරයට අදාළ ඒ සියලු සන්තර්පණයන් දැන් ඔහු අතික්‍රමණය කර ඇත. ඔහුට දැන් අදාළ වන්නේ කායික සැප දුක් පමණි. මෙලෙස ඇති වන්නේ පූර්ණ චිත්තාභ්‍යන්තර විපර්යාසයකින් මිස වෙනත් කිසිදු බාහිර යමක හෝ බලවේගයක පිහිටෙන් බලපෑමෙන් නොවේ. නගරය තුළ කෙරෙන කවර කටයුත්තකින්වත් මේ තත්වය ඇති කර ගත හැකි නොවේ. මේ උපමාවේ නගරය සංසාරය ලෙසත් කඳු මුදුනට ගිය කෙනා රහතන්වහන්සේ ලෙසත් දත යුතුය.

නගරයේ කෙරෙන කිසිදු කටයුත්තකින් කඳු මුදුනට යා නොහැක. ඒ සඳහා නගරය අතික්‍රමණය කර යා යුතුය. එසේම සංසාරයේ කිසිදු කටයුත්තකින් ඒ නිවීම රහත් බව ලැබිය නොහැක. ඒ සඳහා සංසාරය ඉක්මවිය යුතුය. සංසාරයෙන් සතුට සොම්නස ලැබීම යන්නේ මිදිය යුතුය. මේ සඳහා අදාළ වන්නේ නිවැරදි අවබෝධයයි, ඇත්තටම වේදනා ඇති වන ආකාරයයි. එනම් එහි කිසිදු මම, මගේ ආත්මය ලෙස ගත හැකි කිසිවක් නැති බවත් පරඬැල් වන් අනිත්‍ය සංස්කාර හා සංවේදනවල ස්පර්ශයන් නිසා හට ගන්නා ඒවා බවත් දැන දැක ගැනීමයි. එනම් අපේ සැප දුක් චක්‍රයයි. එනම් පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි. අප දැන් සිටම යම් යම් දේ අත්පත් කර ගැනීමෙන් ලබන සතුට සොම්නස, ඒ සතුට සොම්නස සහ ඒ හා බැඳුණ දුක ඇති වන අයුරු දැනගැනීම ඔස්සේ ඒ හා බැඳුන සමස්ත දුක ඇති වන අයුරු දැන ගැනීම ඔස්සේ ලබාගැනීමට පුරුදු වෙමු. එහෙත් මෙලෙස දැනගැනීම තුළ ලබන්නා වූ චිත්ත ප්‍රබෝධය ද ප්‍රීතියද තවත් සංස්කාරයන්ම පමණි. ඒ බැව් පැහැදිලිව දැනගත යුතුය. ඒ නිසා එයද අනිත්‍යය. එහෙත් එය යම් යම් දේ (සමාජයට සාපේක්ෂව) ලබාගැනීමෙන් ලබන්නා වූ චිත්ත ප්‍රබෝධයට වඩා උසස්ය ගැඹුරුය. මීටත් වඩා උසස් ප්‍රබෝධයක් ලබාගත හැක්කේ මේ දැන ගැනීමද (දැනුම ලබාගැනීම) ඉක්මවූ එම දැනුම ලබාගැනීමට ඉවහල් වූ සිහිය පිළිබඳව සිහිය යෙදවීමෙනි. මෙහි අවසානය ප්‍රඥාවය. කිසිදු සංස්කාරයකින් තොර පැහැදිලි දැක්මය. ඕනෑම දැනුමක සංස්කාර ගතියක් ඇත. ඒ සංස්කාරගතිය මුළුමනින්ම ඉවත්වන්නේ එය දැක්මක් (අත්දැකීමක්) වූ විටය.

සංස්කාර යනු අපේ සතුට පිණිස යම් යම් දේවල් මේ මේ අකාරයට (ඉත්ථතාව) විය යුතු ලෙස තණ්හාවෙන් සකසා ගැනීමයි. එහෙත් මෙලෙස සකස්කරගත් විගස එය අඤ්ඤථාභාවයට පත් වනවා. ඒක තමයි අනිත්‍යය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *